අපේ ඉස්කෝලේ නැටුම් සර් වපරයිය. අරෙහෙ බැලුවොත් පේන්නේ මෙහෙය. කන් ඇහෙන එකත් ටිකක් අඩුයි ය. අපිට සර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි නැති වෙලාවට පංතිය බලාගන්න එන්නේ නැටුම් සර් ය. ආපු මුල් දවස් වල සර්ට අපේ නං මතක නැති හින්දා පටලැවිලි ගොඩක් උනාය. එක දවසක් දේවිකාට ජනකයා ගහලා දේවිකා අඬ අඬා ගිහින් ඒක නැටුම් සර් ට කිව්වෙමු. සර් ඇවිත් ඇයි මේ ළමයට ගැහුවේ කියලා ඇහුවේ අසේලයා දිහා බලාගෙන ය.
“මං ගැහුවේ නෑ”
කියලා අසේලයා කිව්වා ය.
“මං දන්නවා තමුසේ නෙවෙයි කියලා”
කියලා සර් කිව්වේ මං දිහා බලාගෙන ය.
“මං ඇහුවෙ මුගෙන්”
කියලා ජනකයාගෙ කනෙන් අල්ලා ගත්තේ ආපහු අසේලයා දිහා බලාගෙන ය.
“මං ගැහුවේ නෑ සර්”
කියලා ජනකයා කිව්වා ය.
“එහෙනම් මේ ළමයා කියන්නේ තමුසේ ගැහුවා කියලා ? “
දේවිකා පැත්තට හැරුණාය.
“මං එහෙම කිව්වේ නෑ”
කියලා උත්තර දුන්නේ මංගලිකා ය.
ඊට පස්සේ සර් ජනකයාගෙයි, දේවිකාගෙයි නම් දෙක අහලා නම් වලින් කතා කරලා නඩුව ඇහුවෝය.
කොහොම උනත් සර් ජනකයාට ගහන්නෙ නෑ ය. එහෙම උනේ දෙමාපිය රැස්වීමකට පස්සේ ය. එදා සර් ජනකයාගේ ආච්චි හම්බවෙලා
“මේ ළමයගෙ තාත්තා මොකද කරන්නේ?”
කියලා ආච්චිගෙන් අහලා තිබුණා ය.
“පුතා අබ්බගාත් වෙලා දැන් සෑහෙන කල් මහත්තයො”
කියලා ආච්චි කියලා ය. ඒක ඇත්ත බව අපිත් දැකලා තියෙනවා ය. ගහකින් වැටිලා කොන්ද කැඩිලා ජනකයාගේ තාත්තා පත්තු බඳිනවාය. ඒ උනාට සර් හිතාගෙන ඉන්නේ උගේ තාත්තා අද්වකාත් මහත්තයෙක් කියලා ය. කවුරු හරි සර්ට බොරුවක් කියලා වෙන්න ඕනෑ බව ජනකයා කිව්වත් ඌ ඇත්ත කියන්න යන්නේ නෑ ය. ඒ සර් ගේ සැලකිල්ල නැති වෙයි කියලා බයේ ය.
ඒ උනාට සර්ට ඒක අහු උනාය. එහෙම උනේ අපි නැටුම් සර් පන්තියෙ හිටපු වෙලාවක චන්ද්රකුමාරයාගෙ කෑම එක කන්න හැදුව හින්දා ය. චන්ද්රකුමාරයා එදා බඩගිනියි කියලා කෑම පෙට්ටිය ඇරියා ය. ඒකෙ බිත්තරයක් තියෙනවා දැකපු ජනකයා පැනලා බිත්තරේ අරං කටේ දාගත්තා ය. ඒක හපනකොට බිත්තර ගඳ පනතිය පුරාම ගියෝය.
