ඇතැම් මතකයන්ට මිලක් නොමැත (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මචන්, උඹෙ ඔය පරණ බයිසිකල් කට්ට මට දියන්. රුපියල් තුන්දාහක් දෙන්නම්”
කතාව පටන් ගන්නෙ එතනින්ය. මේ බයිසිකලේ වටිනාකම එච්චරක් වෙන්න ඇතිය. ඒත් ඒකත් එක්ක බැඳුන අතීත කතාවත් එක්ක මිලක් නියම කරන්න පුළුවන්ද කියල කල්පනා කලයුතුය.
එවකට අපි රුහුණු කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේය. අපේ ෆැකල්ටියෙ තිබ්බෙ බැජ් දෙකකි. ඒ අලුතින් පටන් ගත් ෆැකල්ටියක් නිසාය. දිව උලුක් කරගෙන නම පාඩම් කරේ “ධීවර සහ සාගර විද්යා හා තාක්ශණ පීඨය” කියාය.
ඔතන හිටපු මගේ යාළුවා උනේ දඩාය ( ඉෂාර මහෙෂ් රත්නායක ) .ඌ අමුතුම එකෙකි. කොටින්ම ඌ ගැන කියනවා නම් ෆස්ට් ඉයර් ඉදන් ඌ ට්රයි කරන්නෙ වෙන ෆැකල්ටි වල ෆෝර්ත් ඉයර් කෙල්ලන්ටය. හැබැයි හිතෙන් පමණය. ඌට බයිසිකලයක් ඇත. ඌ වැලිමඩය. අවාසනාවකට ඌට බයිසිකලය ගෙදර ගෙන ඒමට අවැසි විය. එකල රුහුණේ සිට බණ්ඩාරවෙල දක්වා එන සුමන බස් රියේ දමා නිවසට රැගෙන ඒමට ඌ සිතා සිටි අතර නිකමට මා ඌට කීවේ අඩෝ ඕක පැදපන් ගමට කියාය. නිකමට කියූ ඒ වචන ටික මූ සීරියස් ගත්තාය. උඹත් වරෙන් අපි සෙට් එකක් එකතු කරන් පදිමු.
“තොපිට පිස්සු”
“පිස්සුද යකෝ බණ්ඩාරවෙලට බයිසිකල් වල යන්න”
“මුන්ට ඔල්මාදෙ බන්”
“අනේ මේ නිකා ඉදපල්ල”
බැජ් එකෙන් සහ ෆැකල්ටියේ සිටින පනහක් තරම් වූ සිසු සිසුවියන්ගෙන් අපේ යෝජනාවට ඉහලින්ම අගැයුම් ලැබුනේ එසේය.
අහෝ ඌටයි මටයි පිස්සුය.
අවසානේ අවංක අයියා ( සුදීර ගුණසේකර ) එනම් අපේ ෆැකල්ටියේ අතිගරු සභාපති තුමා අපගේ මේ උතුම් ව්යායාමය දැක අපේ ගමනට සුබ පැතුවා පමණක් නොව මාත් එනව උඹලත් එක්ක යයි පැවසීය. අහෝ ඌටද පිස්සුය.
ගමන සැකසුනේ එහෙමය. උන් දෙදෙනාටම මවුන්ටන් බයිසිකල් ය. මට මවුන්ටන් වී තිබී ගියර් ඉවත් කරන ලද ඉහතකී බයිසිකලයය.
අප්රමාණ වූ රිහසල් කීපයකින් පසුව සුබ දිනය උදා විය. 2009.08.22. ෆැකල්ටියේ හිතාදරයන්ගේ ආදරණීය අවලාද හමුවේ මාතරින් උදෑසන අටට ගමන පිටත් උනාහ. එකල පේස් බුකි ලයිව් , හාර්ට් රි ඇක්ශන් හහා රි ඇක්ශන් නැති යුගයකි.
