අස්කිරීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ටක්කර ටක්කං ටොක්කර ටොක්කං..” අඩෙ අප්පා මගෙ ෆෝන් එක බෙරිහන් දෙනවා. කාටද දන්නෙ නෑ බොලේ මාව මතක් වෙලා. මොකද මගෙ ෆෝන් එකට මෙලෝ යකෙක් කතා කරන්නේ නෑ. කතා කලත් ඒක දාපු තැනකින් හොයා ගන්න කොට කෝල් කරපු එකා දෙතුන් පාරක්ම අරගෙන බැරිම තැන අපේ මහත්තැන්ගෙ ෆෝන් එකට අරගෙන කාරණාව කියලත් ඉවරය.
“පුතේ..පුතේ.. මගෙ ෆෝන් එක කොහෙද ?…කොහෙද?.. ” “හොයන්න..හොයන්න.. “
පොඩි එවුන් දෙන්නාත් ගේ පෙරලා ගෙන සද්දෙ එන තැන සොයයි.
“හම්බුනා ..හම්බුනා…”
අපේ චූටි කොලුවා සමයන් පුංචා පුටු කොට්ටයක් අස්සේ තිබිලා හොයාගෙන එනවා.
“හෙලෝව්.. ආ.. කොහොමද අනේ..ඔව් ඔව් හොඳින් ඉන්නවා. ඉතින් ඉතින්..
ඈ.. ඔයාලා හෙට මෙහෙ එනවා.. ආනේ කොච්චර දෙයක්ද අපි හැමෝම හරි පාළුවෙන් හිටියේ..එන්න එන්න. අපි මඟ බලාගෙන ඉන්නවා… හරි .. බායි.”
“ඇයි අම්මේ..”
“කවුද කතා කලේ.. “
“කවුද හෙට එන්නේ..”
මා කියන දේවල් වලට අවධානය දී සිටි අක්කා පැංචි ප්රශ්න පත්තරය දිග හැරියාය.
“ඔන්න ඔයාලගෙ නැන්දා එනවා කිවුවා” උත්තර බලාපොරොත්තුවෙන් සිටි මහදැනමුත්තාටත් ඇහෙන්න කිවුවා.
අම්මෝ නැන්දලා කියන්නෙ ඉතින් දන්නවානෙ. ඕපා දූප මළු.
හ්ම්..දැන් ඉතින් ගේ අස්කිරීම ප්රථම රාජකාරිය කරගැනීමට සිදුවේ.
“මේ හෝම් රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී අම්මා, ජූනියර් සෙබල අක්කා සහ මල්ලී වහාම සේවයට වාර්ථා කරන්න!”
වම දකුන වම , වම දකුන වම නව..තින්!
(සැලියුට්)
“හෙට දිනය ඇතුලත මෙම රෙජිමේන්තුවට මිසයිලයක් කඩා වැටීමට නියමිතයි. එම නිසා මිසයිලය පිලිගැනීම සඳහා වහාම අස්කිරීමේ මෙහෙයුම දියත් කල යුතුයි.”
“මිසයිලයක් කියන්නේ මොකක්ද?” පොඩි සොල්දාදුවා විමසයි.
“ඒක හරිම බය හිතෙන වස්තුවක්. විස්තර මේ හදිසි අවස්තාවෙන් පසුව”
“ඔබේ අණ පිලිගන්නවා උතුමාණනී””
“සෙබල අක්කා! වහාම තමන්ගේ පොත් මේසය පොත් කබඩ් එක අස්කිරීම අරඹන්න”
“හොඳමයි උතුමාණනී” (සැලියුට් )
“සෙබල මල්ලි නොහොත් සමයන් පුංචා !
වහාම හැමතැනම දාලා තියෙන සෙල්ලම් බඩු එකතු කරන්න”
“හොඳමයි උතුමාණනී”(සැලියුට්)
“දැන් අමතන්නේ සේනාධිපති තුමාවයි.
වහාම ඔබතුමාගේ ලට්ට ලොට්ට ඉවත් කරගෙන මාගේ කෑම මේසය ආපසු ලබා දෙනවා නම් හොඳයි.”(සැලියුට් )
සෙනාධිපති නොහොත් මහදැනමුත්තා නොහොත් හෝම් රෙජිමේන්තුවේ තාත්තා හිමින් සීරුවේ මේසය ලඟට ඇදී ගියේය.
දැන් කොහෙන්ද පටන් ගන්නේ..බිම?
හැමදාම බිම අතුගාලා සුද්ද කරන නිසා අවුලක් නැත. එතකොට උඩ? අප්පටසිරි.
දැකුළු මල් උයන් නෙවෙයි වියන් පිරිලා.
