ලෝකයේම සිටින ඇතුන්ගේ ජීවිත මේ ගජමුතු නිසාවෙන් විනාශ වන අතර ගජමුතු ඉතාම වටිනා දෙයක් විදියට අලෙවි වන්නක්. මේවායේ වටිනාම ඉතාම ඉහළ බව පැවසෙන නමුත් ගල්ගමුවේ දල පූට්ටුවා පිළිබඳව අදහස් දක්වන ප්‍රවීන අලි පර්යේෂකයෙක් වන වෛද්‍ය පෘතිවිරාජ් මහතා පවසන්නේ ඇත් දළ වගේම ගජමුතුත් අසාමාන්‍ය ලෙස වටිනා බව පැවසීම සම්පූර්ණ මිත්‍යාවක් බවයි. නමුත් අද මේ ගජමුතු ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා විශාල මිලකට අලෙවි වෙනවා. වාසනාව, සැප සම්පත් ළඟා කරගන්නට ගජමුතු ළඟ තබා ගන්නට බොහෝ අය උනන්දුයි. මංගල වස්තුවක් විදියට සලකන ගජමුතු ඈත අතීතයේ වගේම අදත් බොහෝ ධනවත් බලවත් පුද්ගලයන් සතුව පවතින්නක්. පුරාණයේ රජු වගේම සිටුවරුන් සතුවත් මේ ගජමුතු පැවති බව සඳහන් වෙනවා.
මේ ගජ මුතු ඇතාගේ දළය තුළ නිර්මාණය වෙනවා. දළ කියන්නේ පිතට නෙරා ආ උල් දත් දෙකක්. මේ දළවලින් පිටතට පෙනෙන්නේ තුනෙන් දෙකක වගේ ප්‍රමාණයක්. අනිත් කොටස පවතින්නේ සිරුර තුළයි. ඇතාට තමන්ගේ දළ හරිම ප්‍රයෝජනවත්. විලොපීයන්ගෙන් ආරක්ෂා වෙන්නට, සටන් කරන්නට,පොළව හාරන්නට, හොඬවැල ආරක්ෂා කර ගන්නට, ගස්වල පොතු කඩා ගන්නට, යම් යම් දේවල් ඔසවන්නට, වෙහෙස වූ අවස්ථාවක හොඬය ඇත් දළ මත තබා ගිමන් හරින්නට වගේම ඇතෙකුගේ තේජවන්තභාවයටත් මේ දළ ඉතාම වැදගත්. ශ්‍රී දළදා පෙරහැරේ සධාතුක කරඩුව වැඩම කරවන්නට ඇතෙක් තෝරාගනිද්දිත් මේ දළවල පිහිටීම ගැන බොහෝම සැලකිලිමත් වෙනවා. දළවල විශේෂ පිහිටීම් මංගල ලකුණු විදියටයි සලකන්නේ. මේ ඇතෙකුගේ දළ වර්ධනය අවසාන වන කාලයක් නැහැ. ඇතාගේ ජීවිත කාලය පුරාවටම ඇතාගේ දළ වර්ධනය වීම සිදුවෙනවා.

සෑම ඇතෙකුටම ගජමුතු පිහිටන්නේ නැති අතර ගජමුතු සහිත ඇතෙක් අඩිය තියද්දී ඒ ගජමුතුවලින් සීනු හඬක් පැන නගිනවා. ඒ වගේම ගජමුතු සහිත ඇතා මහත් පින්වන්තයෙක් විදිටයටයි සලකනු ලබන්නේ. ඉතින් සතෙකුගෙන් ලබාගන්නා වටිනාම වස්තුව තමයි ගජමුතු. මේ ගජමුතු සත්‍ය ගජමුතු සහ ව්‍යාජ ගජමුතු ලෙස වර්ග දෙකක් පවතිනවා.ව්‍යාජ ගජමුතු දීප්තියෙන් වැඩි අතර කොන්ක්‍රීට් පොළවක බිම ගැසුවත් එය පලුදුවීමක් හෝ කැඩීයාමක් සිදු වෙන්නේ නැහැ. රබර් බෝලයක් බිම ගැසූ විට එය නැවත උඩට විසිවීමක් දකින්නට පුළුවන්. ඒ වගේම මේ ගජමුතුව ඉර එළියට හෝ විදුලියට ඇල්ලූ විට ඒ තුළ ලේ පාටක් ගැබ්ව තිබෙනු දකින්නටත් පුළුවන්.
