අද්භූත ඇරයුම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට විසඳගන්න බැරි ලොකූ ප්රස්නයක් ඇවිත් ඒ ගැන හිතලම මේ දවස් වල මගෙ මස්තිෂ්ක සුසුම්නා තරලය හිඳිල ගිහින් ඇවිදිනකොට ඩග් ඩග් ගාලා මොලේ වදිනව ඔලු කටුවෙ.
බැරිම තැන දූවිලි තට්ටු වල කිමිදිල කිමිදිල ගෙදර පොත් රාක්ක පෙරලල බේකර් වීදියෙ අංක 221 දරණ නිවසෙ උඩුමහලටත් ගිහිල්ල ෂර්ලොක් හෝම්ස් කතා පොත් ටික ඔක්කොම හොයාගෙන ඇවිත් හත් අට පාරක් කියෙව්වත් මට උන දේට සමාන කේස් එකක් හම්බුනේ නෑ කිව්වම ආයි මොන කතාද
මේක මේ එෆ්බී ප්රස්නයක්.
අහ්..ෂර්ලොක්ගෙ කාලෙ එෆ්බී තිබුණෙ නෑ නේද…ෂිට් අප්ප
ප්රස්නෙ කියන්නෙ ඉතිං මේකයි..
මට මහා අමුතු ෆේරන්ඩ් රික්වෙස්ට් එන්න පටන් ගත්තනෙ. එෆ්බී එකවුන්ට් එකක් ඕපන් කරගත්තට මට මේ ගැන මහ ලොකු අවබෝධයක් නෑ ඇත්තටම.
මට මේව තෙරෙන්නෙ නැති නිසා අපේ පුතා තමයි මේ සම්බන්ධ උපදේශක තනතුරට මං ඇපොයින්ට් කරල ඉන්නෙ.
පුතත් හරි ආසාවෙන් ඒ පෝස්ට් එක භාරගත්තෙ. හැබැයි ඒ මට ආදරේකට නෙමෙයි. මොනවාම හරි දේකින් මං ඉන්නෙ එයාට වඩා හරීඊඊඊම පහල තැනක කියල එලිපිටම මට පිලිගන්න වෙන කේස් වලදි එයා මට වොලන්ටරි සර්විස් එක දෙනව පැනලම.
මේ ප්රස්නෙ පටන් ගත්තෙ මෙහෙමයි. ඔන්න මට මුලින්ම ලස්සන බලු පැටියෙක්ගෙන් ෆේරන්ඩ් රික්වෙස්ට් එකක් ආවා.
මං පුතාගෙන් ඇහුව බලු පැටිය කන්ෆර්ම් කරන්නද කියල. අඳුරන එකෙක්ද කියල ප්රොෆයිල් හොඳට චෙක් කරන්න කීව එයා. මමයි පුතයි දෙන්නම බල්ලන්ට හරීම ආසයි…ආදරෙයි… ඒ නිසා දන්න කියන තැන් වල විවිධ යාළු බල්ලො ඉන්නව අපි දෙන්නට.
තව ඉතිං කාලෙකට ඉස්සර අපිටම කියලත් ලස්සන බල්ලෙක් හිටියා. මේ එයාගෙ යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඒත් මේ බලු පැටිය නම් දැකලවත් නැති එකෙක්. පුතා කිව්ව ජලභීතිකාවට ඉන්ජෙක්ෂන් ගහලද දන්නෙත් නැති හින්ද ඕක රිජෙක්ට් කරන්න කියල. ඉතිං මං එහෙම කලා.
ඔන්න ආයෙ දවසක් පූසෙක්ගෙන් රික්වෙස්ට් එකක් ආව. අපි පූසන්ටත් හරි ආදරෙයි. ඒත් ඒ පූසත් අපි දන්න එකෙක් නෙමෙයි. අපේ ගෙදර හෙන රස්තියාදුකාර පූස් ජෝඩුවක් ඉන්නව. උන් දෙන්නගෙ හතුරු මිතුරු පූස් හමුදාවක්ම වටේ පිටේ ඉන්නව. කට්ටියගෙ යුධමය තත්ත්වයන් වලදි සාමසාධක කටයුතු කරල උන්ගෙ මූණු අපිට නෑදැයින්ගෙ මූණු වලට වඩා හුරුපුරුදුයි. ඒත් මේ ඒ එකෙක්වත් නෙමෙයි.