ඒ මදිවට ස්පයිඩෙර් මෑන්ස්ලා කුලියක් ගෙවන්නේ නැතුවම බෝඩ් වෙලා. මුන්ව එලවන්න හොඳම බෙහෙත තමයි කැප්පෙට්ටියා කොළ. බූවතියෙන කැප්පෙට්ටියා අත්තක් ගත්තම දුවන්නෙ පස්ස නොබලා. දැකුලු මල් වත්තම සුද්ද කරලා ඉවර වෙනකනුත් මහදැනමුත්තා කළේ මේසය දිහා බලාගෙන කල්පනා කරන එක.
“මොකෝ?”
“නෑ.. මං මේ බැලුවේ කාගෙ බඩුද මෙච්චර මේ මේසෙ උඩ ගොඩගහලා තියෙන්නෙ කියලා..”
වෙන ගෙවල් වල කෑම මේස වගේ නෙවෙයි අපේ ගෙදර කෑම මේසය. ලැප්ටොප් එක, ඔෆිස් ගෙනියන බෑග්, ෆෝන්, පොත්, ලියුම්, බිල් වර්ග, පෑන්, පැන්සල්, නට්, මුරිච්චි, අඬු, නියන්..ආ තව හෝදපු නැති තේ කෝප්පෙ ඇතුළු මෙකී නොකී දෑ බොහොමයක් මේ මේසය උඩින් සොයා ගත හැක. ඒ හැම දේකම අයිතිකරු එක්කෙනාමය. ඒ විතරක් යැ මේසෙ රෙද්දෙ හැලිච්ච තේ කෝපි පැල්ලම් , පෑන් පැන්සල් වලින් ඇඳපු බලි කුරුටු, චොකලට් වලින් තියපු ඇඟිලි සලකුණු හොදි පැල්ලම් හා පාට කූරු වලින් වර්ණ ගන්වන ලද වාටියකින්ද අලංකාර කොට ඇත. එය සේදීමට දිය යුත්තේ නරියව අපුල්ලපු රෙදි නැන්දාටමය.
තවමත් අයිතිකරු සොයා ගත නොහැකි වූ නිසා මේසය උඩ ඇති සියල්ල අතින් කටින් ඔසවා ගෙන යද්දී සමයන් පුංචාගේ ඩෝසරයක් පෑගී හතර ගාතෙන් නොගොස් බේරුණේ මහදැනමුත්තාගේ ජිම්නාස්ටික් හැකියාවට පින් සිදුවන්නටය.
ගෙදර පුටු ඔක්කොම හොඳට රෙදි පොරවාගෙන නිදි. එකතු කර ගත්තා රෙදි ටික, ඔක්කොම නවලා එබුවා අල්මාරියට. ජපන් කාරයෝ එක්ස්ප්රස් ට්රේන් එකට මිනුස්සු පුරවලා ඔබලා ඔබලා හිර කරලා දොරවල් වහනවා වගේ තමයි මාත් අල්මාරියේ දොර වහ ගත්තේ.
දැන් ඊලඟට බාත් රූම් එක. ගෑණුන්ට කොහේ හරි ගියාම නොගිහින්ම බැරි තැනනෙ. අන්තිමට කාමර ටික සුද්දකරා. කවුරුත් තවම පදිංචි නොවූ කාමරේක බැට් මෑන් කෙනෙක් අනවසරයෙන් පදිංචි වෙලා. කොස්සක් අරන් උන්දැවත් එලෙවුවා.
සමයන් පුංචා බැරි බැරි ගාතෙන් සෙල්ලම් බඩු ඔක්කොම පෙට්ටියකට දාලා. අක්කා පැංචී කුස්සියත් අස්කරලා.
මහදැනමුත්තා ලස්සන මේස රෙද්දකුත් දාලා මල් වාස් එකකුත් තියලා හැඩ බලනවා.
“ඔය මේසෙට බඩු දාන කෙනා තාම සොයා ගන්න බැරි උනානේ..”
“අද ඉඳන් වත් මේක හැඩි කරන එක නවත්තන්න ඕනා” මහදැනමුත්තා ඔලුව කස කස සිනා වෙමින් කියයි.
ඔහු ඔය කතාව මේසය අස් කල හැම වතාවේම කියා ඇත. ඒ කියුම් වලංගු වන්නේ ඔෆිස් ගොස් පැමිණෙන තුරු පමණි.
අස්කල පසු කිරි කිරි ටොයියා වගේ දිලිසෙන අපේ ගෙදර ඔය ලෙස තිබෙන්නේ අමුත්තෝ පිටව යන මොහොත වෙන තෙක් පමණි. ඉන්පසු හැමෝම සිත් සේ ගේ හැඩි කරති. ඒ නිසා මිත්රවරුනි අපේ ගෙදර එනවා නම් දවසකට කලින් වත් දැනුම් දීමට කාරුණික වන්න හොඳේ…
උපුටා ගැනීම: Nilwala Athapattu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!