මා පුටුවේ හාන්සි වී පුවත්පතක් කියවීමට සිතුවා පමනි. තරප්පු පෙළ ඉක්මනින් නගිමින් කාමරය වෙත පැමිණෙන පුද්ගලයා මා මිත්ර හෝම්ස් බවට අඳුනාගැනීම මට එතරම් අපහසු වූයේ නැත.
“දෙයියෝ සාක්කි වොට්සන්..!”
“හෝම්ස්, ඔබ බොහොම කලබලයට පත්වී ඇති බව මට පේනවා. ඒ වගේම ඔබ කිසියම් හදිසි කටයුත්තකට නැවතත් පිටව යාමට සුදානමින් සිටින බවත් මට කියන්න පුළුවන්. ඒ වගේම ඔබේ කබායේ වම් අතේ පහළ කෙලවර….”
“ඔහේට පිස්සුද වොට්සන්, මම ඔබට කිව්වා නේද හවස පහ වෙනවිට රාත්රී ගමනකට සුදුසු ඇඳුමක් ඇඳගෙන රිවෝලවරයත් සූදානම් කරගෙන ඉන්න කියලා. දැන් වෙලාව පහ හමාරයි. ඔබ තවමත් මෙතන ඉඳගෙන චිත්ර කතා පත්තර බලනවද මනුස්සයෝ”
“දෙයියනේ හෝම්ස්, මම මිනිත්තුවෙන් සූදානම් වෙන්නම්. එතෙක් ඔබට අපහසුවක් නැත්නම් අපේ ගමන පිළිඹඳව මට කෙටි හැඳින්වීමක් කරන්න. හඩ්සන් මහත්මිය මේ දැන් කෝපි පෝච්චියක් ගෙනත් තිබුනා. ඒකත් බුක්ති විඳින ගමන් කතා කරන්න හෝම්ස්. අවාසනාවකට කෝපි බොන්න සීනි නම් නෑ. හඩ්සන් මහත්මියගෙන් ඒ ගැන විමසුවත් “වොට්සන් මහත්මයා, මේ සීනි කන්න වෙලාව නෙවෙයි” කියපු නිසා මම ඇයත් සමඟ වාදයට ගියේ නෑ.
“කමක් නෑ වොට්සන්. සීනි ශරීරයට අහිතකරයි.ඒක නෙවෙයි. මේක හොඳින් අහගන්න. අද ඔක්තෝබර් මාසේ 22 වෙනිදා. හරියටම තව දවස් දෙකකින්, ඒ කියන්නේ අනිද්දා; ඔක්තෝබර් 24 වෙනිදා තමයි එංගලන්තේ පර්ලිමේන්තුවේ මීළඟ වර්ෂයට අදාල අයවැය ඉදිරිපත් කරන්න තියෙන්නේ”
“ඒක ඉතිං නොදන්න මනුස්සයෙක් එංගලන්තේ මේ වෙනකොට නැතුව ඇතිනෙ හෝම්ස්”
“ඔව් හරි. ඒකත් එක්ක තමයි මේ කාරනය තවත් බරපතල වෙන්නේ. වොට්සන්, ඔබ දන්නවද මේ වෙනකොට ඒ සකස් කරලා අවසන් උනු අයවැය වාර්තාව අතුරුදන් වී ඇති බව ?”
