ගෙන්දගම් පොළොවේ පය ගසා වසර පහකට පමණ පසු හමු වූ “ගෙන්දගම් ඇන්ටි” කෙනෙක් සම්බන්ධව ඇඟ කිළිපොලා යන සත්ය කතාවක දිගහැරුමයි මේ.
එවකට මා නේවාසිකව සිටියේ දෙහිවල, අත්තිඩිය ප්රදේශයේ ය. ගාළු පාරට දුරින් පිහිටි ප්රදේශයක් බැවින් එහි සිට රාජකාරී ස්ථානයට යාමට නම් බස් දෙකකින් යා යුතුය. නමුත් එක්තරා ලං.ග.ම බස් රථයක් රත්මලානේ සිට අත්තිඩිය හරහා කොළඹ කොටුව දක්වා ගමන් කරයි. එම නිසා අත්තිඩියට පැමිණ ටික දවසකින් මම ද, මා සමඟ එක නවාතැනේ සිටි “සඳකැළුම්” ද එම බස් රථයෙන් වැඩට යාමට පුරුදු විය.
ගමන් පහසුව හේතුවෙන් දිනපතා එම බස් රථයෙන්ම යාමට සිටින අනිවාර්ය මගී පිරිසක් සිටියි. දිනක් එම බසයෙන් ගමන් කොට බම්බලපිටියට ආසන්න වන විට බසයෙන් බැස ගැනීම සඳහා බස් රථයේ මැද ආසනයක සිට පසුපස දොර දක්වා ගමන් කරමින් සිටියෙමි. වයස අවුරුදු 45ත් 50 ත් අතර වයස යැයි සිතිය හැකි තරමේ කාන්තාවක් මා දෙස උනන්දුවෙන් බලා සිටිනු දුටුවත් එතරම් ගණනකට නොගත්තේ, එසේ බලා සිටි ඇන්ටිලා “අනේ පුතේ, මගේ පුතත් ඔයා වගේමයි”, එසේත් නැත්නම් “අපේ අක්කගේ පුතත් ඔයා වගේමයි” වැනි කතා ඕනෑ තරමි අසා පුරුදු නිසා, මේත් එවැනිම කාගේ හෝ රුවකට මාව සමාන බැවින් මදෙස බලා සිටිනු ඇතැයි යන සිතිවිල්ලෙන්ය.
පසු දින ද එම බසයෙන්ම ගමන් කොට බැසීමට සූදානම් වන විට ඇය පෙර දිනටත් වැඩි උනන්දුවකින් මදෙස බලා සිටිනු හොරැහින් දුටුවත් එකවර ඇය දෙස බැලීමට මට ආත්ම ශක්තියක් නොමැති බව හැඟී ගියේ එම බැල්ම එතරම් තියුනු ලෙස මා වෙත යොමු වී තිබෙනු ඇසේ පැති කෝණයට නිරීක්ෂණය වූ නිසාය. ඒ වෙනුවට මා කලේ මගේ කලිසමේ “ශිපර් එක” වත් පහළට යොමු වී වත් ඇත්දැයි අතගා බැලීමය. එසේ නොවූ තැන නහයෙන් හොටු කැබැල්ලක්වත් එළියට විත් මුහුණේ තැවරී ඇත්දැයි බැලීමය. ඉහත සියල්ල පරීක්ෂා කරන තුරු ද ඇය මා දෙසම බලා සිටි බව දැක ගත හැකි වූයේ බසයෙන් බැස නැවත හැරී ඇය දෙස බැලූ විටය.
තුන් වන දින සඳකැලුමා නොමැති වූ හෙයින් මා බසයට ගොඩ වූයේ තනිවමය. පිටුපස දොර අසල හිස් ආසනයක වාඩි වූ මා ගැහෙන හදවතින් යුතුව ගමන් කලෙමි. බලාපොරොත්තු වූ පරිදිම මා බසයට නැග නැවතුම් දෙකක් ගතවූ තැන ඇන්ටි ද බසයට ගොඩ විය. ගොඩ වන විටම දොර ළඟ අසුනේ සිටි මා දුටු ඈ, මා වෙත නොව ඇගේම හිතට “අද නම් දෙනවා පාර” යැයි හැඟවෙන හිනාවක්ද සමඟ මගේ ළග වාඩි විය.
