ඇසූ දුටු දේ…….අසම්මතය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක දවසක නාදුනන දුරකථන ඇමතුමක් ලැබුන .කතා කරේ පිරිමියෙක්
“නංගි මට ලොකු උදව්වක් කරන්න ප්ලීස් “
“කවුද මේ “
“ඔයා මාව නම කිව්වට දන්නෙ නෑ .ඒත් මේක ඔයාට කරන්න පුළුවන් කියල හිතනවා .මේ වෙලේ මට කියන්න කෙනෙකුත් නෑ .මේකට උදව්වක් ඉල්ලන්න කෙනෙකුත් නෑ .මට යාළුවෙක් ඔයාගෙ නම්බර් එක දුන්න .මේක හරියටම පුළුවන් කෙනා ඔයා කියල .”
“හරි කියන්නකො මොකක්ද වෙන්න ඕන .”
උදව්වක් කරන්න හඳුනන්නම ඕනද කියන මෝඩ මතයෙ මම එදත් හිටිය අදත් ඉන්නව .හෙටත් ඉඳී.
“අනේ නංගි මම අපේ වයිෆ් බබාල අතහැරල වෙන ගෑනු කෙනෙක් එක්ක හිටියෙ .එයා මට හොඳට සැලකුවා .ඒත් මම ඇක්සිඩන්ට් වුනාට පස්සෙ එයා එයාගෙ ගෙදර ගියා .මට දැන් බලන්න කෙනෙක් නෑ .මන් අපේ වයිෆ්ට කතා කරාට දැන් එයා මාව බාරගන්නෙ නෑ .නංගිට පුළුවන් නම් තේරුම් කරල දෙන්න මන් නම්බරේ දෙන්නම් ” කිව්ව .
ගැහැණියක් විදියට මම අකමැතිම කතාවක් මේක වුනත් ඒ වෙලේ මම හේතු කීපයක් හිතුව .එකක් නාඳුනන වුනත් මනුස්සයෙක් මගෙන් උදව්වක් ඉල්ලුවෙ මම ඒ උදව්ව කරයි කියන විශ්වාසෙන් .මම ගැන කීව කියන යාළුවා ඒක කරෙත් මාව විශ්වාස කරල .අනික මනුස්සයෙක් අසරණ වුන වෙලාව ,කැඩුන පවුලක් එක් කරල පුන්චි හරි පිනක් සිද්ධ කරගන්න අවස්ථාව .අනික දරුවන්ට එයාලගෙ තාත්ත නැවත ලැබෙයි කියන විශ්වාසය .මේ වගේ හඟක් දේවල් හිතල ඒ අංකය ඉල්ලගෙන කතා කළා .
” අනේ නන්ගි ඔයා කවුරු වුනත් මට වැඩක් නෑ .ඔය මිනිහ නම් ආයෙ සංසාරෙවත් එපා .ඔය මිනිහට කකුල් කැඩිල මදි .මටයි මගෙ දරුවො දෙන්නටයි දුන්න වේදනාව ඕකට පත්තු වෙනවා .මම ගන්නෙ නෑ කීයටවත් ” ඇගේ ආවේගය ගැන මම කිසිවක් කියන්න ගියෙත් නෑ .ඇයම කතා කරනවා .
” ඔය මිනිහ ඔය සක්කරවට්ටම එක්ක ගියේ .මට වැඩිය හොඳයි මට වැඩිය සුදුයි .ඒක තමයි සංසාරෙ බැඳීම කියල මගෙ මූණටම කියල ඇයි දැන් ඒ ගැනි නැතිලුද “
ඇය මගෙනුත් සැරෙන්ම ඇහුවා. අර පුද්ගලයට මන් ඒ බව දැනුම් දුන්න .
