කුවේණියගේ සාපය පිලිබඳ ඉගෙන ගන්නා දරුවන් හතළිහක් හා එය උගන්වන ඇදුරා දෙස බලා සිටින මම කළකිරීමෙන් සිනාසෙමි.මෙතරම් සියවස් ගණනක් ගතවීත් අද තවමත් ඔවුන්ගේ විශ්වාසය පරිදි විජය නම් ඒ රජුට දරුවන් අහිමි වූයේ කුවන්ණාගේ ශාපයටය.පශ්චාත් භාගයෙන් සිනාසිය හැකිනම් සිනාසීමට මා පසුබට නොවන මේ කතාන්දරයේ සැබෑ ආරම්භය මා තරමින් දන්නා යමෙක් වෙත්ද?
කෙසේ හෝ ප්රේමයේ නාමයෙන් සියල්ල කැප කරන සෑම ගැහැනියකටම පාහේ අවසානයේ සිදුවන සියල්ලම අහිමිවීම යන පොදු වැරදීමට උදාහරණ දුන් තවත් එක් ගැහැනියක් බවට පත්වූ, ඒ අදූරදර්ශී නමුත් ලතෙත් රැජිණිය කුවණ්නාගේ සැමියාට මෙහෙසිය වීමට පැමිණි, ඉන්දියානූ කුළ කුමරිය වන මම සියවස් ගණනාවකට පෙර කීමට තිබූ යමක් කල් පසුවී නමුත් කියා යෑමට ආවෙමි.
සෑම කුමරියකගේම සිහිනය රජෙකුගේ අග බිසවක් වීමම පමණක් බව සිතා සිටි මගේ පියා සාමාන්ය පිරිමියෙකුට බිරිඳක් වීමට මා තුළ තිබූ ආශාවට උපහාසයෙන් සිනාසුණේය.හෙතෙම මා කුදලා නැව් නැග්ගවූ විට මගේ හදවතේ සිටි ඒ පිරිමියා කළේ කුමක්ද?ඔහු සියල්ල අතහැර සන්යාසී දිවියක් තෝරාගත්තේය. එකී තෝරාගැනීමට වඩා නම් හෙතෙම ගෙල සිඳගත්තා ගැනීමත් අගනායැයි බව සිතූ මම ආදරය කළ ගැහැනිය රැගෙන පලා යාමට ධෛර්යයක් නැත්තෙකුට ආදරය කිරීම පිළිබඳත් ඊටත් වඩා ගිහි ජීවිතයට හරි හැටි මුහුණ දීමට නොහැකිව සන්යාසී දිවියකට එළඹීමට සිතූ පෞර්ෂ හීනයෙකුට හා තමාටම වංචා කරගන්නෙකුට ආදරය කිරීම පිළිබඳවත් කළකිරීමට පත්වීමි.
ඒ කළකිරීම මකා ගනු වස් දෙමාපියන් සොයා දුන් සැමියාට යහපත්ම බිරිඳක වීමට මා අදිටන් කරගත්තේ මහා සාගරය මැද්දේදීමය. මගේ සැමියාණෝ හෙවත් ලාංකීය රාජ නාමාවලිය යන්නෙහි මුල්ම නාමය හිමි විජය නම් නිරිඳාණෝ මා ඉදිරියට ආ විට හෙළයේ මහා නිරිඳාණෝ යැයි ඔහු හඳුන්වනු ලැබීම මට රිස්සුවේ නැත.මන්ද යත් මා පැමිණියේ හෙළයේ නිරිඳෙකුට පතිනිය වීමට නොව හෙළ දේශයත් භාරතීය දේශයට ඈඳා දුන් භාරතීය නිරිඳාට පතිනිය වීමටය.එකී නිරිඳාණෝ හෙළයේ රජු හෝ රැජිණ යුධයකින් පරාජය කොට තම බලය තහවුරු කොටගෙන ඇතැයි සිතා සිටි මට කිසිදා යුද්ධයක් සිදු නොවූ බව සහ රැජිණ සිය කැමැත්තෙන් රාජ්ය භාර දී ඇති බව කීම පුදුමය දැනවීය.
එවන් අයුරකින් රාජ්යක් හිමිවූ මිනිසෙකුට අවශ්ය වන්නේ බිරිඳක් මිස මෙහෙසියක් නොවන බව මගේ අදහසය. මා පැමිණියේ මෙහෙසියක වීමටය. එබැවින්ම මගේ සැමියා වූ නිරිඳාණෝ නිකම්ම නිකම් හිමිවූ රාජ්යක රජෙකු නොව කුමක් හෝ උපක්රමයකින් දිනාගන්නා ලද රාජ්යක රජෙකු බව සිතීමට මට උවමනා විය.