දැන් නම් සැබවින්ම මා ගැහෙනවාය. පපුව උඩ ගිණි අවුලා “බාබකිව්” දානවා වැනිය. මගේ හදවතේ “ලබ් ඩබ්” ශබ්ධය මටම ඇසුනේ එදාය. මේ ගැහැණිය කිසිවක් නොකියාම මාව යටත් කරගත්තා වැනිය.
මද වෙලාවකට පසු ඈ පළමු වෙඩි මුරය නිකුත් කලාය.
“මල්ලී හැමදාම මේ බස් එකේද යන්නේ” ?
“ඔ ඔ ඔව්”..
“කොහෙද ජොබ් එක කරන්නේ” ?
“ අහවල් එකේ මිස්”
“අයියෝ.. මිස් කියන්න එපා. මට නයනා කියන්න. ඔයාගේ නම මොකක්ද” ?
“හෝ හෝ හෝම්ස්..”
“ෂා ලස්සන නමක් නේ”
බම්බලපිටියට එන තෙක් ඇය මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කලාය. ඇය ප්රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාව කරන බව ද පැවසුවාය. වී මෝලක් වැනි හැගෙන හදවතින් යුතුව කීකරු දරුවකු සේ, මා ඇගේ ප්රශ්ණ සියල්ලට අවංක පිළිතුරු කීවේය. මා බසින තැන ආසන්න වන විට ඇය,
“හෝම්ස් මල්ලී, මට ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක දෙන්න”
එය ඉල්ලීමක් නොව තරමක නියෝගයක් ද වැනිය. ගොන් නාම්බකු සේ මම “බිංදුවයි හැත්තෑ හතයි” කියා ෆෝන් නම්බර් එක දුන්නේ ඒ අවස්ථාවේ මට මොන යකා ආවේස වී සිටියා දැයි මටම හරි හැටි අවබෝධ කරගත හැකි නොවූ නිසාය.
බසයෙන් බැස විනාඩියක් යන්නට මත්තෙන් මැසේජ් වැලක් පැමිණ තිබුණි. කාර්යාලයට ගොස් දෙක තුනකට රිප්ලයි කල විට තවත් දහයක් පහලවක් “පෙන්ඩින්” වනවාය. වැඩේ හරියන්නේම නැති බව තේරුන තැන,
“අක්කේ මම හවස ගන්නම්, දැන් පොඩ්ඩක් බිසී” කියා මැසේජ් වැලට තිත තැබුවෙමි.
එම තාවකාලික විරාමය අවසන් කර මගේ ජීවිතයේ කිසි දිනක නෑසූ කතා මා ඇසූයේ එදින රාත්රියේය. හවස හතට පමණ ගත් ඇමතුම අවසන් වන විට අටයි කාලද පසුවී තිබුනි. එපමණ වෙලා කතා කලද ඇය කී දෑ පිළිඹඳව සටහන් තැබීමට “ලිඛිත භාෂාව” පොහොසත් නැතැයි මා සිතමි. ඇගේ සියළු අවශ්යතාවයන් නොවලහා මා ඉදිරිපිට මුදා හල ඈ අවසාන වශයෙන් මා වෙනුවෙන් වියදම් දරන බවටද ශපත කලාය. මා “ඔල්මොරෙන්දම්” වී අහගෙන සිටියා විනා කීවේ මොනවා දැයි මතකම නැත.
සැබවින්ම කල යුත්තේ මොනවා දැයි සිතා ගත නොහැකි මම මද වේලාවක් කල්පනා කලේය. පසුදින සති අන්ත නිවාඩු දිනය බැවින් එවකට මගේ පෙම්වතියට ඇමතුමක් ලබාගෙන කීවේ “හෙට නුවරට එන්න. ඔයාට පොඩි කතාවක් කියන්න තියෙනවා” කියාය.