පුතා පූසගෙ ප්රොෆයිල් පික්චර් එක හොඳට ස්ටඩී කරල කිව්ව මේ පූස ලංකාවෙ හැදෙන්නෙ නැති බ්රීඩ් එකක්ලු.
” ෂාහ්..ෆොරිනර්ස්ල මට රික්වෙස්ට් දාන්නෙ ‘”
මාත් හෙන උජාරුවෙන් කිව්ව
“ඔව් ඉතිං බල්ලො බලල්ලු තමා “
කොල්ල මාව බිමටම සමතලා කලා. ෂිට් මගෙ නම්බුව.
” මං වහනව මේ එකවුන්ට් එක.
මට මේක එපා. “
ලැජ්ජාවෙන් බේරෙන්න බොරුවට මං කිව්ව.
” ඩිඇක්ටිව් කරන්නද ක්ලෝස්ම කරල දාන්නද “
පොරත් පැනලම අහනව.
‘”නෑ ..නෑ..කමක් නෑ ඔන්නොහෙ තිබුණාවෙ එක්කො.”
මට නෙමෙයි අනෙක් අයට ඕනවට තියාගන ඉන්නව වගේ පුතාට ඇඟවෙන්න එහෙම කියල බේරුණා යන්තම්. නැත්තන් තව පොඩ්ඩෙන් මෑන් ඒක ක්ලෝස් කරනව.
දවසක් හිත හදන් ඉන්න හම්බුන්නෑ ඔන්න ආයෙම මට ලේනෙක් රික්වෙස්ට් එකක් එව්වනෙ අප්ප.
” ලේනෙක්..!!! “
පුතා දැන් චෙක් කරනව.
” බුදු අම්මෝ ..මේන් තව සත්තු එවපු ෆේරන්ඩ් රික්වෙස්ට් ගොඩක් පෙන්ඩිං තියෙනව “”
පුතා කෑ ගහනව. මං ඕව බලන්න හරියට දන්න එකක්යැ.
‘” ගොඩක් තියෙද ..
ඔක්කොම සත්තුද “
මට ඇඬෙන්න වගේ.
” මිනිස්සු එවපුවත් තුන හතරක් තියෙනව.
බලුපැටව් දහ පහලොස් දෙනෙක්ම එවල තියෙනව.
පූසොත් සෑහෙන්න ඉන්නව.
තව ලේන්නු , හංසයො , කුරුල්ලො , තාරාවො , මාළුවො
ම්..ම්.. හැම සතාම වගේ රික්වෙස්ට් එවල තියෙනව “
” ආහ්..මෙන්න කියනකොටම සිංහයෙක්ගෙන් එකක් ආවා “
” සිංහය කැලේ රජානෙ. ඒ නිසා ඕක කන්ෆර්ම් කරමු ” මං කිව්ව
” කැලෑ සත්තු ඕන්නෑ රජ්ජුරුවෝ උනත්. කැලෑ වල එක එක යමර සීන්නෙ මේ කාලෙ. සිංහයට යන එන මං නැතිවෙලා මෙහෙට එන්න බැරි නෑ. ඒක භයානකයි. “
ඉන්පසු පුතා ෆේස්බුකියේ ඇති මගේ ප්රොෆයිල් පික්චරය විවිධ කෝණ වලට හරවා බලයි. ඔහුගෙ මුහුණද ඊට අනුරූපව විවිධ ඉරියව් වලට පෙරලෙයි.
ඈතට කර.. ළඟට කර..
ඇස් පුංචි කර ..ඇස් ලොකු කර ..
එක ඇසක් වසා ..
ආදී ලෙස මගේ ප්රොෆයිල් පික්චරය බලමින් පිස්සුවක් නටයි.
” ඇයි මොකක් හරි අවුලක්ද ” බැරිම තැන මං ඇහුව
” නෑ..මං මේ බැලුවෙ අම්මගෙ ප්රොෆයිල් පික්චර් එකේ අම්ම සතෙක් වගේද පේන්නෙ කියල “
” තමන්ගෙ අම්මට සතෙක් කිව්වා… “
මං අඬන්න පටන් ගත්ත.