“දෙයියෝ සාක්කි හෝම්ස්..! ඔබ මොනවද මේ කියන්නේ”
“ඔව් වොට්සන්, ඊයේ හවස මුදල් ඇමතිවරයා මාව මුනගැහෙන්න ආවා. මනුස්සයා බොහොම කලබලයට පත් වෙලා. මූණ සුදුමැලි වෙලා. අනිද්දා උදේ වෙනකොට මුදල් ඇමතිවරයගේ මේසේ උඩ අයවැය වාර්තාව නොතිබුනොත් මේක මහා කලබගෑනියක් වෙනවා. හැම එකටම වඩා මේකේ තියෙන තොරතුරු තුන්වෙනි පාර්ශවයක් අතට පත් වෙනවා කියන්නේ ඒක රටේ ආර්ථික සුරක්ෂිතතාවයට එල්ල කල මරු පහරක් වෙනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයට ආන්ඩුවට විරුද්ධව පහර එල්ල කරන්නත් මේක බොහොම හොඳ මාතෘකාවක් වෙනවා”
“ඉතිං ඔහු කවුද මේ ගැන සැක කරන්නේ”
“ඔහුට මේ පිළිඹඳව සැක කරන්න කිසිවෙක් නෑ වොට්සන්. කිසිවෙක් නෑ. ඒකයි ඔහු මාව සොයාගෙන ආවේ. වාර්තාව තිබුනේ ඇමතිවරයාගේ අමාත්යාංශයේ ඇති කාර්යාල කාමරයේ තියෙන සේප්පුවේ. එහි යතුර නිතරම තියෙන්නේ ඇමතිවරයගේ සාක්කුවේ. පෙරේදා හවස ගෙදර යන්න වාහනේට තෙල් ගහන්න සේප්පුවෙන් සල්ලි ගන්නකොටත් මේ වාර්තාව සේප්පුව් තියෙනවා ඇමතිවරයා දැකලා තියෙනවා”
“ඉතිං හෝම්ස් ඔබට මේ ගැන සැක හිතෙන කෙනෙක් ඉන්නවද”
“ඉන්නවා මනුස්සයෝ, ඉන්නවා. ඒකට තමයි මං මේ යන්න හදන්නේ. මං විස්වාස කරනවා අද රෑට මට මේ ගැටළුව ලිහාගන්න පුළුවන් වෙයි කියලා. ඔය කලිසමේ ශිපර් එක උඩට කරගන්න වොට්සන්. මම ඔබට නිතරම කියනවා ශිපර් එක උඩට නොකර කලිසමේ උඩ බොත්තම දාන්න එපා කියලා. බොත්තම දාගෙන ඉන හරි ගානට තද උනාම මිනිස්සුන්ට අමතක වෙනවා ශිපර් එක වැහුවේ නෑ කියලා. ඕක තමයි අපිට හෙන ගැහිලා තියෙන්නේ”
පාරට පැමිණිමෙන් පසු නවතාගත් කුලී රියෙන් හෝම්ස් සහ මම ලන්ඩන් නගරයේ විථි දිගේ ගමන් ගත්තත් ඒ සම්පූර්ණ ගමන පුරාම හෝම්ස් කිසිවක් කතා නෙකල තරම්. හෝම්ස් තැනින් තැනට “වමට” හා “දකුණට” ලෙස රියදුරාට හැරවීමට අවශ්ය තැන් වලදී අණ කලා මිසක් අප යායුතු ගමනාන්තය මේ යැයි ප්රකාශ කලේ නැත. අතුරු පාරවල් රාශියක් හරහා ගමන් කල බැවිනුත් වෙලාව රාත්රී හතටද ආසන්නව තිබූ බැවිනුත් අප සිටින ප්රදේශය පිළිඹඳව නිශ්චිත අදහසක් ගැනීමට මට නොහැකි විය. අවසානයේ අප ගමනාන්තයට ලඟා වූ බව හඟවමින් හෝම්ස් රියදුරාගේ පිටට තට්ටු කොට රථය නවත්වා ඔහුගේ කුලිය දී පිටත් කර හැරීය.
“එන්න වොට්සන්, අපිට අද රාත්රියේ රාජකාරී තියෙන්නේ මේ විසල් මන්දිරය ඇතුලේ”
හතර වටින්ම තාප්ප වලින් වට වූ එම සුවිසල් මන්දිරය මීට පෙර දැක හුරුපුරුදු බවක් තිබුනත් එකවරම එය කුමක්දැයි අඳුනැගැනීමට මට නොහැකි විය. නිවසේ ඉදිරිපස දොරටුව අසල ආරකෂකයින් රැඳී සිටි අතර, අප නිවසේ වම් පස තාප්පයට මායිම් වූ අතුරු මාර්ගය දිගේ මද දුරක් ගොස් නතර විය.