නුවර ඩෙවෝන් හෝටලයේ ආහාර ගන්නා අතරතුර මම ඇයට “ඇන්ටිගේ කියුම් කෙරුම්” විස්තර කලාය. පසෙකින් සංගීත කන්ඩායම “නින්ද නැති රැයේ” ගීතය ගායනා කරයි. මගේ පෙම්වතිය මේසයේ ඔලුව තබාගෙන හොඳටෝම හඬයි. ගායකයාට හෙන සතුටුය. ඔහු සිතන්නේ ඔහුගේ ගීතයේ ඇති හැඟීම් බර බවට ඇය හඬනවා කියාය. “බම්බුව”.. ඇයට ගීතය ඇසෙන්නේවත් නැත. “මේ ගෑණිට මේක නොකියා හිටියා නම් හොඳයි” කියාද නොසිතුනාම නොවේ.
ඇයට සිද්ධිය පැවසුවද එක කරුණක් වසන් කලේ මාගේ ආරක්ෂාව සඳහාය. එනම් දුරකථන අංකය ලබා දුන්නේ මා නොවන බවත්, මා නොමැති අවස්ථාවක එය සඳකැලුමාගෙන් ලබාගෙන ඇති බවත්ය. එසේ පැවසීම කෙතරම් නුවණට හුරුද යන්න වැටහුනේ සඳකැලුමාගේ අම්මා අප්පාගේ සිට පලු අරින්නට පටන් ගත් විටය. ඒ අහිංසකායා මේ කිසිවක් දන්නේ නැත. මාගෙන්ම අංකය ලබා ගත්තා යැයි පැවසුවේ නම් අද මේ කතාව ඔබට පැවසීමට මා ජීවතුන් අතර නොසිටින්නට බොහෝ දුරට ඉඩ ඇත.
අවසානයේ දී ඇන්ටිට කරුණු පහදා දී ඇගේ අංකය බ්ලොක් කිරීමට පෙම්වතිය සමඟ කතිකා කර ගතිමු. මා ඇන්ටිට ඇය සමඟ ,ඇය සඳහන් කල ක්රියාවන් කිරීමට කැමති නැති බව ඇයට නැවත නැවතත් තේරුම් කර දුනිමි. ඇය තේරුම් ගන්නේම නැත. දහසකුත් දෑ පවසා “ඕන මගුලක් කරගනින්” යැයි සිතා අවසානයේ දුරකථනය විසන්ධි කලෙමි. ඒ සැනින්ම ඇයගේ අංකය “බ්ලොක්” කලෙමි. කෝල් හිස්ට්රි, ටෘෘ කෝලර් ආදී සියල්ලෙහිම තිබූ ඇගේ අංකයද ඩිලීට් කලෙමි. බස් රථයේ ගමන ද එතනින් නතර විය.
නිහඬව සතියක් පමණ ගත විය. දිනක් සඳකැලුමා කඩිමුඩියේ දිව ආවේය. ඔහුගේ ඇස් දෙක උඩ ගොස් මූණ රතු වෙලාය.
“මොකද බං”? මම ඇසුවෙමි.
ඔහු එතැන් සිට කතාව පැවසුවේය. මගේ සිදුවීමට බොහෝ දුරට සමානවම මගේ සිදුවීමම ඔහුටද සිදු වී ඇත. වෙනසකට ඇත්තේ මා ඇයට අකමැති බව, ඇය සඳකැලුමාට ද පවසා තිබීමය. එබැවින් ඔහුගෙන් කැමැත්ත විමසා ඇත. හද්දා පිටිසර ගමක සිට කොළඹ පැමැණි සඳකැලුමා ජීවිතයේ කිසි දිනෙක නොඇසූ කතා ඇගෙන් අසාගෙන ඇත. ඔහු කතා කරන විට වරින් වර හති අරියි. නැවත කතා කරයි. ඔහුට දීමට බ්රැන්ඩි මා ළඟ නැත.
සඳකැලුමා නම් ඇයව බ්ලොක් කලේ නැත.නම්බර් එක පිටින්ම මාරු කලේය. ටික දිනක් කෝමා තත්වයක මෙන් සිටි ඔහු පසුව යහපත් තත්වයට පැමිණියේය.
මා ද උපාසකයෙකු යැයි කියන්නේ නැත. පූරුවේ පිනකට “රාගය” පරාජය කිරීමට “විරාගය” සමත් විය. ඇන්ටි සමඟ ගියා නම් ඇය මට වියදම් කිරීම කෙසේ වෙතත් ඇඳිවත වත් ඉතිරිවන්නේ නම් නැති බව හොඳටම විශ්වාසය.
උපුටා ගැනීම: -හෝම්ස්-