අවජාතක ගැබ්ගැනීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ලියනවද නැද්ද කියලා ගොඩක් කල්පනා කරා. ඒත් පස්සෙ හිතුනා ලියන්න ඕනි කියලා. ඒ මෙවැනි තුච්ඡ සිදුවීම් මින් මත්තට හෝ සිදුවීම වලක්වා ගැනීම සඳහා දායක විය හැකි යම් සමාජ කතිකාවක් මේ හරහා ගොඩ නඟා ගැනීමට හැකි නම් ඒක පිනක් කියලා හිතුන නිසා.
” ඊ ළඟ ලෙඩා ඇතුලට එන්න “
සුපුරුදු ස්වරයෙන් කියද්දී, එක පාර තුන් දෙනෙක්ම ඇතුලට ආවා. පලමු බැල්මෙන්ම ඒ තුන් දෙනාම මගේ මතයකට නැඟුනා.
වියපත් මවක් , ඒ වයසටම මුහුකුරා ගිය පියෙක් හා හිරිමල් වියේ දැරිවියක් රෝගීන් පරීක්ෂා කරන කාමරේ ඇතුලේ හිටගෙන ඉන්නවා.
” දුව වාඩිවෙන්න “…. මම කිව්වා
“තාම අඩු නැද්ද “.. ඊ ළඟ ප්රශ්නය යොමු වුණා.
” අඩු නෑ ඩොක්ටර්” ..
වෛද්යවරයකු ඇසීමට අකමැතිම චෝදනාවත් එල්ල වුණා. රෝගියකු සුවපත් වනවිට ලබන මානසික සුවය , රෝගියකුගේ අසනීපයක් උත්සන්න වුවහොත් ඇතිවන පීඩාව අතර විටින් විට දෝලනය වන අපේ ජීවිත මේ පිලිතුරත් සමගම තවත් ව්යාකූල බවට පත් වුණා.
” දැන් බඩ රිදෙන එක වැඩියි. අද තුන් පාරක් වමනෙත් ගියා “..
.”.. බලාගෙන ඉන්න බැරි තැනමයි ආයෙත් එක්ක ආවෙ..”
ඒ මව පිලිතුරු දුන්නා…
මේ දැරිය රැගෙන මේ අම්මා මීට දින පහකට පමණ පෙර බාහිර රෝගී අංශයට ආවෙ යටි බඩේ කැක්කුමක් ගැන කියමින්. රෝගී දැරිය පරීක්ෂා කර, අදාළ ප්රතිකාර නියම කල අතර, තවත් දින දෙකකට පසු නැවත එම රෝගී දැරිය රැගෙන එම මවත්, ඉහත සඳහන් කල පියාත් දෙදෙනාම පැමිණියා. එවරද පැමිණිල්ල වූයේ රෝගී ස්වභාවය අඩු නැති බවකි. එවරද මනා රෝගී පරීක්ෂාවකින් පසුව කිසිදු හෝඩුවාවක් හෝ හඳුනා ගැනීමට නොහැකි වූ බැවින් මූලික රුධිර පරීක්ෂණ හා මුත්රා පරීක්ෂණ සිදු කලා. ඒ සියලු පරීක්ෂණ වාර්තා සාමාන්ය තත්වයේ වූ අතර, එම තත්වය පැහැදිලි කර, ප්රතිකාර වෙනස් කර , රෝගී තත්වයේ යම් උත්සන්න වීමක් වුවහොත් නේවාසික ප්රතිකාර සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේ, අවශ්ය වුවහොත් ඉහල ප්රතිකාර හා වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කිරීමේ අදහසිනි. අද මේ පැමිණ සිටින්නේ තුන් වෙනි වතාවටයි…
” මේ දුවගෙ වයස කීයද..” ?
“.. දාසයයි”..
දුව වෙනුවට අම්මා උත්තර දෙනවා …
“.මේ සැරේ විභාගේ ලියනවා ඩොක්ටර් “
“පාඩම් කරනවා. පංතිත් යනවා “
” මේ අම්මගෙ කවුද “..?
“..මගෙ මිණිබිරී “.. ” දුවගෙ දුව”..
