අද්භූත උකුසු ඇස්…(කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිදුවීම 2018 වර්ෂයේ සිදු වූ සිදුවීමකි.
මම කොළඹ දෙපාර්තමේන්තුවක රැකියාවේ නිරත තරුණියක්මි. මගෙ නම නිෂාධි, පත්වීම ලැබුන දා සිට වැඩට යාමට ඒමට දුම්රිය භාවිතා කරන්නෙමි.
මගේ ගෙවල් තිබුනේ මීරිගම ටවුමට ආසන්නවය. උදෑසනට තාත්තා හෝ අයියා මාව මීරිගම දුම්රිය ස්ථානයට යතුරු පැදියෙන් ගෙනැත් අරලින්නේය. මට මේ සිදුවීම සිදුවූයේ දිනක් මා වැඩට යද්දීය.
එදා මම උදෑසන කාර්යාල දුම්රියක නැගී තෙවන පංතියේ මැදිරියක අසුන් ගත්තෙමි. එදා කලින් දුම්රිය ප්රමාද වී ගොස් තිබූ නිසා මම යන දුම්රියේ මගීන් අඩු දිනයකි. මැදිරියේ ආසන බොහොමයක් හිස්ව තිබුනි. මම නැගි මැදිරියේ මැදට වන්නට තිබූ අසුනක වාඩි වී වට පිට බැළුවෙමි. සාමාන්යයෙන් අපේ තාත්තට වඩා වයසින් වැඩි මනුස්සයෙක් දුර තිබ්බ සීට් එකක සිට මට සිනහ විය. එක වරම මම හිතුවේ ඔහු සිනහ වන්නේ වෙනත් පුද්ගලයෙක්ටදෝ කියාය. ඒත් ඒ හරියේ ඔහු දෙස බැලීමට වෙනත් කෙනෙක්ද නැත. මම ඒ පුද්ගලයා හදුන්නනේ නැති බව හොඳටම විශ්වාසය. මම වැඩ කරන තැනද එවැනි පුද්ගලයෙක් නැත. තාත්තාගෙ යාළුවෙක්ද? ඒත් නැත. කෝකටත් කියා මම සිනා නොවී අහක බලා ගත්තෙමි.
ටිකකින් මගේ හදවත ගැහෙන්නට වූයේ මේ පුද්ගලයා මගේ ඉදිරිපස අසුනට පැමිණ වාඩි වීමය. දැන් මගේ හෘද ස්පන්දනය වැඩි වී ඇත. දුම්රිය ගමන් ආරම්භ කලේය.
දැන් මේ පුද්ගලයා මගේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටී. ඒ බැල්ම අහිංසක අසරණ බැල්මක් වුවත් එය මට මහත් අපහසුතාවයක් විය. මේ පුද්ගලයා කුමන තත්ත්වයක අයෙක්ද? මානසික අසහනකායෙක්ද? නැතිනම් වෙන මොකක් හරි දේකට අර අඳින කෙනෙක්ද? දැන් මගේ හිතේ ප්රශ්න කෝටියකි. කරන්නට දේකුත් නැත. මොහු ළඟදී කුමක් හෝ දරුණු අනතුරකට මුහුණ පා ඇති බවට මුහුණේ, බෙල්ලෙහි හා අත් වල තිබූ තුවාල කැලැල් වලින් මට නිගමනය කල හැකි විය.
දුම්රිය පල්ලෙවෙල, කීනවල පසු කර වදුරවටත් ආසන්නය. ඒත් අර බැල්ම ඉඳ හිට මා වෙත යොමා සිටී. ඔහුගේ ඇස් උකුස්සකුගේ මෙන්ය. ඉතා තියුණු ස්වරූපයක් ගනී. නහය ගිරා හොටක් වගේය. ඒ ඇස් දෙස එක එල්ලේ බලා සිටිය නොහැක.
මම කුමක් කරම්දැයි සිත සිතා හිඳ වේයන්ගොඩින් එම අසුනෙන් නැඟිට දුම්රියේ ඉස්සරහට ගියෙමි. යද්දී කාන්තාවක් පමණක් සිටි අසුනක් තිබූ නිසා එහි වාඩි උනෙමි. මම සිතුවේ අර මනුස්සයාද මා පසුපසින් එයි කියාය. නමුත් එය එසේ නොවීය. එදා මට කාර්යාලයේ වැඩක් කිරීමට තරම් සිත සන්සුන් නොවිනි.
