මගෙ කාමරේ තිබුණෙ හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙ. හැමදාම උදේ ඇහරුණ ගමන් බැල්කනියට ඇවිල්ල පහළ බලන එක පුරුද්දක් වෙලා තිබුණෙ හුඟ කාලෙක ඉඳන්.මම එහෙම බලන හැම දවසකම හොස්ටල් එකේ මිදුල හරි ලස්සන පොල් අතු රටාවකට අතුගාල තිබුණා.
සමහර දවස් වලට ඒ රටා මවන අත් දෙක මට දකකින්නත් හම්බෙනව.එයා අවුරුදු 55ක 60ක විතර අම්ම කෙනෙක්.ඒ අම්මට තිබුණෙ හරි අහිංසක පෙනුමක්.එකක් දෙකක් ඇරෙන්න කෙස් ගස් සේරම සුදු වෙලා. කෙට්ටු ශරීරෙ වැහිල තිබ්බෙ පාට පිච්චිලා ගිය ඇඳුම් වලින්. “ඒ වැඩට අඳින ඇඳුම් වෙන්නැති ” මම ඒ වෙලාවට මටම කියාගන්නව. කලාතුරකින් දවසක ඒ අම්ම බැල්කනියට වෙලා පහළ බලන් ඉන්න මාත් එක්ක යන්තමට හිනා වෙනව.ඒ හිනාවෙ කියන්න නොතේරෙන මොකද්දෝ අමුතු හුරුපුරුදු ගතියක් තිබුණ.ඒක හරිම අව්යාජ හිනාවක් කියල එතකොට මට හිතෙනව.කහට බැඳුනු දත් වලින් උනත් කොච්චර පිරිසිදු හිනාවක් මවන්න පුළුවන් ද.
මෙහෙම කාලෙ ගත වෙද්දි ,හදිස්සියෙම දවසක් උදේ පුරුදු විදියට පහළ බලද්දී මිදුලේ පොල් අතු රටා අතුරුදන් වෙලා තිබුණ.වයසක අඹ ගහ ඊයෙ රෑ හලපු වේලිච්ච කොළ ඔහේ මිදුලෙ වැතිරිල බලන් හිටිය. “අද නිවාඩු වෙන්නැති ” මම තනියම හිතුව.
මේ විදියට දවස් දෙකත් තුනක් ගත වුණත් ඒ කිසිම දවසක උදේ අර හුරුපුරුදු පොල් අතු රටාව මිදුලෙ තිබුණේ නෑ .හැම උදේම බැල්කනියට ඇවිල්ල පහළ බැලුවත් අර ලස්සන රටාවකට අතුගාපු මිදුල වත් “අතුගාන අම්ම” වත් මට දකින්න හම්බුනේ නෑ.
සති අන්තෙත ළං වුණේ හිතට පුංචි සැනසීමකුත් එක්ක. සති ගානකින් යන බැරි උන නිසා නිසා මමත් ගමේ ආව අම්මව බලන්න.ඒක හරියට සති ගාණක් කාන්තාරෙක අතරමං වෙලා හිටපු කෙනෙකුට දවස් දෙකකට ක්ෂේම භූමියකට එන්න ලැබුණ වරමක් වගේ.අපේ අම්මගෙ මූණ දකින හැම වෙලාවකම “අතුගාන අම්ම” ගෙ ඒ අහිංසක මූණ මතක් උනා.”එයාට මොනව වෙන්න ඇත් ද?”ඒක තමයි දිගටම මගෙ හිතට වද දීපු ප්රශ්නෙ .