“එතකොට කෝ මෙයාගේ අම්මා,තාත්තා “..?
” තාත්තා නෑ.. පොඩි කාලෙම දාලා ගිහින් වෙන කසාදයක් කරගෙන”. ” අම්මා රට….සවුදියේ ඉන්නෙ”… “මමයි ළමයින්ගේ තාත්තායි තමයි මේ කෙල්ල බලාගන්නේ..”
එවර සෑහෙන තොරතුරු ගලාගෙන එන්න ගත්තා. ඒත් එක්කම කොච්චර අකමැති වුනත් මගේ අවදානය වෙනත් පැත්තකට යොමු වුණා.
” මේ දරුවා වැඩිවියට පත් වෙලා කොච්චර කල් වෙනවද”..?
“දැන් අවුරුදු තුනහමාරක් “
ඒ අත්තම්මා කිව්වා.
කෙසේ වෙතත් විද්යානුකූල තීරණයක් ගත යුතු අවස්ථාවක් එළඹ තිබේ. මුල් පරීක්ෂණ වාර්තා නැවත පරීක්ෂා කලෙමි. කිසිදු හෝඩුවාවක් හෝ නැත.
දැන් විශේෂඥ උපදෙස් හා වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කල යුතු වුවත්, අවුරුදු දහසයක පාසල් දැරියක් වුවද අකමැත්තෙන් වුනත් ගර්භණී භාවය සඳහා මූත්ර පරීක්ෂණයක් නියම කලෙමි.
විනාඩි කීපයකින් පරීක්ෂණ වාර්තාව මා අතට පත් වුණා… මගේ ඉහ මොල රත් විනි. සිරුර හරහා විදුලියක් ගමන් කරන සෙයක් දැනුනි. ඒ දැරිවිය ගර්භණී භාවය සඳහා මූත්ර පරීක්ෂණය පොසිටිව් වී තිබුණා.
රටේ නොවිසඳුණු සමාජ ආර්ථික ප්රශ්න මැද, මව්පිය යුවලගේ සෙනෙහසින් මිදුණු,සීයාගේත් , ආච්චිගේත් රැකවරණයේ පසු වූ මේ මල් කැකුල, කිසියම් පාපතරයකු විසින් විනාශ කර දමා ඇත. ඇයගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ඒ අහස පොලොව නුහුලන අපරාදය සිද්ධ වී හමාරය. රාජකාරි ජීවිතය තුලදී තීරණ දැනුම් දීමේදී අපි රෝගීන් අභිමුව අසරණ වූ වාර අනන්තයි. ඒ සියලු අවස්ථා පරදවමින් මේ වියපත් යුවල ඉදිරියේ මේ කාරනය කියාගත නොහැකිව බොහෝ වේලාවක් කල්මැරීමට මට සිදු විය..
අවසානයේ මම කටහඬ අවදි කලෙමි..
” අම්මේ කලබල වෙන්න එපා “
” මේ දුවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා”
” මොකක්…”..?
ඒ අසරණ මහලු අම්මා ඇහුවෙ එච්චරයි. ඊට පස්සේ ඉකි ගගහ අඬන්නට පටන් ගත්තා.
මම ඒ වියපත් තාත්තාගේ මුහුණ දෙස බැලුවෙමි. රාජකාරි ජීවිතය තුලදී අම්මලා අඬනවා ඕනෑ තරම් දැක ඇත්තෙමි. එහෙත් තාත්තලා අඬනවා දැක ඇත්තේ ඉතාම අඩුවෙන්..
අර මහලු පියාගේ අඳුරු පාට දෑස් ඉරාගෙන දෙකම්මුල් හරහා කඳුලු පාරවල් දෙකක් පහලට රූටමින් තිබිණි.
ඒ කඳුළු වල කොතරම් නම් හැඟීම් දියවී තිබෙන්නට ඇත්ද….?
වෛද්ය තිස්ස දිසානායක
මූලික රෝහල
පොල්පිතිගම
(සේයාරුව අන්තර්ජාලයෙන්)
උපුටා ගැනීම: Tissa Dissanayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!