“අපි දෙන්නෙගේ වෙඩින් එකේ හැමදෙයමක්ම ලස්සනටම උනා නේද සංඛ. අපි දෙන්නා ප්ලෑන් කරලා මොනවහරි අවුලක් ගියානම් අම්මලගෙන් බැනුම් තමයි”
නාමලී එහෙම කිව්වේ හරිම සතුටකින්.
අපි දෙන්නා අවුරුද්දක් තිස්සේ, වෙඩිං එකට ටික ටික සූදානම් උනා. මං ඉතිං බැංකුවේ ක්ලාක් කෙනෙක් එතකොට. රස්සාවට ගිහිල්ලත් ලොකු කාලයක් නැහැ. මහලොකු වයසකුත් නැහැ. මට 24යි, නාමලීට 21යි. වෙඩින් එකට “තුප්පොට්ටිය” ඇන්දට මොකද ඒ කාලේ හරියට රැවුල වැවෙන්නෙත් නැහැ. රැවුල හොඳටම ගාලා, නිලමේ සූට් ඇඳපු එකම මනමාලයා මම වෙන්න ඇති.
කොහොම හරි, ටිකෙන් ටික හැමදෙයක්ම ලස්සනටම කරගත්තා. මගේ ජීවිතයම අභියෝග ගොඩක්නේ.
හනිමූන් එකට නුවර, නුවර එළිය හිටපු අපි, හෝම් කමින් එකට කළින් දවසේ රෑ, මිගමුව හෝටලයකට ආවා. එහෙම කලේ ‘හෝම් කමිං’ වැඩ ටික ප්ලෑන් කරන්න ලේසි නිසා.
වෙඩින් එක තිබුනේ ‘ග්රෑන්ඩ් ඔරියෙන්ටල් හොටෙල් නැත්නම් GOH’ එකේ, ඒකට කළින් කිව්වේ, ‘හොටෙල් ත්රැප්රෝබේන්’ කියලා. අපි බඳිනකාලේ, රට හැම තැනම බෝම්බ පුපුරනවා. මරණ වරෙන්තුව ළඟ තියාගෙන තමයි ජීවිතවල හැම සුවිශේෂී දෙයක්ම සිදුවෙන්නේ.
මේ හෝටලය පිහිටලා තිබුනේ, වරාය ඉදිරිපිට අධිආරක්ෂිත කලාපයේ නිසා, අපි දෙන්නගෙම නෑදෑයන්ට ඇරෙන්න, යාළු මිත්රයන් කිහිප දෙනෙක්ට විතරයි වෙඩින් එකට ඉන්වයිට් කලේ.
ඒකනිසා, මට ඕනිවෙලා තිබුණා අපේ ‘හෝම් කමිං’ එක සුපිරියටම කරන්න.
වෙඩින් එකට නාමලීව හැඩකලේ, ඒ කාලේ, ඒ වැඩේට රටේම නමක් දිනාගත්ත කෙනෙක්. ඇත්තටම එදා නාමලීව හරිම ලස්සනට අන්දලා තිබුණා.
හැබැයි ‘ගොයින් අවේ’ එකටයි, ‘හෝම් කමිං’ එකටයි අන්දන කෙනා තෝරගත්තේ මමයි. එයා නිළියක්. නම ඒක නොවුනට මං එයාව “නර්මදා” කියලා හඳුන්වන්නම්.
නර්මදා, මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක්ව ලස්සනටම හැඩ කරලා තිබුණ නිසා, මට ඕනි වුනේ නාමලීගේ ‘ගොයින් අවේ’ සහ ‘හෝම් කමින්’ එක එයාටම කියලා කරන්න. නාමලීගේනම් ඒකට එහෙමට ලොකු කැමැත්තක් තිබුනෙ නැහැ. එත්, එයාගෙ බ්රයිඩ්ල් ඩ්රසින් කරපු කෙනා කොහොමත් මීගමුවට එන්නේ නැහැ ඒ වැඩේට. එහෙම එනවනම් ඒ ගෙවීම බොහොම සැර වැඩියි.
කොහොම හරි, අපේ වෙඩිං එකේ හැම දෙයක්ම ලස්සනටම සිද්දවුනු නිසා, නාමලී හිටියේ ගොඩක් සතුටෙන්. ආපු හැමෝම වගෙ එයා ලස්සනයි කිව්ව නිසා. අන්දපු කෙනාට මල් තියලා වඳින්න තරම් වර්ණනාව.
“ඔයාගේ නිළි අක්කත් ඒ වගේම කරයිද? ‘ගොයින් අවෙ’ එකේනම් එයාට කරන්න ලොකු දෙයක් තිබුනෙම නැහැ. කොහොමත් හොඳ මේකප් එකක් තිබුණනෙ”
කොහොමත් අපි දෙන්නගෙම ලොකුම අසාව තිබුනේ දෙවෙනි ගමන ලස්සනටම කරගන්න.