” ඇත්ත නන්ගි මගෙ වරද මට එයාගෙ අගේ තේරුනෙ නෑ .දැන් තමයි මට ඒක තේරෙන්නෙ” මේ වගේ ගොඩාක් දේවල් කිව්ව .මන් ඔහුට කිව්ව ඔය ටික මට මැසේජ් එකකින් දෙන්න කියල .තමන්ගෙ බිරිඳගේ අගයත් තමා කල වරද ගැනත් ,එය වරදක් ලෙස පිළිගන්නා බවත් නැවත එවන් දෙයක් සිදු නොවන්නට වග බලා ගන්නා බවත් මට ලියල එව්ව .එය එහෙමම ඔහුගෙ බිරිඳට යැව්ව .ඇය මට කතා කලා .
” මොනව වුනත් නන්ගි ඒ මගෙ කසාද මනුස්සයා .පොඩි කාලෙ පටන් ආදරේ කරපු කෙනා .මගෙ දරුවන්ගෙ තාත්ත ඒ මනුස්සයා අසරණ වුනු වෙලාවෙ මම මඟහරින්න හොඳ නෑ .එන්න කියන්න ගෙදර ” ඇය කිව්ව .ප්රීතියෙන් පිනා ගිය මමත්
“ඔව් අක්ක මනුස්සයෙක් අසරණ වෙලා තමන්ගෙන් උදව්වක් ඉල්ලගෙන ආවොත් තරහකාරයෙක් වුනත් ඒ බව අමතක කරල ඒක කරන්න .ඒක තමයි එයාට දෙන්න ඕන හොඳම දඩුවම ” මමත් පණ්ඩිත කතාවක් කියල තවත් ඇයවත් උස්සල කතා කරල .මේ ගොල්ලො එකතු කරා .මට ඉතින් හෙන හැපී පවුලක් එකතු කරානෙ කියල .ඒ විතරක් නෙමේ මට එදා හිතුන ඒ තමයි ගෑනු ගතිය .මොන තරම් වෙනස් කම් කළත් තමන්ගෙ දරුවන්ගෙ පියා කියන තැනදි ගැහැණු වරදට සමාව දෙනවා .ඒ තමයි අම්මලා මම එහෙම හිතුවා .එතනින් එහාට මම ඒ ගැන හෙව්වෙ නෑ .මොකද ඔවුන් දෙදෙනම මම ඇස් දෙකටවත් දැකල නෑ .
ආයෙත් කාලෙකට පස්සෙ කෝල් එකක් ආව .” හලෝ මේ අර කාංචනා කියන ගෑනිද ? ” උඩ ගිහින් බිම වැටිල ආයෙත් සැරයක් උඩ ගියා වැටෙන්න කලින් හිතුවෙ ඒ මොන හෙනයක්ද පාත් වෙන්න යන්නෙ කියල හෙමින් සැරේ බිමට බැහැල
“ඔ..ව් ඔ……ව් ” මාත් ඉතින් බයේ ගැහි ගැහි කතා කලේ මන් කරපු වැරදි මොනවද කියල හිත හිතා .ඇත්තටම ලොකු කමක් නෙමේ .ඒ වගේ ආමන්ත්රණයක් මට දීල තියෙන්නෙ ටිකක් අඩුවෙන් .
“ඔයාට මතකද ඔයා නාහෙන් අඬල හොර ගෑනියෙක් අරන් ගිය මගෙ මිනිහ මට ආපහු බාර දුන්න .ඒක එව්ව කියල මැසේජ් එකකුත් මට එවල අන්තිමේ කකුල කැඩුනට පස්සෙ මගෙ ලඟට ගෙනත් දැම්මෙ මතකද ” හිතල මතක් කරාම මට මතක් වුනා සිද්ධිය .
” අනේ සමාවෙන්න අක්කෙ මම ගෙනත් දැම්මෙ නෑ නේද ඒ මැසේජ් එක දැකල දුක හිතිල ඔයා එයාව ගත්ත නේද ” මාත් ඇහුව .මොකද වරද නිවරැදි නොකලොත් නඩු නොඅසාම අපිව වැරදිකරුවන් කරන බව දන්න නිසා .ඊට පස්සෙ චුට්ටක් සැර බැස්ස .
