“හිල්ඩා එක පැත් තේ යමුද?”
ඒ මොහොතේ මා සිටියේ තීරණයක් ගැනීමට නොහැකිවය. කෑම පැයේ විජේවර්ධන කැන්ටිමට ගොස් නවක සිසු සිසුවියන් හදුනා ගන්නවාද? එසේ නැතිනම් විද්යා පීඨයේ පුස්තකාලයට ගොස් අත්යාවශ්ය පොතක ඡායා පිටපතක් ගන්නවාද යන මේ සිතුවිලි දෙක ඔස්සේ නිමග්නව මනස යවමින් සිටි මොහොතක මාගේ මිතුරා ඉහත සදහන් ප්රශ්නය ඇසුවේය.
.
මාගේ අවශ්යතා දෙකම මිතුරා වෙනුවෙන් අත්හළ මා හිල්ඩා ඔබේසේකර ශාලාව වෙත යන්නට තීරණය කළෙමි. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පීඨ කිහිපයකට නවක සිසු සිසුවියන් බොහොමයක් පැමිණි කාල වකවානුවක් නිසාදෝ සෑම තැනකම අමුතු මිහිරක් රජයන්නට විය.
.
විනාඩියකට දාස් ගණනක් මල් බිම පතිත වෙන රොබරෝසියා ගස් සෙවන යටින් අපි හෙමිහිට ඇවිද ගියෙමු. හිල්ඩා ශාලාව වෙත යන ගමන් මගේ මඟ දිගට හමු වූ නවක සිසු සිසුවියන් කිහිප දෙනා අතර මග නවතා නම, ගම අසා වහා පිටත් කර හැරියේ නවක වදය දීමේ වරදට මහාචාර්ය අචාර්යවරු අපිට අච්චු කරණු ඇතැයි සැක සිතූ නිසාය.
.
සරත්චන්ද්ර එළිමහන් රංග පීඨයට කිට්ටු කරන විට අපට ඈතින් දැක ගන්නට හැකි වූයේ නවක සිසුන් කිහිප දෙනෙකු නවක වදයට ගොදුරු වී ඇති අයුරුය. තාර පාර අයිනේ ඇති වට අඩි පහළොව පමණ ඉක්මවූ දැවැන්ත මාර ගස් තුන බිම ඇද වැටීම වළකාලීම සදහා නවක සිසුන් තිදෙනෙකු මහත් උත්සාහයක නිරවෙමින් සිටියේය.
.
තිරසට අංශක හැටක පමණ කෝණයක් ආනත මෙම ශතවර්ෂ ගණනාවක් ඉපැරණි මාර ගස් මහපාර මැද්දට මේ දැන් ඇද වැටේ යැයි සිතා එය වළක්වාලීමට ගස් තුනට දෑතින්ම මුක්කු දී සිටින නවකයින් තිදෙනා දෙස මා මොහොතක් බලා සිටියේය. හරියටම අවුරුද්දකට පෙර මාත් මෙම ගස් තුනෙන් එකකට මුක්කු දී සිටියා නොවේද?
.
“යකෝ ඔය මොල් ගහක් නෙමෙයි මාර ගහක්… හොඳට බර දීලා අත් දෙකෙන්ම… අත් දෙකෙන්ම….” මගේ මිතුරා ඈත සිට එසේ කියා එතැනට ළඟා විය. විශ්වවිද්යාලයට ආධුනිකයෝ වහා අත් දෙකෙන්ම ගසට මුක්කු දෙන්නට වූහ.
.
“දැන් කොච්චර වෙලා ඔහොම ඉන්නවද?” මාගේ මිත්රයා ඇසුවේ දෙවෙනි ගසට මුක්කු දී සිටිනා නවකයා දෙස බලමිනි. “පැය භාගයක් විතර ඇති…” ඔහු අසරණ ලීලාවෙන් පවසා සිටියේය.
.
“අත් දෙකත් සෑහෙන්ට රිදෙනවා ඇති…”මම ඇසුවේ ඉක්බිතිය.
.
“හරියට රිදෙනවා අත් දෙක කැක්කුමයි….”අසරණ සිසුවා එසේ කියා මා දෙස බැලුවේ මගෙන් හෝ පිහිටක් ලබා මෙතනින් නිදහස් වීමට සිතාගෙනය.
.
“ අත්දෙක රිදෙනවා නම් හැරුනා අනික් පැත්ත… තිබ්බා ගහට පිට!” මාගේ මිතුරා යකෙකු මෙන් කඩා පැන කීවේය. නවකයා වහා ගහට පිට දුන්නේය. පැය භාගයකට පමණ පෙර වෙනත් ජේෂ්ඨ සිසුවෙකු විසින් ගසට මුක්කු දීපිය යැයි පවසා මාරු වී ඇත. මේ අසරණ සිසුන් තිදෙනා පෙර කී ජේෂ්ඨ උත්තමයාට ඇති භය පක්ෂපාතීත්වය හේතුවෙන් බොහෝ වේලාවක් ගස් තුනට මුක්කු දෙමින් ඉඳ ඇත.
.
“මේකට ආව නම් මොළේ පාවිච්චි කරන්ට ඉගෙන ගනිං! ගහට මුක්කු දියං කියලා මාරු වුණ ජේෂ්ඨයා දැන් සංඝමිත්තා ගිහින් කෙල්ලව අරගෙන ලවර්ස් ලේන් එකටත් රිංගලා ඇති! උඹලා… උඹලා යකෝ ගොන් බදින කණු! ඒ ජේෂ්ඨයා ආය ඇවිල්ලා මුක්කුව ගලවපං කියන කල් උඹලා තුන් දෙනා උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නවා. යකෝ අපි මේ කරන්නේ රැග් එකක් නෙමෙයි… මේ ජඩ සමාජයේ මොළේ පාවිච්චි කරලා ඉන්න හැටි කියලා දෙන්නේ…. ඔය මුක්කු ගලවලා දැන් දුවපියව්.” තුන්වෙනි ගසට මුක්කු දි ඇති නවකයා දෙස බලමින් මා එසේ පවසා සිටින විටත් ඔහුගේ දෙනෙතින් කඳුලු කැට පවා බිමට රූරන්නට විය.
.
“සමාජය එක්ක ගැටෙන්ට ඔහොම නම් බෑ පුතෝ…”යැයි මාගේ මිතුරා කීවේ නවකයා බිම වැටී තිබූ ෆයිල් කවරයේ තිබූ වල් රොඩු පිස දමනා අතරවාරයේදීය. එම අසරණයින් තිදෙනා නවක වදයෙන් මුදාහළ අපි නැවත ගමනේ යෙදෙන්නට වීමු. අපිට අඩි කිහිපයක් ඈතින් නවකයෙකු යැයි සිතිය හැකි අයෙකු අපි සිටි පැත්තට එන්නට විය.
