ඔන්න මේ කියන්න යන කාලේ මං ඉස්කෝලෙ යන්න පටන් අරන් බොහොම ටික දවසයි. අක්කයි මායි දෙන්නම ගියේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවට.. තාත්තා මාවත් අක්ක ඉස්කෝලෙ යන වෑන් එකේම යවන්න ගත්තේ එකේ ඇන්ටි හරිම පරිස්සමට අපිව බලාගත්තා අපේම අම්මා වගේ. ඒත් යන්න පටන් ගත්ත මුල් දවස් නිසා මං හරී අකමැතී ඉස්කොලේ යන්න. මොකද උදේ පාන්දර නැඟිටින්න වෙනවා. මගේ නිදහසට බාධාවක් නිසා මං අකමැත්තෙන් තමයි යන්න ගත්තේ. අක්කා නම් උදේ පාන්දර නැගිටලා හරිම උනන්දුවෙන් ලෑස්ති උනා. ඒත් මං.. අම්මා කෑම හදද්දී තාත්තා මාව ඇදෙන් බාලා මූන හොදන්න තල්ලු කරනව. මං ඉතින් බාත් රූම් එකට ගිහින් එතනත් පොඩ්ඩක් නිදාගන්නවා. පැයකට විතර පස්සේ තාත්තා දොරට තඩිබාන සද්දෙට ඇහැරලා ඉක්මනට එලියට ඇවිත් ලෑස්ති වෙනවා.ලෑස්ති වෙනවා කිව්වට මං කරන්නේ තාත්තට ඕනෙ විදියට කැරකෙන එක විතරයි. ගවුම අන්ඳලා ටයි එක දාලා කවන්න ගන්නකොට අම්මා ඇවිත් කොන්ඩෙ පීරනවා. ඊට පස්සෙ වඩාගෙන ගිහින් වෑන් එකට දානවා. එකට ගිහිල්ලත් අක්කට තුරුල් වෙලා කෑගල්ලට යනකන් මං දොයි. ආයේ ඉතින් ඇහෙරෙන්නේ ඉස්කෝලේ ලඟට ආවම. ඔන්න ඔහොමයි ඉතින් මං ඉස්කෝලෙ යන්න ගත්තේ.
ඔන්න ඉතින් ඔය කාලේ දවල්ට ඉස්කෝලෙදි කෑවම ආයේ කන්නේ ගෙදර ආවම. මට ඉතින් ඒ අතරමඟ බඩගිනී. මට ඉතින් සල්ලි ඉල්ලනත් බෑ ගෙදරින්. කඩ කෑම කන්න එපා කියල තාත්තා යද්දිම කීව නිසා. ඒත් මගෙ බඩගින්න. ඒකට මොකක් හරි කරන්නත් එපැයි.. ඔන්න ඔහොම යනකොට මට මතක් උනා මගෙ කැටේ. මං කැටේ වටේට පොඩ්ඩක් කපලා දවස ගානේ රුපියල් 5 ගානෙ අරන් ගිහින් මුරුක්කු කන්න ගත්තා. අක්කාව ශේප් කරගත්තා කාටවටත් කියන්නෙ නෑ කියලා.
ඔන්න ඔහොම දවස් දෙක තුනක් යනකොට අම්මට වැඩේ අහු උනා. ” චූටි පුතා මොකද මේ කැටේ සල්ලි අඩු. කවුද මේ කැටේ හිල් කරේ ” දැන් ඉතින් දීපල්ලකො උත්තර. ” අම්මේ බනින්න එපා අපේ ඉස්කෝලෙ ලඟ අසරන මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මං හැමදාම එයලට කන්න මොනව හරි ගන්න කියලා කීයක් හරි දෙනවා. ” අම්මෝ යාන්තම් බොරුවක් ගොතා ගත්තා. ” චුටී පුතා කරන වැඩේ හොඳයි..ඒත් මේ කැටෙන් අරන් යන එක වැරදීනේ. ඒක ඔයා ඉතුරු කරන එක. හෙට ඉඳන් මං හරි තාත්තා හරි දෙන්නම්..කැටෙන් ගන්න එක නවත්තන්න” අම්මෝ ඇතී යාන්තම් වැඩේ ශේප්.. ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ ඉදන් මට මුරුක්කු කන්න සල්ලි හම්බුනා..