“මං කැමතිම ‘හෝම් කමින්’ සාරි එකට, ඒකට ඔයා ලොකු වියදමකුත් කලා. අනික ඒක මාරම ලස්සනයි. රීටා ඒක ලස්සනට මේඩප් කලත් එක්ක. එයත් කිව්වේ සාරිය හරිම ලස්සනයි කියලා”
“ඔව් ඉතිං, මගේ යාළුවෝ ඔක්කොම ඔයාව ඉස්සෙල්ලාම දකින දවසේ, ඔයා සුපිරියටම ඉන්න එපැයි”
හෝම් කමින් එක දවසේ උදේ 10ට විතර මං නර්මදා අක්කට කතාකලා.
“අක්කා, ඔයා කීය වෙද්දී එනවද?”
“මල්ලී, මං දවල් එක වෙනකොට එනවා”
“හරි අක්කා, එහෙනම් මං යාළුවා 12.30 වගේ වෙද්දී එවනවා අක්කව පික් කරන්න”
“ඒක නෙමෙයි අක්කා, නාමලීගේ ‘ගොයින් අවේ’ එක ලස්සනටම කරලා තිබුණා. හැමෝම කිව්වා, නාමලී හරිම ලස්සනයි කියලා”
“ඔයලාගේ ඔය අගය කිරීම තමයි වටින්නේ මල්ලී”
දුරකථනය විසන්දි කරපු මම සැනසුම් සුසුමක් හෙලුවා. මේ හෝම් කමින් වැඩේ ඉවර වෙනකන් ඉතිං හිතට සැනසීමක් නැහැ. අක්කලා, මස්සිනාලා බැහැලා වැඩ ඇති, යාළුවෝ ටිකත් හැමදේම හොයලා බලලා කරනවා ඇති, මං බොහොම සැහැල්ලුවෙන් හිටියා.
ඒත් එක්කම මම යාළුවට කතාකරලා කිව්වා, දවල් 12.30 වෙද්දී, නර්මදා අක්කව පික් කරගෙන කෙලින්ම අපි ඉන්න හෝටලයට එක්කගෙන එන්න කියලා.
අපේ සැලසුම උනේ හවස 6.30 – 7 වෙද්දී, අපේ නිවසට යන්න. නාමලීගේ ඇන්ඳවීම් කටයුතු නර්මදා විසින් අවසන් කල පසු, අපේ ජායාරූප ශිල්පියා “චිත්රාල්ට” යම් වෙලාවක් අවශ්ය වෙලා තිබුණා, අපේ සමීප ජායාරූප කිහිපයක් ගැනීමට. චිත්රාල්, මගේ හිතවතෙක්. එයාගේ බිරිඳ මාත් එක්ක එකම ආයතනයේ සේවය කලේ.
දවල් 12.30 වෙද්දී, යාළුවා මට කතාකලා.
“මචං මාර වැඩේ, නර්මදා ගෙදර නැහැනේ. එයාගේ අම්මා කියනවා මොකක්ද ‘ස්ටේජ් ඩ්රාමා’ එකක ‘ රිහසල්ස්’ කියලා මහත්තයා එක්ක ගියාලු”
“මොකක්, ඒ ගෑණිට පිස්සුද, එහෙම යන්න. අපෙන් සල්ලිත් අරගෙන, සාරි එකත් එයා ළඟ. අනික එහෙම කරන්නේ කොහොමද?”
මම වහාම ඇයගේ දුරකථනය ඇමතුවත්, ඇය එය ක්රියාවිරහිත කරලා තිබුණා. මට මගේ ආවේග පාලනය කරගන්න බැරි උනා. නාමලී ඒ වෙලාවේ නානකාමරය තුල නිසා, එයා මේ කිසිවක් දැනගෙන හිටියේ නැහැ.
මම යාළුවට ආයෙත් කතා කලා.