.
“මචං… මේකා මොකෙක්ද?” මගේ මිතුරා මට පමණක් ඇහෙන්නට කීවේය.
ඔහු කාලවර්ණය. කෙස්ස තරමක් බොකුටුය, ටිකක් දිගය. දිග කලිසමක් ඇද සිටියත් එහි අමුතුම කැතක් ඒකාන්තයෙන්ම පෙනෙන්නට තිබුණේය. සෙරෙප්පු කුට්ටමක් දමා තිබුණත් එවන් සෙරෙප්පු යුගලයක් මම ජීවිත කාලයටම දැක නොතිබුණි. කපු වැනි රෙද්දකින් මැසූ කමිසයක්ද ඇද සිටි අතර එහිද අපි එදිනෙදා දකින කමිසයක සේයාවකුදු කොහෙත්ම දකින්නට නොතිබුණේය.
.
“මචං… ජුන්නෙක්…”( ජූනියර් සිසුවෙක් එනම් නවක සිසුවෙක්) මම කීවේමි. මගේ මිතුරාට අසූහාරදාහකට යකා නැග්ගේ මගේ ඒ ප්රකාශයත් සමගමය.
“යකෝ මුං නළුවෝ වගේනේ… කොන්ඩ වවාගෙන… මූව හිල්ඩා 44ට අරන් යං. දෙමු නියම ෆිසිකල් රැගක්…”මගේ මිතුරා නොඉවසිල්ලෙන් කීවේය.
.
“සමාවෙන්ට… මොකද අර තුන්දෙනා ගහට මුක්කු දීගෙන හිටියේ?’’ අපි කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස එම පුද්ගලයා කැඩුණු සිංහලෙන් අපෙන් විමසා සිටියේය.
.
ෆෙෂෙක්ද?’’ මගේ මිතුරා පෙරළා ප්රශ්න කළේය. මගේ මිතුරාගේ ප්රශ්නය ඔහුට නොතේරුණේය.
.
“අළුතෙන්ද ආවේ…” මම වහා විමසුවේ එබැවින්ය.
.
“ඔව් අලුත්!” ඔහු කීවේය.
.
“ආ… වරෙන් වරෙන්… මම උඹට කියලා දෙන්නම් මුක්කු තියන්ට හේතුව…” මගේ මිතුරා වහා කීවේය. මේ නවකයා මැදිකර ගත් අපි හිල්ඩා වෙත යන අතරවාරයේදී ඔහු හතර වටටම නෙත යොමා බැලුවේය. පාරේ යන එන වාහන, විශ්ව විද්යාලීය ගොඩනැගිලි, නිල නිවාස, මිනිසුන්… මේ කී නොකී සෑම දෙයක් දෙසම දැඩි අවධානයකට ලක් කළ සෙයක් පැහැදිලිවම දක්නට ලැබුණේය. නමුත් මගේ මිතුරාට එය නොපෙනුණේ මේ නවකයාගේ කේෂ කලාපය නිසා හට ගත් කෝපය නිසා වන්නට ඇත.
.
“යං… යං… තේ එකක් බීලම කියලා දෙන්නම් ඇයි මුක්කු ගහගෙන හිටියේ කියලා…” මගේ මිතුරා හිල්ඩා කැන්ටිම වෙත නවකයා දක්කන ගමන් කීවේය. මේ නවකයා හිල්ඩා ශාලාවේ විශාල ජල පොකුණ දෙස මහත් ඕනෑකමින් බලන්නටත් ඉක්බිති උපහාසයෙන් මෙන් මන්දස්මිතියක් පාන්නටත් විය.
.
“ මොකද උඹ නෝන්ඩියට හිනා වුණේ… ඇයි උඹේ ගෙදර මීට වඩා ලස්සන පොකුණු තියෙනවද?” මම ඇසුවෙමි. මගේ ප්රශ්නයට ඔහු සෘජු පිළිතුරක් නොදුන්නත් එම නිහැඩියාව තුළ “ඔව්… මේවා මොනාද? මේවා පොකුණුද?” යන්න සැඟවී ඇතැයි යන සැකය මට මුල් වරට සිතුණේය.
.
. “මොනාද බොන්නේ… ටී ද? පේලේන්ටිද? මගේ මිතුරා නවකයාගෙන් ඇසුවේය. නවකයා ඊට පිළිතුරක් දීමට ගැඹුරින් කල්පනා කළ අතර ඔහුගේ පිළිතුර පවසන්නට පළමුව මගේ මිතුරා පේලෙන්ටි තුනක් ඇණවුම් කළේය. මද වේලාවකට පසු නවකයා පේලෙන්ටිය බීමට සූදානම් විය.
.
“හා… හා…හා…ඔහොම නෙමෙයි… අත්දෙක පල්ලෙහාට දාලා, හොඳ ළමයා වගේ කෝප්පය අතින් අල්ලන් නැතිව…” මගේ මිතුරා ආරූඪ කරගත් ලෙන්ගතු කමකින් කීවේය. කෝප්පය අතින් නොඅල්වා එහි ඇති දේ පානය කරන්නේ කෙසේදැයි මදක් කල්පනා කළ නවකයා ඉක්බිති අසරණ ලීලාවෙන් මා දෙස බලන්නට විය. නවකයාගේ එම බැල්ම දුටු මා මිත්රයා…..
.
“මේසේ උඩ කෝප්පේ තියලා… හොම්බ කෝප්පෙ කට ළඟට කිට්ටු කරලා සුරුස් ගාලා උඩට අදින්ට…” යැයි කීවේය. උභතෝකෝටික ගැටලුවකට මැදිව උන් නවකයා කෝප්පය අතින් නොඅල්වා තේ පානය කරන්නට ගොස් වසර පණහකට වඩා පැරණි බුරුම තේක්ක ලීයෙන් තැනු මේසය මත තේ කෝප්පය ඉහිරවා ගත්තේය. තේ පැන් සංග්රැහයෙන් ඉක්බිති අපි තිදෙනා හිල්ඩා ඔබේසේකර ශාලාවේ 44 කාමරය වෙත ගියෙමු.
.
“මුක්කු ගහන්ට! හිටපං මම හොඳ මුක්කුවක් ගහන්නම්” යැයි මුමුනමින් මගේ මිතුරා කාමරයේ දොර විවර කළේය. “මොකක්ද බං උඹේ ඔය කොණ්ඩේ… මේ වගේ තැනකට එනකොට හිසකේ බා ගෙන කපලා පිළිවෙලකට එන්ට එපැයි… කෙල්ලව බලන්ට නැන්දම්මගේ ගෙදර යනවා වගේ ඇවිත් හරි යන් නෑ පුතෝ… මොකක්ද බං උඹ ඔය දාගෙන ඉන්න සෙරෙප්පු දෙක! උඹේ මී මුත්තා කුඹුරු හාන්ට යනකොට දාගෙන ගිය දෙකද?” මගේ මිතුරා අතොරක් නැතිව ලාබ වචන දොඩන්නට විය.