පහුවදා මා සිතා මතාම කලින් දුම්රියක ගියෙමි. එහි ඔහු නැත. මම දිගටම එම දුම්රියේම ගියෙමි. එම දුම්රියේ යාමෙන් කාර්යාලයට කලින් යාමට පුළුවන් වීම නිසා මගේ වැඩ වලටද පහසුවක් විය. නමුත් දිනක් මගෙ අතින්ම සිදුවූ ප්රමාදයකින් ඒ දුම්රිය මට වැරදුනි. නැගීමට සිදුවූයේ අර මට ⁣කලින් සිදුවීම සිදුවූ දුම්රියටය. අර මනුස්සය අදත් හමුවේ යැයි සිතා මම ගැහැණුන් කිහිප දෙනෙක් මැද්දෙන් සිට දුම්රියට ගොඩ වූයෙමි. පේන තැනක අර පුද්ගලයා නැත. නමුත් විජය රජදහන දුම්රිය නැවතුමෙන් දුම්රිය නවත්තද්දී මා දුටුවේ දුම්රිය මැදිරි මැදින් ඉදිරියට ඇදෙන අර අද්භූත පුද්ගලයාය. මගේ ඇඟ ගැහෙන්නට විය. මම ක්ෂණිකව මගේ බෑගයට හිස තබා නිදාගෙන මෙන් සිටියෙම්. මඳ වේලාවකින් ඔහු මා නොදැක ඉදිරියට යන්න⁣ට ඇතැයි සිතා හිස ඔසවද්දී දුටු දෙයින් මගේ කකුල් පණ නැතිවිය. මුළු ඇඟම ගැහෙන්නට විය. ඒ පුද්ගලයා අදත් මගේ ඉදිරිපස අසුනේ ඉඳගෙන මගෙ දෙස සිනාමුසුව බලා සිටී.
දැන් මට කුමක් කරම්දැයි නොතේරේ. ළඟ සිටින කෙනෙකුට කියන්නද? ඒ පුද්ගලයාට බනින්නද? එසේ බැනීමට මට ඇති අයිතිය කුමක්ද? මිනිසෙක් මුහුණ දෙස බලා සිටියා කියා ඔහුට බැනීමට හැකිද? මම අන්ත අසරණව බලා සිටියෙම්. මෙය තාත්තට හෝ අයියාට කීමට හැක. ඒත් මනුස්සයෙක් මූණ බැලුව කියා ඔවුන්ට කීමට ඇති වැරැද්ද කුමක්ද? මම අසරණව ඉවත බලා සිටියෙමි.
ටික දිනක් යද්දී මම රාජකාරි කල දෙපාර්තමේන්තුවේම වෙනත් කොටසක මිතුරියන් පිරිසක් වෙනත් දුම්රියක යද්දි හමුවිය. එම දුම්රියේ සෙනඟ වැඩියෙන් හිටියත් මිතුරියන් සමඟ යන විට ආරක්ෂාවද වැඩි නිසා සැමදාම වැඩට යාමට එම දුම්රියම තෝරා ගතිමි.
දිනක් අපි කට්ටිය යන තැනට අහම්බෙන් මෙන් අර කලින් කී පුද්ගලයා පැමිණියේය. ඔහු අපි ආසන්නයේම මා දෙස බලමින් යන්නට විය. මේ වෙන තුරු කිසිම දිනක ඔහු මට කිසිදු අභිනයක් කර නැත. ඔහු කරන්නේ මා දෙස ඉතා දුක්බරව බලා සිටීම පමණි. වෙනත් කිසිදු කරදරයක් ඔහුගෙන් නැත. එදා ඔහු ලංකාවේ ප්රමුඛ පෙලේ දුරකථන සමාගමක ටී ෂර්ට් එකක් හැඳ සිටියේය. ඉන් මා ඔහු ඒ සමාගමේ කෙනෙක් යැයි සිතුවෙමි.