“මචං, දැන් මොකද කරන්නේ. ඉන්න තැනකට ගිහිල්ලා හරි, ඇදගෙන වරෙන්”
“මචං, එයාගේ එසිස්ටන්ට් කෙනෙක් කියලා කෙල්ලෙක් ඉන්නවා. එයා එන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද කරන්නේ. අරගෙන එන්නද?.අර ගෑණිගේ ‘රිහසල්ස්’ මගුල කොහේ තියෙනවද කියලා කැවුරුත් දන්නේ නැහැ”
“වෙන මොනවා කරන්නද, එක්කගෙන වරෙන්. නාමලීට පිස්සු හැඳෙයි. මුල ඉදලම දිරෙව්වේ නැහැ එයාට. මං කියපු නිසා කට වහගෙන කැමති උනාට”
නාමලී වොෂ්රූම් එකෙන් එළියට ආපු ගමන්ම, මං වෙලා තියෙන දේ එයාට කිව්වා. එයා කෑ ගහලා අඩන්න පටන්ගත්තා. මගේ යාළුවෝ මුලින්ම එයාව දකින දවසේ ලස්සනටම ඉන්න එයාට ඕනි උනා. මටත් එහෙමයි. අනික අපි දෙන්නා මේ හැම දෙයක්ම ප්ළෑන් කලේ පුදුම ආසාවකින්. පරිස්සමෙන්, අපි දෙන්නට ලොකු සල්ලියක් තිබුනේ නැහැ. අවුරුද්දක් තිස්සේ ප්ලෑන් කලා. ටික ටික සල්ලි ගෙවන ගමන් හැම දෙයක්ම කරගත්තේ. ඇත්තටම මේක අපි දෙන්නාගේ පළවෙනිම අභියෝගය. ටික වෙලාවකට කලිනුත් අපි දෙන්නා ඒ ගැන ආඩම්බරයෙන් කතා කරමින් හිටියේ.
මේ අතරෙත්, මං නර්මදාට දිගටම කතාකරන්න උත්සහ කලත්, එයා දුරකථනය ක්රියාවිරහිත කරලයි තිබුනේ. මං ඇයගේ ගෙදර දුරකථනයට කතාකලා. ඇමතුමට පිළිතුරු ලැබුණේ නර්මදාගේ අම්මාගෙන්.
“ආන්ටි, මොකක්ද මේ නර්මදා අක්කා අපිට කලේ? මෙහෙම දෙයක් හිතක් පපුවක් තියෙන කෙනෙක්ට කරන්න පුළුවන්ද? එයා දන්නවා, කෙල්ලෙක් කොච්චර සිහින මවාගෙන ඉන්න දවසක්ද අද. එයාටත් දුවලා ඉන්නවා. කරුණාකරලා එයාට කොහොම හරි කතාකරන්න. අපි පත්වෙලා ඉන්න අසරණ තත්වය කියන්න”
නර්මදාගේ මහත්තයාගේ දුරකථන අංකය මම ඉල්ලුවත්, ඇය ඒක මට දුන්නේ නැහැ. අපි මීට කළින් නර්මදා මුණගැහෙන්න ඔවුන්ගේ නිවසට ගිය හැම වතාවකම, ඔහු හොඳ කෙනෙක් කියලා මට දැනිලා තිබුණා. ඒත් අවාසනාවට මගේ ළඟ ඔහුගේ අංකය තිබුනේ නැහැ.
ටික වෙලාවකින් අර ‘එසිස්ටන්ට්’ කියන කෙනා සමඟ මගේ යාළුවා හෝටලයට ආවා. එයා හොඳටම බය වෙලා හිටිය බවක් පෙනුනා. වැඩේ පටන්ගන්නත් කලින්ම, ඇයගේ හැසිරීමෙන් සහ බිය මුසු මුහුණෙන්, මට දැනුනා ඇයට ඒ සඳහා කිසිම පලපුරුද්දක් නැති බව. ඇය එන විට මේකප් බොක්ස් එකක් සහ නාමලීගේ දෙවෙනි ගමන සාරිය රැගෙන පැමිණ තිබුණත්, මොනවදෝ කලබලයෙන් සොයමින් සිටියා. ටික වෙලාවක් මොනවද හොයමින් ඉඳලා,
“අනේ මිස් බලන්නකෝ, මම සාරි ජැකට් එක අමතක වෙලා නර්මදාගේ මැඩම්ගෙ ගෙදර දාලා ඇවිල්ලනේ”
“මොකක්”
මට සිංහල භාෂාවේ සියලුම කුණුහර්ප මතක් උනත්, නාමලී සමඟ ගතකරන ප්රථම දින කිහිපය නිසා, මට මගේ කෝපය සහ ආවේග ඒ විදියටම එළියට පිටකරගැනීමේ අපහසවක් තිබුණා.
වහාම මිතුරා දෙසට හැරුණ මම,
“මචං, මෙන්න මෙයත් එක්ක ගිහිල්ලා, සාරි ජැකට් එක අරගෙන වරෙන්. කිසිම වගකීමක් නැති මිනිස්සු “
ඒ සමඟම ඇය නැවතත්,
“අනේ සර්, මට මේ වැඩේ කරන්න බැහැ. මම මීට කළින් නරමදා මැඩම් එක්ක ඉඳගෙන එයාට අත් උදව් දුන්නට, කවදාවත් මනමාලියක් තනිවම අන්ඳලා පුරුද්දක් නැහැ”
නාමලී එක වචනයක් කතාකලේ නැහැ. ඇය දිගටම අඩනවා. දෙයියනේ දෙවෙනි ගමන යන්න ඉන්න ගැහැණියක් මෙහෙම අඩලා, මුහුණ එල්ලගෙන ඉන්නකොට, මිනිස්සු හිතන්නේ මොනවද.