“මොකක්ද නම?” මම ඇසුවේ බොහෝ වේලාවක් ගියාට පසුය.
“මූලාචාරියා…”
“හොඳයි උඹටම ගැලපෙන නම… එතකොට කාඩ් එක?” එනම් ඇත්ත නම… නොඑසේ නම් උප්පැන්නයේ ඇති නම මොකක්දැයි මම ඇසුවේ ඉක්බිතිය. එම ප්රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට නවකයා කල්පනා කරන්නට විය.
“නම කියන්නේ කාඩ් එක. කාඩ් එක කියන්නේ නම… ඒ කියන්නේ ඇත්ත නම… උප්පැන්න සහතිකයේ කච්චේරියේ රෙජ්ස්ටර් කරපු නම යකෝ!” මගේ මිත්රයා මැද්දට පැන කීවේය.
“මූලාචාරියා…” නවකයා නැවතත් කීවේය.
“අනේ මේ උඹත් එක්ක හුරතල් වෙවී ඉන්ට වෙලාවක් නෑ…” එසේ කියූ මගේ මිත්ර යා 44 කාමරයේ දොර අගුළ දමා වසා… “ගලවපං කමිසේ !” යැයි පොළොවේ අඩි හප්පමින් කීවේය. “මාර කමිසයක්නේ බං… කොහෙන්ද මේක හොයා ගත්තේ… උඹේ මී මුත්තා වක්කඩේ හකුරු හංගන්ට යනකොට ඇදගෙන ගිය එකද?” මගේ මිත්රයා ගත් කටටම ඇසුවේය. නවකයා තුෂ්නිම්භූතයෙන් බලා සිටියේය.
.
“උඹ කමිසේ ගලවනවද නැද්ද?” මිත බෙරිහන් දෙමින් ඇසුවේය. නවකයා කමිසේ යටින් අල්ලා එක එල්ලේ වම් උරයෙන් පන්නා දැමුවේ අපට නොහුරු අමුතුම කලාවකටය. ඔහුගේ කාලවර්ණ පපු පෙදෙස මැද්දට වන්නට අපට නුහුරු දම්වැළක එල්ලී සුරයක් තිබුණේය. ඒ ගැන වැඩි තැකීමක් නොකළ මිත්රමයා දිගින් දිගටම පරුෂ වචනයෙන් බැණ වදින්නට විය.
“හා දැන් කලිසමත් ගලවපං. යකෝ මාර කලිසමක්නේ… කොහෙන්ද බං මේක හොයා ගත්තේ… උඹේ මී මුත්තා හරකුන්ට තණකොළ කපන්ට යද්දී ඇදපු එකද?”
“ කලිසම නම් ගලවන්ට බෑ.” මෙහිදී නවකයා එක්වරම කෑ ගසා කීවේය.
“මොනවා කලිසම ගලවන්ට බෑ කිව්වා….. එහෙනම් කලිසම තව ටිකක් උඩට උස්සලා එක තැන උඩ පැනපං….”
.
කිසිදු අයුරකින්වත් ඊට විරෝධය නොපෑ නවකයා එකතැන උඩ පනින්නට පටන් ගත්තේය. උඩ පනිනා වාරයක් වාරයක් පාසා ඔහුගේ සාක්කුවෙන් හඩක් ආවේය. ඒ ගැන තැකීමක් නොකළ මගේ මිත්රයා තවදුරටත් උඩ පනින්නට නියම කළේය. ‘සලං’ යන ශබ්දයෙන් නවකයාගේ සාක්කුවෙන් විසි වුණ කාසියක් බිම වැදී රෝල් වී ගියේය.
.
“හෝව්… හෝව්… හෝව්… මොකක්ද බං ඒ… යකෝ පරණ කාසියක් නේද? ඇත්ත කියපං උඹ නිදන් හොරෙක් නේද?” නවකයා උඩ පැනීම නවතා සාක්කුවට අත දමා කාසි අහුරක් ගත්තේය.
.
“මම හොරෙක් නෙමෙයි, මේවා අපේ මහා නරපති පරාක්රමබාහු නිරිඳගේ කාසි!”
“මොකක්! මොකක්! මොකක්! කෝ බලන්ට මූණ…. ආයේ කියපං බලන්ට…. ආයේ කියපං බලන්ට” යැයි කියූ මගේ මිත්රයා නවකයාගේ මූණටම එබුණේය.
.
“ඔව්… මහා පරාක්රමබාහු රජතුමාගේ කාසි…” බිම වැටී තිබූ කාසියක් අතට ගත් මම එය නිරීක්ෂණය කරන්නට වීමි. මිලිමීටර් දහයක් පමණ විෂ්කම්භයෙන් සහ මිලිමීටරයක් පමණ ඝණකම් තඹ කාසියකි. ත්රිශූලයක් වැනි නොපැහැදිලි හැඩයක්… ඉදිරියට නෙරූ බිංදු පහක් සහ තවත් සලකුණු කිහිපයක් එහි විය.
.
“මම ආවේ අතීතයෙන්… අවුරුදු 825ක් ඈත!” නවකයා ආවේශ වූවෙකු මෙන් එක හඩින් කීවේය. අපි මොහොතකට පාෂාණි භූත වීමු.
.
“ලක්දිව ශ්රේෂ්ඨ රණකාමි නරපතිතුමා… මහා පරාක්රමබාහු රජතුමනි ඔබට ජය ශ්රී… කාලය හරහා මම අනාගතයට ආවේමි. ජය ශ්රී මහ රජ! ජය ශ්රී…”නවකයා අත් ඉහළට ඔසවමින් කෑ ගැසුවේය.
“විකාර දොඩවන් නැතිව උඩ පැනපං…” මගේ මිතුරා වහා කීවේය.
“මම ආවේ අතීතයෙන්… උඩ පනින්ට ගතවන කාලය අපරාදයක්!” නවකයා එක හඩින් කීවේය.