මට පෙර ඔහුගේ සිරි යහන් ගබඩාවට පා තබා ඇති ගැහැනුන්ගේ ගනන හෝ ඔහුට දරුවන් කොපමණ වෙත්ද යන කරුණු කිසිදා සොයන්නට අදහසක් කිසිවිටෙකත් මා තුළ නූපන්නේ ගැහැනුන් විෂයෙහි කොයි රජාටත් වඩා විශ්වාසයක් තැබිය නොහැකිම රජෙකු ලෙස මා මොහුව දැන සිටි නිසාය. අනෙක් අතට මෙහෙසියක වන්නට පෙරුම් පුරන්නේ නම් නිරිඳාගේ අන්තප්පුරයේ ඔලුගෙඩි ගණන වැඩි වීම ඔහුගේ කීර්තිය නැංවීමට කාරණා වන බවත් අනෙක් අතට මෙහෙසියක යනු මිනිහෙකුගේ ගැහැනියක නොවන බවත් ඒත්තු ගන්වා දැඩි කරන ලද මා වැනි කුමරියන් ඒ පිළිබඳව කිසිසේත්ම හැඟීමක් දරන්නේ නැත. මා මේ පමණකට වත් සැලකිලිමත් වූයේ මා පෙරුම් පිරූයේ සාමාන්ය පිරිමියෙකුට සිටින එකම ගැහනිය වීමට නිසාය.
අනෙක් අතට ඉහත කී පරිදිම මා පාවා දුන්නේ කුමනාකාර මිනිසෙකුටදැයි මම දැන සිටියෙමි. මා දැරියකව සිටි කාලයේ අපගේ දේශයේ සිදු වූ ඉතිහාසගත පිටුවහල් කිරීමේ දණ්ඩනයක් හිමිවූ සල්ලාල කාලකණ්නියා මොහුම බව මම දැන සිටියෙමි. කාලයාගේ ඇවෑමෙන් ඒ පිටුවහලාම තම දේශයට තවත් රාජ්යක් ඈඳා දුන් විට සතුටට පත්ව සිටි අපගේ දේශය ඔහුට රජෙකුගේ ගෞරවය දෙමින් අභිෂේක උත්සවය පිළිබඳව උනන්දු වූහ.
ඒ පිටුවහලා පසු කාලීනව රජෙකු වීම පිළිබඳව මට කිසිඳු ගැටලුවක් නොතිබූ නමුදු මාළිගය පුරා කොතනකින් වත් ගැහැනියක පිළිබඳව යමක් හමු නොවූ විට නම් මම දැනගතිමි. කුමක්ද?මා රවටාලීමක් සිදු වන බවය.
“මොහු කිසිදා ගැහැනියක සමඟ සිටියේම නැති බවක් මට ඔප්පු කිරීමට උත්සාහ කරනුයේ ඇයි?”
එවන් ප්රශ්ණ විමසීමට මට හැකි වුවද පිළිතුරු දීමට මගේ භාෂාව දන්නා සේවිකාවක් සිටියේ නැත. හෙළ භාෂාවේ වචනයක් හෝ නොදත් මට ජීවිතය දුෂ්කර වෙමින් තිබූ අතර නිරිඳාණෝ මා වෙත ආවේ දිනකට වරක් යාන්තමින් වචන දෙක තුනක් හුවමාරු කරගැනීමට පමණකි.
කුමක් හෝ අසම්පූර්ණ කාර්යයක් සම්පුර්ණ වනතුරු අපගේ විවාහය හා රාජාභිෂේක උත්සවය ප්රමාද වන බව මිසක වෙනකක් දැන නොසිටි මට කුවන්ණා නැමැත්තිය පිළිබඳව පළමු වචනය අසන්නට ලැබුණේ අහම්බයකිනි.
එකී රාත්රියේ මධ්යම යාමයේ නිරිඳාණෝ මහා හඬින් කෑ ගැසුවේය.
“කුවණ්නා කුවන්ණා සෙල් නොකළ මැන කුවණ්නා.මා සෙල් පිළිමයක් නොකළ මැන කුවන්ණා”
හෙතෙම බෙරිහන් දුන්නේය.එකී කුවන්ණා කවුරුන්දැයි මා විමසීමටත් පෙර ඇය යක්ෂණියක බවත් මිනිසුන් ගල් පිළිම වැනි තත්වයකට පත් කිරිමට තරම් බලයකින් යුත් මන්ත්රකාරියක බවත් මට කී වැඩිහිටියෝ බියගත් බවක් දිස්විණි. වැඩිහිටියෝ කියූවේ සත්යම නොවන බවට මගේ සේවිකාවන්ගේ සෝබර මුහුණු දෙස් දුන්නේය. නිරිඳාණෝ සිහිනයෙන් බිය ගැන්වීමට තරම් ප්රබල යක්ෂණියක වූ කුවණ්නා පිළිබඳව මගේ පළමු මතකය එසේ තිබියදී දිසාලා හා ජීවහථ පිළිබඳව පළමු කතා බහද ඇසිණි.ඒ පසුදා හිමිදිරියේය.