මම අර ගැහැණියට දැඩි වචන කිහිපයකින් දමා ගැසුවා. ඇයට වහාම පිට වෙන ලෙසත්, ඇයගේ මේකප් බොක්ස් එක ගෙනියන්න දෙන්න බැරි බවත්, නර්මදා මිස්ට මා හමුවී, මම ගෙවන ලද සම්පුර්ණ මුදලම නැවත මට ලබාදී එය රැගෙන යා හැකි බවත් පැවසුවා.
ඒ එකක්ම යාළුවට කතාකලා,
“මචං මෙයාව ගෙදර දාලා, සාරි ජැකට් එකත් අරගෙන, කාවම හරි මනමාලියන්ට අන්දන කෙනෙකුත් සොයාගෙන වරෙන්”
ඒ එක්කම,නාමලීගේ ගෙදර අයටත්, මගේ අක්කලාටත් කතාකරලා, කොහෙන් හරි හොයලා, හොඳ නරක බලන්නේ නැතිව, නාමලීව අන්දන්න පුළුවන් කාවහරි කෙනෙක් ඉක්මනින්ම හොයාගෙන මගේ යාළුවත් එක්ක හෝටලයට එවන්න කියලා දැනුම් දුන්නා.
බට කැලයට ගිණි ඇවිළුනා වගේ, හැමෝම කලබල වුනා.
නාමලීගේ තාත්තා කිව්වේ,
“සංඛ, අපි කලින් ප්ලෑන් කරලා තිබුණ විදියටම, අපේ නෑයෝ ටිකත් එක්කම පන්සල ළඟදී, ඔය දෙන්නත් එක්කම, ඔයාගේ ගෙදරට එන්න ලක ලෑස්ති වෙනවා, මේ දේවල් ඒ අයට කියන්න බැහැ, ඒ අය මේවා දැනගත්තොත්, මේ සිද්දවෙච්ච දේවල්, මහ නරක පෙරනිමිති කියලා, ලොකු ලොකු ආඬපාලි කියවයි. ඒ නිසා මොකුත්ම සිද්ධ නොවුනා වගේ, කාටහරි කියලා අන්ඳගෙන ඉක්මනට එන්න”
ටික වෙලාවකින්, මගේ පොඩි අක්කා කතාකරලා,
“මල්ලී, අද නැකත් දවසක් නිසා, කවුරුත් නැහැ. බොහොම අමාරුවෙන් එක්කෙනෙක් ලැබුණා. අනේ මන්දා ඉතිං හොඳට කරනවද කියලා”
“මොනවා කරන්නද අක්කේ, කාව හරි ඉක්මනට එවන්න”
“ඔයා ඉවසගෙන ඉන්ඩකෝ මල්ලී, අපි අර ගෑණිට හොඳ වැඩක් කරමු. එයා මහලොකු නිළියක් කියලා හරි යන්නේ නැහැනේ. ඔය වගේ ජරා වැඩ ආයේ නොකරන්න හොඳ වැඩක් කරමු”
දැන් මේ වෙද්දී වෙලාව හවස පහට විතර ඇති. තාම අන්ඳන කෙනත් නැහැ. නාමලී තාමත් අඩනවා. ඒ මදිවට නෝක්කඩු කියනවා. ඇයි ඉතිං මමනේ මේ කෙනා හොයා ගත්තේ.
මේ අතරේ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකත් කතා කරලා කිව්වා, එයාලා කිහිපදෙනෙක් මීගමුවෙන් දැන් පිටත් වෙනවා කියලා.
එයාලා මීගමුවෙන් පිටත් වෙනවා ජෝඩුව තාම මීගමුවේ.
ටික වෙලාවකින් යාළුවා ගැහැණු කෙනෙක් එක්කගෙන ආවා. එයා අපි දෙන්නට වෙච්ච දේ ගැන ගොඩක් දුක් උනා.
ඇත්තටම දුක හිතෙන දේ උනේ ඊට පස්සෙයි……
දැන් එයා නාමලීට සාරිය ඇන්ඳුවා. ඊට පස්සේ කොණ්ඩ මෝස්තරයක් දැම්මා. මටනම් ඒක හරි ගියේ නැහැ. නාමලීගේ මූණත් හතරැස් වෙලා. ඔන්න ඔහේ කමක් නැහැ. උන්නු හැටියට මළා මදැයි කියලා, මං හිත හදාගන්න උත්සහ කලා.
ඒත් නරමදාගේ ‘ඔෆ්’ කරපු ෆෝන් එක කොයි වෙලාවේ හරි ‘ඔන්’ කරයි කියලා හිතලා සැරෙන් සැරේ ට්රයි කලා. ඒත් වැඩ කලේනම් නැහැ.