“ඔහොම ඉන්න වොට්සන්. හරියටම හත හමාර විතර වෙද්දී, ඒ කියන්නේ තව විනාඩි පහළවකින් මේ ගෙදරින් වාහනයක් පිට වෙන්න ඕන. ඒකෙන් මේ ගෙදර ඉන්න සියළුම දෙනා යනවා විශේෂ උත්සවයකට. අන්න ඊට පස්සෙත් තව පැයකට විතර පස්සේ තමයි අපිට වැඩේට බහින්න තියෙන්නේ”
“ඉතිං එහෙනම් අපි මෙච්චර කලින් ආවේ මොකටද හෝම්ස්”
“මනුස්සයෝ.. මේ ගෙදර තියෙන උස තාප්ප නිසාත්, ගරාජ් එක තියෙන පිහිටීම නිසාත් අපිට ගෙදර මිනිස්සු එළියට ගියාද කියලා පහුවෙලා ආවොත් දැනගන්න විදියක් නෑ. ඒක තහවුරු කරගන්න නම් ඒ මිනිස්සු යන වෙලාවට අපි මෙතෙන්ට ඇවිත් තියෙන්න ඕන. ඔන්න ඔන්න, කියනකොටම වාහනේ ගෙදරින් පිටත් උනා”
සුකෝපභෝගී මෝටර් රථය නිවසින් පිටවන අයුරුත්, ඉන්පසු ඉදිරිපස ගේට්ටුව ආරක්ෂකයින් විසින් වසා දමන අයුරුත් අපට දැකගත හැකි විය.
“හෝම්ස්, අපි කොහොමද ගෙට ඇතුල් වෙන්නේ. අපි තාප්පෙන් පැන්නත් ඉස්සරහා ඉන්න ආරක්ෂකයින් අපිව දකින්න ඉඩ තියෙනවා”
“ඒක තමයි වොට්සන් තව පැයක් යනකන් ඉන්න කිව්වේ. තව ටිකකින් ගේට්ටුවේ මුරට ඉන්න ආරක්ෂකයෝ ටික නිදාගන්නවා. මොකද ගෙදර කවුරුත් නෑනේ. ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිලධාරීන් ගැන මම නොදන්නවා නෙවෙයිනේ වොට්සන්”
හෝම්ස් එසේ ප්රකාශ කර අපට වැඩි වෙලාවක් එතන රැඳී සිටීමට අවශ්ය වූයේ නැත. විනාඩි පහලවකින් පමන ගේට්ටුවේ සිටි ආරකෂක නිලධාරියාගේ ගෙරවුම් හඬ නිවසේ වම්පස තාප්පයට පිටතින් සිටි අපට ඇහෙන්නට විය.
“ලෑස්ති වෙන්න වොට්සන්. දැන් තමයි සෙල්ලම පටන්ගන්නේ. අපිට ගෙදර පිටිපස්සට වෙන්න තියෙන තාප්පෙන් ඇතුල් වෙන්න විදියකුත් නෑ. උයන්පල්ලන්ගේ නවාතැන තියෙන්නේ ඒ හරියට වෙන්න. ඔන්න ඔතනින් පනිමු වොට්සන්”
අඩි හතක් පමණ උස වූ තාප්පයට දෑතම තබා මුලින් තාප්පයට ගොඩවී පසුව තාප්පයෙන් නිවස තිබූ භූමිය තුලට පැනගැනීමට අපට හැකි විය.
“අම්මෝ හෝම්ස්. මගෙ කොන්දත් කැඩුන වගේ”
“ඇයි වොට්සන් ඔබ ඔස්ටියෝපොරෝසිස් වලින් ආරක්ෂා වෙන්න කියලා කිරි ජාතියකුත් බිව්වා නේද ඒ දවස් වල. ඒකෙන් ඵලක් වෙලා නෑ වගෙයි”
“ඵලක් වෙන්නේ කොහෙද හෝම්ස්. එක එක නම් ගහලා වික්කට හැම පැකට් එකක් ඇතුලෙම තිබිලා තියෙන්නේ එකම කිරි ජාතියනේ. ඔව්වා නියාමනය කරන්න එංගලන්තේ හරි හමන් ආයතනයක්වත් තියෙනවා කියලද ”
“හරි හරි මනුස්සයෝ. සෞඛ්ය පාඩම අමතක කරලා එනවා ආපු වැඩේ කරගන්න”
අපි විටෙක බඩගාමින්ද, විටෙක පහත් වී ඇවිදිමින්ද නිවසේ ප්රධාන දොරටුව ආසන්නයටම පැමැණියෙමු.
