“අයියෝ අදත් නිදියලා ඉවරයි.”හිරන්ත කීවේ තරහෙන්.
නාන කාමරේ ඉඳලා තුවායෙන් කොණ්ඩෙ තෙත මාත්තු කරමින් එළියට ආව ලසිනි ඇස් ලොකු කරලා හිරන්ත දිහා බැලුවා.
“ඇයි!”
“අදත් පාටි එකක් වගේ!ඔය දැන්මම සාජ්ජෙ පටන් අරන් තියෙන්නෙ”හිරන්තගේ හඬේ නොරිස්සුම ලසිනිට තේරුනා.
“ආ! ඕක අලුත් දෙයක් යැ. අපි ජනෙල් දොරවල් හොඳට වහල නිදා ගමු.ජනෙල් දොරවල් හොඳට වහ ගත්තම සද්දෙ ඇහෙනව අඩුයි.”ලසිනි යාප්පුවෙන් කීවා.
හිරන්තගේ කෝපය නිවන්න එහෙම කීවට එහා ගෙදර පවුල ගැන ලසිනිගෙ හිතෙත් වැඩි මනාපයක් නෑ.
මෙච්චර කල් කුලියට ඉඳපු ලසිනිල තමංගෙම කියලා ගෙයක් හදාගෙන පදිංචියට ඇවිල්ලා තාම අවුරුද්ද යි. අමාරුවෙන් හම් බ කරපු සල්ලියෙන් පර්චස් දහයක් අරගෙන තට්ටු දෙකට මේ ගේ හදා ගත්තෙ දහදුක් විඳලා. ඇත්තම කීවොත් පලාතෙ නං කියන්න වරදක් නෑ.සාප්පුු කඩ පිල්,ළමයින්ට ඉස්කෝලෙ, වැඩට යන පහසුව…..මේ ඔක්කෝම හොඳයි.
ලසිනිට තියන එකම කරදරේ එහා ගෙදර සද්දෙයි ලාලනීගෙ කල්කිරියාවයි.
එහා ගෙදර සම්පුර්ණෙන්ම හදලා ඉවර කරලා නෑ.කෑලි දෙකයි කුස්සියයි.ඒක හදලා දීලා තියෙන්නෙත් පියරත්නගෙ අම්මා මැද පෙරදිග ගිහින් හම් බ කල සල්ලි වලින්. අවුරුදු පහලොවකට උඩහා පියරත්න ලාලනී කැඳවාගෙන ආවට පස්සෙ ගේ පුතාටම බාරදීලා පියරත්නගෙ අම්මා දෝණියන් දෑ එක්ක රත්නපුරේ පදිංචියට ගිහින්. ඒ කතාවත් ලසිනිට කීවෙ ලාලනීමයි.
“අනේ නංගියේ අවුරුදු පහලොවටම හදපු දෙයක් නං නෑ ඕං. අපි ආ හැටියටම ගේ තියනවා.” ලාලනී කියන්නෙ ඒක හරි ලොකු දෙයක් වගේ.
තාම තියෙන්නේ එදා ඉඳං තියන වල කක්කුසියමලු!
ඒක එහෙම වුණාට අනිත් දේවල් වලින්නම් ලාලනීලට අඩුවක් නෑ.වොෂින් මැෂින්, ලිප් හතරෙ ගෑස් ලිප, ළමයින්ට නා නා ප්රකාර සෙල්ලං බඩු…..
අලුතෙන් ගත්ත ටීවී එකම ලසිනිලාගේ ටීවී එක වගේ හතර ගුණයක්වත් ලොකු ඇති.
“පොඩි එකාගෙන් වදේ බෑ ලොකු ටීවී එකක් ගමු කියලා.” ලාලනී කීවෙ බොහෝම ආඩම්බ රෙන්.
පියරත්න වැඩ කරපු මූඩි කොම්පැණිය වහනකොට පියරත්නටත් සාදාරණ ගානක් හම්බ වුණාලු. ඒකෙන් තමා ටීවී එක අරගෙන තියෙන්නේ.
රස්සාව නැතුව රස්තියාදු ගහ ගහ ඉන්න හින් දා හිරන්ත පියරත්නට සිකුරිටි රස්සාවක් හොයලා දුන්නා. එපා කීවෙ! නිදි මරන්න බැරිලු! බිස්නස් එකක් පටන් ගන්නලු හිතන් ඉන්නේ…..
