අසරණ පූස් පැටව් සහ නපුරු වනජීවී පවුල (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම. හාහා පුරා කියලා මේ අවුරුද්දෙ දාන පලවෙනි කතාව.
මේක උනේ මම ඉස්කෝලෙ 6,7 වගේ වසරකදි. පොඩිකාලෙ ඉඳන් ම මම පූසන් ට මාරම ලව්. අපරාදෙ කියන්න බෑ පාරකදි දැක්කත් යන ගමන නවත්තලා ඌව හුරතල් කරලා, දුක සැප අහලා, අතේ තියෙන දෙයක් කන්නත් දීලා තමයි යන ගමනක් යන්නෙ.
දවසක් මම ඉස්කෝලෙ යද්දි එක තැනක පූස් පැටව් දෙන්නෙක්ව දාලා ගිහින් තිබුනා. මම ඉතින් එදා ඉඳන් දවස් 2,3ක් යනකන් හැමදාම උදේට හවසට උන් ගාවට ගිහින් කන්න බොන්න දීලා, හුරතල් කරලා තමයි ගෙදර යන්නෙ. ඒත් ඊලඟ දවසෙ මම ඉස්කෝලෙ යනගමන් ඒ පූස් පැටව් දෙන්නට කෑම දෙන්න බලද්දි උන් දෙන්නා පාර අයිනෙ මැරිලා හිටියෙ. දෙන්නවම වාහනේකට අහුවෙලා. එදා මම ඉස්කෝලෙ නොයා, අඬාගෙන ගෙදර ගියා. ඒ ෂොක් එක මට කාලයක් යනකන්ම තිබුනා. මොකද මට උන්ව බේරගන්න තිබුනා නේද කියන ගිල්ටි ගතිය මගේ හිතේ තිබුනා.
ඉතින් ඒ සිද්ධියෙන් පස්සෙ මම හිතාගත්තා කවදාවත් පූස් පැටියෙක් පාරක හිටියොත් උන්ව අතරමං කරලා දාලා එන්නෑ කියලා. එදා ඉඳන් පාරේ පූස් පැටියෙක් ඉන්නවා දැකපු ගමන් මම කරන්නෙ ඌව හොරෙන් උස්සන් ඇවිත් කාගෙ හරි වත්තකට හොරෙන් ගිහින් දාන එක. ඔය වැඩේ මම කාලයක් කරගෙන ගියා. පූස් පැටව් 7,8ක්ම එවගේ අනුන්ගෙ ගෙවල් වල බලෙන්ම පදිංචි කරා. අහු උනානම් ඉතින් මට එලව එලව ගහන්නෙ ඒ ගෙවල් වල මිනිස්සු.
ආහ්.. කියන්න අමතක උනානෙ. අපේ ගෙදර පූසෝ තුන්දෙනෙක් හිටපු නිසා අපේ ගෙදර ගේන්න බෑ. උන් තුන්දෙනත් මම එහෙම උස්සන් ආපු පූසො ම තමයි. ඉතින් තවත් එහෙම ගෙනාවනම් මාව ගෙදරින් පන්නන තත්වයක් තිබ්බෙ.
කොහොමහරි දවසක් මම ඉස්කෝලෙ යද්දි එක ගෙදරක බෝඩ් එකක් දැක්කා. ඒක කියවද්දි තමයි මම දැක්කෙ ඒ ගෙදර ඉන්න මාමා “වනජීවී නිලධාරී” කෙනෙක් කියලා. දැන් ඉතින් හරිනෙ.. ඔය තියෙන්නෙ මට ඕන කරන ප්ලේස් එක. එදා ඉඳන් මම කරන්නෙ පාර අයින් වල ඉන්න පූසෝ විතරක් නෙවෙයි, බලු පැටව් පවා ඒ ගෙදර ගේට්ටුව අස්සෙන් වත්තට ඇතුල් කරන එක. මම ඉතින් ඒක කරේ මගෙන් වෙන්න ඕන ජාතික යුතුකමක් විදියට.
මම හිතුවා මම ඒ කරන වැඩේ දැක්කොත් ඒ මාමා මට ස්තූති කරලා, තෑගි දීලා, මාව TV එකෙත් පෙන්නවයි කියලා. ඇත්තටම ඒ හේතුව නිසයි මම ඒ ගෙදර ට ඒ සත්තුන්ව හොරෙන් දැම්මෙ. TV එකේ පෙන්නද්දි ලැජ්ජයිනෙ. ඒ මාමා ඒ සත්තුන්ව දැක්කම සප්රයිස් වෙලා, සතුටින් ඒ සත්තුන්ව අරගෙන හදාගන්නවා ඇති කියලයි මම හිතුවෙ. ඇයි ඉතින් ‘වනජීවී’ නෙ.
