අපේ බාප්පයි පුංචියි කාලයක් හිටියේ ජපානේ මලයා ඉපදුනෙත් එහෙදි. ටික කාලයකට පස්සේ කට්ටියම ගම රට ඇවිත්.
ඔන්න ඉතින් දවසක් පොඩි එකාව අපට දාලා ජෝඩුව යනවා කොලබ රටට, අපිත් අවුරුදු 3-4 විතර ඇති බබාව බලාගන්න එකග වුනා, ඒක ඉතින් ලොකු වගකීමක් මොකද මේකා එතකොට කතා කරන්නේ ජපන් විතරයි. ඌට ජපන් පුලුවන් සිංහල බැහැ , අපට සිංහල පුලුවන් ජපන් බැහැ . තේරෙනවනේ ලත් තැනම ලොප් කිව්වා වගේ වැඩේ හිතුවට වඩා අමාරුයි. අමාරුයි කියලා අපේ මවුයානය යනවද පස්සට ,රොකට් එක වගේ එයා ඉදිරියටම විතරයි.
ඉදිරියට යව් හෙලයිනි ඉදිරියටම යව් කියන වීර සිංහල පුරං අප්පු පරම්පරාවේ දියනියක්. පැනලා කියපි දරුවව ගෙනත් දාන්න මම බලාගන්නම් කියලා, එයා බාර ගත්තට සෙල්ලම් කරන්න වෙන්නේ අපටනේ, මගෙයි අයියගෙයි ඇගේ ලේ රත්වෙලා , කෙල හිදිලා ගියා. අපි නහයෙන් ඇඩුවා කියලා පලක් වෙද අපේ අම්මා ඔක්කොම වැඩ පැත්තට දාලා පොඩි එකා එක්ක සෙල්ලම් කරයි. අපට කන්න වෙන්නේ හුලං තමයි . ඉගුරු බිස්කට් පැකට් එකක්ම කාලා මුඩ් ෆික්ස් කර ගත්තා . හිතත් හදා ගත්තා.
උදේ හත වෙනකොට කුකුලත් ඇහැරවගෙන පොඩි මෑන් අපේ ගෙදර, අපිත් ඉතින් පිට සක්වල ජීවියෙක් දැක්කා වගේ වටේ කරකැවෙනවා. අවුලක්ම නැහැ පොඩි එකා හිනාවෙනවා, කතා කරනවා අත පය වනනවා, කියන දේවල් තමයි මෙලොවක් තේරෙන්නේ නැත්තේ, පුංචියි බාප්පයි ටික වෙලාවක් අපිත් එක්ක සෙල්ලම් කර කර ඉදලා හෙමින් සැරේ මග ඇරලා ගියා. පොඩි මෑන්ට දැන් ගානක්වත් නැහැ. අම්මත් සැරින් සැරේ ඇවිත් අපි සෙල්ලම් කරනවා බලබලා යනවා. මුනේ පොඩි අඩෙම්බර හිනාවකුත් තියනවා හරියටම ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව හොයා ගත්ත වෙලේ මුනේ තිබ්බ හිනාවම මුනේ තියනවා, සතුට කට කපලා එකයි. නරකමත් නැහැ වැඩේ භාෂාව අවුල් වුනාට සෙල්ලම නැගලා යනවා, මොකෝ අත පය තියෙන්නේ , කතා කරන්න භාෂාවක් ඕනමද? ඔය මොකුත් තේරෙන්නේ නැතුව තේරෙනවා වගේ හින්දි ෆිල්ම් බලලාම දැන් අපිත් ඉන්දියාවේ වගේ හින්දි තේරෙන්නේ.
ඔය අතරේ ආකිමෙඩිස් වගේ මාත් හොයා ගත්තා සොයා ගැනීමක් පොඩි එකාට මොනවා හරි දෙනකොට දෙකට නැමෙනවා නැමිල්ලක්” අරිගතෝ ගොසයි මස්” වගේ දෙයක් කිය කිය. පස්සේ සොයා ගත්තේ ඒ කියන්නේ ස්තුතියි කියන එක. අයියට ඔනිච්චාන් මට මොනවා කිව්වද මතක නැහැ . අපි ඉතින් මල් ,කොල එක එක ඒවා ගෙනත් දෙනවා කොල්ලා නැවෙනවා දිග ඇරෙනවා නැවෙනවා…..