ඔන්න ඔහොම දවසක් ලාලනීත් රස්සාවක් හොයා දෙන්න පුලුවන් ද අහගෙන ආවා. ලසිනිත් වටේට කතා කරලා යාලුවෙකුගෙ මැහුම් ෆැක්ටරියක නුල් ගලවන රස්සාවක් හොයලා දුන්නා.ඉගනගෙන තියෙන්නෙත් අටේ පංතියට විතරයි. එයා හොයන්නේ බැංකු රස්සාවක්ලු!
ලසිනි පිටිපස්සෙ කෑල්ලට ගියොත් ලාලනීත් කොහෙන් හරි ඇවිල්ලා කොට තාප්පෙන් එබෙනවා.
ලසිනිගේ පිටිපස්ස කෑල්ල ගොවිපොළක් වගේ.රම්පෙ කරපිංචා පැල වලට අමතරව මිරිස්, බටු, තක්කාලි, පලා ජාති, කරවිල…..ඒ ඇරෙන්න කහ පඳුරු, ඉඟුරු පඳුරු…..ඒවත් තියනවා. පුංචි වුණත් හැම අස්සක් මුල්ලකම ලසිනි වගා කරලා. සිරියාවෙ බෑ.
ලසිනිලා පලාවක් එලවලුවක් කඩෙන් ගන්නෙ එහෙමත් වෙලාවක.ලාලනීගේ වත්ත ලසිනිලාගෙ වත්තට වඩා ලොකු වුණාට අඩුගානෙ මිරිස් පැලයක්වත් ඉන් දගෙන නෑ.
“නංගි වැඩ වගේ?”ලාලනී වත්ත පැත්තට බෙල්ල දික්කරගෙන අහනවා.
“හ්ම්! අක්ක වවන්නේ නැද්ද?”ලසිනි අහන්නේ මොකුත් නාහා බැරිකමට.
“මට ඕවා තනියම කරන්න වෙලා නෑ.”
“ඉතිං ළමයි අඬ ගහගන්න.” ලසිනි කියනවා.ලසිනිගේ ළමයි දෙන්නා නම් වත්තට බැස්සම ලසිනි එක්ක හරි හරියට වැඩ කරනවා.
“අනේ නංගියේ කොල්ලා අර ටැබ්බට්ද මොකක්ද එකෙන් ගේං ගහනවා නොවැ. ඌ ටැබ්බට් එකෙන් ගේං ගහනකොට බලං ඉන්න ආසයි. ඌ ඒකට දස්සයා!”ලාලනී බොහොම උජාරුවෙන් කියනවා.
දවස තිස්සෙම ‘ටැබ්ලට්’ එකේ ‘ගේම්’ ගහන එකේ ආදීනව ලාලනීට කියා දෙනවට වඩා කට ගලක උලා ගත්තානම් හොඳයි කියලා ලසිනි හිතනවා.
“අනික නංගියේ වවන්න ඔය හැටි මහන්සි වෙන්න ඕනෙද. ඔය කඩ පිලට ගියාම ඕනෙ දෙයක් ගන්න බැරියැ.”
ලාලනීගේ කට කතුර වගේ. කියවනවා….කියවනවා….කියවනවා….
අහල පහල ඕපාදූප…..ගමේ අයගෙ ඇදකුද…..ලාලනීටත් එපා දෙයක් නෑ.
අනේ මට වැඩක් කරගන්න දීලා මේ මනුස්සයා මෙතනින් යනවානම්! ලසිනි හිතනවා.
අද හවසත් ලාලනී තාප්පෙන් එබුණ හැටි ලසිනිට මතක් වුනා.
“අනේ නංගියේ මට ඔය කොටු මිරිස් කරල් දෙක තුනකුයි තක්කාලි ගෙඩියකුයි දෙනවද? අපේ එක්කෙනා කීරමී ගෙනල්ලා තිබුණා. කොටු මිරිසුයි, තක්කාලියි දාලා කීරමී හොද්ද හැදුවම පංකාදුයි. “
ලසිනි කිවුව ඉක්මණින් කොටු මිරිස් කරල් කීපෙකුයි තක්කාලි ගෙඩි කීපෙකුයි කඩලා දුන්නා.
“අනෙ අප්පේ….ඔය වම් බොටු ටික හොඳටම මෝරලා නොවැ. ඇයි කැඩුවෙ නැත්තේ? අපේ එක්කෙනා නං හරි ආසයි වම් බොටු මාලුවට.” ඒ සැරේ තවත් කතාවක්!