නහය අකුලපු නැටුම් සර්,
“මොකාද ඒ පැඩපු එකා”
කියලා ඉව කර කර අපි ඉන්න පැත්තට ආවෙ වස්තලා ලෑ පැත්ත බලාගෙන ය. ඒ හින්දා ජනකයා බය නැතුව බිත්තරේ හප හපා හිටියෝය. කොහොම හරි නැටුම් සර් බිත්තරේ කටේ පුරවගෙන ඉන්න ජනකයා දැකලා තිබුනා ය.
” අද්වකාත් කෙනෙක් ගේ පුතෙක් ඔහොමද හැසිරෙන්නේ?”
කියලා සර් ඇහුවේ වස්තලා දිහා බලාගෙනමය.
“නෑ සර්, එයාගේ තාත්තා පොල් කැඩුවා. දැන් කොන්ද කැඩිලා ඉන්නේ”
කියලා වස්තලා කිව්වා ය.
” ආ එහෙමද? නගිනවා පුටුව උඩ”
කියලා සර් කිව්වෙත් වස්තලා දිහා බලාගෙන ය. වස්තලා ට ඉබේටම නැගිට්ටුනත් පුටුව උඩ නගින්න කිව්වේ ඌට බව දන්න ජනකයා පුටුවට නගිනවා දැකපු වස්තලා ආපහු ඉඳගත්තෝය.
ජනකයා පුටුව උඩ හිටගෙන පීරියඩ් එකේ ඉතුරු ටිකේ බිත්තරේ කෑවාය.
කොහොම හරි බඩේ අමාරුවෙන් හිටපු අසේලයා ඒ බිත්තර ගඳෙන් දෙපාරක්ම ප්රයෝජන ගත්ත බව ඌ ඉන්ටවල් එකේදි අපිට කිව්වා ය.
නැටුම් සර්ට ගිටාර් එකකුත් තියෙනවා ය. ඒක තියෙන්නේ නැටුම් කාමරේය. සර් වෙලාවකට නැටුම් කාමරේ ඒක ගගහා කෑගහනවා ය. සර් නං කියන්නෙ ඒ පුරුදු වෙනවා කියලා ය. ඒ උනාට සර් කියන සිංදු අපිට නං තේරුණේ නෑ ය.
දවසක් අසේලයයි මායි නැටුම් කාමරේ ළඟින් යනකොට නැටුම් සර්ගෙ ගිටාර් සද්දෙ ඇහිලා නැටුම් කාමරේ දොරට කිට්ටු වෙලා අහගෙන හිටියෝය.
නැටුම් සර් එක පාරටම,
“අනා….. තමා….. රුතේ…….
කුණා……. ටුසා…….. ගරේ……”
කියලා කෑගැහුවාය.
සර් කොච්චර හයියෙන් කෑගැහුවාද කිව්වොත් දොරට කණ තියාගෙන හිටපු අසේලයා විසිවෙලා ඇවිත් මගේ ඇඟට වැටුණෙමු.
සර්ගෙ සිංදුව තේරුණේ නැති උනාට බය උන පාරට අසේලයා පැනලා දිව්වා ය. මමත් ඌ පස්සෙන් දිව්වෝය.
නැටුම් කාමරේ දොර ඇරපු නැටුම් සර් වට පිට බලනවා දුවන ගමන් ආපහු හැරිලා බලපු මම දැක්කා ය.
ඒ උනාට පස්ස බල බලා දුවපු මං කොහෙදෝ යමිං හිටපු ලොකු ඉස්කෝලේ මහත්තයා ගේ බඩේ හැපුණෙමු. වටයක් කැරකිලත් යන්තං වැටෙන්නේ නැතුව මගේ කනෙන් අල්ලා ගත්ත ලොකු ඉස්කෝලේ මහත්තයා
“තෝත් තොපෙ අයියා වගේ හැදෙනවද?”
කියලා කනෙන් ඉස්සුවාය.