මේ නවකයා ගැන මුල සිටම මට ඇති වූ සැකයේ යම් සාධාරණයක් ඇතැයි මට පළමු වරට ඒත්තු ගියේය. නමුත් මාගේ මිතුරා වහා මා දෙසට හැරී : “මචං මේ යකා මෙන්ටල් කාරයෙක්… ෆිසිකල් රැග් එක දීලා මේකා ලෙඩෙක් වුණොත් අපිත් ගස්! ඒ හින්දා ෂේප් එකේ බයිට් එකට ගමු”යැයි කියූ මගේ මිතුරා… “අවුරුදු කීයක් ඈත අතීතෙන්ද ආවේ?” යැයි ඇසුවේය. “අවුරුදු 825ක් ඈත අතීතෙන්” ඔහු කීවේය. “මම පරාක්රමබාහු රජුගේ පුරෝහිතයා… ඒ වගේම විද්යාඥයා….” නවකයා නව පණක් ලද්දෙකු මෙන් කීවේය. මම වහා එවකට 2000 වර්ෂය වූ බැවින් ඉන් 825ක් අඩු කළෙමි. ක්රි :ව 1175 මම ගණන හැදුවෙමි. “හරියටම අවුරුද්ද කියන්ට පුළුවන්ද ?” මම ඇසුවේ ඉක්බිතිය. “ 1175” නවකයා නොඑසේ නම් මහා පරාක්රමබාහු රජුගේ පුරෝහිතයා කීවේය.
“මූ යකෙක්නේ” මට කියවුණේ ඉබේටමය.
.
“ඉතිං මුලාචාර මල්ලියේ ඇයි ඔබතුමා මෙහෙටම සැපැත් වුණේ….”මගේ මිතුරා විනෝදෙට මෙන් ඇසුවේය.
.
“විද්යාත්මක කරුණක් ගැන දැන ගන්ට.” නවකයා කීවේය.
.
“විද්යාත්මක කරුණක් දැන ගන්ට මෙහාට ආවේ මොකටද බං?” මම ඇසුවෙමි.
“වෙනත් රටවල්වලට යන්ට බෑ… ඒ රටේ විද්වතුන්ගේ භාෂාව අපිට තේරෙන් නෑ… ලංකාවේ තැනකටම ආවේ ඒකයි!”
.
“ඉතිං මල්ලි ලංකාවේ තව කොච්චර තැන් තියෙනවද? මොකටද මේ අපේ කැම්පස් එකටම ආවේ…”මගේ මිතුරා ආරූඪ කරගත් මුහුණකින් යුතුව ඇසුවේ හිනාව ආයාසයෙන් නතර කර ගනිමින්ය.
.
“ලංකාවේ සුපිරිතම බුද්ධිමතුන් ඉන්නේ මෙතන. ඒකයි…” මගෙත් මගේ මිතුරාගේත් මුවින් සිනාව එකවර දොට්ට පැන්නේය.
.
“ කවුද බං ඔය ගල් පැළෙන බොරුව කිව්වේ?”
.
“බොරු නෙමෙයි, කැලෑවේ ගල් ගුහාවේ ඉන්න භාවනායෝගි තාපසතුමා… උන්වහන්සේ අනාගතය දිවැසින් දැකලා මේ ස්ථානය වඩා හොඳයි කිව්වේ…”
ඔහු ඉතා විශ්වාසයෙන් යුතුව කීවේය. මෙවන් විහිලු සහගත සාකච්ඡා යන අතරවාරයේ මගේ දෙනෙත එක්වරම එම කාලවර්ණ නවකයාගේ ගෙල බැදි ඇති සුරය වෙත ගොස් නතර වීය. එම සුරය එල්ලා තිබුණේ සිරස්වය. එය අපි නිතර දකින තඹ සුරයක් නොවුණ අතර එය වීදුරු මෙන් විනිවිද පෙනෙන සේ සකසා තිබුණේය. එහි ඇතුළත රත්ර න් පාට දියරයකින් පිරී තිබුණේය.
.
පුදුමයකට මෙන් එම දියරය රැදී තිබුණේ ගුරුත්වයට පටහැනිවය. එනම් සුරයේ අඩියේ සිට ඉහළට වෙනුවට එම දියරය ඉහළ සිට පහළට රැදෙමින් තිබුණේය. එම දියරය මොහොතින් මොහොත ක්ෂය වන අයුරු හොඳින් බැලු විට මට පැහැදිලිවම දැක ගන්නට ලැබුණේය.
.
මේ නවකයා නොඑසේ නම් ඔහු කියනා පරිදි අතීතයෙන් අනාගතයට පැමිණි මිනිසා ගැන මගේ සිතේ මුල සිටම ඇතිවූ සැකය මොහොතින් මොහොත සාධාරණ වන්නේදැයි මට හැගී ගියේය. බැරි වෙලාවත් මේ යෝධයා අතීතයෙන් ආවා නම්… මගේ ගතේ හිරිගඬු පිපෙන්නට වුණා එය මතක් වෙද්දී පවා….
.
පරාක්රමබාහු කාසි අහුරක් අතට ගත් මම හිල්ඩා 44න් නික්මී 56 කාමරයට ගොස් දොරට තට්ටු කළෙමි. එහි සිටියේ පුරාවිද්යා විශේෂ උපාධියක් හදාරණ මාගේ මිතුරෙකි. කිසිවක් නොකී මම පරාක්රමබාහු කාසියක් ඔහු අත තැබුවෙමි.
.
“පොළොන්නරුවේ රජ කළ මහා පරාක්රමබාහු රජතුමා… ( ක්රි:ව 1153-1186) ලෝහය තඹ… බර ග්රෑ ම් 0.55 විශ්කම්භය මිලිමිටර් 10යි . ඝණකම මි මි 1යි. කාසියේ අභිමුඛයේ සිටගෙන සිටිනා පිරිමි රුවක්. එහි වමත උරහිස තෙක් ඔසවාගෙන ඇත. අපැහැදිලි යමක් අතේ රදවාගෙන ඇත. වමට යටින් කුඩා බිංදු පහයි. මෙම බිංදු පහ අනුරාධපුර යුගයේ රන් කහවනුවේ සංකේතයමයි…”
.
ගිරවෙකු සේ කටපාඩම් කළ දේ තත්පරයකින් වැමෑරු ජේෂ්ඨ ශිෂ්යයා ඉක්බිති කාසිය අනික් පැත්ත හරවා… “කාසියේ ප්රතිමුඛයේ හිදගෙන සිටිනා මිනිස් රුවක්… මිනිසාගේ දකුණතේ යමක් රදවා… ගෙ… යකෝ කොහෙන්ද උඹට මේ කාසිය? මේක මේ දැන් මහ බැංකුවෙන් එළියට දැම්මා වගේනේ! මෙච්චර අලුත් පරාක්රමබාහු කාසියක්! උඹලා හොර සල්ලි අච්චු ගහනවද? මෙච්චර අලුත්, පරණ කාසියක් ලංකාවේ කොහෙවත් නෑ… මචං මේක කොහෙන්ද ඇත්ත කියපං…. පරාක්රමබාහු රජතුමා සාක්කුවෙන් අරන් දුන්නා වගේනේ…”මගේ මිතුරා කියාගෙන කියාගෙන ගියේය. ඔහුට කිසිවක් නොකී මම කාසි අහුරින් එකක් ඔහුගේ සුරතේ තබා ගුලිකොට නැවත 44 වෙත ආවෙමි. ආ විගස මම බැලුවේ සුරයේ තිබූ දියරය දෙසයි. මම එතනින් ඉවතට යන විට තිබූ ප්රමාණයට වඩා පැහැදිලිවම යම් ප්රමාණයක් අඩු වී තිබුණේය. මෙම දියරය කොහොමද ගුරුත්වයට පටහැනි… මම කල්පනා කළෙමි.