” ඔව් නන්ගි ඔයා දන්නවද ? මන් මගෙ දෙමවිපියන්ට පවා කියල අඬල සල්ලි ඉල්ලගෙන ණය වෙලා පවා ඒ මිනිහට වෙදකම් කරල මනුස්සය ගොඩ ගත්තෙ .මම කන්නෙ නැතුව මිනිහට බත් ටික දුන්න .අතේ සල්ලි තිබිල නෙමේ මන් ඒව කරේ .අන්තිමට රස්සාවට යන්න බෑ .පොඩිවට තේ කඩයක් දාන් ඉමු කියල කිව්ව .අපේ අක්කට ඒ ගැන කියල අක්කගෙ චේන් එක ඉල්ලගෙන දුන්න ඒක උකස් තියල එහෙනම් කඩයක් පොඩිවට දාගන්න කියල .මිනිහ විශ්වාස කරල මන් ඒක දුන්න ගිහින් උකස් තියල සල්ලි අරගන්න කියල .ඒ චේන් එක පවුම් දෙකක් .ඒ මිනිහ ඒකත් අරන් ආයෙම අර ගෑනි අරන් ගිහින් නංගී ” මට ගෑනි කිව්වට මදි කියල මට හිතුන .
“අනියම් ප්රේමය” ඇත්තටම මේක ප්රේමයක්ද ? අසම්මතය සුන්දරයි .තහනම් ගහේ ගෙඩි රසයි කියන ඔක්කොටම කියන්න ඕන .ඔය රස ඇත්තටම රසක්ද ? එහෙම නැත්නම් රසයි කියල හිතා ගත්ත වහක් ද ? සාමාන්යයෙන් මේ වගේ සබඳතා අද වෙද්දි සුලබයි .නමුත් ඔය කොයිකෙ වුනත් විද්යාත්මක පසුබිමක් තියෙනවා .love tank මේ කියන තටාකය අනිත් තටාක වලට වඩා වෙනස් .අසම්මත සබඳතා සමහරු මේ වචනෙ කියනවටවත් කැමති නැති තරමට මේවට ආදරේ කරනවා .විවිධ අර්ථකථනයන් ලබා දෙනවා .
“ඒ තමයි සසර බැඳීම “
“අපිට අපි මිස් වෙලා “
“දෛවය අපිව මුණ ගැස්සුවෙ පරක්කු වෙලා ” මේ වගේ නොයෙක් කතා නමුත් ඇත්තටම ගත්තම මේක පියවර අටකින් අවසන් වෙනවා .
ඒකෙ පළමු පියවර නැත්නම් පළමු තටාකය තමයි .දැකීමෙන් රූපයෙන් ,ඉඟියෙන් , හැසිරීමෙන්, ඇඳුමින් පැළඳුමින් කට හඬින් ඇති වන හැඟීම .ඒක හරියට ගමේ කුඹුක් හෙවනක ලිඳකින් සීතල වතුර ටිකක් හැමදාම නා ගත්ත කෙනෙකුට වුනත් පූල් එකක් දැක්කම “ශා නාන්න ඇත්නම් “
“බහින්න ඇත්නම් “කියල වගේ ඇතිවන හැඟීම .පූල් එකක් ඉතින් තමන්ටම හදාගන්න පුළුවන් අය බොහොම ටිකයිනෙ ඉන්නෙ .ඒක අපේ නෙමේ අනුන්ගෙ.