මරු වැඩේ .. හොද සෙල්ලම
ඒ නැමිච්ච විදිහට කොල්ලගේ කොන්ද අද ඉතිරි වෙලා තියන එකත් පුදුමයක්. ඔන්න ඉතින් අපේ අම්මත් සැරෙන් සැරේට එබෙනවා හරියට ඩයනා කුමරිය පස්සේ පැපරාසි ගියා වගේ. අම්මා ඉතින් අපිට බැනලා කොල්ලගේ කොන්ද අතගාලා අපට කිව්වා මිදුලට ගිහින් සෙල්ලම් කරන්න කියලා.
හොදම හරිය එලිවෙන ජාමෙට කිව්වා වගේ අපි එලියේ සෙල්ලම් කරනකොට පොඩි එකා ඈතට අත දික් කර කර අසෝකෝ අසෝකෝ කියනවා. දැන් අපට කන්ට්‍රෝල් කරන්නම බැහැ . අන්තිමට දුවගෙන ගියා නිසිබලධරයා සොයාගෙන , නිසි බලධරයා තියා කාටවත් වලංගු නැහැ හරියට ස්වේත්රධාරියා පිටුපස සෙන්කෝලය ගන්න දුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ වගේ. අම්මා වඩා ගත්තහම තවත් දගලනවා අසෝකෝ අසෝකෝ කිය කිය.
අම්මා බැලුවා අත දිග්කරන දිහා ආච්චිලගෙ ගෙවල් පැත්තට එහෙ ඉන්නේ ආච්චියි, පොඩි නැන්දයි මාමායි. නැන්දගේ නම අසෝකා. පොඩි ලමයි නැන්දට කැමතියි හුරතල් කරන , රට සෙල්ලම්බඩු දෙන නිසා. ශර්ලොක් හෝම්ස්ගේ යාළුවා වොට්සන් වෙලා අම්මා තීරණය කරලා අපට නියෝග කලා මල්ලි කියන්නේ අසෝකා නැන්දලගේ ගෙදර යාමට අවශ්‍ය බව. අපිත් ඉතින් චීනය කියන දේ අහන අපේ ජනාධිපතිවරු වගේ පිලිගත්තා ඒක. පොඩි එකා ජපන් ංභාෂාවෙන් මොන මොන වද කියනකොට අපේ අම්මත් මෙහෙම කිව්වා.
” අසෝකා නැන්දා වැඩට ගිහින්නේ පුතේ එයා එන්නේ හවසට දැන් ගෙදර කවුරුවත් නැහැ , අම්මයි තාත්තයි කොලබ ගියානේ හවසට එයි. ආවහම අපි අසෝකා නැන්දා බලන්න යමු. පුතා අසෝකා නැන්දට ගොඩක් ආදරෙයි ද?”
පොඩි එකාත් මොන මොනවද කියවලා දගලලා මහන්සියටම නිශ්ශබ්ද වුනා.
තත්පරෙන් තප්පරේ….
විනාඩියෙන් විනාඩිය…..
පැයෙන් පැය ගිහින් සවස පහට විතර කොලබ ගිය බාප්පයි පුංචියි ආවා. කොලුවා ආපහු දගලන්න ගත්තා අසෝකෝ අසෝකෝ කියලා.
අම්මා බාප්පට කියනවා
” අනේ මලිලි දවලුත් අසෝකා නැන්දව බලන්න යන්න ඕනා කියලා පුතා ඇඩුවා මම හරිම අමාරුවෙන් නලව ගත්තේ, යන ගමන් එහෙට ගොඩවැදිලා යන්න”
” නෑ අක්කේ අසෝකෝ කියන්නේ අරහේ කියන එක”
බාප්පා කිව්වේ මල්ලිව වඩාගෙන බල්බ් දාලා වගේ තියන ලොවි ගහ පැත්තට එක්කගෙන යන ගමන්.
ලොවි ගහ දිහා බල බල කොල්ලා සතුටින් හිනා වුනේ මුන්ට පිස්සු කියලා හිතන ගමන් වෙන්න ඇති.
උපුටා ගැනීම: කුමරිනි මලලසේකර