.
“ඉතිං මූලා මල්ලි… ක්රි :ව 1175 ඉදලනේ ආවා කිව්වේ… සමාවෙන්ට මෙහෙම ඇහුවට… පරාක්රමබාහු රජතුමාත් දිග කලිසම් අදින කෙනෙක්ද? මොකද මම එහෙම ඇහුවේ අතීතයෙන් ආවට මල්ලියත් ඇදලා ඉන්නෙත් සෝයි දිග කලිසමක්නේ…”
.
“නෑ අපි කවුරුවත් දිග කලිසම් අදින අය නෙමෙයි… අනාගතය දිවසින් දකින තාපසතුමා භාවනාවෙන් කාලය හරහා අනාගතයට වැඩම කරලා වර්තමානයේ මිනිසුන් අදින පළදින විදිය ගැන අපිට කිව්වේ…. අනුව තමා මේ මිරිවැඩි සඟළත් ටිකකට කලින් ගලවලා දාපු කමිසයත් මේ ඇදගෙන ඉන්න කලිසමත් හරි ගස්ස ගත්තේ….”
.
“එතකොට භාෂාව? ඒ කාලෙත් කතා කළේ වර්තමාන භාෂාවමද? මොකද මේ අනාගතයෙන් ආපු මල්ලියා අපි වගේම හොඳට සිංහල භාෂාව කඩ කඩ හරි හසුරුවනවනේ… ටිකකට කලින් විද්යාඥයා කියලත් ටොප් එකට උච්චාරණය කළේ…” නිශ්ශබ්දයෙන් සිටි මා එසේ කීවේ ඒ වෙන විටත් මේ අරුම පුදුම පුද්ගලයා ගැන මගේ හිතේ ක්රමයෙන් වැඩෙන සැකය ගැන තක්සේරුවේ අඩුවැඩිය ඔහු දෙන උත්තර මත රදා පවතින නිසාය.
.
“තාපසතුමා! මේ හැම දෙයක්ම පිටිපස්සේ හිටියේ එතුමා. උන්නාන්සේ දිවැසින් බලලා ලංකාවේ මිනිසුන් අනාගතයේ භාවිතා කරන භාෂාව ගැන… ඔව් උන්නාන්සේ ඒ හැම දෙයක්ම මට කියලා දුන්නා . මම මාස හයක් වර්තමානයේ මේ කතා කරන භාෂාව වනපොත් කරා…”
.
“මූලා මල්ලියා… උඹ ලංකාවේ දේශපාලනයට නම් නියමයි… මොකද උඹ බොරුව වුණත් ඇත්ත වගේ කියනවා…” එසේ කියූ මා මිත්රයා මහ හයියෙන් සිනා සෙන්නට විය.
.
“හැබැයි පුතෝ උඹට එක තැනක් වැරදුනා. ඇත්තම කියනවා නම් උඹට නෙමෙයි අර තාපසයට…. ඔච්චර දේවල් දිවැසින් දැකපු මිනිහට හොයා ගන්න බැරි වුණා අද කාලේ කොල්ලෝ භාවිතා කරන නමක්… උඹට දාලා තියෙන්නේ පට්ට පරණ නමක්…. මූලාචාරියා! වර්තමානයේ එහෙම නම් නෑ යකෝ…. මූලාචාරියා…. අචාරියා…. වගේ නම් තිබ්බේ ඉස්සර… ඔය ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් කැපුවේ එහෙම නමක් තියෙන හාදයෙක්…” එසේ කියූ මගේ මිත්රයා නැවත වතාවක් මහ හයියෙන් සිනාසුණේය.
.
“මේ සුරේ අල්ලලා බැලුවට කමක් නැද්ද?” වහා ඉදිරියට නැමුණු මම කීවෙමි. ඔහුගේ කැමැත්ත අකමැත්ත පවසන්නටත් ප්රථමයෙන් මට සැබෑවටම ප්රේහේලිකාවක් වූ සුරයට අත යැව්වෙමි. “දෙයියෝ සාක්කි…” මට කියවුණේ ඉබේටමය. මගේ නළල රැලි වැටී දෙඇස් උඩ ගොස් කටේ කෙළ සිදී ගියේ එම සුරයට අඩියක් නොඑසේ නම් පතුලක් නොතිබුණ බැව් දුටු නිසාය. එය හරියටම වීදුරුවකට වතුර දමා වීදුරුවේ අඩිය උඩටත් එහි කට පහතටත් සිටින සේ හැරවූ විට එහි ඇති වතුර බිම නොවැටී තිබෙන්නාක් මෙනි. ක්ෂය වන දියරය යන්නේ කොහෙටද යන්නටත් වඩා මට ප්රශ්නයක් වූයේ එම දියරය ගුරුත්වයට පටහැනිව තිබෙන්නේ කෙසේද යන්නයි. මම වහා සුරය අනික් පැත්ත හැරවූයෙමි. එනම් සුරය උඩු යටිකුරු කළෙමි. පුදුමයකි. රත්තරන් දියරය ගුරුත්වය බල්ලට දමා වීදුරු සුරයේ ඉහළට නැග්ගේය. මම වහා කතා කළෙමි.
“කොහොමද මේ දියරය උඩට යන්නේ බිමට වැටෙන් නැතිව…” ඊට පිළිතුර ලෙස ඔහු වහා පරාක්රමබාහු කාසියක් අතට ගත්තේය.
.
“මේ කාසිය අත ඇරියොත් බිමට වැටෙනවා…”
.
“හ්ම්… ගුරුත්වාකර්ෂණය…’’ මට එය කියවුණේ ඉබේටමය.” ඔහු මදක් කල්පනා කොට එම බරපතල වචනය ජීවිතේටම මුල්වරට එදින කනට වැටුණු සෙයක් පෙන්වා “ගු- රු-ත්-වා-ක-ර්-ෂ-ණ-ය” යැයි කියා “අපි දන්නවා මේ කාසිය අත ඇරියම බිමට නොවැටී උඩට යවන හැටි… ඒ වගේම අත ඇරියම එතැනම තියෙන විදිය…”
.