දිනක් මේ කියන සිදුවීම සිදුවූයේ මටත් අදහා ගත ⁣නොහැකි ලෙසය. අපේ දෙපාර්තමේන්තුවේ මා සිටි කොටසේ ප්රධාන ලිපිකරු මහතාගේ දුරකථනයේ දෝශයක් හේතුවෙන් ඒ මහතා ඔහුගේ පුද්ගලික දුරකතනයෙන් අදාල සමාගමට මේ දෝශය දැනුම් දුන් පසු පසුදා උදෑසන දුරකථන සමාගමේ සේවකයින් දෙදෙනෙකු ප්රධාන ලිපිකරු මහතාගේ දුරකථනය සැදීමට පැමිණි අතර ඉන් එක් අයෙකු දුටු විට මට ඉන්න තැන අමතක විය. අර අද්භූත පුද්ගලයා එතන විය.
ඔහු මා දැකීමට පෙර ක්ෂණිකව එතනින් ඉවත් වූයෙමි. ඔහු මා දුටුවේ නැත. මම කලේ ඔහුට නොපෙනෙන්නට කාර්යාලයේ වෙනත් කොටසකින් ගොස් මගේ ජංගම දුරකතනයෙන් හොරෙන්ම ඔහුගේ ඡායාරූප දෙක තුනක් ගැනීමය. ඔවුන් ඉතා ඉක්මනින් නව දුරකතනයක් සවි කර පිටව ගියෝය. එය මට මහත් අස්වැසිල්ලක් විය.
මේ ප්රශ්නය මා කිසි කෙනෙකුට මේ වෙන තුරු කියා නැත. ඒ එය කිව්ව පසු අසා සිටි පුද්ගලයා සිනා වේ යැයි මට සිතෙන නිසාය. මිනිසෙකු මුහුණ දිහා බැළුවා කියා තවකෙකුට පොඩි දරුවෙක් මෙන් කියන්නේ කෙසේද?
ටික කාලයක් මෙසේ සිදු වෙද්දී මගේ පාසලේ මිතුරියක් අහම්බෙන් මීරිගම ටවුමේදී ම⁣ට මුණගැසිණි. ඇගේ නම හිමාෂිය, ඇය හමුවූයේ අවුරුදු ගානකින්ය. ඇය සමග ආ ගිය විස්තර කතා කර කර සිටියදී මට ඇගෙන් මා විඳවමින් සිටි ප්රශ්නයට උත්තරයක් හමුවිය.
හිමාෂිට අක්කා කෙනෙක් සිටි අතර මම අක්කා ගැන අහද්දී ඇයගේ අක්කා අර මා පෙර සඳහන් කල පුද්ගලයා වැඩ කල ආයතනයේ වැඩ කරන බවත් ඇය විවාහ වී කොට්ටාව ප්රදේශයේ පදිංචිව සිටින බවත් හිමාෂි සඳහන් කලාය. ඒ අක්කාද අපේ දෙපාර්තමේන්තුවට කිට්ටුවම අදාල දුරකථන සමාගමේ ශාඛාවේ වැඩ කල බැවින් මේ පුද්ගලයා හඳුනනවා ඇත. ඒත් මේ සිදුවීම ඇයට කියන්නේ කෙසේද? කෙසේ නමුත් හිමාෂිගේ දුරකතන අංක මා ලබා ගතිමි.
දැන් හිමාෂිගේ අක්කා හමුවෙන ක්රමයක් මා කල්පනා කරමින් සිටියදී මම නිකමට මෙන් මුහුණු පොතේ හිමාෂිගේ නම සෙව්වෙමි. සොයද්දී ඇයගේ ගිණුම හමු විය. එයට මිතුරු ඇරයුමක් යවා ඇගේ ගිණුමේ මිතුරු ලැයිස්තුව බලදදී ඇගේ අක්කාගේ ගිණුම හමුවිය. අක්කගේ නම මිතුනිකාය.මා ඇයටද මිතුරු ඇරයුමක් යැව්වෙමි. එදා හවස් වන විට මගේ අරමුණ ඉටු විය. දවල් වන විට හිමාෂි අැරයුම භාරගෙන තිබූ අතර සවස් වන විට හිමාෂිගේ අක්කත් ඇයට යැවූ මිතුරු ඇරයුම භාර ගෙන තිබුනි.