“හෝම්ස්, ගෙදර කවුරු හරි ඉන්න පාටයි. පේන්නැද්ද හැමතැනම ලයිට් දාලා”
“අනේ අනේ වොට්සන්, එංගලන්තේ ගෙදරක මිනිස්සු නෑ කියලා දැනගන්න තියෙන හොඳම ශාක්ෂිය තමයි ගෙදර වටේටම ලයිට් දාලා තියෙන එක කියලා ඔබට අමතක උනාද. ගෙදර ඉන්න වෙලාවට එංගලන්තේ ම්නිස්සු කොච්චර විදුලිය පිරිමහනවද”
“හැබෑමයි හෝම්ස්, ඔබ කියනකන් මට කල්පනා උනේ නෑ”
“යමු වොට්සන්, අපිට ගෙදර ඉස්සරහා දොර ළඟ ගොඩක් වෙලා රැඳෙන්න බෑ. කවුරු හරි දකින්න පුළුවන්. ගියපු ගමන් දොර ඇරන් අපි ඇතුල් වෙන්න ඕන”
“ඇතුල් වෙන්න කෝ ගෙදර යතුර හෝම්ස්..!. ඔබ යතුරක් අරන් ආව ද”
“මම අරන් ආවේ නම් නෑ වොට්සන්. ඒත් මං හිතන්නේ මං දන්නවා යතුර තියෙන තැන. එන්න අපි යමු”
මගේ මිත්රයාව අනුගමනය කරමින් මාත් ඔහු පසුපසින්ම නිවස වෙත වේගයෙන් ගමන් කලෙමි. නිවසේ ප්රධාන දොර අසල හිටගත් හෝම්ස් බිමට පහත් වී දොරකඩ තිබූ පා පිස්ස මදක් ඉස්සුවේය. එසැනින් යතුර අතට ගත් ඔහු සැනින් මාද සමඟ නිවසට ඇතුලු වී දොර වසා දැමුවේය.
“මට නම් අදහාගනනත් බෑ හෝම්ස්. ඔබ කොහොමද දන්නේ යතුර පා පිස්ස යට තිබෙන බව”
“වොට්සන් මගෙ මිත්රයා, එංගලන්තේ මිනිස්සුන්ගෙන් සීයට අසූවක්ම ගමනක් යනකොට යතුර තියලා යන්නේ පා පිස්ස යට. එහෙමත් නැත්තං මල් පෝච්චියක් යට. නැත්තං දොරට උඩින් තියෙන හුළං කවුළුවක. එක්කෝ දර ගේ පරාලයක් උඩ. එහෙමත් නැත්තං එළියේ තියෙන වැසිකිළියේ හුළං කවුළුව මත”
නිවසට ඇතුළු වී මම නිවස සිසාරා බැල්මක් හෙළුවෙමි. මා ජීවිතයේ දැක ඇති, අති සුකෝපභෝගී නිවස මෙය බව නම් නොඅනුමානය. සැබවින්ම මෙය නම් ධන කුවේරයෙකුගේ නිවසක් විය යුතුය.
මේ අතරතුර හෝම්ස් නිවසේ කාමරයක්, කාමරයක් පාසා බැලුම් හෙලමින් යමක් සොයන්නට විය. නමුත් ඔහු සොයන දෙය මෙතෙක් හමු නොවීය. අවසානයේ දී අප කාර්යාල කාමරයකට සමාන කාමරයකට ඇතුළු විය. හෝම්ස්ගේ මුහුණ ආලෝකමත් වන සැටි මම බලා සිටියෙමි.