ලසිනි වම් බොටු ටික ඉතුරු කලේ සති අන්තෙ අම්මයි තාත්තයි එනවා කියලා තිබුණු හන් දා. ඒ වෙලාවෙම කඩලා ඉව්වම කොයි එළවලුවත් රහයි නොවැ. ලසිනි වම් බොටු කරල් දෙකක් කඩලා ලාලනීගේ අතේ තිබ්බා. මදි හරියට කරෝල කෑල්ලක් දාලා ඉතිරි කරල් දෙක අම්මලාට උයා දෙනවා.ලසිනි හිතා ගත්තා.
ලාලනීගේ පොඩි එකා රයන් අම්මාට එහා. හරියටම හිරන්ත වැඩ ඇරිලා එන වෙලාව අල්ලලා ලසිනිලෑ ගෙදර එනවා.හිරන්ත වැඩ ඇරිලා එනකොට දරුවන්ට කන්න මොනවා හරි ගේනවාමයි. සීනි බනිස්…ඉඟුරු විස්කෝතු……පැණි බූන්දි…….රයන් ඒවා දෙනකල්ම කැරකි කැරකි ඉන්නවා.
ඒක නම් ලසිනිට ගානක් නෑ. පොඩි දරුවෙක් නොවැ.ඒත් රයන් ආවහම ඩෙඟා නටනවා.කතා කරනවා නෙමේ බෙරිහන් දෙනවා.ගේ පුරා දුවනවා. පඩි පෙළේ ඉහළට පහළට දුවනවා.ලොකු දුව ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරන්න රයන් යනකල් බලාගෙන ඉන්නවා.
ලාලනීගේ බොරු පුරාජේරුව තමා ඉවසන්නම බැරි.
මල්ලී ඩුබායිලු. අක්කා ඉතාලියේලු. ඒ කාලෙ අතට පයට වැඩකාරයෝ හිටියලු. පවුලම මැලේසියාවට විනෝද ගමනක් යන්න අදහසක් තියනවාලු.ඔය ඔක්කෝම කියලා අන්තිමට කීයක් හරි ණයට ඉල්ල ගන්නවා.
අතේ සතේ නැතත් සාජ්ජ වලිං අඩුවකුත් නෑ.
ඉක්මණට ගෙවන්නං කියලා දැන් කී පාරක් ණයට ඉල්ල ගත්තද?ලසිනි හිතෙන් ගණන් හැදුවා. මගෙ අම්මේ දොළොස් දාස් තුන්සිය විස්සක්! කවදා ගෙවයිද මන් දා.
***************************************************************
“නංගියේ….නංගියේ….”ලසිනි නැගිට්ටෙ ලාලනී කතා කරන සද්දෙට.මදෑ සෙනසුරාදා හින් දා ටිකක් වැඩිපුර නිදාගන්න බැලුවා. ලසිනි නිදි ගැට කඩ කඩ ඇඳෙන් බැස්සා. බාග වෙලාවට මගේ සල්ලි දෙන්න හිතෙන්න ඇති! ලසිනිට හිතුනා.
ලසිනි එළියට යනකොට ලාලනී තාප්පෙ එල්ලීගෙන බලාගෙන ඉන්නවා.
” නංගියේ, ඊයෙ අපේ එක්කෙනාගෙ යාලුවෙක් හොඳ අදහසක් දුන්නා නොවැ.”ලාලනීගේ මූණ දිලිසෙනවා.
“අදහසක්?මොකක් ගැනද?”ලසිනි අන්දුන් කුන්දුන් වෙලා.
“නංගි පත්තර වලට ඒවට මේවට ලියනව නේද?”
“ඔව්!”
” නංගිට ලියන්න බැරිද අපි ගැන ලිපියක්.”
“ලිපියක්?”
“ඔව්. අපේ එක්කෙනාටත් තාම රස්සාවකුත් නෑනේ. පිංවන්තයින්ට අපේ ගේ හදලා දෙන්න කියන්න බැරිද? හොඳට ලිව්වොත් අපට උදව් ලැබෙන්න බැරි නෑ.” ලාලනී දිගටම කියවනවා.
කලන්තෙ දායි කියලා බයට ලසිනි තාප්පෙ හයියෙන් අල්ලා ගත්තා.
උපුටා ගැනීම: ශ්රීපාලි කොටුවැල්ල