සති අන්තෙ ගෙවිල යන්නෙ ඇහිපිය ගහන තරම් වේගෙන්.ඉතින් හිත ගෙදර තියල අමාරුවෙන් වාරු අරන් බස් එකේ නැගල අගනුවරට ආවෙ ආයෙත් හෙට ඉඳන් පුරුදු විදියට සෙක්කුවෙ බැඳිල රවුමෙ යන්න වෙන එක ගැන හිතන ගමන්.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
සඳුදා උදේ ඇහරිලා බැල්කනියට ගිහින් පහළ බැලුවෙ පුරුද්දට වගේ. හරි පුදුමයි. අර පරණ පොල් අතු රටාවටම මිදුල අතුගාල.එක කොළයක් වත් නැති වෙන්න.ඊයෙ හවස හැඩි වෙලා තිබුණ මිදුල අද හරිම පිළිවෙළයි. “අතුගාන අම්ම” ආයෙ ඇවිල්ල ඇති. මගෙ හිතට මොක්ක්දෝ මන්ද සියුම් සතුටක් දැණුන.හරියට කාලයක් ඈත් වෙලා හිටපු කෙනෙක් ආයෙමත් ආවම දැනෙන හැඟීම වගේ.
අඟහරුවාදා නිවාඩු දවසක්. ටිකක් දවල් වෙලා නැගිටල බැල්කනියට ගිහින් බලනකොට තමයි දැක්කෙ අදත් අර අම්ම මිදුල අතු ගානව. මට හිතුණ එයා එක්ක ටික්ක කතා කරල බලන්න.මම පහලට යනකොට ඒ අම්ම අතුගාල ඉවර කරල ,කැඩුණු වේවැල් පුටුවක් ආයෙ වියන ගමන් හිටියෙ.
“අම්මා කොහොමද “? මම එහෙම අහන ගමන් එතන තිබ්බ පරණ පුටුවකින් ඉඳගත්ත.
“හොඳයි මහත්තයො වරදක් නෑ” එයා මන් දිහා යන්තමට බලල හිනා වෙලා කිව්ව.
“අම්ම හරි ලස්සනට මිදුල අතුගානව.” මම එහෙම කිව්වෙ කතාව පටන් ගන්න වෙන විදියක් හිතාගන්න බැරි වෙච්ච නිසා.
ඒකට උත්තරයක් දෙනව වෙනුවට එයා කලේ අහිංසක විදියට මගෙ දිහා බලල හිනා වෙච්ච එක. ඒ ඇස් වල මට තේරුම් ගන්න බැරි මොකක් හරි කතාවක් හැංගිලා තිබුණා.
“අම්මගෙ ගෙවල් කොහෙද ?” මම ඇහුව.
” ගෙවල් නම් ඇඹිලිපිටියෙ.දැන් නම් ඉන්නෙ මේ ළඟ මහත්තයො “අතුගාන අම්ම උත්තර දුන්න.
“අම්ම පහු ගිය දවස් ටිකේ වැඩට ආවෙ නෑ නේද …” මම එහෙම අහද්දි ඒ අම්ම පුදුමෙන් වගේ මගෙ දිහා බැලුව.
“මහත්තය කොහොමද ඒක දන්නෙ..”
“මම හැමදාම උදේට අම්ම මිදුල අතුගාන හැටි බලන් ඉන්න්ව. අම්ම පහුගිය දවස් ටිකේ මම බලන් හිටියත් අම්ම ආවෙ නෑනෙ. ඒකයි ඇහුවෙ” මම හිනා වෙලා කිව්ව.
“එන්න බැරි උනා මහත්තයො . මට පපුවෙ මහන්සිය තියෙනවනෙ.ඒක ටිකක් වැඩි වුණා.”එයා හිස් බැල්මකින් ඈත බලාගෙන කිව්ව.
“අම්ම බෙහෙත් ගන්නෙ නැද්ද ඉතින් “මට ඉබේම කියවුණා.
“ගත්ත .. ඒත් වැඩට එන්න තරම් සනීපයක් තිබුණෙ නෑ “බර හුස්මක් හෙලන ගමන් එයා කිව්ව.
“අම්මට දරුවො එහෙම ඉන්නද” එයා ගැන විස්තර දැනගන්න තිබ්බ කුතුහලය නිසාම මම ඇහුව.