දැන් අරයා, මගේ නෝනට “මේක් අප්” කරන්න ගත්තා. බුදු අම්මෝ..මට පිස්සු හැඳුනා. අර මනමාලී දවසේ සුරංගනාවියක් වගේ හිටිය ප්රියම්භිකාව, හුඹහෙන් ඇඳලා අරගෙන වගේ. කළු කරලා, මූණ ඇද කරලා, ඇස් වටේ ගිණිරතු කරලා, දෙයියනේ නොකරපු දෙයක් නැහැ. මට හිතුනත් එයාවත් එළවලා දාන්න, එහෙම කලේ නැහැ. මොනවා උනත් අපිට අමාරුම වෙලාවේ පිහිට උනානේ. අනේ මංදා ඉතිං ඒකත් පිහිටක්ද කියලත්.
මං ඒ අක්කට කිව්වා,
“අනේ අක්කේ කළු වෙලා වගේ නේද? පොඩ්ඩක් “මේක් අප්” අඩු කරමුද කියලා”
අනේ පව්. එයත් දන්න සෙල්ලම් ඔක්කොම දානවා. ඒත් හරි යන්නේ නැහැ. මටනම් පෙනුනේ නිකන් එම්බාම් කරලා වගේ. පුදුම ඉච්ඡාභංගත්වයක් ඒක. මට මෙහෙම නම්, නාමලීට මොනවා හිතෙනවා ඇද්ද කියලා, මට එයා ගැන ආදරය මුසු අනුකම්පාවක් දැනුනා. ඒ වගේම මට මං ගැනම විශාල කෙන්තියක් ආවා. මං කොහෙන් මේ නර්මදා වගේ ගෑණියෙක් මේ වැඩේට හොයාගත්තද කියලා.
කොහොම හරි ඉතිං, නල්ල මලේ “මේකප්” එකට පස්සේ, තැල්ල තියලා ඉවර උනාම, තැල්ල තියෙන්නේ රුහිතෙට. කොච්චර උත්සහ ගත්තත් ඒක හරියට තියාගන්නම බැරි උනා.
අනේ, අර අක්කටත් ඉතිං හරිම අවුල්. එයාත් කියනවා,
“අනේ මට මෙහෙම වෙලාම නැහැ, මං කී දෙනෙක්ට ‘කැන්ඩියන්’ අන්ඳලා ඇද්ද”
මටනම් හිතුනේම ඉතිං, මල් ශාලාවක වැඩ කරපු කෙනෙක් කියලා තමයි.
“කමක් නැහැ අක්කේ, ඔයාට කොහොම ස්තූති කරන්නද මංදා”
ඒක හිතේ තිබුණ ඇත්තම අදහස නොවුනත්, අක්කානම් පස්වනක් ප්රීතියෙන් පිනා ගියා වගේ දැනුනා. නාමලීනම් ස්ද්දයක් නැහැ. නිකං ‘ගොළු මඩමෙන්” ගෙනාව මනමාලියක් වගේ තමයි හිටියේ.
දැන් වෙලාව රෑ අටත් පහු වෙලා. නාමලීගේ ලොකු නැන්දා කියනවලු,
“මොකක්ද අනේ මේක මුස්ලිම් මඟුලක් වගේ, මහ රෑ සමයමේද පටන් ගන්නේ” කියලා.
පව් ඉතිං, නාමලීගෙ අම්මයි, තාත්තයි කරබාගෙන හිටියලු. ඇයි ඉතිං, ‘පොඩි බෑනට’ හෙවත් මට ලැජ්ජ කරන්නත් බැහැනේ, මරු එක්කෙනෙක්නෙ හොයාගෙන තියෙන්නේ අන්ඳන්න කියලා.
කොහොම හරි, අවුරුදු උත්සවයක “විකට ඇඳුම් තරගයකට” යන්න වගේ තමයි නාමලීගෙ පෙනුම. මගේ පොඩි අක්කත් ආවා ඒ අතරේ හෝටලයට. එයාට ටිකක් “මේකප්” ගැන දැනුම් තේරුම් තියෙන නිසා, මට හිතුනා එයාට එන්න කියලා පොඩ්ඩක් හරි වැඩේ ගොඩදාන්න පුළුවන්ද බලන්න.
අක්කා ඇවිල්ලා, කේන්තියෙන් බනිනවා නර්මදාට.
“මල්ලී, අපි ඔය ගෑනිව, හෙට උදේම පොලිසි ගෙනියමු, නිළියක් උනාට කමක් නැහැ”
“අක්කේ, ඒක පස්සේ බලමු. දැන් නාමලීව බලන්නකෝ”
අක්කා, කොහොම හරි එහෙන් මෙහෙන් පිහිදලා, නාමලීගේ එම්බාම් ගතිය ටිකක් අඩු කලා. මට මගේ යාළුවන්ට පෙන්නන්න, කොච්චර ලස්සනට නාමලීව අන්ඳගන්න් ඕනි උනාද? ඒවා ඔක්කොම ඉවරයි.