මම අක්කාට මැසේජ් කලෙමි. පසුව අක්කා මා හඳුනා ගත්තාය. ඇගෙන් විස්තර අසා ටික ටික මගේ කාරණයට ආවෙමි. මගේ ⁣⁣⁣ෆෝන් එකේ සේව් කරගෙන සිටි අර පුද්ගලයාගේ ⁣ෆොටෝ කිහිපය අර අක්කාට යවා මොහු හඳුනනවාදැයි ඇසුවෙමි. අක්කා මඳකින් “අඳුරනව නංගි ඇයි” යැයි මැසේජ් කලේය.
මා ඇයට හිමාෂිට මේ බව නොකියන ලෙසට පොරොන්දු කරවා ගෙන එම සිදුවීම ප්රථම වරට කෙනෙකුට කිව්වෙමි. ඇය ඒ ප්රශ්නයට පිළිතුරු දුන්නේ මැසෙන්ජර් කෝල් එකකින්ය. ඇය දුන් උත්තරයෙන් මම එදා දවසම හැඬුවෙමි. මගේ ජීව්තයේ දුක්බරම දිනය එදා විය.
ඇය එම කෝල් එකෙන් කියූ දේ මම ඇගේ බසින්ම සටහන් කරන්නෙමි. “හෙලෝ නංගි අනේ ඔයාගෙ කටහඩ ඇහුවෙත් ගොඩ කාලෙකින්. නංගි ඔය අංකල් අපේ එකේ පරණම කෙනෙක්, නම ආරියතිලක හරි ආරියවංශ හරි එකක්. මොකක් හරි නමේ මුලට ආරි කෑල්ලක් එන එකක් හොදේ. එයාට හැමෝම කියන්නේ ආරි අයියා කියල. අපිත් ඉතිං ආරි අංකල් කියනව. අපිට එයාලව වැඩිය හම්බෙන් නෑ. එයාලා එලියේ වැඩ වලට යනව, ඒකයි නමවත් හරියට දන්නැත්තේ.
එයාට දුවෙක් ඉඳල සමහරවිට ඔයාලගෙ වයසේ වගේ මම දන්න විදියට. (ඇය ඔයාලා කිව්වේ ඇගේ නංගීද මගේ වයසේ නිසාය) මම ඒ නංගිගෙ ෆොටෝ දැකල තියනව. තනිකර ඔයා වගේමයි. දැනට මාස තුනකට කිට්ටුව ⁣වගේ මෙයාලගෙ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒ දුවයි, ආරි අංකල්ගේ නෝනයි දෙන්නම ICU ඉඳල නැතිවෙලා. මුලින් දුව, එයාගෙ හත් දවසෙ දානෙ දවසේ අම්මා නැතිවෙලා. මේ කිසි දෙයක් ආරි මාමා දන්නෑ. එයත් ICU, හරියට සිහියක් නැතුව ඉඳල සති තුනක්. සිහිය එද්දි අර දෙන්නම ආරි මාමව දාලා ගිහින්. ආරි මාමා කොහොම ඒ දුක දරාගත්තද දන්නෑ. ආරි මාමා මැරිල ගොඩ ආපු මනුස්සයෙක් නංගි. තාම ඇඟේ තුවාල තියනව. මනුස්සයට කතා කරන්න බෑ දැන් ඇක්සිඩන්ට් එකේදී තහඩුවකට උගුර තුවාල වෙලා. කන් ඇහෙනවත් අඩුයි.
අපේ ස්ටාෆ් එක එයාට ගොඩක් උදව් කලා ඒ වෙලාවේ. එයාට දැන් ලොකු වැඩක් දෙන්නෑ අපේ බොස්ල, ඔය ෆෝන් එකක් මාරු කරන, කේබල් අදිද්දි උදව්වක් වෙන වගේ පොඩි වැඩ දෙන්නෙ. දැන් හැටටත් ළඟයි. අනේ මන්ද මගෙ ජීවිතේ අහපු දුක හිතෙනම සිද්ධිය නංගි” කියා ඇය හඬන්නටත් ඉකි ගසන්නටත් විය.