දෙවැනි තටාකයෙදි ඔවුන් නිතර නිතර කතා කරනවා ඒ ගොල්ලන්ට හීනෙන් පේන්නෙත් ඒ රුව .ෆෝන් එකට වෙන කෝල් එකක් ආවත් හිත උද්දාමයෙන් පිරිල යනව.අරයද දන්නෙ නෑ කියල .මැසේජ් එකක් ටිං ගාල වැදුනත් ඇති .හිතට දැනෙන මේ මිහිරත් එක්ක ඔවුන් අවුරුදු ගානක් තරුණ වෙමින් ආපස්සට යනව කියල .මනෝ විද්යාවෙ සඳහන් වෙන්නෙ .විශේශයෙන් අවුරුදු තිස් පහ පනහ අතර කාලයේ ගැහැණු පිරිමි දෙපාර්ශවයේම හෝමෝන සෛල අලුතින් නිපදවීමත් එක්ක මේ තත්වය උදා වෙනවා .ඒ කෝල් කරන ,දකින ,හිනාවෙන ,රහසින් ඉඟි කරන කාලය ඔවුන් ගත කරන්නෙ සිහින ලෝකයක . මෙහිදී බොහෝ ගැහැණු අය හිතනවා .”එයා වෙන අය වගේ නෙමෙයි .ඇත්තටම මට ආදරෙයි .කතාවෙන් තේරෙනවනෙ අයුතු ප්රයෝජන ගන්න ලං වුනා නෙමෙයි කියල ” හිතල ඔවුන්ට හදවතින්ම බැඳෙනවා .දවසෙ වැඩි කොටසක් කෝල් මැසේජ් සඳහා වෙන් කරනවා .
තුන්වැනි තටාකය නැත්නම් දෙවැනි පියවරේදි ඔවුන් අතිශය පෞද්ගලික කාරණා කතා කරනවා .විශේශයෙන් ලිංගික ජීවිතය සම්බන්ධ දේ පවා .එතනිද එකිනෙකා බොහෝ විවෘත වෙනවා .”අපි තමයි හමුවෙන්න තිබුනෙ ” කියල ඔවුන්ට හිතෙනවා .මේකෙදි බොහෝ කාන්තාවන් ගොනා හැරෙන්නෙ පොල් පැළේට කියල දැනගත්තම මේ තටාක ආසාව හිතින් අමතක කරල .
“මන් හිතුවෙ එයා මට ආදරේ කරනව කියල .බලනකොට එයත් අනිත් අය වගේම තමයි ” හිතල ඒ තටාකෙන් ගොඩ එනවා .එහෙම ගොඩ ආව අය නම් ඇත්තටම ගොඩ .එහෙම නොවෙන පිරිසක් ඉන්නවා .රාගයෙන් තොර ප්රේමයක් නැත කියල හිතන පිරිස එයට අනුබල දෙමින් නිශ්ශබ්දව සිටිනව .එක්කො අදහස් හුවමාරු කරගන්නවා .
හතරවැනි තටාකයෙදි ඔවුන් හමුවෙනවා .එහෙම හමු නොවෙන පිරිසකුත් ඉන්නවා .මේ කතා කරන්නෙ සාමාන්යයෙන් සිදු වන දේ .එහිදී සිදුවන දේ ගැන අලුතින් කියන්න ඕන නෑ .මෙය එක්තරා මහාචාර්යවරයෙක් මෙය ඉතා අපූරුවට විග්රහ කරනවා .එය අවශ්ය නම් වෙනම දවසක ලියන්නම් .මේ කාර්යේදී ඔවුන් හිතන්න ගන්නවා .දැන් තමයි අපි ජීවිතේ විඳින්නෙ කියල .
පස්වැනි තටාකයේදි ඔවුන් එය විඳීම නැවත නැවත ලබා ගන්නට උත්සහ කරනවා .එය කාලයත් සමඟ සාමාන්ය දෙයක් බවට පත් වෙනවා .