මමත් සූට් එක දාගත්තා, වෙනදට කඩේ යන්නත් පැය භාගයක් විතර කොණ්ඩේ පීරන මාත්, මොනවත් වැඩි වැඩ නොකර ලෑස්ති උනා. හිත ඒ තරමට අවුල්. පිටත් වෙන්න කියලා නාමලීත් ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ටා විතරයි, දෙයියනේ……”ජර බරාස්” සාරිය ඉරෙන සද්දයක් ඇහුණා. මේ මොකක්ද මේ උනේ…සාරිය හතර අතේ ඉරෙනවා.
අර අන්ඳන්න ආවා ගැහැණු කෙනා කිව්වා,
“මල්ලි, මේක “ඔගැන්සා” සාරියක්නේ, කොහේ හරි තැනකින් ඉරුනොත් දිගටම ඉරෙනවා”
“ඉරෙන්නේ කොහොමද සාරිය, මේක අපි දෙන්නා කොච්චර බැලුවද?අනික සාරි ජැකට් එක මහලා, සාරියත් ‘මේඩ් අප්’ කරපු කෙනා එහෙනම් අපිට කියනවනේ”
මේ වෙලාවේ මගේ පොඩි අක්කා සාරිය බලලා කිව්වේ,
“දෙයියනේ මේ බලන්න, සාරිය අර ගෑණි ප්රෙස් කරන්න ගිහිල්ලා පුච්චලා, ඔයාගෙන් ප්රෙස් කරන්න කියලා සල්ලි අරගෙන, ගෙදර ‘අයන්’ කරලද කොහෙද, ඔගැන්සා සාරියක් ඉතිං පොඩ්ඩක් ගියොත්, ඔක්කම යනවා”
“මේ ගෑණි අන්දන්න එන්නේ නැතිව, බොරුවක් දාලා පැනලා ගියේ ඒක තමයි එහෙනම්”
මේ සියළු ව්යසනයන්ට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතේ සුන්දරම දවසක් මේ විදියට විනාශ වෙලා ගිය එක එයාට දරාගන්න බැරි වෙන්න ඇති,
” සංඛ, මට කලන්තේ වගෙ,අනේ මට වතුර ටිකක් දෙන්න” එසේ කියමින් ඇය නැවත පුටුව මත හිඳගත්තා. ඒ සමඟම අය ක්ලාන්ත උනා.
මට දරාගන්න බැරි ආවේගයක් ඇති උනා. මාව වෙව්ලන්න පටන්ගත්තා.
මේ වන විට වෙලාව රෑ නමයට ආසන්න වෙලා ඇති. නාමලීගේ නෑයො ටික මඟ අපි එනකන් බලාගෙන ඉන්නවා. අනිත් නෑදෑයො හිතවතුන්, මගේ බැංකවේ යාළුවෝ, පාසැලේ යාළුවෝ, නාමලීගේ ඔෆිස් එකේ යාළුවෝ, එයාගේ පාසැලේ යාළුවෝ, මේ හැම කෙනෙක්ම ගෙදර ඇවිල්ලා අපි එනකන් බලාගෙන ඉන්නවා.
ටික වෙලාවකින්, නාමලී පියවි සිහියට ආවත්, එයා අඬන එක නතර කරගන්න අපි කාටත් බැරි උනා.
මුහුණ තඩිස්සි වෙලා, කොහොමටත් හරි නොගිය මේකප් එක තවත් දියවෙලා, ඇය හොඳටම විඩාපත් වෙලා හිටියේ.
දැන් අපි සියළු දෙනා වටවෙලා, නාමලිගෙ සාරියේ ඉරුණු තැන් බල බල කටු ගහලා, බොහොම පරිස්සමෙන් යන්තමට අටවගත්තා, අඩුම තරමේ ගෙදරට ගොඩවෙනකන් ගොඩදාන්න තිබුණොත් ඇති කියන හැගීම තමයි අපි හැමෝටම තිබුනේ.
දැන් මේ වෙද්දී, පැය ගානක්, තවත් දෙදෙනෙක් එක්ක, මගේ හිතවත් ජායාරූප ශිල්පීයා, හෝටලයේ ලොබී එකේ බලාගෙන ඉන්නවා, නාමලී සුදානම් වෙලා අවසන් වෙනතුරු.
මම චිත්රාල්ට කතා කලා,
” මචං චිත්රාල්, උඩට වරෙන් අපිට ලොකු වෙලාවක් නැහැ. ෆොටොස් ටිකක් හරි ගහගමු. යන්ඩ ඕනි ඉක්මනින්ම, ආපු එවුන් කන්නෙත් නැතිව යන්ඩ යයි”
ච්ත්රාල් උඩට ආවත්, නාමලීව දැක්ක ගමන් මුහුණ අඳුරු උනා.