ඇය මා මෙන්ම ඉතාම සංවේදී චරිතයකි. දැන් මටත් හැඬෙන්නට විය.
පසුව මම අක්කගෙන් ඇහුවෙ ආරි මාමාගේ චරිතය කොයි වගේද කියාය. අර අක්ක කිව්වේ “අනේ හරී අහිංසක මනුස්සයෙක් නංගි, පෙනුම ටිකක් සැර වගේ උනාට අපිට දරුවන්ට වගේ. එයා අපි කැන්ටිමේදි එහෙම දැක්කම අතින් කියනව ඔයාලා දැක්කම මගෙ දුව මතක් වෙනව, එයා හිටිය නම් ඔයාලා වගේ ඉදී කියල. ඒ වෙලාවට නම් අපිට ඇඬෙනව, එයා එහෙම කියනව නෙමේ නංගි එයාට කියවෙනව. මොනව උනත් තාත්ත කෙනෙක්නෙ නංගි”
එතකොට ඒ මනුස්සය මගේ දිහා බලන් ඉන්න ඇත්තේ ඔහුගේ දුව මතක් වී විය හැක. පසුව ඒ අක්කගෙන් දැන ගත්තේ ඔහු දැනට කැමති ලියුම් වලින් හෝ ලියා දෙන දෙයක් කියවීමට බවයි. නමුත් ඔහු මගෙ දෙස එසේ බලන් ඉන්නේ ඇයිද කියා ඇසිය යුතුය. මේ බව දැන ගැනීමට මට ඇති එකම ක්රමය ඔහුට ලිපියක් දීමය. ඒත් එයට පුදුම බයක් හිතේ.
කෙසේ නමුත් අර අක්කගේ මාර්ගයෙන් මම විස්තර දැන ගතිමි. ආරි මාමාගෙන් මගේ ගැන කියා ඒ ගැන අක්කා අසා තිබුනි. ඔහු සඳහන් කර ඇත්තේ එහෙම දරුවෙක් කෝච්චියේ එන බවත්, මම ඇගේ දුව වගේම නිසා ඔහුට එකවරම දුව දැනට මිය ගොස් ඇති බව අමතක වූ බවත්, ඇත්තටම මගෙ ගාවට ආවේ දුව ඉන්නවා වගේ පේන නිසා බවත් අක්කාට කොලයක ලියා පෙන්වා ඇත.
ඇත්තටම මට ඔහුගේ දියණියගේ පිංතූරයක් බැලීමට ඉතාම ආශාවක් ආවේය.
අර අක්කා හරහා මා ඒ ආශාවද සංසිදුවා ගතිමි. අක්කා ආරි අංකල්ට ඒ බව ලියා පෙන්වු පසු ඔහු මුදල් පසුම්බියේ තිබී දුවගේ ⁣⁣ෆොටෝ එකක් අක්කාට දී ඇත. පසුව අක්කා ම⁣ට අක්කගේ ෆෝන් එකේ ⁣කැමරාවෙන් ගත් ෆොටෝ එකක් එවීය. එය දුටු විට ඇත්තටම මේ මමදැයි මටම සිතුනි. ඒ ගෑණු ළමයා තනිකරම මා වාගේමය.
පසුව මේ සම්බන්ධයෙන් මම අපේ අම්මටයි තාත්තටයි කිව්වෙමි. අක්කා එවූ ආරි මාමගෙ දුවගෙ ⁣⁣ෆොටෝ අමිමලාට පෙන්වූයෙමි. අම්මලා කියා සිටියේ අපේ පවුලේ හතර දෙනාම අාරි මාමගේ දුවගේ හා බිරිඳගේ තුන් මාසේ දානෙට යමු කියාය. පසුව මෙි බව මම අර අක්කා හරහා ඒ ආරි අංකල්ට දැන්වූවෙමි. දිනක් අර අක්කා සඳහන් කලේ දින පහකින් පමණ අර ආරි මාමගෙ දුවගේ හා නෝනගේ තුන් මාසයේ දානය සහ බණ පැවැත්වෙන බවත් ආරි මාමගෙ ආයතනයේ කාර්ය මණ්ඩලයත් සහභාගී වන බවත්ය. ආරි මාමා අපේ ගෙදර අයටද සහභාගී වන ලෙස ඉතා ගෞරවනීය ඇරයුමක් මිතුනිකා අක්කා හරහා කර ඇත.