හෙළ ගැත්තා අපගේ භාෂාවත් ඔහුගේ භාෂාවත් මිශ්රව කතා කළේය.ඔහු කීවේ මෙවැන්නකි.
“මේ දිසාලා හා ජීවහථ මෙහින් පිටවද්දී පැළඳ සිටි කර මාල දෙක. ගල් තලාවට පහළින් කපා දැමුවා.කුවණ්නාට පෙරම.”
“කුවණ්නා අරගල කළේම නැතැයි කීම පුදුම සහගතයි.”
“නෑ ඇය සිතූයේ ඇගේ ඤාතීන් ඇයට පහදෙන බව. නුඹලාට රිසි පරිදි කෝපය නිවා ගනිල්ලා යැයි දණ මත හිස සඟවා නිශ්චල වූවා.”
“නිශ්චල ගැහැනියක මරා දැමීම වෙනුවෙන් නම් ගම්වරයක් යනු අධික ලැබීමක්”
ගැතියාගේ දෑස විසල් විය.
“නිශ්චල ගැහැනියක්ම නොවේ උතුමාණෙනි ඇය කුවණ්නා අපගේ රැජිණ”
“නුඹේ ගම්වරය නුඹට හිමි. අප පොරොන්දු කඩකරන්නන් නොවේ,කිසි විටෙක ජීවහථ හා දිසාලා මරා දැමූ බව රජු දැනගත යුතු නැති බව මතක තබා ගනින්” අපගේ වැඩිහිටියා කීවේය.
ඔහු හොඳින් පරික්ෂා කළ කර මාල දෙක කර මාලම නොව දරුවන්ගේ ගෙල බඳිනු ලබන ආරක්ෂක මාලයන් බව මගේ ඇසට හසුවිය. යකින්නක බව මගේ වැඩිහිටියා කියූ ඒ කුවණ්නා ඊයේ හෝ පෙරේදා වන තුරුම ජීවතුන් අතර සිටි ගැනියක බව මා වටහා ගත්තේ එවේලේය.
ජීවහථ හා දිසාලා යනු දරුවන් දෙදෙනෙකු බවක් සහ ඒ කුවණ්නාගේ දරුවන් විය හැකි බවක් මිස ඒ මගේ ස්වාමී වන්නට යන තැනැත්තාගේ පතිනිය හා දරුවන් බව මට මොහොතකට හෝ සිතුණේ නැත.
එහෙත් මාළිගයේ තැන තැන කුවණ්නාගේ නාමය ඇසෙන විට ඇය මෙහිම ජීවත්ව සිට ඇති බවත් විජය නම් ලත් ලාට රැටියාගේ යහනේ නිදන්නට ඇති බවත් ඒ දෙදරුවෝ මොහුගේ විය හැකි බවටත් දැනීම මා තුළ ඇති වන්නට විය.
ගැහැනුන්ට යමක් වටහා ගැනීමට භාෂාවම අවශ්ය වන්නේ නැත. ඔවුහු ඉවක් වැනි තියුණු දැනීමකින් බොහෝ දේ වටහා ගනිති. නමුදු යම් යම් දේ වචනවලින් ඔප්පු කරගැනීමට බොහෝ වෙහෙසෙති. ඒ වෙහෙස සැබැවින්ම අනවශ්යම වෙහෙසක් වෙතත් උපනූපන් සෑම ගැහැනියකම හොඳින්ම දන්නා දේ පවා වචන වලින්ම අසා දැනගැනීමට මහත් අභිරුචියක් දක්වති . ආදරේදැයි අසන ගැහැනියක මෙයට හොඳම උදාහරණය වෙයි.