“මචං, මනමාලී දවසේ කොච්චර ලස්සනට හිටිය කෙල්ලද බං මේ. මාරම අවුල්නේ බං”
“ඔව් බං, මොනවා කරන්නද ඉතිං, අර ගෑණි කරපු වැඩේනේ. ඒ මදිවට සාරිය පුච්චලා මචං, ඔක්කොම කුඩු හැලෙනවා. යන්තම් අටවගෙන ෆෝටෝස් ටිකක් ගහමු. ගෙදර ගියගමන් ගලවලා දාලා වෙන එකක් ඇඳගන්නවා”
“බලපන් බං, මං හොඳටම කරන්න බලාගෙන හිටියේ හෝම් කමිං එක, ඒක මෙහෙම ‘ට්රැජඩි’ එකක් වෙයි කියලා කවුද හිතුවේ”
“හරි සංඛයා, දැන් ඕක ගැන කියවන්න එපා. නාමලී අවුල් වෙනවනේ. මේක අපි ඉවර කරලා දාමු. ෆොටෝස් ටික උපරිම හොඳ විදියට, මම කරලා දෙන්නම්”
නාමලී,සීරුවට අඩි තියලා පහලට බැස්සා. සාරිය ඉරෙන නිසා, වාහනට උස්සලා වගේ දැම්මේ එයාව. එන මග දිගටත් අඩමින් ආවේ.
“අඩන්න එපා අනේ, හෝම් කමිං දවසේ අඬ අඬ එනකොට නැදෑයෝ මොනවා හිතයිද?”
“සංඛ, අපි දෙන්නට මොනවා හරි නරකක් වෙයිද? මේ එහෙම දෙයක පෙර නිමිත්තක්ද?” නාමලී දොඩවන්න පටන් ගත්තා.
“පිස්සුද අනේ, ඔය මනස්ගාත. ඔය දේවල් ඔළුවට දාගන්න එපා” මං එයාගේ හිත හැඳුවා.
කොහොම හරි මහ යුද්ධයක් කරලා, අන්තිමට ගෙදර ආවා. රතිඤ්ඤා පත්තු වෙද්දී, මගේ හිත ඇතුලේ බෝම්බ පත්තු උනා.
නාමලීට දෙමාපියන්ට වඳින්නවත් නැමෙන්න බැරි උනා. පහන පත්තු කරපු ගමන්ම කාමරයට රිංගගත්ත අපි දෙන්නා, අපේ බෑග් එකක් අස්සේ පොඩි වෙලා දාලා තිබුණ ‘ගොයින් අවේ’ සාරිය එළියට අරගෙන, යන්තම් අයන් කරලා, නාමලී ඒක ඇඳගත්තා.
උත්සවයට කොහොමත් අරාධනා කරලා තුබුණ, නාමලීගේ නෑදෑ අක්කා කෙනෙක් හිටියා, මනමාලියන් අන්ඳවන. එයාට නාමලීගේ අක්කා පණිවිඩය දීලා, “පාටි” එකට එනකොට එයාගේ ‘මේකප් බඩු’ අරගෙන එන්න කියලා. එයා බැන බැන, අර දාලා තිබුණ මේකප් එක අයින් කරලා, එයාගේ එවා දාලා, යම්කිසි මට්ටමකට ගොඩ දාලා දුන්නා.
සිද්ධ වෙච්ච දේ තව දුරටත් රහසක් වශයෙන් තියා නොගෙන, අපි හැමෝටම කිව්වා. නර්මදා එදා හැමෝගෙම දැඩි කේන්තියට ලක්වුනා. හැමෝම කිව්වේ මෙහෙම ජරා වැඩක් කරපු කෙනෙක් ගැන එයලා අහලවත් නැහැ කියලා.
සාමාන්යයෙන් නෑදෑ වැඩිහිටියන්ට ඉදිරියේ කවදාවත් මත්පැන් පාවිච්චි නොකරන මම, එදා යාළුවන් සමඟ හොඳටම බිව්වා. එහෙම බීලා අම්මට මාට්ටු වෙලා, වෙච්ච දේ ගැන වෙන දවසක ලියන්නම්.
කොහොම හරි, පහුවෙනිදා උදේ පාන්දරම, පන්සලකටවත් යන්නේ නැතිව, ඉස්සෙල්ලාම මම කලේ පොලිසියට යන එක. මම තනියම ගියේ ඒ ගමන. නාමලී කැමති උනේම නැහැ. එයා කිව්වේ වෙන්ඩ තියෙන දේ උනා, ආයේ ඔය ගෑණිව පොලිසියකදීවත් දකින්න ඕනි නැහැ කියලයි.
පොලිසියෙදී මට කතාකරගන්න බැහැ.