හයවැනි තටාකය විදියට මොවුන් මේ සබඳතාවය ලෝකෙන් වසං කිරීමට දැඩි උත්සහයක නිරත වෙනවා .අර මුලින් කෝල් එකක් එද්දි දැනුන මිහිර දැන් දැන් බයක් බවට පත් වෙනවා .තමන්ගෙ දුරකථනය ගැන වෙනදට වඩා මොවුන් සූක්ෂම වෙනවා .එය සඟවන්න උත්සහ ගන්නවා .
හත්වැනි තටාකය නැත්නම් හත්වැනි පියවර වෙද්දි මොවුන් දුරකථනයටත් ,රහසිගත හමුවීම් වලටත් වැඩි කාලයක් වෙන් කරද්දි ලෝකය ඔවුන් අතහැර බොහෝ දුර ගිහින් .රැකියාව ,දරුවො ,බිරිඳ ,,සැමියා ,සමාජය ,
අධ්යාපනය ,උසස්වීම් සියල්ල ඔවුන්ගෙන් ගිලිහෙද්දි තමාට ඇස් දෙකක් වුනත් ලෝකයට බොහෝ ඇස් ඇති හෙයින් මෙය තව දුරටත් රහසක් නොවී මෙය හෙළිවන තත්වයක් ඇති වෙනවා .කිසිදු පෙම් සබඳතාවක් රහසක් ලෙස තබා ගත නොහැක .එය නියත දහමකි.ඒ නිසයි ආදරයයි කැස්සයි හංගන්න බෑ කියන්නෙ .
අට වැනි තටාකය වෙද්දි කාලය ,මුදල් ,හොඳ නම ,දුයුණුව ,සාර්ථකත්වය , ගරුත්වය ඔවුන්ගෙන් ගිලිහී යාමත් සමඟ එක්කො මේ තටාකයේම ගිලිය යුතුයි .නැත්නම් ගොඩට ආ යුතුයි .බොහෝ දෙනෙක් ගොඩට එනවා .සමහරුන් තටාකයෙම ගිලෙනවා .
ඒකට තටාකය කියන්නෙ ඇයි .ආස වුනාට ඒක හදල තියෙන්නෙ වෙනම කෙනෙක් .අයිතිය තියෙන්නෙ එයාට .ඒක පාවිච්චි කරන්න වෙනම කාලයක් තියෙනවා .අපිට ඕන ඕන වෙලාවට යන්න බෑ නියමිත කාලයක් තියෙනවා .කාලෙ වැඩි වැඩි වෙන්න අය කිරීමත් වැඩී .එතනට යන්න වෙනම ඇඳුමක් ඕන.පාවිච්චිය නොමිලෙ දෙන්නෙ නෑ මුදල් ඕන .පාවිච්චි කරනව මිසක් කොච්චර ආස වුනත් ගෙදර අරන් යන්න බෑ .කලින් පාවිච්චි කරා වෙන්නත් පුළුවන් අපෙන් පස්සෙ කී දෙනෙක් පාවිච්චි කරයිද කියන්නත් බෑ .අනිවාර්යයෙන් විෂබීජ වයිරස් තියෙන්නම පුළුවන් .මේ හින්ද අසම්මතය තටාකයක් වුනාට ,
කැමති නම් ලොකු වියදමක් දරල ගෙදර වත්තෙ මිදුලෙ ඉඩ තියෙන විදියට තමන්ටම පූල් එකක් හදාගන්න පුළුවන් .
ගිලෙනවද ,ගොඩට එනවද ,තටාකයක් තමන්ටම කියල හදාගන්නවද ,තටාක අවශ්ය නෑ කියල හිතනවද තීරණය ඔබ සතුයි .
තටාක හඹා යන්නේ ඇයි ? එයින් ගිලී මැරෙන්නට ඉඩ නොදී ගොඩ ගත හැකිද සහ ගිලුනේ ඇයිද කියා සිතන්නට පුළුවන් නම් ගිලෙන්නට නොදී ගොඩගත හැකියි .
උපුටා ගැනීම: කාංචනා පෙතියාගොඩ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!