එදා සෙනසුරාදා දවසක්. මම තමයි නිවාඩු දවස්වලට ගොඩක් වෙලාවට ගෙදර උයන්නෙ අම්මට එදාට නිවාඩු දීලා. එදා හවස රෑට උයලා මායි අම්මයි දෙන්නම කාලා ඉවර කරා. මං කාලා එහෙම ම ආවේ ටීවී එක ලඟට අම්මා කුස්සිය අස්පස් කරන්න ගත්ත නිසා..
මං පුටු සෙටිය උඩ හාන්සි වෙලා හිටියෙ ටීවී එක බලාගෙන වුනත් මං හිටියේ වෙනම ලෝකෙක. ඒ ලෝකෙට මොහතකට හරි ගිහින් එන එකෙන් මොකක්ද සැනසීමක් මට ලැබුණා. ඒ සැනසීමෙන් පස්සෙ ඇති වෙන්නෙ වේදනාවක් කියලා දැන දැනම ඒ ලෝකෙට මං යනවා ගිහින් නවතින්න උත්සහ කරනවා. ඒත් මං දැං තනියම ගිහින් ඒ ලෝකේ නැවතුනොත් වෙන්නෙ මං අතරමං වෙන එක විතරයි. එහෙම අතරමං වෙලා ජිවත් වෙන්න බැරි නිසා මං ඉඳහිට ගිහින් එන එක පුරුද්දක් කරගෙන ඉන්නවා.
පුටු සෙටියෙ හාන්සි වෙලා හිටිය මං ලඟට අම්මා ආවේ සෙටියෙන් වාඩිගන්න බලාගෙන. අම්මා ඇවිත් සෙටියෙන් වාඩි ගත්තහම මං ආයෙත් අම්මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන හිටියා. අම්මා ටීවී එක දිහා බලාගෙන මගේ ඔලුව අත ගගා හිටියා. මාව කල්පනාවකට වැටුනා..
මට ඉන්න හොඳම යාලුවන්ගෙ ලැයිස්තුවක් ගත්තොත් මං මුලටම දාන නම තමයි අම්මා. අම්මා අම්මා තමයි ඒත් සමහර තැන් තීනවා දරුවන්ට ලං වෙන්න ඕන අම්මා කෙනෙක් විදියට නොවී යාලුවෙක් විදියට වගේ ලංවීමක්. මට ඒ ලං වීම හොඳටම ලැබුණ නිසා ඕනම දෙයක් බෙදාගන්න පුලුවන්කමක් මට තිබුණා. ඒ ගැන නම් මං හැමදාම සතුටු වෙනවා.
මං අර අතරමං වෙන්න බයෙ ඉඳලා හිටලා ගිහින් එන ලෝකය ගැන අම්මා මුල ඉඳලම දන්නවා. ඒ ලෝකෙන් මං තනි වෙලා අවුරුදු අටක් වෙලත් අම්මා මට කිව්වෙ නැහැ
වෙන ලෝකයක් ගැන හිතන්න කියලා. මට ඕන වුනෙත් නැහැ වෙන ලෝකයක් ගැන හිතන්න. මේ ඉන්න විදියෙ වේදනාත්මක පහසුවක් මට දැනෙනවා. මං කෙනෙක්ට ආදරේ කරනවා ඒ කෙනා ලඟ නැහැ. ඒත් මං ආදරේ කරනවා. බලාපොරොත්තුවක්
නැතුවම නෙවෙයි එකම හමුවීමක් එකම වැළඳගැනීමක් වගෙ පුංචි බලාපොරොත්තුවක් ඇතුව මං ආදරේ කරනවා. මං දන්නැ ඒ බලාපොරොත්තු ඉෂ්ඨ වෙයිද නොවෙයිද කියලා. ඒත් මං ආදරේ කරයි. කොහමද කොච්චර කාලයක්ද කියලා මටවත් තේරෙන්නෙ නැහැ.