“ප්රතිගුරුත්වාකර්ෂණය…. ශුන්ය ගුරුත්වය…” මම හිමිහිට මිමිණුවෙමි. මම හෙමිහිට කී දේ ඔහුට මැනවින් ඇසුණේය. “ප්රතිගුරුත්වාකර්ෂණය.. ශුන්ය ගුරුත්වය… ඒ තාක්ෂණය අපි දැනටමත් හොයා ගෙන ඉවරයි… ඒත් ඒ දෙකෙන් සැබෑ ප්රයෝජනය ගන්ට නම් අපි දැනගත යුතුයි අත ඇරියම ඇයි බිමට වැටෙන්නේ කියලා…. අපිට තාම ඒක හොයා ගන්ට බැරි වුණා…”
.
“ඉතිං බූරුවෝ අත ඇරියම උඩ යන තාක්ෂණය, අත ඇරියම එහෙම්ම තියෙන තාක්ෂණය හොයා ගන්ට කලින් තිබ්බනේ අතඇරියම ඇයි බිම වැටෙන්නේ කියලා දැන ගන්ට.” මගේ මිත්රයා එසේ කියා නැවත වරක් මහ හයියෙන් හිනා වෙන්ට පටන් ගත්තේය.
.
“ඇත්ත… ඒත් අපි හිතුවේ අත ඇරියම බිම වැටෙන එකේ ආය මොනාද අළුතෙන් හොයා ගන්ට තියෙන්නේ කියලා… ගහකින් ගෙඩියක් බිමට වැටෙනවා… ඒක එච්චරයි! අපි ආය ඒ සිදු වීම ඔස්සේ හිතන්ට ගියේ නෑ… අපි හිතුවේ, අපි කල්පනා කරේ ඇයි ඒ ගෙඩිය උඩට ගියේ නැත්තේ, ඇයි ඒ ගෙඩිය එතනම නතර වුණේ නැත්තේ කියලා… අපි හොයා බැලුවේ ඒ ගැන… භාවනා යෝගි ඉර්ෂින් වහන්සේලා පවා අපිට මේ සම්බන්ධයෙන් උදව් කරා… මහා භාරතයෙන් පවා අපිට උදව් ලැබුණා. භාරතයේ ඉර්ෂින් වහන්සේලා තමා අපිට කීවේ අනාගත ලෝකයේ මිනිසුන් ඇහැට පේන ශක්තිය හොයා ගත්තට අඳුරු බලය අඳුරු ශක්තිය හොයා ගන්ට බෑ කියලා… විශ්වයේ අදුරු ශක්තියෙන් තුන්කාලක්ම අපි හොයාගෙන ඉවරයි. විශ්වයේ අභිරහස් බොහොමයකට හේතුව මේ අදුරු ශක්තියයි. මම කාලය හරහා අනාගතයට ආවෙත් මේ අදුරු ශක්තියේ බල මහිමයෙන්… අපිට පුළුවන් වුණොත් වර්තමාන ලෝකයේ මිනිසුන් දන්නා එළිය ශක්තිය… ඇහැට පේන ශක්තිය… මොකක්ද කියලා දැන ගන්නට ඔව්! එතකොට අපිට පුළුවන් මේ රටට විශාල සේවයක් කරන්ට, මුලු විශ්වයම එතකොට අපේ පරාක්රමබාහු රජතුමා අතේ… අනාගත ලෝකයා අදුරු ශක්තියේ ප්රතිවිරුද්ධ දේ සොයා ගෙන ඇති වගත් එය හරිහැටි වටහාගෙන නැවත කාලය හරහා අතීතයට යෑමටත් මම ආවෙමි.”
.
“මචං මේ යෝදයා පිස්සෙක්… පිස්සෙක් කිව්වට ඇත්තටම හෙන සිරා මීටරයක්… ඕනෑවට වඩා පාඩම් කරලා මොළේ අර්ශස් හදා ගත්ත එකෙක්! මේ යෝදයා හදන්නේ අපිව ගොනාට අන්දන්ට… ඒවා කොහෙද මාත් එක්ක… හිටපං! මං හොඳ වැඩක් කරන්නම්…” යැයි මගේ කනට කර මිමිණූ මිත්රයා එක්වරම නවකයා දෙසට හැරී…
.
“හිටගෙන ඉදලා අමාරු ඇතිනේ…. මනෝ පුටුවේන් වත් වාඩි වෙයන්… ” යැයි කීවේය. ඉදගන්නට පුටුවක් හොයනු රිසියෙන් නවකයා හාත්පස නෙත යැව්වේය.
.
“මනෝ පුටුව බං….. උඹ අතීතයේ අදුරු ශක්තියෙන් ආපු එකානේ….. මනසෙන් පුටුවක් හිතාගෙන ඒකේ වාඩි වෙයන්…..” ඉදගන්නට පුටුවක් නොතිබුනත් පුටුවක් ඇතියැයි සිතා බාගෙට නැමී ඉතා අපහසුවෙන් ඔහු බාගෙට ඉද ගත්තේය.
.
“හා දැන් කකුලක් පිට කකුලකුත් දා ගනිං ” මගේ මිත්රයා කිසිදු අනුකම්පාවක් නොදක්වා කීවේය. ඉවසා ඉවසා බැරිම තැන දෝ නවකයාගේ මුහුනේ ඉරියව් වෙනස් වන්නට පටන් ගත්තේය.
.
“මේ වගේ වැඩ කරන එක කාලය කා දැමීමක්!”
.
“කාලය කැවුනට කමක් නෑනේ… මොකද උඹට කාලය හරහා අතීතයට ගිහින් අතපසු වුණ වැඩ ටික කරන්ට පුළුවන්නේ…” මගේ මිතුරා ඇඟට පතට නොදැනී කීවේය.
.
“මට කරුණාකරලා කියනවද අර ගස් තුනට මුක්කු දීගෙන හිටියේ ගුරුත්වාකර්ශණයට හසු වෙලා ගස් බිමට වැටෙයි කියලද?” නවකයා මනෝ පුටුවේ අපහසුවෙන් වාඩිගෙන සිටින අතරේම ඇසුවේය.
.
“ඔන්න! ඔන්න! උඹ ආයෙත් විකාර දොඬවන්ට පටන් ගත්තා…”එසේ කියූ මගේ මිතුරා පරුෂ වචන වැළකින් බැනගෙන බැනගෙන ගියේය. මේ සියළු බැණ වැදීම් සියල්ල විටෙක සන්සුන්වද, විටක සාවධානයෙනුත් විටෙක දැඩි පිළිකුලෙන් යුතුවද අසාගෙන සිටි නවකයා අවසානයේදී ඉතා අපහසුවෙන් ඉද සිටි මනෝ පුටුවෙන් නැගිට්ටේය. තම සුරත සුරය වෙත තබා එදෙස මොහොතක් බලා ඉක්බිති හඬ අවදි කළේය.
