ආශ්චර්යයක්…… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එය එක්සත් ජනපදයේ පිටිසර බද පිහිටි කුඩා නගරයකි. ලස්සන දවසකට හිරු පායා තිබූ අතර තවත් දවසක මෙහෙයන් ඉටුකිරීමට හැමෝම පිබිදී සූදානම්ව වැඩි වේලාවක් ඉක්ම ගොස් තිබුනේ නැත.
මෙවෙලේ නගරයේ තිබූ ෆාමසියට ඇතුළු වූයේ කුඩා කොලු පැටියෙකි.
සුබ උදෑසනක් මහත්මයා….කොලු පැටියා ෆාමසියේ හිමිකරුට සුභ පැතුවේ කලබලයෙනි. තාමත් තදින් හුස්ම ගන්නා ඔහු හති දමයි.
මේ ලස්සන උදේ ඔයාට මොනවද ඕන පුංචි කොලුවෝ…කඩහිමියා විමසා සිටියේ ඔහුගේ පැමිණීමේ යම් අමුත්තක් දුටු නිසාවෙනි.
අනේ මහත්තයා…මට ආශ්චර්යයක් ඕනේ. ඒවා මේ කඩේ තියෙනවද?
මොකක්ද කිව්වේ? ආශ්චර්යයක්..?
අනේ ඔව්. මට කොහොමහරි ඒකක් ඕන.
ඇයි ඒවා මෙහෙ නැද්ද?
ආශ්චර්යයක්?? අනේ දෙයියනේ කවුරු හරි පුතාට කීවාද ඒවා මෙහෙ තියෙනවා කියලා.
මේක බෙහෙත් තියෙන තැනක් නේද? ඉතින් මෙතැන ඒකත් ඇතිනේ. මට මල්ලිව සනීප කර ගන්න ඕන කොහොමහරි…
මේ කතාබහ එතැන් සිටිය තවත් අමුත්තෙකුට ඇහුනා. ඔහු දරුවා ළඟට ආවා.
ඔව් පුතා ආශ්චර්යයක් තියෙනවා… ඔහු කීවා. හැබැයි ගොඩක් වටිනවා. කවුද පුතාට කීවේ මල්ලිට ඕන ආශ්චර්යයක් කියලා.
මල්ලිට ඊයේ රෑ හොඳටම අසනීප වුණා. අම්මා අඬ අඬා මල්ලි ලඟ හිටියා. අන්තිම බේත් උගුරත් පොවලා තාත්තා තමයි කීවේ…දැන් ඉතින් මේ දරුවා සනීප වුනොත් ඒ නම් ආශ්චර්යයකින් විතරයි..කියලා. අනේ අන්කල්… මගේ ලඟ සල්ලිත් තියෙනවා. මට ඒකක් දෙන්න… දරුවා උත්තර දුන්නා.
පුතාට සල්ලි කොහෙන්ද?
මට තාත්තා කැටයක් ගෙනත් දීලා තිබුණා. මම ඒක බිඳලා සල්ලි ගත්තා. අපේ තාත්තා ලඟ දැන් සල්ලිත් නෑ කීවා. මේ සල්ලි ගන්න. අනේ මට එකම එක ආශ්චර්යයක් විතරක් දෙන්න.
කෝ දෙන්න මට සල්ලි…අමුත්තා කිව්වා.
ඔහු අමුත්තා අත, මිටි කරගෙන හිටි කාසි ටික තැබුවා. එතන ඩොලර් එකකුත් ශත එකොලහයි තිබුණේ.
පුතා. ආශ්චර්යයක් ගන්න මේ සල්ලි හොඳටම ඇති. හැබැයි මට දැනගන්න ඕන පුතාගේ මල්ලිට ඕන මොන වගේ ආශ්චර්යයක් ද කියලා. අපි යමු ගෙදර. ගිහින් මල්ලිව බලමු.
මේ අමුත්තා දරුවාගේ ගෙදරට ගිහින් රෝගී දරුවා පරීක්ෂා කළා. ඔහුගේ තත්වය බරපතල බැවින් වහාම රෝහල්ගත කරන්න පියවර ගත්තා. ඔහුට තිබුනේ ස්නායු ආබාධයක්. ශල්යකර්ම ගණනාවකට පසු ඔහු සුවපත් වෙලා නැවත වරක් ගෙදර ආවා.
අවුරුදු ගණනාවක් ගිහින් දැනුම් තේරුම් ඇති වයසට එන තෙක් මේ දරුවා හිතාගෙන හිටියේ ඔහුගේ මල්ලි සුවපත් වුනේ ඔහුගේ කැටය කඩා ගත් මුදලින් බවයි. නමුත් ඒ සිල්ලර කාසි කීපයකට ඔහුට ඔහුගේ සහෝදරයා ගේ ජීවිතය රැක ගැනීමට හැකි වෙලා තිබුණා.
එදා ඔහුගේ පිහිටට පැමිණි අමුත්තා එවකට හිටි කීර්තිමත් ශල්ය වෛද්ය වරයෙක්.
ඔහු ආශ්චර්යයක් වගේ එතැනට පැමිණි නිසා මෙවන් ආශ්චර්යයක් අහන්න අපිටත් හැකි වුනා.
ආදරණීය හැඟීමක වටිනාකමත් ජීවිතයක වටිනාකමත් කීයද?
(සත්ය කතාවක් ඇසුරෙනි.).
උපුටා ගැනීම: Renuka Illangakoon

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!