නිමාලි වෙනදා පුරුද්දට ඇහැරිලා ඔරලෝසුව දිහා බැලුවා. උදේ පහ වෙන්න තව විනාඩි පහයි. ජයන්ත ගොරවන ගමන්ම අනිත් පැත්තට හැරිලා නිදාගත්තෙත් එතකොටමයි.
නිමාලි කොන්ඩේ බඳින ගමන් කුස්සියට යන අතරේ අනිත් කාමරේට එබිලා බැලුවා. පොඩිම දුවලා දෙන්නා එකිනෙකා බදාගෙන නිදි. පේළියට දාපු ඇඳවල් දෙකේ පේළියට නිදාගෙන ඉන්න දුවලා හතරදෙනා දිහා එයා තප්පර තුනක් විතර බලන් හිටියා.
ලොකු දුවට අවුරුදු පහළවයි.අනිත් අයට අවුරුදු දොළහයි,නවයයි,අටයි පිළිවෙළට.
නිමාලි නැවිලා එහෙ මෙහෙ වුණු පොරෝනා ආයෙත් දරුවන්ට පෙරෙව්වා.
කුස්සියට ගිහින් ලයිට් එක දාද්දි සිවිලිමක් නැති වහලේ පොල් ලී අස්සේ හිටපු මී පව්ලක් පැනලා දිව්වා.
රෑ හෝදලා තිබ්බත් පුරවපු බැරල් එකෙන් වතුර අරගෙන නිමාලි ආයෙත් වලන් හෝදන්න ගත්තා.
නිමාලිලාට ටැප් වතුර නැති නිසා එයාලා වතුර ගත්තේ පල්ලෙහා ළිඳෙන්.
ඊයෙ රෑ මහන්සි නොබලා වතුර බැරල් එක පුරවපු නිසා කලුවරේ ළිඳට යන්න ඕන නෑ නේද කියලා හිතලා එයා සතුටු වුණා.
ඊට පස්සේ නිමාලි බතකුත්,මාලුත්, එළවළු දෙකකුත් උයන්න ගත්තා.
බතට ජාති තුනක්වත් නැත්නම් ජයන්ත කන්නේ නැහැ.
හයයි කාල වෙද්දි උයලා ඉවරයි.
ජයන්තයි දරුවොයි නැගිටිද්දි හයයි හතලිස්පහ විතර වෙනවා.
නිමාලි හනිකට කේතලේ ලිපේ තිබ්බා.
ලිපට පිඹිනකොට නැගෙන දුමත් එක්ක නිමාලිගේ වෙහෙසකර හුස්මත් එකතු වෙලා තැඹිලි පාට ගින්දර ආයෙත් දැල්වුනා.
නිමාලි තේ හදලා ජයන්තටයි දරුවන්ටයි ඇහැරවනකොට වෙලාව හයයි හතලිස්පහයි.
යුද්දේ පටන් ගන්නේ අන්න එතන ඉඳන්.
කොණ්ඩ පටි, පැන්සල් පෙට්ටි,මේස් හොය හොයා කෑගහන ළමයි, ඒ මදිවට පොඩි දෙන්නව අන්දලා ලෑස්ති කරන්නත් ඕන.
ඒ වැඩ ඉවර වෙද්දිම දෙවනි දුව
“අම්මා කොණ්ඩේ ගොතන්නකෝ” කියාගෙන එනවා.හතරදෙනාගෙ කෑම පෙට්ටි ලෑස්ති කරද්දි ජයන්ත සාලෙ ඉඳගෙන උදේට කනවා.
ඊට පස්සේ ත්රී වීලර් එකේ යතුරත් අරන් “ළමයි, අද එනවද? මට පරක්කු වෙනවා” කියලා මිදුලේ ඉඳන් කෑ ගහනවා.
“පරක්කු වෙන්නේ උදේ පාන්දරම බාර් එක ඕපන් කරන්න යන්න වෙන්නැති”මිදුල අතුගගා ඉඳපු එහා ගෙදර අනෝජා තමන්ටම කියාගන්නවා.
ළමයි ජයන්ත එක්ක ගියාට පස්සේ නිමාලි වැඩට යන්න ලෑස්ති වෙනවා.
වැඩ කරන තැනට කිලෝමීටර් එකහමාරක් පයින්ම යද්දී ගොඩක් දවසට රතු ඉර වැදිලා ඉවරයි.
හවස හයට වැඩ ඇරිලා ගෙදර යනකොට ගේ ඉස්සරහ කඩුල්ල උඩ වාඩිවෙලා පස්දෙනාම බලාගෙන ඉන්නවා.
ඒක දැක්ක නිමාලිට සතුටුයි.
ජයන්ත ගොඩක් දවසට ගෙදර එන්නේ බීලා රණ්ඩු වෙන්න බලාගෙන.
පිරිමි අත්වලින් වැදෙන පාරවල් දැන් දැන් නිමාලිගෙ කෙසඟ සිරුරට ඔරොත්තු දෙන්නේ නෑ.
එක දවසක් දුවත් එක්ක නොකියා ටවුන් ගියා කියලා දරුවොත් ඇතුලේ ඉද්දී ගෙට ගිනිතියන්න ගිය එක මතක් වෙලා නිමාලි වෙව්ලලා ගියා.
අද නිමාලිට දවසම මැශිම පාගලා හරිම මහන්සියි.
ඒත් කෙළින්ම කුස්සියට ගිහින් වැඩට ඇඳපු ඇඳුම පිටින්ම කේතලේ ලිපේ තිබ්බා.
වතුර රත්වුනාම තේ හදලා පස්දෙනාටම කතා කළා.