මේ ගජමුතු ඇත් දළයේ පැහැයට බොහෝදුරට සමානයි. රවුම් හැඩයක් ගන්නා මේ ගජමුතු විවිධ ප්‍රමාණයෙන් දකින්නට පුළුවන්.එය කුඩාම ප්‍රමාණයේ සිට බිත්තරයක ප්‍රමාණයක් දක්වා විවිධ ප්‍රමාණවලින් සමන්විතයි.නමුත් ව්‍යාජ ගජමුතු දීප්තියක් නැති අතර බිමට වැටුණත් ලෙහෙසියෙන් පලුදු වීමට ලක්වෙනවා.
නමුත් ස්වාභාවිකව ඇතෙක් මරණයට පත්වුණු විට ගජමුතු ඇත්නම් ඒවා ලබාගන්නවා විනා ඇතෙකු ඝාතනය කොට ගජමුතු ලබාගැනීම බලවත් අකුසලයක්. ඒ වගේම එය මුළු මහත් ජෛව පරිසර පද්ධතියටම කරන විනාශයක්. ඒ වගේම ඇතෙක් මරා ලබාගන්නා ගජමුතුවල බලසම්පන්න බවත් අඩුවන බවට විශ්වාසයක් ද අතීතයේ සිටම පැවතෙනවා.
ඉතින් මේ ගජමුතු ලඟ තබා ගැනීම වාසනාව උදාකරන බවට මිනිසුන් තුළ ප්‍රචලිත මතයක් පවතිනවා. එය ඉතාමත් ඈත අතීතයේ සිටම පිළිගන්නා විශ්වාසයක්. ඉතින් එයින් යහපත් ප්‍රතිඵල එය ආරක්ෂිතව අල්මාරියක තැන්පත් කිරීමෙන් ලද නොහැකි බවත් ගජමුතු නිතර පිරිමැදිය යුතු දෙයක් බවත් සඳහන් වෙනවා. ගජමුතු ගැන කතා කරද්දී මේ සිතූ පැතූ පැතුම් ඉටු කරන ගජමුතු හා බැඳුනු වත්පිළිවෙත් ඈත අතීතයේ සිටම පැවත එන්නක්. ඉතින් අර කලින් සඳහන් කළ ආකාරයට මේ ගජමුතු තමන්ට ඕන කරන ප්‍රාර්ථනය සිහි කරමින් පිරිමැදිය යුතු බවත්, තමන්ට හැකි සෑම දවසකම එය කහවතුරෙන් හා සුවඳ පැනින් සේදීම කළ යුතු බවත් සඳහන්.
තවත් අය කියන විදියට ගජමුතු සමීපයේ තබාගත්තොත් උසස්, තනතුරු, ගරු බුහුමන් පවා ලැබෙනවලු. ඒ වගේම ගජමුතු ලඟ තබාගැනීමෙන් හතරමහ නිදානය පහළවෙන බව පෙර අචාර්යවරුන් පවසා තියෙනවා.නමුත් පරිසරයේ සුන්දරත්වය වැඩි කරන, පරිසරයේ වටිනා සත්ත්වයෙක් විනාශ කර පැතූ පමණින් ප්‍රාර්ථනා ඉටුවනවා යැයි සිතීම ඇත්තටම මුලාවක්. අපි පරිසරයට හතුරුකම් කරනතාක් කල් අපිට පරිසරය නිසි දඬුවම් ලබාදෙනවා. අපි පරිසරයට ආදරය කළොත්, සතා සීපාවා ආරක්ෂා කළොත් පරිසරය මේ ලෝකය ආරක්ෂා කරනවා.
ඉතින් ඇතුන් ඝාතනය කළ ප්‍රභූ පවුල් කෙටිකාලයක් තුළ වැනසී ගිය පුවත් ඈත අතීතයෙන් අපිට හමුවෙනවා. පනාමුරේ කෙනෙර ඝාතනය කළ පනාමුරේ වලව්වටත් එවැනි ඉරණමක් අත්වුණා. ඒ වගේම අතීතයේ ලංකාවේ ඇතුන් ඝාතනය කළ බොහෝ අය අතරින් නම් දැරූ දෙදෙනෙක් වුණේ 1845 දී වැවිලිකරුවෙක් ලෙස මෙරටට ආ සැමුවෙල් බේකර් සහ උපදිසාපතිවරයෙක් බව කියන මේජර් තෝමස් විලියම්ස් රොජස් ය.