මෙහෙම සතියක් විතර යනකොට දවසක් තාත්තා ආවා අපේ ඉස්කෝලේ සම්මන්ත්රණයක් කරන්න. ඒක ඉවර වෙලා අපිව එක්කන් යන්න තාත්තා හිටියා. මං ඉතින් ඉස්කෝලේ ඉවර උන ගමන් තාත්තා ලඟට දුවගෙන ගියා. ” චුටී පුතා කෝ අනේ ඔයා අර කියපු මිනිස්සු දෙන්නා? අද මං කීයක් හරි දෙන්නම්..” මල කෙලියයි. ” තා… තා.. තාත්තේ අ… අ..අද එයාලා නෑ…..ව.. වගේ.. ” වෙව්ල වෙව්ල කියද්දි තාත්තට වැඩේ තේරුනා. දැන් ඉතින් ඉවරයි. ගෙදර ගිහින් ප්රශ්න කරයි.. මං සද්ද නැතුව කාර් එකට නැඟලා ඇස් දෙක පියන් ආවා. කරුමෙට නින්ද යන්නෙත් නෑ බයට. ගෙදර ගිහින් හවස් වෙලා අම්මයි තාත්තයි දෙන්නම මාව කැදෙව්වා. ඉවරයි.. අක්කටත් උසාවියේ පෙනී සිටින්න උනා. ” චූටි පුතා ඇත්ත කියන්න ඔයා සල්ලි අරන් යන්නේ අසරන මිනිස්සුන්ට දෙන්න නෙමෙයි නේද.. මං දවස් ගානක් නෝට් කරා ඒ හරියේ එහෙම කවුරුවත් නෑ. ” අම්මෝ ඒ කියන්නේ තාත්තා කලින් ඉඳන් ඔත්තු බලලා. ” නෑ .. නෑ තා…තාත්තේ එහෙම දෙන්නෙක් ඉන්නවා. එයාලට කෑම නෑ. බඩගින්නේ ඉන්නෙ..” “කවුද ඒ දෙන්නා. කොහෙද ඉන්නේ.” අම්ම අහුවෙ සැරෙන් වගේ. බොරු කියලා තේරුමක් නෑනේ තවත්.. ” අම්මේ මේ ඉන්නේ ඒ අසරණයො දෙන්නා.. ” මං හීමීට කීවා. “කෝ කොහෙද..” “අම්මේ ඒ අසරනයෝ දෙන්නා අපි දෙන්නා. අපිට ගෙදර එනකන් බඩගිනි නිසා අපි මුරුක්කු කන්න සල්ලි ගත්තේ.”අම්මයි තාත්තයි මූනෙන් මූන බලන් හිනා වෙනවා. ” අනේ අනේ මෙහෙම අසරනයෝ දෙන්නෙක්.. ඕක කලින් කියන්න එපැයි.. මං ලොකූට සල්ලි දෙන්නේ නංගිටත් එක්ක මොනවා හරි අරන් දෙන්නනේ. ” ඒ කියන්නේ තාත්තා මටත් අරන් දෙන්න කියලා අක්කට සල්ලි දෙනවා මේයා ඒක මාටියා ගහනවා. ” හරි හරි හෙට ඉදන් අක්කට නංගිට වෙනම සල්ලි දෙන්නම් මොනවා හරි කන්න. හැබැයි පොරොන්දු වෙන්න ඕනේ අයේ බොරු කරන්නවත් කැටෙන් ගන්නෙවත් නෑ කියලා.” තාත්තා ඒම කීවෙ ටිකක් සැරෙන් වගේ. ඒත් ඒ මූනෙ හිනාවක් ඒ නිසා ඒදා ඉදන් බොරු නොකියා ඉන්න මං තීරනේ කරා.
එදා ඉදන් අක්කටයි මටයි මොනවා හරි කන්න කියල තාත්තා සල්ලි දුන්නා. අනේ ඉතින් අර අසරනයෝ දෙන්නා ආයේ අසරන උනේ නෑ. වෑන් එකට නැග්ග වෙලේ ඉඳන් බහිනකම් අඹර අඹර එන්න මොනවා හරි කකා අපි දෙන්නා ආවේ. අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ ඉස්කෝලෙන් අස් වෙනකම් ඒ පුරුද්ද එහෙම්මම තිබ්බා..
උපුටා ගැනීම: ~ සඳමාධවී විජේරත්න ~