අවුරුදු අටක් කියන්නෙ ලොකු කාලයක්. අහිමි වී ගිය දෙයක් නැවත හිමිවෙයි කියලා බලාගෙන ඉන්න එක ගොඩක් අමාරු දෙයක්. ඒත් මේ අවුරුදු අටක් ඒ අමාරු කාලය ගෙවාගෙන ආවා. ඉදිරියටත් යයි. හති වැටුනොත් නොයා ඉඳියි.
ඒ ලෝකේ තනි වුනත් පුංචි කාලේ ඉඳලා මං මට ම මවාගෙන හිටිය හීන ලෝකේ කවදාවත් මට බොඳ කරගන්න අම්මා ඉඩ දුන්නෙ නැහැ. අම්මා හොඳම යාලුවෙක් වගේ ලඟ හිටිය නිසා මට මගේ හැමදේම සාර්ථක කරගන්න පුළුවන් වුනා.
ඔලුව අත ගගා හිටිය අම්මා ඇහුවා තාම අර දරුවා ගැන නේද කල්පනා කරන්නේ කියලා. මං “හුම්ම්ම්” කියලා උත්තර දුන්නා. දවස් ගෙවෙන්න ගෙවෙන්න ඒ දරුවා දුරස් වෙනවා නේද ? ඒත් මං දුන්නෙ “හුම්ම්ම්” කියලා උත්තරයක් විතරයි.
“කොච්චර කාලයක් ඔහම ඉන්න පුලුවන්ද?”
“දන්නෑ පුලුවන් කාලයක් ඉදියි”
ඒ උත්තරය අම්මට දීලා මං හිතින් මුමුණ ගත්තා. “අවුරුදු අටක් ගෙවිලත් මට වෙන කෙල්ලෙක් ගැන එහෙම ආදර හැගීමක් එන්නෙ නැත්තම් මං ඒ හැගීම් බලෙන් ගෙන්න ගන්නෙ කොහමද?” කියලා.
“ඊට පස්සෙ?”
“වෙන ලෝකයක් ගැන හිතන්න බැරි වුනොත් මේ ලෝකෙම ඉඳියි”
“පුලුවන්ද එහෙම දරාගෙන ඉන්න”
“අම්මට පුළුවන් වුනා නම්
ඉතිම් මටත් පුළුවන් වෙයි.”
අම්මා අහපු ගොඩක් දේවල් වලට මම කෙටි උත්තර දීලා “හුම්ම්” විතරයි කිව්වෙ. මං කිව්ව අන්තිම දේට අම්මත් “හුම්ම්” කිව්වා.
“හුම්ම්” කියන්නෙ උත්තරයකුත් නෙවෙයි ප්රශ්නයකුත් නෙවෙයි ඒ මැද තියෙන කියාගන්න බැරි හැගීමක වචනයක් වගේ දෙයක් වෙන්න ඕන. කියලා හිතුනා
මට කාලයක් ඉඳලා හිතේ ප්රශ්නයක් තිබුණා. ඒ ප්රශ්නයත් එදා මං ඒ වෙලාවේ අම්මගෙන් ඇහුවා..
තාත්තා අම්මව අතහැරියහම අම්මා වෙන කෙනෙක්ට ළං නොවි තනියම ඉන්න තීරණය කරේ මං නිසාද? කියලා මං අම්මගෙන් ඇහුවෙ “ඔව්” කියලා උත්තරයක් බලාපොරොත්තුවෙන් වුනත්, ඒත් මට ලැබුණේ “නැහැ” කියලා උත්තරයක්
ඒ කියන්නෙ අම්මා තාමත් අම්මව අතහැරලා දාපු පිරිමියට ආදරේ කරනවා.
අම්මා ආයෙත් “හුම්ම්ම්” කියලා ලොකු හුස්මක් අතහැරියා.. ඒ හුස්ම ඇතුලෙ තිබුනෙත් අතහැරලා දාපු පිරිමියට ආදරේ වෙන්නැති!
උපුටා ගැනීම: Pubudu Udatiyawala