අම්මා කිසිම දිනෙක ඇතුළේ කාමරයේ යතුර අපට දුන්නේ නැත.ඇය නිදා ගන්නා විටත් එය හැට්ටය ඇතුළේ සගවා ගෙන නිදා ගත්තාය.මහ ඉස්පිරිතාලේ ඇගේ හුස්ම යන විටත් ඇගේ පපු කැනැත්ත උඩ ඒ යතුර තිබිණි.එහෙමත් දවසක යතුර අමතකව දාපු තැන සිහි නැති වූ විට ඇය අසිහියෙන් මෙන් එය සෙවුවාය.ඇය ආපසු හැරුණේ එය කෙසේ හෝ සොයාගෙන පපු කැනැත්ත මත සගවා ගත් විට පමණි.
අම්මාගේ හත් දවසේ දානෙන් දින කිහිපයකට පසු මල්ලී වැඩට ගිය මොහොතක් බලා යතුර රැගෙන මම ඇතුළු කාමරය ළගට ගියෙමි.ඒ ඇතුළේ කුමක් ඇත්දැයි අවුරුදු කීපයක සිට මගේ සිතෙහි තිබුණු කුතුහලයට විසදුම් ලැබීමට දැන් ආසන්නය.
මම සෙමෙන් යතුර දමා කරකැවූවෙමි.දොර ඇරෙන බව අතට දැනුණි.තරමක් වික්ශිප්තභාවයකින් මගේ සිත වෙලා ගත්තද සිතේ තිබූ දැඩි කුතුහලය නිසාම මම කාමරය ඇතුළට පියවර තැබූවෙමි.
තනි යකඩ ඇදක පරණ පියෙස්ට්‍රා මෙට්ටයක රෝස පාට බෙඩ්ශීට් එකක් එලා තිබිණි.රතු පාටින් හැඩ දැමූ කුරුලු ජෝඩුවකින් යුතු සුදු කොට්ට උරයක් පැළදි පුළුං කොට්ටයකි.පරණ කනප්පුව මත කොළ පාට ප්ලාස්ටික් අඩු කෝප්පයක් පත්තර කොළයකින් වසා තිබුණි.එහි වතුර නොවීය.
බිත්තිය පුරා අම්මාගේත් තාත්තාගේත් පොටෝය.තාත්තා නිල් පාට ඩෙනිම සහ රතු පාට ටී ශර්ට් එක ඇදගෙන තරුණ වයසේ ගත් පොටෝ එකක් රාමු කර තිබුණි.ඒ අසළම ඒ ඇදුමෙන්ම ගත් තවත් පොටෝ එකක් තිබුණු අතර කැමරා ශිල්පියා තාත්තා පොටෝ එක ගැනීමට සූදානම් වීමට පෙර ගත් පොටෝ එකක් බව ඒ දෙස බැලූ මට වැටහිණි.
තාත්තා හමුදාවේ සිටියදී නිල ඇදුමෙන් ගත් පොටෝ කීපයක්ම එහි විය.තනි හා කණ්ඩායම් පොටෝ ඒ අතර විය.තාත්තා බොක්ශින් ශූරයෙකුව සිටියදී ක්‍රීඩා ඇදුමෙන් ගත් පොටෝ එකක් බිත්තියේ කෙලවරම ගසා තිබුණි.
උඩරට සාරියක් ඇදගෙන තාත්තාගේ ළගින්ම පුටුවේ වාඩි වී මේසය උඩ පෙරලා ඇති ලොකු පොතක් දෙස බලා සිටින අම්මාගේ පොටෝ එක අම්මාගේ හා තාත්තාගේ එන්ගේජ්මන්ට් එක දවසේ ගත් පොටෝ එකක් යැයි මට සිතිණි.
මම අල්මාරිය ඇර බැලූවෙමි.සරම් කිහිපයක් කමිස කිහිපයක් ඒ අතර විය.නොකැඩූ පාර්සල් කළ අවුරුදු හා දින ගසා ඇති පාර්සල් 35 ක් පිළිවෙලට තිබුණි.ඒ අසළම අනෙක් කෙලවරේ සීල් තැබූ ලියුම් කවර තිස් පහක් ද විය.එකම රටාවකට පිළිවෙලකට අසුරා තැබූ එහි ඇතුළේ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට මා තුළ මහත් කුතුහලයක් තිබුණි.එහෙත් එය මට හිමි දෙයක් නොවන බව මගේ යටි සිතට දැණිනි.හමුදා නිල ඇදුම් කීපයක්,නිල රෙදි කීපයක් පදක්කම් කීපයක් ඒ තුළ විය.උපන් දින කාඩ් තිස් පහක් පිළිවෙලට අසුරා තිබූ අතර ,ඒ එකක් වත් අම්මා කඩෙන් ගත් ඒවා නොවීය.අම්මාගේම අතින් වැඩ දැමූ ඒවාය.
තාත්තා වැඩට ගෙන ගිය පරණ ඉරුණු බෑග් පහක් පමණ අල්මාරියේ දෙවන තට්ටුවේ තිබුණි.බික් රේසර්,දත් බුරුසු,නිය කටර් වෙනම ඇන්කර් පෙට්ටියක දමා තිබුණි.චිත්‍රපට ඇති සීඩී වෙනම ලාච්චුවක දමා තිබුණු අතර ඒ සියල්ලක්ම තාත්තා බැලූ ඒවා විය හැකිය.