ඊට පස්සේ රෑට උයන්න පටන් ගත්තා.
පොඩි අයවත් හෝදලා, රෑ කෑම හැමෝම කෑවට පස්සේ කුස්සියත් අස් කරලා ඇඟ හෝදන්න ළිඳ ළඟට යද්දි නවයාමාරයි.
තනියම ළිඳ ළඟට කලුවරේ යන්න බය නිසා නිමාලි ලොකු දුවට කතා කළා.
“අනේ ඔයා යන්න අනේ. මට බෑ”
ටී වී එකෙන් මූණ අහකට නොගෙන දුව කිව්වා.
නිදාගන්න කියලා ඇඳට එනකොට රෑ දහයයි.
එතකොටත් වෙනදා වගේම ජයන්ත ගොරව ගොරවා නිදි.
කොන්දෙන් එන වේදනාව ඉවසන්න බැරි තැන නිමාලි සිද්ධාලේප එක අතට ගත්තා.
සති දෙකක් තිස්සේ අඩු නොවුණූ කොන්ද කැක්කුම හින්දම බදාදා දවසක නිමාලි නිවාඩු දාලා කරාපිටිය රෝහලට ගියා.
සාමාන්යයෙන් කරන පරීක්ෂණවලින් හේතුවක් හොයා ගන්න බැරි වුනත්, බෙහෙත් දීලා ගෙදර එව්වේ වැඩිපුර මහන්සි වෙන්න එපා කියලා.
ඒත් නිමාලි දිගටම පුරුදු විදිහට ගෙදර වැඩත් කරලා රස්සාවටත් ගියා.
එක දවසක් රෑ ජයන්ත යාලුවො වගයක් එක්ක පාටියකට යද්දි ගෙදර ඉතුරු වුනේ නිමාලියි දරුවොයි විතරයි.
එදා මහ රෑ නිමාලි කොන්ද කැක්කුම ඉවසන්න බැරි තරම් වැඩිවෙලා කෑ ගහද්දි,
එහා ගෙදර අනෝජා එයාගෙ හස්බන්ඩ් එක්ක ඇවිත් නිමාලිව හොස්පිටල් අරන් ගියා.
නිමාලි හොස්පිටල් බව පහුවදා දැනගත්ත ජයන්ත
“උඹ ලෙඩවුනා කියලා හොස්පිටල් උස්සන් එන්න තරම් අරූ උඹත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද ?”
කියලා වාට්ටුවටම ඇවිත් කෑගහලා යනකොට නිර්දෝශී බව කියාගන්නවත් පණක් නැති නිමාලිගේ ඇස්වලින් කඳුලු කඩාගෙන වැටුණේ ලැජ්ජාවට.
නිමාලිගේ හිස්ට්රි එකත් බලලා කරපු ටෙස්ට්වල රිසල්ට් ඇවිත් තිබුණා.මීට අවුරුදු පහකට කලින් පිළිකා තත්ත්වයක් නිසා වූම්බ් එක අයින් කරත්, ට්රීට්මන්ට්ස් දිගටම නොගත්ත නිසා කැන්සර් එක ස්පයිනල් කෝඩ් එක පුරා පැතිරිලා කියලා ඩොක්ටර්ස්ලා කතා කරනවා නිමාලිට ඇහුණා.
ඒත් එයාට තේරුණේ කැන්සර් කියන වචනේ විතරයි.
තවත් සති දෙකක් යද්දි නිමාලි හිතාගන්නත් බැරි තරම් වැහැරිලා ගියා.
එයාව බලන්න ආපු ගමේ අයත්, වැඩ කරන තැන අයත් නිමාලිගේ පව් ගෙවිල්ල ඉවරයි කියලා හිතලා දුකින් උණත් සතුටු වුණා.
තමන්ට තවත් ලොකු කාලයක් නැති බව තේරුම් ගත්තත්, දරුවොත් ජයන්තත් මතක් වෙලා නිමාලි හැමවෙලේම දුක් වුණා.
ජයන්තට අමාරුවෙන් අරන් දුන්න ත්රීවිලර් එකේ ලීසිං දැන් ඇරියස් වෙන්න පටන් අරන් මාස දෙකක්.
ඔහොම ගිහින් ලීසිං කොම්පැනියෙන් ත්රීවිලර් එක අරන් ගියොත් දරුවන්ට ඉස්කෝලේ යන්න හුඟක් දුර පයින්ම යන්න වෙයි.
ත්රීවිලර් එක නැතිවුනොත් ජයන්තටත් මොනවා වෙයිද දන්නේ නෑ.
මොනවා කළත් ඒ මනුස්සයා වාහනේට පණවගේ ආදරෙයි.
ගිලන් ඇඳේ වැතිරිලා ඉන්න නිමාලිගේ හිතට එක එක දේවල් හිතුණා.
ඒ එක්කම හුස්ම හිරකරගෙන ඇඟ ඇතුලෙන්ම ආපු වේදනාවත් එක්ක දෙපාරක් විතර ඇඟම ගැස්සිලා නවතිද්දි,
ජයන්ත දුවලා හතර දෙනා එක්ක එයා හවස වැඩ ඇරිලා එනකල් කඩුල්ල උඩ වාඩිවෙලා බලන් ඉන්න හැටි නිමාලිට හීනෙන් වගේ පෙනුණා.
වැහැරුණ කම්මුලක දාරය දිගේ ගලාගෙන ගිහිපු හීනි කඳුලක් ක්රීම් පාට කොට්ට උරේට වැටුණා.
උපුටා ගැනීම: Hi Ru Ni