” නෑ..නෑ. අඬන්න එපා.”
ෂර්ලොක් හෝම්ස්ගෙ පොත් වල මං දූවිලි පිහදාපු පරණ රෙදි කෑල්ල අරං පුතා මගෙ කඳුළු පිහ දාන්න පටන් ගත්ත. ඊට පස්සෙ මං හච්චිං දාහක් විතර යවනකල් උඩ පැන හිනා උනා. පව් මං..
” මං අම්මට සතෙක් කියන්නෑ අප්පා.. සත්තු මෙච්චර ෆේරන්ඩ් රික්වෙස්ට් එවන්නෙ අම්මගෙ ප්රොෆයිල් පික්චර් ඒකේ අම්ම සතෙක් වගේ පේනව වත්ද කියල මං බැලුවෙ ‘”
” ඉතිං එහෙමද පේන්නේ..”
මට දැන් නම් මැරෙන්න හිතයි. බනින්නත් හිතයි. ඒත් බැනල පුතාව තරහ කරන් පාඩුයි. මෑන්ගෙ සපෝට් නැතුව මේ වැඩ කර ගන්න බෑනෙ.
” නෑ කියන්නත් බෑ.. ඔව් කියන්නත් බෑ “
” මොකක්..ඇයි නෑ කියන්න බැරි. සාරියකුත් ඇඳල ගත්ත පොටෝ එකක්නෙ ඕකෙ මං දාල තියෙන්නෙ. සත්තු සාරි අඳිනවයැ “
පුතා මගේ හිස මුහුණ ආදිය අතගා ඔබා ආදී වශයෙන් හොඳින් පරීක්ෂා කර බලයි. පරණ ඇරියස් එකක් ක්ලියර් කරන්න වගේ නහයෙන් කනෙන් මදිවට කොණ්ඩෙන්ද ඇද බලයි.
” මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ෆ්රී ඔෆ් චාර්ජ් විසඳන්න පුළුවන් ලෙවල් එකේ අවුලක් නෙමෙයි මේක “
ගානක් කඩා ගන්නයි ප්ලෑන් එක. මං නං අහුවෙයි ඕවට.
” මෙන්න ඒ පාර ලොරියකුත් රික්වෙස්ට් දාලා.. මේක ලේසි අවුලක් නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් වගේ මොලේ වෙහෙසල හොයන්න ඕනෙ “
හපොයි…දැන් ඉතිං ගාස්තු කිය කිය මේ යෝදය ඉල්ලන ඉල්ලන දේවල් සපයල හරි මේක මං විසඳගන්න එපැයි.
” ඩිටෙක්ටිව් සර්විස් ප්රොෆෙෂනල් ෆී කෑෂ් වලින් නැතිව වෙනත් සේවා වලින් සපයන්න මව් තනතුර සලකල ඩිස්කව්න්ට් එකක් දෙන්නම්.”
” අහ්..” වෙන කාට කියන්නද ඉතිං කැමති වෙනව මිසක.
නිවාඩු දවසට උදේට බාගෙට ඇහැරිල කම්මැලි කමට ඇඳේ ඉද්දියි එයාට කම්මැලි හිතෙන වෙලාවලටයි හෙඩ් මසාජ්, පිටේ කූඹි ගමන් කිරීම්, පිට කැසීම් වලට අතිරේකව අරුමෝසම් කෑම බීම වට්ටෝරුවක් දුන්නා ගාස්තුව විදිහට දෛනිකව එයාට සපයන්න කියලා. මං ඉතිං යූ නාල වලින් හොය හොයා හද හදා එව්ව කව්ව කව්ව ඉන්නව. ඒත් තාම ප්රස්නෙ විසඳල දුන්නෙත් නෑ. මං හරීම අසරණයි. පවු ඉතිං.
අනේ මේ වගෙ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා.
( අනේ ඉතිං ප්රොෆයිල් පික්චර් එකට මේ කියන විදිහෙ පින්තූර දාගෙන ඉන්න අය මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. )
උපුටා ගැනීම: Kumari Dayananda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!