ඇසූ දුටු දේ……රහස් රැකීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්ධිය වුනේ මීට මාස දෙකකට උඩදි .එක්තරා තරුණියක් ඇගේ හොදම යෙහෙළියයැයි පවසා තවත් එවැනිම තරුණියක් එක්ක මාව හමුවෙන්න ආවා .
“මේ මගෙ හොඳම යාළුවා .මෙයාට ටිකක් කරදරයි .මන් අද නිවාඩු දාල ආවෙ එයා මානසිකව වැටිල ඉන්නෙ අනේ මිස් එයාට කියන්න බොරුවට හරි එයාට හොඳ අනාගතයක් තියෙනවා .මේ කරදර ඉක්මනින් ඉවර වෙනවා කියල හොඳ දේවල්ම කියන්න .නැත්නම් දැන් එයා සුයිසයිඩ් කරගන්න තරම් තත්වෙක ඉන්නෙ .” ඒ යෙහෙළියට නෑසෙන්නට ඇය මට කිව්ව .
ඇත්තටම ඇයට ඕන වුනේ තමන්ගෙ යෙහෙළියගේ මානසික තත්වය හොඳ අතට ගන්න සහ අංකවම ඇයට උදව් කරන්න .
“එයා රස්සාවක් කරන්නෙ නෑ මිස් ගෙදර ඉන්නෙ .ඉතින් දවස තිස්සෙම තනියෙන් ඉන්නෙ .බෝයිෆ්රෙන්ඩ් මෙයා එක්ක තරහ වෙලා .දැන් එයාට ඒක දරාගන්න බෑ .මම එයාට ජොබ් එකක් හොයල දුන්න .ඒකට යන්න කැමතිත් නෑ .අනේ මිස් ඒක නැතත් කමක් නෑ ඕක නැති වුනත් හොඳ විවාහයක් වෙනවා අනාගතේ සාර්ථක වෙනව කියල කියන්න .”
මමනම් හුඟක් වෙලාවට මානසිකව වට්ටන කතා කියන්නෙ නෑ .ඒත් පවතින තත්වය ගැන ඇත්ත කිව යුතු වුනත් ඇය කල ඉල්ලීමට අනුව ඇයට බොහෝ ධනාත්මක දේ කියාදෙමින් ඇගේ සිත සුවපත් කරන්නට යෙහෙළියත් මාත් දැඩි උත්සහයක් ගත්ත වගේම එය සාර්ථක වුනා .
නැවත වරක් යෙහෙළිය නැතුව ඇය තනිවම ආවා .තමා දැන් රැකියාවක් කරන බවත් .අර යෙහෙළිය එය සොයා දුන් බවත් ඇගේ මිතුරෙක් හදුන්වාදීමෙන් පසු දෙදෙනා අතර ප්රේම සම්බන්ධයක් පවතින බවත් තමා සතුටින් ඉන්නා බවත් කියා හිටිය .
“ඔයාගෙ යාළුවා හරි හොඳයි .එයා ඔයාට ගොඩක් ආදරෙයි .ඒ වගේ කෙනෙක් නැති කරගන්න එපා .එයා නිසානෙ ඔයාට ඔය තත්වෙ උදා වුනේ ” කියල මම කිව්ව .
“අපෝ නෑ මිස් එයා මට අනිවාර්යයෙන් උදව් කරන්නම ඕන .මම නැත්තන් එයා ඉවරයි .එයාගෙ හැමදේම දන්නෙ මම .මිස් දන්නෙ නෑ එයා ඔහොම හිටියට හරි අම්මන්ඩි කෙනෙක් පස් දෙනෙක් එක්ක යාළු වෙලා හිටිය .දැන් ඔය බැඳල ඉන්නෙ පස් වෙනිය .වෙන්න ඕන ඔක්කොම වෙලා තිබ්බෙ .මේ කොල්ල රැවටුනා ඒ ගෑනිට වහ වැටිල වගේ ඌ ඉන්නෙ .” කියාගෙන කියාගෙන ගියා .
“එයාගෙ අතීතෙන් නම් මට වැඩක් නෑ .මන් කිව්වෙ එයා ඔයාට හොඳ යාළුවෙක්
කියල “
“ඒ කපටි කමට දන්නවනෙ මම අවුස්ස ගත්තොත් රස්සාව කරන තැනට ගිහින් හරි ඒක දෙකක් කරනවා කියල .ඒ හින්ද මාව ශේප් එකේ තියන් ඉන්නවා අනික එයාට ඉන්නෙ මන් විතරයි .එයා ලස්සනයි කියල එයා හිතන් ඉන්නෙ ඒ හින්ද හරි උඩඟුයි ඔෆිස් එකේ කවුරුත් එයා එක්ක වැඩිය නෑ මන් නැතුව එයාට මොකවත් කරගන්න බෑ ඒකයි ඔය .”
” එහෙම රස්සාව කරන තැනට ගිහින් ඒක දෙකක් කරල එයාට අවමන් කරාම ඔයාට ලැබෙන දෙයක් තියෙනවද ” මම ඇහුවා .ඇය උත්තර නොදී බිම බලා ගත්ත .
“එයා ඔයාට වරදක් කරල තියෙනවද ” මම අයෙත් ඇහුව .
“නෑ එහෙමනම් නෑ “
” ඔයා එයාගෙ හැම රහසම දැනගෙන ඒක තැන තැන කියනවනම් ඒක ඔයා කරන ලොකු වැරැද්දක් .එයා එයාගෙ අතීතය අමතක කරල සතුටින් ඉන්නවනම් ඒක එයාගෙ දක්ෂකම .එයා සතුටින් ඉන්න අතරෙ ඔයාට උදව් කරනවනම් ඒක එයාගෙ ගුණයහපත් කම .එයා ඔයාට බයේ උදව් කරනව කියල හිතනවනම් ඒක ඔයාගෙ මෝඩකම . රස්සාවක් කරන එයාට ඔයා නැතුව මොකවත් කරගන්න බැ කියල හිතන එක ඔයාගෙ අනවබෝධය , එයා තරහ උන දවසට එයාට අපහාස කරල එයාගෙ රස්සාවත් නැති කරල හිතනවනම් ඒක ඔයාගෙ ඉරිසියාව ,කුහකකම, පළි ගැනීම, ද්වේශය ,වෛරය .” මන් කිව්වම මාත් එක්කත් තරහ වෙලා යන්න ගියා .මොන කරුමෙද මන්ද මටත් ඉතින් කට පියාගෙන ඉන්න බෑ .කියන දේ කෙළින් කියල හැමදාම කරේ වැරැද්දක්ද මන්දා ?
……….කාංචනා පෙතියාගොඩ …….
උපුටා ගැනීම:  Kanchana Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!