සැබැවින්ම කුවන්ණා යනු කවුද යන්නත් සිදුවූයේ කුමක්ද යන්නත් දැනගැනිම උදෙසා මගේ භාෂාව දන්නා අයෙකු හා කතා කිරීම අනිවාර්ය වූවා සේම මගේ භාෂාව දන්නා සියල්ලෝ පිරිමින් වීම බාධකයක් විය. පිරිමින්ගෙන් ඕපාදූප අසා ගැනීම පහසු නැති බව දැන සිටි මම රැළි තබා වස්ත්ර අඳිනු ලබන මානසිකත්වයේ සිටින පිරිමියෙකු හමුවන තෙක් නිහඬව සිටියෙමි. මගේ විවාහයට පෙර දින රාත්රියේ එවැන්නෙකු මට හමුවුයේ මගේ සේවිකාවක හා පල් හෑල්ලක් දොඩවමින් සිටියදීය. ගැහැනියක මෙන් මෙන් සිය දෙපා අකුලා ආසනය මතට ගෙන හිඳසිටි ඔහු ගැහැනියක සමඟ පැයක ප්රලාපයක් දෙඩුවේය. වත්මනේ චීත්ත අඳින්නන් යැයි කියනු ලබන්නේ එවැන්නනටය. ඔහු අල්ලා ගත් මම මෙකී කුවණ්නා පිලිබඳව සත්ය දැනගත්තේ ඔහුගෙන් බව දැන සිටි එක් සේවිකාවකද වූ අතර ඈ මෙකී පිරිමියාගේ බිරින්ඳෑ වූයෙන් ඇයට අපගේ භාෂාව කතා කිරීමේ හැකියාව තිබිණි.
එකිනෙකාගේ භාෂාවන් කොහෙත්ම නොදන්නා ගැහැනියක හා පිරිමියෙකු ලෙස ඔවුන් විවාහ වූයේ කෙසේදැයි මා විමසූ විට ඈ කීවේ මෙවැන්නකි.
“කුවණ්ණාගේ විවාහය සිදු වූ අයුරින්මයි”
“වැටහුනේ නෑ”
“ඔබගේ ස්වාමි ඇතුළු පිරිස තම්බපන්නියට ගොඩබැස කුවණ්ණා හමුවන මොහොත වන විට ඒ සත් සිය දෙනාගෙන් එක් අයෙක් වුවත් අපගේ භාෂාව දැන හිටියේ නෑ.අපගෙන් කිසිවෙකු ඔබගේ භාෂාව දැන සිටියේත් නෑ”
“ඉතින්”
“ඉතින් සබඳකම් ඇති කරගැනීමට භාෂාව අත්යවශ්ය වූයේ නෑ,කොහොමත් මේ ගැහැණුන් හා පිරිමින් අතර ඇති වන සිත් බැඳීමට භාෂාවක් අදාළ වන්නේම නෑ.ඔබගේ ස්වාමීන් තුළ තිබූ සල්ලාල අභිනයන් සහ ලක්ෂණ කෙරෙහි අපගේ කුවණ්ණා තදින් බැඳී ගියා.භාෂාවක අකුරක් වත් නොදැන ඔවුන් පෙම්වතුන් වූවා.”
“ඔබ කියනුයේ කුවන්නා ඔහු ගේ සල්ලාලකම් වලට පෙම් කල බවද?”
මෙයට ඈ දුන් පිළිතුර දීර්ඝ එකක් විය.කෙටියෙන් කියතොත් ඈ කියුවේ මෙලොව ගැහැනුන් පිරිමින්ගේ සන්සුන් හා ආදරණීය ස්වභාවයට වඩා ආක්රමණශීලී යටත් කර ගැනීම් වලට ආශා කරන බවය.වත්මනට ආදේශ කළහොත් සියලු ගැහැනුන් සිත යටින් වැද්දෙකුට පෙම් කරයි යන කියමන ඈ සනාථ කළා ය.
නොදන්නා දේශයක රැජිණියකට හසුව සෙල් පිළිම බවට පත්වන ඉරණමකට ගොදුරු ව සිටියදී පවා ඔහුගේ දෑසේ තිබූ ගැහැනියකට බලපෑම් කළ හැකි ප්රේමණීය බැල්ම, එකී පෞරුෂය කුවණ්ණාගේ සිත සොලවා දැමූ බව එම මොහොතේදීම තමා දුටු බව කී සේවිකාව තම රැජිණියට කාලයකට පෙර සිටම සිට ම තමාට වැඩි බලවත් පිරිමියෙකුගේ සෙවණ අවශ්යව තිබූ බව තමා දැන සිටි බවද කීවාය.
ප්රතාපවත් බව පෙන්වන, යකඩ ගැහැනුන් වීමට ආශා කරන, නැතහොත් ඉරණමේ කුමක් හෝ සෙල්ලමකින් යකඩ ගැහැනියක් බවට පත් වීමට සිදුව තිබෙන සියලු ගැහැනුන්ගේ අභ්යන්තරයේ තමාට වඩා දක්ෂ හා බලවත් පිරිමියෙකුට නතුවී රැකවරණය ලබන්නියක වීමේ ආත්මගත ආශාවක් පවතින බව උදාහරණ සහිතව මට පැහැදිලි කල එකී සේවිකාව සැබැවින්ම සාමාන්ය සේවිකාවක නම් නොවේ.
“කුවණ්ණා පිටව ගියේ ඇයි?ඇයව එලවා දැමුවාද?”