මට කෑගැහිලා ඇඩුනා. මං එයාලට කිව්වා මට උන අසාධාරණය ගැන. ඒක ලියාගත්ත අය, මේ ප්රසිද්ධ චරිතය දැනගෙන හිටියත්, ඒ හැම කෙනෙක්ම අපිට වෙච්ච දේ ගැන ගොඩක් දුක් වුනා.
මට මතක විදියට දවස් දෙකකින් නර්මදාව පොලිසියට ගෙන්නුවා. ඒත් මම නාමලීව පොලිසියට අරගෙන ගියේ නැහැ. නර්මදාගේ මහත්තයා බිම බලාගෙන හිටියා. වචනයක්වත් කතා කලේ නැහැ.
නර්මදා කිව්වේ එයාගේ නෑදෑ අයියා කෙනෙක් ජීවිතේ නැති කරගත්ත නිසා, එයාට එන්න බැරි උනා, සාරිය පිච්චුන එකක් එයා දන්නෙවත් නැහැ කියලා.
මගේ ප්රශ්නය උනේ, අයියා, සිය දිවි හානි කරගත්ත එක අම්මා දැනගෙන හිටියේ නැද්ද කියලා. මොකද මේ හැමදෙයක්ම වෙද්දී නර්මදාගේ අම්මා ගෙදර හිටියා. එයා තමයි, දුව ‘රිහසල්ස්’ ගියා කියලා මගේ යාළුවට කියලා තිබුනෙත්, අනික මම නිවසේ දුරකථනයට කතාකලාම, ඒ ඇමතුම ගත්තෙත් ඇයගේ අම්මයි.
ඇය කිව්වේ, ඒ වෙනකොට එය අම්මා දැනගෙන හිටියේ නැහැ, ඇයට ඒ බව දැන්වුයේ පසුව බවයි.
ඒ මොනවා කිව්වත්, ඒවා පොලිසිය පවා පිළිගන්න සූදානම් උනේ නැහැ. ඇය වගකීමක් බාරගත් විට සහ ඒ සඳහා සම්පුර්ණ මුදලම ලබාගෙන ඇති විට මොන ප්රශ්නයක් ආවත්, වගකීම ඉටුකිරීම ඉතාම වැදගත් බව පොලිසිය තදින්ම කිව්වා.
නර්මදා මගෙන් ලබාගත් මුදල සම්පුර්ණයෙන්ම ආපසු දිය යුතු බව පොලිසිය පැවසුවා. මගේ අක්කලාගේ අදහස උනේ ඇය පිළිගැනීමට සුදානම් නැති වුවත්, ඇය අතින් පිළිස්සුන සාරියේ මුළු වටිනාකමද, ඇය ගෙවිය යුතු බවයි. ඒත් මට ඇයගේ මුදල් අවශ්ය උනේ නැහැ.
පසුවදා ඇය සැමියා සමඟ මගේ නිවසට ඇවිල්ලා මං ගෙවපු සල්ලි දීලා ඇයගේ ‘මේකප් බොක්ස්’ එක රැගෙන ගියා. නාමලීනම් එළියටවත් ආවේ නැහැ. අක්කලා දෙන්නානම් දුම්මල වරම ගත්ත කපු නෝනලා දෙන්නා වගේ ඇය එළියට බැහැලා, පිට වෙලා යනතුරුම නොකඩවාම බැන්නා.
අපේ “හෝම් කමිං” තිබුණේ දෙසැම්බර් මාසේ 14 වෙනිදා දවසක. එදා ඉදං අද දක්වාම, නාමලී කිසිම මාසෙක 14 වෙනිදා කිසිම සුභ දෙයක් කරන්නේ නැහැ. එයා හිතන්නේ 14 වෙනිදා අපිට මහ අසුභ දවසක් කියලා. අපේ ලොකු දුව ඉපදෙන්න දින දීලා තිබුනේ 14 වෙනිදා දවසක්. නාමලී පුදුම බයකින් හිටියේ ඒගැන. දුව 13 ඉපදුනා.
මේ සිදුවීමෙන් සෑහෙන කල් යනකම් අපි කවුරුත් නර්මදා රඟපාන ටෙලිඩ්රාමා එකක්වත් බැලුවේ නැහැ. අපි විතරක් නෙමයි, මගේ යාළුවෝ නෑදෑයෝ කවුරුවත් බැලුවේ නැහැ.
දැන්නම් අපේ හිත්වල එහෙම තරහක් නැහැ. ඒත් එයාව දකින හැම වෙලාවකම ඒ සිදුවීම මතක් වෙනවා. එයාට උනත් ඒ සිදුවීම අමතක වෙලා නැතිව ඇති. එයාගේ දුවත් දැන් විවාහකයි.
නාමලීනම් හැම 14 වෙනිදම ඉන්නේ බයෙන්.
උපුටා ගැනීම: Sanka Darshana Samarawickrema