“නෑ මහත්තය… ” එයා හෙමිහිට අනෙක් පැත්තට හැරිල පිටි අත්ලෙන් කම්මුල පිහදාන ගමන් කිව්ව.
ඔය විදියට තමයි මම අතුගාන අම්මව අඳුරගත්තෙ. එදා ඉඳන් හැමදාම උදේ මිදුල අතුගානකොට බැල්කනියට වෙලා බලන් ඉන්න මන් දිහා බලල ලස්සනට අහිංසක විදියට හිනා වෙන්න එයා අමතක කළේ නෑ.ඒ හිනාව මගෙ දවසම ලස්සන කරනව කියල මට හිතෙන්න පටන් අරන් තිබුණෙ.
ඔහොම කාලෙ ගෙවිල ගියා. දවසක් උදේ බලනකොට අතුගාන අම්ම ඇවිල්ල හිටියෙ නෑ.වෙන කෙනෙක් ඒ වෙනුවට මිදුල අතුගානව.එයා අතුගාන්නෙ පරණ පොල් අතු රටාවට නෙවෙයි. එදයින් පස්සෙ කිසිම දවසක අතුගාන අම්ම ආවෙ නෑ.දවස් සති වෙලා සති මාස වෙලා කාලය වේගයෙන් අපිව පහු කරන් ගියත් එයා ආවෙ නෑ. මම බලන් හිටිය දිගටම.හැමදාම උදේට බැල්කනියට ආවෙ පරණ පුරුදු පොල් අතු රටාව දකින බලාපොරොත්තුවෙන්.ඒත් ආයෙ කවදත් මට ඒක දකින්න හම්බුනේ නෑ.
බලන් ඉඳල බැරිම තැන මම අලුතින් ආපු කෙනාගෙන් ඇහුව “අතුගාන අම්ම” ගැන.
එයා දීපු උත්තරේ මට අදහගන්න බැරි එකක්.
” චන්ද්ර අක්ක මෙහෙන් අයින් වෙලා ගියානෙ මහත්තයො .ඊයෙ තමයි අපිටත් ආරංචි උනේ..එයා නැති වෙලා මහත්තයො . පපුවෙ අමාරුවක් ලු. පවු අසරණ ගෑනි”
මුළු ලෝකෙම මගෙ ඔලුවට කඩන් වැටුණ වගේ මට දැනුනෙ. මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. එයා සදහටම අපිව දාල ගිහින්.ආයෙ කවදාවත් අර අහිංසක හිනාව දකින්න ලැබෙන් නෑ කියල හිතද්දි මට දැණුනෙ කියාගන්න බැරි වේදානාවක්.
“පොඩ්ඩක් ඉන්නකො මහත්තයො ” අලුත් අතුගාන ඇන්ටි දුවල් ගිහින් එයාගෙ බෑග් එකෙන් දෙකට නවපු දුර්වර්ණ වෙච්ච කඩදාසියක් අරන් ආව.
“චන්ද්ර අක්ක කිව්ව මහත්තය ආවොත් මේක දෙන්න කියල ” ඒක මගෙ අතට දීල එයා ආයෙමත් ඉදල අතට ගත්ත.
මම වෙවුලන ඇඟිලි වලින් ඒක දිගෑරල බැලුව. ඒක පරණ ෆොටෝ එකක්.
ඒක මම පුංචිම කාලෙ ගත්ත ෆොටෝ එකක්.ඒකෙ අපේ තාත්තා ළඟින් හිටගෙන මාව වඩාගෙන හිටියෙ මට හොඳට දැකල පුරුදු කෙනෙක් .
දෙයියනේ ඒ ෆොටෝ එකේ මාව වඩාගෙන ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි .ඒ ඉන්නෙ ”අතුගාන අම්මා”.
උපුටා ගැනීම: රවිදු පබසර