තාත්තා අම්මාට ලේ වලින් ලියූ පළමු ලියුම ලැමිනේට් කර අල්මාරියේ දොරෙහි වීදුරුවේ ගසා තිබුණි. රත් පැහැ ලෙය පරණ වී දුඹුරු පැහැ වී තිබුණි.එහෙත් මට තාත්තාගේ ලේ සුවද නහයට දැනුණි.එල්ලා තිබූ පනාව තාත්තාගේ පනාව විය හැකිය.
කලු පාට ලොකු පොතක් කවර දෙක තුනක බහා තිබුණි.කිසිදු දූවිලි බ්ංන්දුවක් එහි නොවීමෙන් අම්මා එය නිතර පිස දමන්නට ඇතැයි මට සිතුණි.ඒ අම්මාගේ හා තාත්තාගේ වෙඩින් ඇල්බමයයි.අල්මාරියට මෙහා පැත්තේ බිත්තියෙහි අම්මා හා තාත්තා සිනාසෙමින් ළගට වී සිටින වෙඩින් පොටෝ කීපයක්ම රාමු කර එල්ලා තිබුණි.
පරණ පෝසිලේන් පිගානක් හා කෝප්පයක් ලාච්චුවේ තිබී හමු විය.තුනට හතරට නමා අයිස් ක්‍රීම් කප් එකක අසුරා ඇති පරණ ලියුම් මිටි දෙකකි.එකක අම්මාගේ අකුරුය.අනෙක තාත්තාගේ අකුරුය.කියවන්නට සිත් නොදුන්නේ එහි හිමිකරු මම නොවේයැයි මට දැනුණු බැවිනි.
පරණ පෙට්ටි ටීවී එකක්, රේඩියෝවක් හා ප්ලේයරයක් අල්මාරියේ යට තට්ටුවේ විය.ශූ රැග් එකෙහි කලු පාට ගෙවුණු බාටා ජෝඩු දෙකකි.කැඩුණු කලු සපත්තු ජෝඩු කීපයකි.ඒ අතර තාත්තා රාජකාරියේ සිටියදී දැමූ බූට් සපත්තු කීපයක්ද විය.
කොළ පාට ෆයිල් කවරයක තාත්තා ඉස්කෝලෙ යන කාලේ ඉදන් ගත් සහතික තිබුණි.අම්මා ඒ සියල්ල පිළිවෙලට ලැමිනේට් කර අසුරා තබා ගෙන ඇත.
මම ඇද උඩ හිද ගතිමි.මගේ පපුව හිරි වැටී දෙපා අප්‍රාණික වෙන්නාක් මෙන් මට දැනුණි.මගේ අත නිකමට කොට්ටය දෙසට ගිය අතර,මම එය ඔසවා බැලීමි.පරණ ක්‍රියා විරහිත නොකියා ජංගම දුරකතනයක් එහි විය.ඒ ළගම දුඹුරු පාට පෙට්ටියක් තිබුණු අතර අම්මා තරුණ කාලයේදී තාත්තා අරන් දුන් හංස ජෝඩුව සහිත කරාබු දෙක සහ බෝ කොළයක් ඇති පෙන්ඩන්ට් එකකින් යුත් මාලයක් එහි විය.බොහෝ කාලයක සිට අම්මාගේ කනෙහි කරාබු දෙක හෝ බෙල්ලෙහි මාලය නොවුණේ මේ නිසා වන්නට ඇත.
මට දැනුණේ එකම එක දෙයකි.මේ කාමරය තාත්තාටය.ගං වතුරට යට නොවන ලෙස ඇතුල් කාමරයේ උඩ තට්ටුවේ අංග සමූර්ණව අම්මා තාත්තා වෙනුවෙන් අවුරුදු තිස් පහක සිට මෙය සදන්නට ඇත.කිසිවෙකු ඒ තුළට යනවාට අම්මා අකමැති වන්නට ඇත.
අම්මා ඉද හිට මටත් මල්ලීටත් කියූ දෙයක් තිබුණි.
” තාත්තා කවදා හරි දවසක එයි පුතේ.ආවොත් වචනයක් වත් කියන්න එපා.ඒ තමයි උඹලට උපත දීපු උඹලගෙ තාත්තා”
මට මහා වරදකාරී හැගීමක් සමග මහා ලොකු වේදනාවක් දැනුණි.මගේ මව තරම් ප්‍රේමය වෙනුවෙන් හිතින් හඩා වැළපුණු ගැහැනියක් මේ මිහිපිට නොසිටින්නට ඇත.ඇය කාටත් හොරා ප්‍රේමයේ මතක සැමරුම් එකතු කොට රස විද ඇත.ඇය වන් ගැහැනියකට කදුළු දීම දෙවියන්ට වැරදීමකින් සිදු වූවක් වන්නට ඇත.
අම්මාගේ අවසාන කැමැත්ත ඉටු කිරීමේ අසීමිත ආශාවක් මට ඉපදිණි.මම වහා කාමරය අගුළු දමා යතුර බුදු පහන අසළින් තැබූවෙමි.මල්ලී වැඩ ඇරී එන්නට පෙර කමිසයක් දමාගෙන මම ගෙදරින් පිට වුණෙමි.
උපුටා ගැනීම: ……………..කේ.ස්වර්ණමාලි………