අපේ අයියා ලොකු ඉස්කෝලේ මහත්තයා ගෙනුත් ගුටි කාලා, තාත්තාගෙනුත් ගුටි කාලා, අම්මා ගෙනුත් ගුටි කාලා ඉවර උනේ පෙරේදා ය. කොයි වෙලාවේ හරි අහු උනොත් ලොකු ඉස්කෝලේ හාමිනෙත් අයියාට ගහනවා ය. එහෙම උනේ අයියලා විද්යාගාරෙ තීන්ත ගාපු හින්දා ය. ඉස්කෝලෙන් පස්සේ තීන්ත ගාන්න කිව්වේ ලොකු ඉස්කෝලේ මහත්තයා මය. ඊට කලින් විද්යාගාරෙ තිබුණ වටිනා දේවල් තීන්ත ගෑවෙන හින්දා එළියට ගෙනත් තියන්නත් කියලාය.
ගුරු නිවාසෙ තිබුණේ විද්යාගාරෙට එහා පැත්තෙන් ය. ඒ මැද්දෙන් සුදු ඉද්ද මල් පඳුරක් තියෙනවා ය. විද්යාගාරෙ අයියලා ඉන්නවා කියලා දන්නේ නැතුව හැන්දෑවේ බුදුන් වඳින්න මල් කඩන්න ඉද්ද ගහ ළඟට ආපු ලොකු ඉස්කෝලේ හාමිනේ විද්යාගාරෙන් සද්ද ඇහෙන හින්දා ඒ පැත්තට ඇවිත් ය. විද්යාගාරෙ බිත්තියට හේත්තු කරලා තිබ්බ මිනී ඇටසැකිල්ල ළඟ තීන්ත ගාන්න ඕන හින්දා වැඩි පරෙස්සමට අයියා ඒක උස්සලා විද්යාගාරෙ ජනෙලෙ ඇරලා ඇටසැකිල්ල ජනෙල් පඩිය උඩ තියලා තිබුණෙමු. ඇටසැකිල්ලක් විද්යාගාරෙ ජනේලෙ ඇරගෙන ඇවිත් ජනෙල් පඩිය උඩ ඉඳගන්නවා දැකපු ලොකු ඉස්කෝලේ හාමිනේ හූවක් කියාගෙන බිම වැටිලා තිබුණා ය. ඒක ඇහිලා දුවගෙන ආපු ලොකු සර් ඇට සැකිල්ල ජනෙල් පඩිය උඩ තියලා අල්ලාගෙන ඉන්න අයියා දැකලා තිබුණෝය. ලොකු ඉස්කෝලේ මහත්තයා යි, ලොකු ඉස්කෝලේ හාමිනේ යි දෙන්නම හිතලා තියෙන්නේ අයියා ලොකු ඉස්කෝලේ හාමිනේ බය කරන්න හැදුවා කියලා ය. ඒ හින්දා ලොකු ඉස්කෝලේ මහත්තයා අයියා අල්ලාගෙන ටොකු හතර පහක් ඇනලා ගෙදරට පණිවිඩේ යැව්වේ නිස්සංක අයියා අතේය. ඒ මං පණිවිඩේ හරියට කියයිද කියලා එතුමා ට විශ්වාස නැති හින්දා වෙන්න ඕනෑය.
අයියා කියන දේ ලොකු ඉස්කෝලේ මහත්තයා විශ්වාස කලත් අම්මා විශ්වාස කරන්නේ නැති හින්දා අයියා අම්මාගෙනුත් ගුටි කෑවා ය. අම්මා කියන දේ කොහොමත් විශ්වාස කරන තාත්තාත් අයියාට ගැහුවා ය.
කොහොම හරි ලොකු ඉස්කෝලේ හාමිනේට සිහිය ඇරන් තිබුණේ කට්ටඩියෙක් ගෙනත් නූලකුත් බැඳලා වෙමි.
උපුටා ගැනීම: ධම්මික ඒකනායක