තවත් එකෙකු මේ ගමනට දහිරිය දෙමින් බසයෙන් බණ්ඩාරවෙල බලා පැමිනීමටත් සෙවනගලදී නවාතැන් ලබාදීමටත් සූදානම් ය. මට එක දවසකින් ගමන නිමකිරීමට ඇවැසි උවත් අනෙක් දෙදෙනාගෙ පෙරැත්තය මත ගමන දවස් දෙකකට කඩා පළමු දින සෙවනගල දක්වා පමණක් යාමට යොදා ගත්තෝය. එය එසේ සිදුවිය
මාතරින් පටන් ගත් ගමන වළස්මුල්ල හරහා මිද්දෙණියටත්, මිද්දෙනියේ සිට ඇඹිලිපිටියටත්, එතැන් සිට සෙවනගලටත් එනවිට දහවල් දොළහ වූවා පමණය. අහෝ අකමැත්තෙන් මුදු එතන නවාතැන් ගත්තෙමු.
දුර කිලෝ මීටර අසූවකි
දෙවනි දවස දීර්ඝ සංචාරය සෙවනගල සිටය. උදෙන් පටන් ගත් ගමන තණමල්විලට එනවිට හොඳ ගණන් ය.
මේ වනවිට අපි කිලෝමීටර හතලිහක් සම්පූර්ණ කොට අවසන් ය. එක පෙළට යාම ගමන පමාවීමක් නිසා එතන සිට වැල්ලවායට ඇති කිලෝමීටර තිස් පහ තමන් රිසි සේ තනි තනිව හැකි උපරිමෙන් යමු යැයි යෝජන කලේ අවංකයාය. එසේ හෙයින් සියලු දහිරිය දා තෙරක් නොපෙනෙන මාවතක අපි තනි තනිව මා පළමුවත් දඩා දෙවනුවත් අවංකයා තෙවනුවත් කිලෝ මීටර විස්සක් පැද්දෙමු.
අනේ බන් එකට යන්. තනියෙන් යන්ඩ ගියාම එපා වෙනව. ඒ අපේ සභාය. ඉතින් ඌ උතුමාට ගරු කර වැල්ලවාය දක්වා එසේ ගමන නිම කලාහ.
දවල් දෙක පමණ වූ නිසා දිවාහාරය ගෙන ඉන්පසූ ගමනේ සුපිරීම කොටස ඇල්ල කපොල්ල තරණය කිරීම ඇරඹුනාය. අහෝ දුකකි. එකෙකුටවත් එක දිගට කිලෝමීටරයක් පැදිය නොහැක. කන්ද කන්දමය. නගින්න නගින්න තව දික්වෙනවාය. කෙසේ හෝ පැයක් පමණ කන්ද නැග තේකක් බීමට මග නැවතුන මොහොතක මෙතෙක් ලෝකයේ මා අසා තිබූ එපාම කරපු වචන ටික අහන්නට ලැබුණි.
“අනේ බන් අර ලොරියෙ පිටිපස්සෙ බයිසිකල් ටික දාන් යමු”
අරුන් දෙදෙනාම ඒකට එකඟය. තනි මගේ අකමැත්තෙන් කිම පලද?
“ඇයි යකෝ අරහෙ ෆැකල්ටියෙ උන්ට රජ මගුල් වෙයි අපි ගමන අතෑරියොත් මෙච්චර ඇවිල්ලා”
වාසනාවක මහත. අහෝ ලොරි අයියා අපිව දාගෙන යාම ප්රතික්ශේප කරේය.
ඌ නම් හිතක් පපුවක් නැති එකෙකි
අනේ යසයි. මගේ හිත කීවේය
අනේ අවසානේ අර අසරණයො දෙන්නා සහ මා නැවතත් ගිරිදුර්ග තරණය කරන්නට යෙදුනෙම් ය. අප්රතිහත දහිරියෙන් බණ්ඩාරවෙලට එනවිට හවස පහ පමණ වූ අතර උපතින්ම මාතර වැසියෙක් වූ සභාගේ කෙන්ඩාව කොහේටද පෙරලී ගොස් ය. මොනා උනත් ඌ පෞ ය. වහාම දඩා විසින් ගමට කතාකොට ත්රී වීලයක් ගෙන්වා බයිසිකලය සහ සභා එහි පටවා ගෙදරට යැවුවේය. එතැන් සිට අහෝ තවත් කිලෝමීටර පහළවක් කඳු ගැට නැග නැග පල්ලම් බැස බැස දඩාගේ ගෙදරට අපි දෙදනා නැවත පැද්දාහ.
