අතුරු මිතුරු දඹදිව තුරු සෙල්ලම හැදුන හැටි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
  • අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා
  • අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
  • ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
  • උස කොල්ලෝ පේළියයි මිටි කොල්ලෝ පේළියයි
  • කුකුළ කපල වැට මුල්ලේ කිකිළි කපල වැට මුල්ලේ

මේ කවි පෙළ නම් කාටවත් අමතක වෙන්න බැහැ.මොකද හැමෝගෙම ළමා කාලය ලස්සන කරපු විනෝද ක්‍රීඩාවක් මේ කවිය හා බැඳී තියෙනව. කුඩා දරුවන් අදටත් මේ කවි ගායනා කරමින් සෙල්ලම් කරනව දැක ගන්න පුළුවන්. නමුත් මේ කවි කවුරු විසින් කා හට නිර්මාණය කරන ලද්දක් ද යන්න නම් බොහෝ අය දැනුවත් නැතුව ඇති. මේ කවි පන්තිය සීතාවක රාජධානි සමයේ හිටපු අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්ට සමච්චලයට කියන ලද්දක් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

අපේ විදියට කිව්වොත් නම් කැලෑ පත්තරයක් තමයි. මේ විදියෙ අරිට්ඨ කී වෙණ්ඩු අපහසුතාවයට පත් කරන්න ලියපු  පද්‍ය ගැන සවිස්තරව විමසා බලමු  ඇයි මොහුට ඒ වගේ අකරතැබ්බයක් වුණේ කියල.මුලින්ම සඳහන් කළ විදියට මේ සිදුවීමට සීතාවක රාජධානිය සම්බන්ධ වෙනවා.එකල සීතාවක රාජ්‍ය පාලනය කළේ රාජසිංහ රජ්ජුරුවෝ.ඉතිහාසයේ දැක්වෙන ආකාරයට මොහු ඉතාමත් රණශූරයෙක්.මුල්ලේරියා සටනේ දී පරංගි 1600 ක්  මරණයට පත් කළ ටිකිරි කුමරු තමයි මේ රාජසිංහ ලෙස රජ බවට පත්වෙන්නේ.

  • කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
  • යුදට උපන් කුමරා යයි නමක් ඇතිවුණා
  • පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා
  • ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

ඉතින් මේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉන්දියාවෙ සිට පෙරුමාල්වරු හත් දෙනෙක් පැමිණි අතර ඔවුන්ගෙන් එක් අයෙක් තමයි අරිට්ට කී වෙණ්ඩු කියන්නෙ.ඔවුන් සිංහල කෙනෙක් බවට පත් කරන විට ඒ කියන්නෙ සිංහලට කුලවද්දන විට පෙරුමාල් මොහොට්ටි නම් වුණා.ඉන්පසු රජු දුන් ගෞරව නාමයට අනුව මොහු මනම්පෙරුම මොහොට්ටි වුණා.ඒ විතරක් නෙවෙයි කොහොමින් කොහොමහරි රාජසිංහ රජු ශිව ආගමටත් හරවා ගත් ඉතා කපටි උපක්‍රමශීලී අයෙක් තමයි මේ අරිට්ට කී වෙණ්ඩු කියන්නෙ.

රජු මොහු කෙරෙහි ප්‍රසාදයක් ඇති කර ගැනීමට පසුබිම් වූ පුවතක් ගැන ක්වේරෝස් පියතුමන් සඳහන් කරනවා. ඒ පුවතට අනුව එක් අවස්ථාවක රාජසිංහ රජුගේ අණින් උඩරට බලා සහල් තොගයක් රැගෙන ගිය අරිට්ට වෙණ්ඩු භටයන් පිරිසක් සමඟ කොල්ලකෑමේ යෙදී සිටි උඩරට පාලකයෙකු මොහු විසින් මරා දැමීමයි. එයින් සතුටට පත් රාජසිංහ රජු අරිට්ට වෙණ්ඩුට තමන්ගෙ එක් බිරිඳකුත් පාවා දුන්නලු.කොහොම උණත් මොහු රජුගේ විශ්වාසය දිනාගෙන සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

ඉතින් මොහු සීතාවක කැපී පෙනෙන පුද්ගලයෙක් විදියට ඉස්මතු වෙන්නේ රාජසිංහ රජුගේ මරණයත් සමඟයි. කොහොම වුණත් රාජසිංහ රජුගේ මරණය නම් ස්වාභාවිකව වූ එකක් නොවෙයි. රාජසිංහ රජුගේ මුණුබුරා වුණු රාජසූරිය කුමරු රාජසිංහ රජුගේ පතුලේ උණ කටුවක් ඇණුනු පසු දොඩම් ගොඩ ගණිතයා හා එක්ව තුවාලයට විස බැඳ රජුගේ මරණයට පාර කැපූ බව කියවේ.

එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස රාජසූරිය රජ බවට පත් වුවත් රාජසිංහ රජුගේ වැඩිමහලු සොහොයුරිය රාජසූරිය බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළා.මත්තමගොඩ මහ බිසෝ බණ්ඩාර වූ ඇයට මේ සඳහා සහාය ලබා දුන්නේ මේ අරිට්ට වෙණ්ඩු ය. ඉතින් සිහසුන වෙනුවෙන් එක පවුලෙ උදවිය කරන කුමන්ත්‍රණ නිසා රාජසූරියත් මරණයට පත්වෙනවා. ඔහුගේ මරණය පිටුපස ඉන්නෙත් වෙන කවුරුත් නොවෙයි මේ මනම්පෙරුම ඒ කියන්නෙ මේ  අරිට්ට වෙණ්ඩුම තමයි.