එදා අපි ආරි මාමාගේ ගෙදරට දානයට සහභාගී වීමට ගියෙමු. යන විට සෙනග සාමාන්යයෙන් සිටි අතර ආරි මාමා පේන්නට සිටියේ නැත. අපි නිවසට යද්දී අර හිටපු සෙනඟ පුදුම වී මෙන් මගෙ දිහා බලන්නට විය. එතන මා හඳුනන කිසිවෙකු සිටියේ නැත. මට ඇත්තටම අපහසුතාවයක් දැනුනත් අපි නිවස අසලටම ගොස් ඇතුලට එබුනෙමු. දුටු දෙයින් ඇත්තටම මට ඇතිවූ දුක කියා නිමකල නොහැකි විය.
විශාල කර සාදන ලද ෆොටෝ දෙකක් සාලයේ විය. ඒ ආරි මාමගේ දුවගේ හා බිරිඳගේය.ඒ දෙකෙන් දුවගේ ෆොටෝ එක තනිකරම මගේ එකක්ම වගේය. කිසිදු වෙනසක් නැත. ටිකකින් ආරි මාමා නිවසේ ඇතුලේ කුමක් හෝ වැඩක සිට ඉදිරියට එද්දී අපි දුටු අතර අපිව දැක අර පෙර මා දුටු අසරණ දුක්බර සිනාව දාගෙන අප අසලට පැමිණ මොනවාදෝ අත් දෙකෙන් පැවසීය. මට එවෙලේ නම් ඇත්තටම ඇඬුනේ අපි මිනිස්සුන්ගේ ඇතුලාන්තය නොදැක පිටින් ගන්නා වැරදි තීරණ නිසා කෙතරම් අකටයුතුකම් සිදුවෙනාද කියාය.
මම දණගසා ආරි මාමාට වැන්දෙමි. ඔහු එවෙලේ පොඩි දරුවෙක් මෙන් ඉකි ගසමින් හඬන්නට විය. ඔහුට ඔහුගේ දියණිය වඳින අයුරු මතක් වෙන්නට අැත.
ටිකකින් ගේ ඇතුලේ සිට කාන්තාවන් දෙදෙනෙක්ව ආරි මාමා ගොස් කැඳවා ගෙන ආ අතර ඔවුන් ඔහුගේ නංගිලා දෙන්නා බව ආරි මාමා ඔහුගේ බසින් කියද්දී මට තේරුණි. ඒ නැන්දලා දෙන්නා මා දැක ඉතා පුදුමයට පත්ව ඇත. ඔවුන් දෙන්නා මා දැක ළඟට පැමිණ මා තුරුළු කර ගෙන හඬමින් පැවසුවේ මා ගැන ආරි මාමා නිතර පවසන බවත් ඔහු දුටු විට මා බියෙන් සිටින බවත් ආරි මාමාට දුව මතක් වෙද්දී මගෙන් දුරකට යන්න නොසිතෙන නිසා මා අසලින් සිටින බවත් නිවසට පැමිණ ඔවුන් හා කියන බවත්ය.
දානයට හැකි පමණින් උදව් කල අපි එදින සවස ඔවුන්ගෙන් සමුගෙන නිවසට ආවෙමු. අපි එන්න හදද්දී ආරි මාමා හා ඔහුගේ නංගිලා දෙන්නා නැවත මා බදාගෙන ඔළුව අතගාමින් හඬන්නට විය. මම නැවත දිනයක එහි එන බවට පොරොන්දු වී ගෙදර ආවෙමි. ඇත්තටම එදා මගෙ ජීවිතයේ ඉතාම දුක්බරම දිනයක් විය. පසුව ආරි මාමා වැඩට ගොස් අවසන් වන තෙක් දුම්රියේ අපි සමඟින් වැඩට ගියේය. එය ඔහුට ඉතාම මානසික සැනසිල්ලක් විය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!