“සිත් වේදනාව නිසා ….ඇය ඇයගේ ජීවිතයේ සිදු කළ මහා විශාලම වරද විජය නැමැත්තාට ප්රේම කිරීම හෝ ඔහු හා විවාහ වීම වත් ඔහුට දාව දරුවන් වැදීම වත් තම රාජ්ය රාජ්ය පාලනය ඔහුට බාරදීමවත් නොවේ.එකී අවසන් අවස්ථාවේ සියල්ල හැර යාමයි.එයත් මුනිවතින් හැර යාමයි.”
“මුනිවතින් හැර ගොස් නැහැ ඇය පරම්පරා ගණනාවකට පවතින පරිදි සාප කල බව ආරංචියි.”
“එය මුසාවක්…දුර්වල සහ මෝඩ ගැහැනියක මෙන් වැලපෙමින් ශාප තබමින් සිටින්නට ඈ තවත් එක් ගැහැනියක නොවේ,අපගේ රැජින. වර්ෂ ගණනාවකට එපිට දී හත්සීයක් පිරිස සෙල් පිළිම බවට පත්කළ ඒ මන්ත්රය ම එක් වරක් කීමෙන් ඔබේ ස්වාමි වන ඔය විජය සෙල් පිළිමයක් කිරීමේ හැකියාව කුවණ්ණා ට නොතිබුණා නොවේ “
“සැබැවින්ම සැබැවින්ම මා විමසනුයේත් එයයි.එවැන්නක් නොකර ඈ පිටව ගියේ ඇයි?”
“රැජණක වුවත් ප්රේමය ඉදිරියේ ඈ තවත් එක් ගැහැනියක පමණක් නිසා.ඇයට සිදු සිදු වූ වංචාව දරාගත නොහැකි වුණා.අවසානයේ ඇසූවා ඔබ ඒ සියල්ල කළේ මේ රාජ්යය වෙනුවෙන්දැයි යැයි.මා සමඟ ප්රේමයෙන් ගත කළ සෑම මොහොතක්ම මගේ රාජ්යය ඔබට අයිති කරගැනීමේ අරමුණ උදෙසා කළ රඟපෑම්ද කියා.
.එය මුළුමනින්ම එසේ නොවන බව ඔහු කිව්වා.රාජාභිෂේක චාරිත්රයක් අපගේ ද අපගේ ද නැතිවා නොවේ. ඔබගේ දේශයේ ක්රමයට රාජාභිෂේක මංගල්යය පැවැත්වීමේ අවශ්යතාවය කුමක්ද. අපගේ දේශය ඔබගේ පාලකයෙකු අතින් පාලනය වෙමින් ඔබගේ දේශය විසින් යටත් කර ගත් දේශයක් බව පෙන්වා දීම උදෙසා නොවේ ද. විජය ඉතා උපක්රමශීලී වූවා. ගැහැනියකගේ දේපළ උදෙසාම ඇයව විවාහ කරගන්නා කොයි පිරිමියාටත් ඇයගේ දේපළ උදෙසා පූර්ණ බලාධිකාරියක් පෙන්වා තමාට උවමනා පරිදි ඒවා පාළනය කිරීමට නිදහස් කාලයන් හමුවන්නේ දරුවන් උදෙසා ගැහැනුන් වෙහෙස වන විටයි. ගැහැනියකට මවකගේ භූමිකාවේ නිදහසේ රැදෙන්නට ඉඩ සලසා ඇයගේ සියලු වගකීම් තම අතට ගන්නා සැමියෙකුගේ චරිතය රඟ පාමින් ඔහුත් පාලනය සියතට ගත්තා. මා වැනි මෝඩ ගැහැනුන් ඔහුගේ පිරිවරේ පිරිමින්ට විවාහ කරදෙමින් එම පිරිමින්ට විවිධ තනතුරු ලබා දෙමින් ටිකෙන් ටික පාලනය සියතටම ගත්තා”
එකී පැහැදිළි කිරීම් වලට අනුව නම් පසු කාලීනව කුරානීය අදහන්නෝ හෙළ දීපයේ මුදුනන් වූ ආකාරයේත් මෙහිත් මහා වෙනසක් නැත.
කුවණ්නාගේ පිටව යාම සිදුවන විට ඇයගේ දේශයේ තවත් ගැහැනුන් හත්සීයක්ම ලාට රැටි පැටවුන්ට උදෙසා කිරි දැරීමෙන් වෙහෙසට පත් දෙතන් ඇති ගැහැනුන් බවට පත්ව සිටියහ. පත්ව සිටියා නොව පත් කර සිටියා කීම වඩා නිවැරදි වන්නේය.