ඔන්න ඉතින් එහෙම වික්රමයක් කරපු දවසකට පස්සෙ දවසෙ හවසක අපේ ගෙදර බෙල් එක වදින සද්දයක් ඇහුනා. අම්මයි තාත්තයි අක්කයි ඔක්කොම ගෙදර. මම දුවගෙන ගිහින් දොර ඇරියා. අනේ අර වනජීවි අංකලුයි, එයාගෙ නෝනයි. මම හිතුවෙ ඒ අංකලුයි, ඒ නැන්දයි මගේ වැඩේ දැකලා, මාව අගය කරන්න මට තෑගි අරන් ඇවිත් කියලා. මම හිනා උනා. එක පාරටම අර නැන්දා, “ආහ්… මේ ඉන්නෙ. මෙයා තමයි කෙනා. කෝ අම්මා නැද්ද.” කියලා රවලා ඇහුවා විතරයි මාව පස්සට විසික් උනා.
ඒ නැන්දගෙ සද්දෙට අම්මයි තාත්තයි දුවගෙන ආවා.
වනජීවි අංකල්-“මේ මිස්ටර්. ඔයාගෙ ලමයව හදාගන්න. අපේ ගෙදර සත්තුන්ගෙ අනාථ මඩමක් නෙවෙයිනෙ. තේරුනාද?”
තාත්තා -“හරි හරි. වාඩිවෙන්නකො. මොකක්ද ප්රශ්නෙ.”
වනජීවී නැන්දා- “ප්රශ්නෙ. ප්රශ්නෙ අහගන්න ඔයාගෙ දුවගෙන්.”
තාත්තා- “කෑ ගහන්නෙ නැතුව මට ප්රශ්නෙ පොඩ්ඩක් කියනවද?”
වනජීවී අංකල්- “මේකයි මිස්ටර්. පහුගිය මාස දෙකේ විතරක් අපේ වත්තට පූස් පැටව් 5 දෙනයි, බලු පැටව් තුන් දෙනෙකුයි කවුරුහරි ගෙනත් දාලා තිබ්බා. අපිට හොයාගන්න බැරුව හිටියෙ. ඒත් ඊයෙ අහු උනා. මේ ලමයා තමයි වැඩේ කරන්නෙ. අපේ ඉස්සරහා ගෙදර කෙනා දැකලා. අහලා බලන්න බොරුනම්.”
තාත්තා – “කේෂී. මෙහෙ එනවා. ඇත්තද මේ අංකල් කියන්නෙ?”
මම – “ඔව්. ඉතින් මේ අංකල් වනජිවී එකේනෙ. මම හිතුවා ඒ අංකල් ට ඒ සත්තුන්ව ඕන වෙනවා ඇති කියලා. ඒකයි ගිහින් දැම්මෙ.”
මම එහෙම කිව්ව ගමන් ඒ අංකල් ට නම් හිනා ගියා, ඒත් ඒ ඇන්ටි රවලා බලපු නිසා ඒ අංකල් හිනාව හංග ගත්තා කියලා මම හොඳටම දැක්කා.
“ආයිත් මේ වැඩේ වෙන්න බෑ මිස්ටර්. පොඩි ලමයෙක් නිසා සමාව දෙනවා. ඒත් ආයිත් මේ වැඩේ උනොත් අපි ඇත්තමයි ලීගලි ඇක්ෂන් එකක් ගන්නවා. ඔයාගෙ ලමයව හදාගන්න.” නපුරු ඇන්ටි පුටුවෙන් නැගිටලා අපෙ තාත්තට අන්තිම වෝනින් එකත් දුන්නා.
ඊටපස්සෙ අපේ අම්මයි තාත්තයි ඒ දෙන්නගෙන් නොසෑහෙන්න සමාව ඉල්ලලා, මාවත් ඒ දෙන්නට දනගස්සලා වන්ඳලා බලෙන්ම සමාව ඉල්ලවලා, ආයිත් එහෙම දෙයක් නොවෙන්න පොරොන්දු වෙලා ඒ දෙන්නව යැව්වා.
එදායින් පස්සෙ මම ඒ ගේ දිහා බැලුවෙවත් නෑ. එතනින් යද්දි උනත් දුවගෙන ගියේ.
ඉතින් ඔන්න ඔහොමයි මම පොඩි කාලෙම පටන් ගත්ත “අසරණයන්ට සෙවණක්” ව්යාපෘතිය, හිත් පිත් නැති නපුරු මිනිස්සුන්ගෙ වැඩ නිසා කඩාකප්පල් උනේ.
ඒත් අදටත් පාරක් අයින් සතෙක් ඉන්නවා දැක්කොත් කාගෙ හරි ගෙදරකට ගිහින් දාන්න ඕන කියලා හිතෙන කුප්ප සිතුවිල්ල මගේ හිතේ පහල වෙනවා.
එහෙනම්, ජයවේවා.
-කේෂි
උපුටා ගැනීම: Keshika Niwarthanie

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!