බේකර් ඇතුන් දහසක් පමණ ඝාතනය කළ අතර, මේජර් තෝමස් අලි ඇතුන් 1400 ක් පමණ මරා දැමූ බවයි සඳහන් වෙන්නේ. ඉතින් එහි පාපකර්මය නිසාම මේජර් තෝමස්ට මියදෙන්නට වුණේ හෙන පහරකට ලක්වීමෙන්.ඒ වගේම ඔහුගේ සොහොනටත් හෙණ පහර වදින බවත්, මේ වෙද්දී හෙණපහර දහසකටත් වඩා වැදී ඇති බවත් ප්‍රකාශ වෙනවා.
ඉතින් පෙර සඳහන් කළ මිත්‍යා විශ්වාස හැරුණාම ඇතුන් මරාදමමින් ලබා ගන්නා ගජමුතුවලින් ඇත්තටම මොනවද කරන්නේ. මේ ගජමුතු අපි නොදන්නා බොහෝ නිර්මාණවලට භාවිතා කරනවා. ලංකාවේ විතරක් නොවෙයි ඈත අතීතයේ ගජමුතු භාවිතයෙන් විවිධ නිර්මාණ කරපු තවත් රටවල් තිබුණා. ඊජිප්තුව, ග්‍රීසිය, ඉතාලිය යන රටවල් වසර 1400 ක් පමණ වනතෙක්ම ගජමුතු විවිධ නිර්මාණ සඳහා යොදාගත්තා. නමුත් පසුකාලීනව ගජමුතු භාවිතය ක්‍රමයෙන් අඩුවුණා.
කොහොමවුණත් එදා ග්‍රීසිය විශාල ප්‍රතිමා සඳහා රත්තරන්වලට අමතරව ගජමුතු යොදාගෙන තිබුණා. ඒ විතරක් නොවෙයි අතීතයේ ගජමුතුවලින් කැටයම් කැපූ රටවල් ලෙස බටහිර යුරෝපය , බයිසැන්තියන් අධිරාජ්‍ය සහ ඉන්දියාව යන රටවල් ද වැදගත්. මේ ගජමුතුවලින් කැටයම් කැපීම ඉතා පහසු කාර්යයක් වීම නිසා කැටයම් නිර්මාණයේ දී බහුලවම මේ ගජමුතු භාවිතා වෙන්නට ඇති.

කොහොමවුණත් වර්තමානය වෙද්දි අතීතයේ දී තරම් නැතිවුණත් ගජමුතුවල මෘදු බව , දිස්නය සහ පැහැය නිසාම ඒවා ආභරණවල කැටයම් නිර්මාණය කරන්නට භාවිතා කෙරෙනවා. ඒ වගේම විදුලි උපකරණවල පරිපථ , රේඩාර් සහ ගුවන්විදුලි සඳහා අවශ්‍ය විදුලි උපකරණ නිෂ්පාදනයටත් ඇත් දළ වගේම ගජමුතුත් භාවිතා කරනු ලබනවා.
නමුත් අගනා ගජමුතු හමුවේ ඇතුන්ගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය නම් අතිමහත්. පැරැන්නන් ගජමුතු ලබාගත්තේ මියගිය ඇතුන්ගෙන් වුවත් වර්තමානයේ දී ලෝකයේ බොහෝ රටවල්වල ගජමුතු අලෙවිය වාණිජ මට්ටමින් සිදුවන නිසා ඇතුන් දඩයම් කිරීම කින්නට පුළුවන්. ආසියාවේ වගේම අප්‍රිකාවේත් ගජමුතු ලබාගැනීමේ අරමුණින් ඇතුන් දඩයම් කිරීම සිදුවෙනවා.මේ නිසා ආසියාවේ ඇතුන් ගහනයේ අඩුවීමක් ද දකින්නට ලැබෙනවා. මේ නිසාම 1989 දී “ convention on international tradein endangered species” ප්‍රඥාප්තිය යටතේ ගජමුතු වෙළඳාම තහනම් කළ නිසා අද වෙද්දී ආසියාවේ ඇතුන් දඩයම බොහෝ දුරට පාලනය වෙලා තියෙනවා. නමුත් ඇතැම් රටවල් අතර ගජමුතු වෙළඳාම තහනම් කර තිබුණත් රට අභ්‍යන්තරයේ මේ වෙළඳාමට දොරටු විවර කර තිබීම නිසා ඇතින්ගේ ජීවිත අනතුරට ලක්ව පවතිනවා.
උපුටා ගැනීම: Voice Official Lanka Post Blog