එක් වරක් මුව හැර මන්ත්රයක් පමණක් කීමෙන් විජය නැමැත්තා සෙල් පිළිමයක් කිරීමේ හැකියාව තිබූ නමුදු එවැන්නක් නොකළ කුවණ්නාට තමා රැජිණක බව අමතක තිබෙන්නට ඇත. අවසානයේ ඈ වද වී තිබුණේ ඔහු තම දේශය අල්ලා ගැනීම පිළිබඳව නොවේ. ඔහු තමාට පෙම් කරන බව පෙන්වා රඟ පෑමකට හසුව සිටීම පිළිබඳවය. මන්දයත් ඈ රැජිණකට පෙර මවක හා ගැහැනියක වූවාය.
මෙකී අභිෂේක මංගල්ලයට මාවතක් තැනුණේ ඔහුට තමා උපන් දේශය ඉදිරියේ පෙළහර පෑමට අවශ්ය වූ නිසාය. කිසිදා වෙනත් ගැහැණියක දෙස නොබලන්නට තරම් තමාට ආදරය කරන බව කියූ විජයම තම වංශයේ ගැහැනියක නොවන්නියක හා විවාහයක් තම දෙමාපියන් පිළිනොගන්නා බවත් අභිෂේකය උදෙසා පමණක් ඇයව ගෙන ඒම ඉවසන ලෙසත් කීවිට කුවණ්නා අසා සිටියේ ඉක්බිති රාජ්ය උරුමය හිමිවනුයේ කාටද යන්නත් දේශයේ පාළන නීතිරීති ලාට රැටියන්ගේ නීති බවට පත් කොට ඇත්තේ කුමක් නිසාද යන්නත් ය. සියල්ල පසුව සහ ඒ ඒ කාලයට සුදුසු ආකාරයෙන් කතා කොට විසඳාගනිමු යැයි කීමට ඉක්මන්වු විජයට තමා මේ දේශයට පා තැබූ අයුරු මතක තිබුණේම නැත. හෙතෙම කුවණ්නාට යෝජනා කළේ මාළිගයේ කොනකට වී දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමටය.
“ඔබ මගේ දේශයේ රාජ්යත්වය ලැබීම උදෙසා මට පෙම් කරන බව පෙන්වා රංගනයක යෙදුනා. ආරම්භයේ පටන් ඔබට තිබුණේ එම අදහසමයි. එවිට ඔබ මා සමඟ ප්රේමයෙන් ගතකළ සෑම මොහොතක් තුළම වංචාවක් රඟ පෑමක් තිබුණා.මා වසර ගණනක් මුලුල්ලේ රැවටී සිටියා.”
“එය එසේම නොවේ කුවණ්නා “
එය එසේ නොවන බව කීමත් එය එසේම නොවන බව කීමත් එකක් නොවේ.දෙකකි.මෙය හොඳින්ම වැටහෙන්නේ ගැහැනුන්ටය.
උපන් දේශයෙන් නිකමෙකු හා සල්ලාලයෙකු යැයි නිග්රහ කොට පිටුවහල් කළ විට කොයියම්ම හෝ දේශයකට ගොස් පාළකයෙකු බවට පත් වී රිසි පරිදි ජීවත් වීමේ ඕනෑකම තමාට ඇතිවූ බවත් පසුකාලීනව රිසි පරිදි ජීවත් වීමකටත් වඩා තමා එළවූ දේශයට තමා නිකමෙක් නොවන බව පෙන්වීමේ ආශාවක් තමා තුළම වර්ධනය වූ බවත් ඔහු කීවේය.
තමා ප්රතාපවත් මහිමවත් පුරුෂයෙකුට බිරිඳක්ව සිටින බව මිස
බලයෙන් මුක්ත ගැහැනියක බවට පත්ව සිටින බවට අවබෝධයක් නැතිව සිටි එකී රැජිණ තමාගේ තත්ත්වය හොඳින්ම වටහා ගත්තේ ඇයට හිමිවූ මෙවන් උපදෙස් හරහාය.
“ඔබේ රූපයේ ආකාරයට ඔහුගේ දෙවන බිරිඳගේ තැනත් ඔබට උචිත වැඩි..ඔහු රාජ වංශිකයෙක්.ඔබ යක්ෂ ගෝත්රික ගැහැනියක්.”
“එක් පහරින් ඔබේ හිස ගසා නොදමා රැඳී සිටීමට ඉඩ දීමම ප්රමාණවත් නැතිද?”
“දැන් ඔබට කොහොමත් කිසිවෙකු නෑ.ඔවුන් කැලෑවකට වී ජීවත් වන්නේ. අනෙකුත් සියල්ලෝ අපගේ ජනාවාස වලට ඇවිදින්. ඔබට යැයි කිසිවෙකු නෑ. අපට එරෙහිව කැරළි ගැසීමට තරම් වත් ඔබට සේනාවක් නෑ. ඔබ හුදෙකලායි.”