දඩාගේ ගෙදරට එනවිට අනේ ඒ අම්මා විසින් මොන මොනවදෝ කොළ තම්බා අපේ කකුල් තැවීමට සූදානම් කර තිබුණාය. ඒ අම්මා එසේය. අදටත් මම ඒ අම්මාට දඩාටත් වඩා ආදරේ ය. ඒ වසර දෙකකට වඩා මට මගේ ප්රියම්බිකාව මුණගැසීමට අවැසි වූ විට නවාතන් සැපයූ නිවස වීමටත් වඩා, එහිදී ඈ විසින් මට පුතෙකුටත් එහා ගිය සෙනෙහසකින් ආදරය පෑ නිසාය. අදටත් ඒ බැඳීම හිත තුළය.
කෙසේ හෝ රාත්රී අට වනවිට අපේ වීර චාරිකාව එසේ නිමාවිය. ලොරියකට පටවා නැතිවීමට ගිය නම්බුව යාන්තම් සුරැකුණිය. මෙසේ ගමන නිමකරගත්තත් එතැන් සිට මා මහියංගනේට ආ යුතුව තිබුණි. ඒ කිලෝ මීටර එකසිය පහලවක දුරකි. මොරාලය කොතෙක් ද යත් මගේ තීරණය වූයේ තනිව මා ඒ කොටස බයිසිකලයෙන්ම යන බවයි. එකල උණය. ඉතින් පසුදා නොණ්ඩි ගස ගසා බයිසිකලයට නැගුනේ මධ්යම කඳුකරේ සිට මියුගුණ පුර බලා ධාවනය වීමටය.
පුරා කිලෝ මීටර එකසිය දහයක් ගෙවා නිවසට පැමිණියා මතකය. එතැන් සිට දින කීයක් නිදාගත්තාද යන්න මතක නැත. තරු විසිවූයේ ඊට සතියකට පසු මගේ මිතුරෙකුගේ වෙඩිමය. දෙවනියා මමය. අවුවට කරකුට්ටන් වූ සම ගැලවී තම්බාපුු ඉස්සෙක් බවට පත්වී සිටියත් බාරගත් වැඩය ඉවතලෑමට නොහැකිය. ඉතින් එසේ ඒ ආකාරයෙන්ම වෙඩිමටද පේස් කරාය.
ඉතින් කතාව ඔපමණය. එහෙයින් මේ බයිසිකලයට මිලක් නැත. එය මට අමිලය. දින තුනක් තුල කිසිම කරදරයක් නොවී පහතරට සිට උඩරට හරහා බින්තැන්න දක්වා කිලෝමීටර තුන්සිය දහයක් මාව රැගෙන ආවේ මේ බයිසිකලයය. කිලෝමීටර තුන්සිය දහයකි.
කවදා හෝ දිනක මගේ මුණුබුරකු විසින් උගේ යහලුවාට
“මචන් අර බිත්තියෙ එල්ලලා තියෙන්නෙ පුට් බයිසිකලේ කියල එකක්. ඕක අපෙ සීයගෙ. මෑන් ඕකෙන් මාතර ඉදල වැලිමඩටයි, එතන ඉඳල මහගෙදරටයි පැදලනෙ බන්. උන්දට දැන් වගේම ඉස්සරත් පිස්සු” කියා කියනු ඇත.
එය හොරෙන් අසා හිඳ මට “හොක් හොක් හොක්” ගා සිනාසිය හැක.
උපුටා ගැනීම:  Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!