රාජසූරිය කුමරුගේ පෙම්වතිය දොඩම්ගොඩ ගණිතයාගේ දියණියයි.ඇයව මානියංගම නතර  කරපු රාජසූරිය දිනපතාම ඇයව මුණ ගැසීමට රාත්‍රියේ දී මානියංගමට යනවා.ඉතින් තම පෙම්වතිය බලන්න යන ගමනක් අතරතුර මනම්පෙරුම ඔහුව මරා දමනවා.ඉන්පසු සීතාවක රජු බවට පත් කරන්නෙ මහ බිසෝ බණ්ඩාරගේ පස් අවුරුදු පුතු වුණු නිකපිටියේ බන්ඩාරයි.

කුඩා දරුවෙක්ට රාජ්‍ය පාලනය කළ නොහැකි නිසා ඒ කටයුත්ත මහ බිසෝ බණ්ඩාර අරිට්ට කී වෙණ්ඩුගේ උදව්වෙන් සිදු කරගෙන ගියා.වයස අවුරුදු පහක දරුවෙක් රජ වුණු බව ආරංචි වුණු පරංගි සීතාවක රාජධානිය පවතින්නේ අරාජික තත්ත්වයකැයි සිතා දියෝගු ද සිල්වා සෙනෙවියාගේ නායකත්වයෙන් සීතාවක අල්ලා ගැනීමට සේනාව අරගෙන  පැමිණියා.නමුත් පාලන කටයුතු මෙහෙය වූ අරිට්ට වෙණ්ඩු පරංගි සේනාවට පහර දී එලවා දැමුවා. ඉතින් මොහු ඉතා දක්ෂ රණශූරයෙක් විදියට සීතාවක වාසය කළා.

මේ මහ බිසෝ බන්ඩාරට පුතෙක් විතරක් නෙවෙයි ඔන්න ළමා වියේ පසුවුණු දියණියකුත් හිටියලු.රාජ්‍ය උරුමයත් හිමි කුඩා දියණිය ගැන සිතක් ඇති කරගෙන සිටියලු මේ අරිට්ට කී වෙණ්ඩු.අනේ ඉතින් මේ මනම්පෙරුම ඇයට පෙම් බඳිමින් රජ වෙන්නට සිහින දකිනවලු.මේ නිසා සීතාවක රාජ්‍ය උරුමය ලබා ගන්නට ඔහු උපක්‍රමශීලීව මහ බිසවගෙන් ඇයව තමන්ට විවාහ කර දෙන ලෙස ඉල්ලා සිටියා.නමුත් මහ බිසව එයට කැමති වුණේ නැහැ.

ඒ නිසා අරිට්ට කී වෙණ්ඩු හා විරසකයක් ඇතිකර නොගෙන එයට උපායක් විදියට මහ අතපත්තුවේ දොළොස් හමුදාව භාර අතපත්තු මාර්ගයෙන් අරිට්ට කී වෙණ්ඩුට කැලෑ පත්තරයක් ගහනවා.ඉතින් අරිට්ට කී වෙණ්ඩු යනෙන අවස්ථාවල සැඟවී සිටින මිනිස්සු ඔහුට ලජ්ජා වන අයුරින් මේ අතුරු මිතුරු කවිය ගායනා කළාලු. අතුරු මිතුරු …කළු කපුටා  සුදු වන තුරු මෝල් ගහේ දළු ලනතුරු  බලා හිඳින් සෙට්ටියෝ.මෙයින් කියවෙන්නේ කිසිදු දිනෙක සිංහල කුමරියක් සරණ පාවා ගැනීමට පෙරුමාල්ට නොහැකි බවයි.

බොහෝ ලැජ්ජාවට පත්වුණු මොහු මොරවත්තට පලා ගියාලු. සීතාවක රැකගැනීම ඉතා අසීරු බැවින් මහ බිසව නැවත අරිට්ට කී වෙණ්ඩුව කැඳවා ගත්තත්  කුඩා ළමුන් සෙල්ලමට වගේ මේ කවි  ගායනා කළාලු. ඉතින් මුළු සීතාවකත් සමඟම වෛර බැඳගත් අරිට්ට කී වෙණ්ඩු පෘතුගීසි වෙතට පලාගොස් ජයවීර බණ්ඩාර ලෙස කුලවද්දනු ලැබ සීතාවක ආක්‍රමණය කර රජ පවුල අත්ඩංගුවට ගත්තා.

ඒ වුණත් මොහුට සීතාවක කුඩා කුමරිය විවාහයට නම් අවස්ථාව නොලැබුණා. කොහොමින් කොහොම හරි රාජ්‍යත්වය සඳහා කරපු කුමන්ත්‍රණයක් හේතුවෙන් අරිට්ට කී වෙණ්ඩු පරංගි අතින්ම මරණයට පත්වෙනවා  මහ බිසෝ බණ්ඩාරගේ දියණියට පෙම් කළ නිසාවෙන් අරිට්ට වෙණ්ඩුට පටබැදුණු කැලෑ පත්තරය අද කුඩා ළමුන්ගේ සෙල්ලමක් බවට පත්වෙලා. ඉතින් අතුරු මිතුරු හැදුණේ ඔන්න ඔහොමයි.

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!