සියලු ලාට රැටියෝ එක්කොට සෙල් පිළිම බවට පත් කර දැමීමේ අදහසක් කුවණ්නාගේ සිතට වරක් හෝ පැමිණියේ නැත. ඒ ඇය ආත්මානුකම්පාවේ ගිලී තමා පිළිබඳවම යම් අවතක්සේරුවක සිටි නිසාය. ද්වේෂ සහගත ,නින්දා සහගත හැරයෑම් වලට ගොදුරු වන ගැහැනුන්ගෙන් බහුතරය ඔය මෝඩකම කරති. එනම් ආත්මානුකම්පාවේ ගිලී කළයුත්ත නොකර කල් මැරීමය.
“මගේ ජීවිතයේ තිබු උසස්තම හා යහපත්ම සියල්ල ඔබටම කැපවී තිබුණා. ඔබට මගෙන් අවශ්ය වූයේ රාජ්ය බව වරක් කියුවා නම් මා විසින්ම එය පවරා දෙන්නට තිබුණා.මෙවන් අයුරින් වසර ගණනාවක් වංචාවක් කළේ ඇයි.?
එසේනම් ඔබ කිසිදා මට පෙම් කළේම නැතිද?”
එය අසීරුතම පැනය වන්නට ඇත. ඔබ කිසිදා මට පෙම් කළේම නැතිදැයි අසන්නට සිදුවීම,එයත් දෙදරුවන්ට මවකත් වී දොළොස් වසරකටත් පසුව..
“මා ඔබට කියූවා එය එසේම නොවන බව”
ඒගැහැණියකගේ මාර්ගයෙන් තම දියුණුව සලසා ගැනීම අරමුණු කොට ගෙන, වර්තමානයේ වචනයෙන් කියතොත් ගොඩ යෑම උදෙසා ධනවත් හා බලවත් ගැහැනියක හා විවාහ වන සෑම පිරිමියෙකුම තමා හසුවූ බව දැන ගත් පසු දෙන අවසන් පිළිතුර ය. එනම් එය එසේම නොවන බව කීමය.
“කොහොමත් ඔබ මෙහි පාලකයායි..රාජ්ය ඔබ ගන්න, ඔබගේ ප්රේමය පමණක් මටම මගේම පමණක් කොට ලබාදෙන්න. මේ රාජාභිෂේකය නැවැත්විය නොහැකි ඇයි?රාජාභිෂේකය හෙළ ක්රමයට පැවැත්විය නොහැක්කේ ඇයි?”
කුවන්ණාගේ ඒ අවිහිංසක ඉල්ලීමට පිළිතුරු ලැබුණේ විජයගෙන් නොව ඔහුගේ උපදේශකයාගෙනි
“ඔබ අපගේ වංශයේ නොවේ.රාජ්යක් යනු නීති රීති සමූහයකින් පාළනය වන්නක්. රාජාභිෂේකය සිදුවන්නට නම් තම වංශයේ බිසවක් සිටිය යුතුයි. දේශයක අනාගතය බාරගන්නා පරම්පරාවේ දරුවන් හිමිවන බවට සාක්ෂියක් එය.”
ජීවහථ ඔහුගෙන්ම උපන් පුත්රයා බව ඔහුට සිහිපත් කරදීමට නොගිය කුවණ්නා විජයගේ දෑස දෙස සෘජුව බැලුවාය. හෙතෙම ඇයගේ දෑස මඟ හැරියේය. මෙසේ කීවේය.
“ඔබ මට යම් හානියක් කරන්නට සිතුවහොත් එහි ප්රථිපල ඔබගේම ගැහැනුන් සත් සියයකට හා ඔවුනගේ දරුවන්ටත් විඳීමට සිදුවනු ඇති.මා දන්නවා ඔබ එවැන්නක් නොකරන බව. ඔබ ඔවුන්ට ලෙංගතු රැජිණක්”
තමා තම ජනයා උදෙසා නිවැරදිම රජෙකු තෝරාගෙන සිටි බව සිතා සිටි කුවණ්නා ඇයගේ නෑයන්ට ඔහු පිලිබඳව ඇත්තේ වැරදි වැටහීම් බව සිතා සිටියාය. තම වරද අවබෝධකරගත්විට ඈ නැවත ඔවුන් වෙත යාමට තීරණය කළාය.