.
“මම හිතාගෙන හිටියේ ලංකාවේ ඉන්න සුපිරිතම බුද්ධිමතුන් ඉන්නේ මෙතන කියලා… පළමු වතාවට අපේ භාවනායෝගී ඉර්ෂින් වහන්සේලාටත් වැරදුණා… මේ සෘෂිවරුන් අපිට කිව්වේ බුද්ධිමතුන්ගේ තෝතැන්න මෙතන කියලා… ඒත් මේ ලස්සන තැන ඉන්නේ කැත මිනිස්සු! අමු පිස්සෝ… අහිංසක මිනිසුන්ට තාඩන පීඩන එල්ල කරලා විනෝද වෙන ජාතියක්ද මේ! සිංහල ජාතිකයෝ මේ වගේ විකාර වැඩ කරයි කියලා මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ… ගස් ඇදගෙන වැටෙයි කියලා මුක්කු තියන පිස්සෝ… කෝප්පේ අතින් අල්ලන් නැතිව ඒකේ ඇති උණු දියරය බොන පිස්සෝ… ඇහැට පේන් නැති පුටුවක ඉදගෙන ඉන්ට කියන පිස්සෝ…. අමු තිත්ත පරුෂ වචනෙන් කතා කරන පිස්සෝ… නෑ නෑ භාවනායෝගි ඉර්ෂින් වහන්සේලාට කවදාවත් වරදින්ට බෑ…. ඇත්තටම මෙතන ඉන්නේ බුද්ධිමතුන්… උගත් පිස්සෝ බුද්ධිමත් පිස්සෝ… මම මොනාද අපේ නරපතියට ගිහින් කියන්නේ… අපේ රටේ අනාගතය භාරව ඉන්නේ අහිංසක මිනිසුන්ට තාඩන පීඩන කරලා විනෝදවෙන ජාතියක් කියලද? අපේ රජතුමා රටට කරන ආගමික හා සංස්කෘතික සේවාව විශිෂ්ඨයි. ලංකාව පෙරදිග ධාන්යාගාරය බවට පත් කරා. සහලින් අපි ස්වයංපෝෂිතයි. අපිට වැඩි සහල් වෙනත් රටවලට පවා යවමින් සිටිනවා. එතුමාට අවශ්ය වූයේ වර්තමාන භාෂාවෙන්ම කියනවා නම් විද්යාවෙන් පවා ඉහළට එන්ට. විද්යාවේ මේ නව සොයා ගැනීම් වෙනුවෙන් බොහෝ දේවල් වියදම් කරා. ඒ සියල්ල කරේ අපේ රටේ අනාගතය වෙනුවෙන්. ලෝකයේ අන් සියළු රටවලට වඩා ලංකාව ඉහළින් තැබීමටයි එතුමාට වුවමනා කරේ. ඒත් … ඒත්… අපේ රටේ අනාගතය අඳුරුයි. උගත්තු… නෑ… මුං පිස්සෝ… ඔව් හොදම දේ… මම අපේ නරපති මහා පරාක්රමබාහු නිරිඳුට කියා සිටිනවා මුදල් වියදම් කර මෙවැනි පර්යේෂණ කිරීම නිෂ්ඵල බව! ඊට වඩා වටිනවා මහා සාගරය වගේ විශාල වැව් හදන එක… අනාගතයේ ලංකාවේ බිහිවන සෑම රජෙකුටම මේ පණිවිඩය අපි කියනවා… වැව්! ඔව් මහා සාගරය වගේ විශාල වැවක්! එතකොට අනාගතයේ අපේ රටේ මිනිස්සු ගොවිතැන් බතක් කරලා ජීවත් වෙයි. මේ සුරයේ තියෙන්නේ රත්ර න් දියරයේ අවසාන බිංදු දෙක තුන… තව මොහොතකින් මම නැවතත් 1175ට යනවා. උඹලා මහ මෝඩයෝ… උඹලා දන්න ඉටිගෙඩියක් නෑ… ආය මම කවදාවත් කාලය හරහා අනාගතයට යන් නෑ… අදුරු ශක්තියේ මහිමයෙන් අපි සොයා ගත්ත මේ දේවල් අපේ අවසානයත් එක්ක නැතිවෙලා යනවා. මේ තාක්ෂණය උඹලා වගේ පල් මෝඩයන්ට මෝඩ වැඩ කරන්ට ඉතිරි කරලා යන්ට තරම් අපි මෝඩයෝ නෙමෙයි. පිස්සෝ…. මොළේ අමාරු කාරයෝ… පිස්සෝ… මොළේ අමාරු කාරයෝ…” මෙසේ තවතවත් අපැහැදිලි වචන රාශියක් කියූ මේ අද්භූත මිනිසා එක්වරම නොපෙනී ගියේය.
.
කුඩා වැලි කැට මෙන් නිල් පැහැති අතිශය දීප්තිමත් එළියක් ශරීරය පුරා විහිදවමින් ඔහු අතුරුදහන් විය. ඔහුගේ කමිසයත් සෙරෙප්පු කුට්ටමත් හිල්ඩා ඔබේසේකර ශාලාවේ 44 කාමරයේ ඉතිරි විය.
.
බාගෙට වැසී තිබූ මගේ දෙනෙත් සහ සම්පූර්ණයෙන්ම වැසී තිබූ මගේ මිත්රයාගේ දෙනෙත් පූර්ණ වශයෙන්ම විවෘත වූයේ ඒ අපූරු මිනිසා අපේ ඇස් පනාපිටම නැති වී ගිය හැටි දුටු නිසාය.
.
“දෙයියෝ සාක්කි! මේ යකා ඇත්තටම ආවේ අතීතයෙන්ද?” එසේ කියූ මිත්රයා තත්පර කිහිපයක් නිශ්ශබ්දව සිට ඊළග තත්පර දෙක තුළදී සිහි මුර්ඡා වී ඇද වැටුණේය. හිරිගඬු පිපෙන භීතියක් මා ගත වෙලා ගත්තත් නොසෙල්වී ඉන්නට තරම් ශක්තියක් මා සතු විය. මේ හැම දෙයක්ම මා වටා පමණක් සිදු වන්නේ ඇයිදැයි යන්න පමණක් මට තේරුම්ගත නොහැකි ප්රෙහේලිකාවක් විය. මීට පෙර දවසකදීත් පිටසක්වල ජීවියෙකු මගෙන් උදව්වක් ගන්නට මා පස්සෙන්ම ආවේ මන්දැයි යන්නත්, අනාගත ලංකාවේ එක් පළාතක් කරැල්ලකින් අල්ලන වෘර්ධ මිනිසුන්ගේ නාකිපුර සටන ගැන තොරතුරු ලැබීමත් එම ප්රෙහෙලිකාව සාධාරණය කරන්නට හේතු විය.