සම්පූර්ණ කාමරයටම තිබුනේ මේසයක්, පුටුවක් සහ ලිපි ද්රව්ය ගබඩා කර ඇති යැයි සිතිය හැකි අල්මාරියකුත් පමනි. මේසය මත තැනින් තැන ලිපි කිහිපයක් විසිරී තිබුනි. යාන්තමින් එක් ලිපියක් කියවා බැලූ විට එහි තිබුනේ කිසියම් ව්යාපෘතියක් ලබාදීම වෙනුවෙන් කොන්ත්රාත්කරුවා විසින් ලිපිය ලියූ තැනැත්තාට ගෙවිය යුතු අයවීමක් පිළිඹඳ සිහිකැඳවීමකි.
“වොට්සන් මේ බලන්න. මට මේ ලියකියවිලි ඇතුලත් අල්මාරිය ඇරගන්න ඕන. ඔබට එහි යතුර තිබෙන තැන පිළිඹඳ යම් අදහසක් තියෙනවද”
“ඔබට විකාරද හෝම්ස්. මම කොහොමද ඒක දන්නේ”
“එහෙනම් ඔන්න බලන්න වොට්සන්”
කියමින් ඔහු අල්මාරියේ ඉහළට අත යවා සෑම තැනක්ම අතපත ගෑවේය. අවසානයේ ඔහු අල්මාරිය උඩින් ගත් යතුරක් ආධාරයෙන් එහි දොර විවෘත කලේය.
“වොට්සන්, මේ පාරත් පුදුම වෙලා අහන්නෙපා යතුර තියෙන තැන දැනගත්තේ කොහොමද කියලා. රත්තරං බඩු ඇරුනම වෙන මොන වැදගත් දේ තිබුනත් එංගලන්තේ මිනිස්සුන්ගෙන් අති බහුතරයක් අල්මාරියේ යතුර තියන්නේ අල්මාරිය උඩ”
එසේ පවසමින් හෝම්ස් අල්මාරිය විවෘත කර එහි එක් එක් ලිපිගොනු ගෙන සෙමින් පරීකෂා කරන්නට ව්ය. ලිපිගොනු හතරක් පහක් පරීක්ෂා කිරීමෙන් පසුව තවත් ලිපි ගොනුවක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුහුණ මා බලා සිටියදීම රත්පැහැ ගැනින. එවර ඔහුගේ මුහුනෙන් පහළ වූයේ විශ්මය ද, සන්තුෂ්ටිය ද, භීතිය ද, කුතුහලය දැයි මට හරි හැටි තක්සේරු කරගත නොහැකි විය.
අවසානයේ දී ජයග්රාහී සිනහවක් සමඟින් සිවුරුහන් හඬක් නඟමින් හෝම්ස් මා දෙස බැලුවේ ය.
“සෙල්ලම ඉවරයි වොටසන්, දැන් තියෙන්නේ විනිශ්චය දෙන්න විතරයි. ක්රීඩකයත් මම නම්, විනිශ්චයකරුවත් මම ම නම් ඒක මොන තරම් හාස්යජනක සෙල්ලමක් ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නේද දොස්තර මහත්මයා ?”
එසේ පවසා හෝම්ස් එම විශාල ලිපි ගොනුව නැවතත් අල්මාරියේ තිබුනු තැනින්ම තබා අගුල දැමුවේය.
“මට මේ කිසි දෙයක් තේරෙන්නෑ හෝම්ස්”
“අපි යමු වොටසන්. බේකර් වීථියට ගිහින් අපි දැන් හොඳ නින්දක් නිදාගමු. හෙට උදේම අපේ ඇමතිතුමා එයි අපිව බැහැදකින්න. එතුමත් එක්කම ඔබටත් මේ ගැටළුවට විසඳුම් හම්බවෙයි. එන්න මිත්රයා”
හෝම්ස් පසුපසින් ගමන් කරන අතරතුර මම නැවත හැරී මේසය මත තිබූ ලියවිල්ලේ ලිපි ශීර්ෂය කියවීමි.
මුදල් ඇමති,
මහා බ්රිතාන්ය පාර්ලිමේන්තුව.
(මතු සම්බන්ධයක් නොමැති වීමට ද හැකිය)
***********
(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා ලියන ලද ලියවිල්ලකි)
උපුටා ගැනීම: -Sherlock holmes-