‘අක්කෙ ආන්න මනමාලයා ඇවිදින්’
නංගි එලෙස කියාගෙන කාමරයට ආවා.
‘මොකද හලෝ ටිකක් හිනාවෙලා ඉන්නවකො. මිනිහා මැරිච්ච ගෑනි වගේ හිටියම මොන පිරිමියද කැමති’
නංගිගෙ විහිලු වදන් වලට මට හිනා ගියේ නැත. මට වඩා රුවින් අනූන නංගිගෙ විවාහයත් මා නිසා කල් යන නිසා එයාට දුකත් ඇති කියා මට හිතුනා.
මම මධ්යම පාන්තික පවුලක ලොකු දියණියයි. ඉගෙනීමට දක්ෂ නොවූ නිසා කේක් පාඨමාලාවක් හදාරා දැන් සුලුවෙන් කේක් ඇණවුම් සපයයි.එය මට ඉමහත් ආත්ම තෘප්තියක් ලබාදෙයි. දැන් අවුරුදු තිහත් ඉක්මවා යන මට මව්පියන් විවාහ යෝජනා හොයන්නේ අවුරුදු කිහිපයක සිටයි. සාමාන්ය උස මහත තලෙලු , රජයේ රැකියාවක් නොමැති මා හට ගෙන ආ බොහෝ විවාහ යෝජනා මනමාල පාර්ශවයෙන් ප්රතික්ෂේප විය. නාදුනන පිරිමින් ඉදිරියට යාම තවදුරටත් මට එපා වී තිබුනත් නංගී සහ දෙමාපියන් නිසා එය මගහරින්නට නොහැක.
මට වඩා අවුරුදු දෙකක් බාල නංගී රූමත් ය.ඇයට ගුරු අභ්යාස විද්යාලයේදී මුනගැසුන පෙම්වතෙකුද සිටී. ඔවුන්ගේ සම්බන්දයට දෙමාපියන්ගේ ආශිර්වාදය හිමි වුනද අක්කා සිටියදී නංගීව විවාහ කරදෙන්නට අප්පච්චී කැමති නැත.
‘ලොකු එන්න දැන්’ අම්මා පැමිණියේ මාව ඉදිරියට එක්ක යාමටයි. අවුරුදු ගනනාවක් මෙම ක්රියා පිළිවෙත පුරුදු මම කිසිම හැගීමක් නොමැතිව බුලත් හෙප්පුවද රැගෙන බිම බලාගෙන අමුත්තන් ඉදිරියට ගියෙමි. මම එන විටම මනමාල මහතා නැගිටි බැවින් ඔහුගේ සපත්තු දෙස බලාගෙනම හෙප්පුව ඔහු අතට දී පසෙකට වුනෙමි.
අප්පච්චි සුපුරුදු හැදින්වීම ආරම්භ කලේය.
‘මේ අපේ ලොකු දුව, පොඩි කාලෙ ඉදන්ම ලැජ්ජාශීලි දරුවෙක්. මේ කේක් හැදුවෙත් මෙයා තමා. දැනට පොඩි කේක් බිස්නස් එකක් කරනවා. උයන පිහින වැඩ වලටත් හරිම දක්ෂයි.’
පසුව තීරණය දන්වන්නම් කියා ඔවුන් පිටත් විය. මගෙ හිතේ කිසිම බලාපොරොත්තුවක් නොතිබිණි.දින දෙකකින් පසු කපු මහතා පැමිණ දන්වා සිටියේ ඔවුන් මට කැමති බවයි. එය ඇසු විට අප්පච්චිගේ ඇස් සතුටින් දිලිසෙනු මම දුටිමි. මගේ හිතද යම් ප්රිතියකින් පිරුණු නමුදු කපු මහතා ඊලගට කියු දෙයින් එය සුනුවිසුන විය.
‘මනමාල මහත්තයගෙ අම්මා කැමති නෑ මේ දැරිවිගේ කේක් ව්යාපාරයට,මනමාල මහත්තයා ව්යාපාරයක් ආරම්භ කරන්න ඉන්නෙ කියලා ඒ දෙමාපියෝ ලක්ෂ 10 ක දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා.’
‘ අප්පේ කොහෙ තියන සල්ලියක්ද,’ අම්මා විස්සෝප වුනේ විශ්රාමික ගුරුවරුන් වූ ඔවුන් දෙදෙනා සන්ථකයේ එතරම් මුදල් ප්රමාණයක් නොමැති නිසාවෙනි.
‘දූලයි අම්මේ අපි කොහොමහරි ඒ සල්ලි හොයාගමු. කපු මහත්තයා අපි කැමති කියන්න.’
මෙතුවක් කල් හිතේ හිර කරගෙන සිටි හැගීම් කදුලු හා වචන බවට පෙරලුණි.
‘අප්පච්චී, මට ඒ කසාදය එපා. මට මං කැමති දේ කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න ඔනේ. මින් මතුවට මට විවාහ යෝජනා ගෙනෙන්න එපා. අපි නංගිව බන්දලා දෙමු.’
උපුටා ගැනීම: පියුමි හෙන්නායක