.
ඉහත සිදු වීම හේතුවෙන් මගේ මිතුරා බොහෝ සෙයින් වෙනස් වන්නට පටන් ගත්තේය. මත් වතුර බීම, ප්රේම කිරිම, දේශන මග හැරීම ආදී සියලු වැඩට තිත තැබූ ඔහු මුලු කාලයම අධ්යාපනය වෙනුවෙන් යොදවන්නට පටන් ගත්තේය. එහි ප්රථිපලයක් ලෙස භෞතික විද්යා විශේෂ උපාධියක් හදාරා පළමු පන්තියේ උපාධියක්ද දිනා ගත්තේය.
.
ඉන් නොනැවතුන ඔහු විදේශ රටකදී භෞතික විද්යාවෙන් ආචාර්ය උපාධියක්ද දිනා ගැනීමට සමත් වූයේ ඉතාමත් කෙටි කාල සීමාවක් තුළදීය. වර්තමානයේදී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්හි පිහිටි ෆර්මි විද්යාගාරයේ භෞතික විද්යාඥයෙකු ලෙස සේවය කරන්නේය.
.
ඔහුගේ විෂය වන්නේ විශ්වයේ අඳුරු පදාර්ත සහ අඳුරු ශක්තිය පිළිබදව ගවේෂණය කිරීමයි. මහා පරිමාණ ප්රතිගුරුත්වාකර්ෂණය පිළිබදව පර්යේෂණයක නියැළෙමින් සිටියදී ඉතා මෑතකදී කෙටි නිවාඩුවකට ඔහු ලංකාවට පැමිණියේය.
.
අපි දෙදෙනා විශ්ව විද්යාල භූමියේ සැදෑ සක්මනක යෙදෙමින් බොහෝ දේවල් ගැන කතා කළෙමු. මගේ මිතුරා තාමත්… තාමත්… අතිශයින් කනගාටු වන්නේ අතීතයෙන් අනාගතයට ආ අපේ ආදී මිනිසා කී දෑ සහ ඊට අපෙන් ලැබුණු නරක ප්රතිචාර සිහියට නැගීමෙන්ය. මහා පරාක්රමබාහු රජතුමාගේ පුරෝහිතයා නවක වදයට භාජනය කිරීමෙන් තමා කර ගත්තේ නැවත නිවරදි කළ නොහැකි වරදක් බැව් ඔහු පුන පුනා ප්රකාෂ කළේය.
.
“ඒ මිනිසා දැනගෙන හිටියා ප්රතිගුරුත්වාකර්ෂණය ගැන… අඳුරු ශක්තිය ගැන… වර්තමානයේ විද්යාව මේ තරම් දියුණු වුණත් අපිට තාමත් බැරි වුණා අදුරු පදාර්ත ගැන අංශු මාත්රයක්වත් සොයා ගන්ට… අපි අදුරු ශක්තිය ගැන කරන පර්යේෂණ හරියට සහරා කාන්තාරය සොයා ගෙන සිංහරාජය පීරනවා වගේ… එහෙම නැත්තං යාපනයට යන්ට කොළඹින් මාතර බස් එකක නගිනවා වගේ… අදුරු ශක්තිය හොයනවා කියලා අපි ඇත්තටම කරන්නේ කළුවරේ හතර අතට ගල් ගහන එක… අඩු තරමේ… එදා අපිට ඒ අතීතයෙන් ආපු උත්තමයගෙන් අදුරු ශක්තිය ගැන එකම එක පොඩි අදහසක් දැන ගන්ට ලැබුණා නම් මම දැනටමත් ලෝකයේ කිසිදු විද්යාඥයෙකුට සොයා ගන්ට බැරි වුණ දේවල් සොයා ගෙන!”
.
මම ඔහුව අස්වසන්නට බොහෝ දේවල් කීවේමි. ස්වභාව ධර්මයා ගමන් කරන්නේ මහා පරාක්රමබාහු රජතුමාටවත් දුටුගැමුණු රජතුමාටවත් ඇවසි ලෙස නෙමෙයි. ස්වභාවධර්මයා ඔහුගේ ගමන යනවා. අපි ඒ ගමනට සහයෝගය දක්වන අය පමණයි. ස්වභාවධර්මයා යනු පෙදරේරුවෙකු නම් මිනිසා යනු එම පෙදරේරුවාට අත් උදව් දෙන අත්වැඩකරු පමණි.
ස්වභාව ධර්මයා නැමති පෙදරේරුවා තමන්ට රිසි සේ ගොඩනැගිලි හදාවි, කඩා බිඳ දමාවි… මිනිසා නැමති අත්වැඩකරු නිසොල්මනේ ඊට උදව් කරාවි.
.
මම ඔහුට බොහෝ දේ කීවෙමි. ඔහු විටක මා කියන දේ පිළිගත්තේය. තවත් විටක ප්රතික්ෂේප කළේය. ඒ අතර ඔහුගේ දෙනෙත් දැඩි අධිෂ්ඨානයෙන් දිලුණේය… ‘කවදා හෝ දවසක මම කළ ඒ අපරාධය, මහා පරිමාණ වැරැද්ද මම නිවරදි කර ගන්නවා… අදුරු ශක්තිය මම හොයා ගන්නවා…. කළු කුහර සොයා ගන්නවා… එතකොට අපේ මේ ශ්රී ලංකාව ආසියාවේ විතරක් නෙමෙයි මුළු විශ්වයේම ආශ්චර්යය බවට පත්වේවි!’ අලුතින් ඉදිවෙන විද්යා පීඨයේ උස ගොඩනැගිලි දෙස බලමින් ඔහු හෙමිහිට මුමුනනු මට නම් හොඳ හැටි ඇසුණේය.
…………………………..
නිශාන්ත වැලිඅංග
……………………………
…………………………..
උපුටා ගැනීම – 2018 වර්ශයේ මා විසින් රචිත විද්යා ප්රබන්ධ කෙටිකතා 14කින් සමන්විත වූ “අතීතයෙන් ආ අමුත්තා” විද්යා ප්රබන්ධ කෙටිකතා සංග්රහයෙනි… මෙම කෘතිය එම වසරේ රාජ්ය සාහිත්ය සම්මානයේ අවසන් වටයට තේරී පත් විය.
උපුටා ගැනීම:නිශාන්ත වැලිඅංග