“මෙ ආරම්භය වත් අවසානයවත් නොවේ,කාලය විසඳුම් දෙනු ඇති. ඔබට මගෙන් උවමනා වූයේ රාජ්ය නම් එය තබා ගන්න. මම පිටව යන්නම්.” කියූ ඈ පිටව යන විට ඈ හා පිටව යාමට ඇයගේම සේවිකාවක වත් එළිබැස්සේ නැත. ගැහැනියකට රටකට රාජ්යකට වඩා තම පවුල වැදගත් වේ. ඇයගේ සේවිකාවෝ ලාට රැටියන් ගෘහ මූලිකත්වය දැරූ පවුල් වල මව බවට පත්ව සිටියා නොවේද..
ඇයට පිටව යාමට ඉඩ දීම පිළිබඳව විජයට දෝෂාරෝපණය කළ ඔහුගේ උපදේශකයෝ කුවණ්ණා පිටත සිටින විට ඇය කරන්නේ කුමක්දැයි දැනගැනීමට ක්රමයක් නොමැති බවත් ඈ කිසියම් යන්ත්රමන්ත්රයකින් හෝ නැතහොත් කැරළි ගැසීමකින් තමන්ට බාධා පමුණුවන්නට ඉඩ ඇති බව කීමට පටන් ගත්තෝය. ඇය එසේ නොකරන බව සහතික කොට කියමින් සිටි විජයට කුවණ්ණා නුගයක් යට හිඳ සිටිමින් විජයට සාප කරන බවට ආරංචිය රැගෙන ආ වැඩිහිටියෙකි.
ඇයගේ වචන වල මහත් බලයක් ඇති බවත් කොයියම් මොහොතක හෝ ඇය විසින් දැන උගත් මන්ත්ර ශාස්ත්රය භාවිතා කරමින් විජයට අනතුරක් කිරීමට ඉඩ ඇති බවත් කී විට මොහොතක් බිරාන්ත වී සිටි ඒ ලාට රැටි නිරිඳාණෝ “ඇය කොහි සිටියත් ඇගේ ඔය කටින් නම් නිදහසක් ලැබෙතැයි විශ්වාස කළ නොහැකි ඒ තරමටම ඈ මන්ත්ර ශාස්ත්රය ප්රගුණ කොට තිබෙනවා” යැයි කීවේය .
ඔහුගේ උපදේශකයෝ ඔහුට එම හිසරදයෙන් මිදීමට මගක් කියූහ .නිරිඳාණෝ වාචික ම නොවන නමුත් කිසිදු අරමුණකින්ද තොරව අතිශය නිශ්චල නිහඬ ප්රතිචාරයක සිටියේය.
“ජීවහථ හා දිසාලා නෑයින් ළඟ සිටියාවේ.අභිෂේකයෙන් පසු මා ඔවුන්ව මෙහි ගෙන එනවා.”
ඔහු කී නමුත් ඔහුටත් රහසේ උපදේශකයෝ ඒ දෙදරුවන් මරා දැමීමට අයෙකු යෙදෙව්වෝය. යම් දිනෙක හෙල ලෙයක් මිශ්ර වූවෙකුට රාජ්ය බලය පවරන්නට ඔවුහු කැමති වූයේ නැත. මුලුමනින්ම හෙළ දේශයේ අනාගතය ලාට රැටියන් අතට පත් කරගැනීමේ ඒකායන අරමුණක සිටි ඔවුහු අනුන්ගේ දෙයට ආශා කළ තරම.
කෙසේ හෝ දරුවන් මැරීමට භාරගත් ඒ මිනිසා තුළ යාන්තමින් හෝ මනුෂ්යත්වය ඉතිරිව තිබුණෙන් හා ඔහු හෙළයෙකු වූ නිසාවෙන් ඔහු දරුවන් දෙදෙනාට ගැළවී යාමට ඉඩදී මරා දැමූ බවට බොරුවක් කීවේය.
කුවණ්නාට සිදු වූයේ කුමක්ද?ඇයගේ නෑයෝ ඇයව ප්රතික්ෂේප කළහ. නමුදු ඔවුන් ඇයට පහරදුන්නාය කීම මුසාවකි. ඇයට පහර දුන් ලාට රැටි වසළයෝ පහර දුන්නේ ඇයගේ නෑයින් යැයි පෙනෙන්නට සලස්වමින් මිස ඇයගේ ඤාතියෝ ඔවුහු පහර දුන්නේම නැත..
සියල්ල අවසන විජයගේ මෙහෙසිය වූ මම කුවණ්නා උදෙසා ශෝක වීමි.අනෙක් අතට ඈ පිළිබඳව කෝප වීමි.මා ඇය වූවානම් කිසිදා එසේ රජ්ය බාරදී නික්ම නොයන බව කියමි. සත් සීයක් නොව සත්දාහකට සැමියන් අහිමි වූවත් දහ හතර දහසකට පියවරුන් අහිමි වූවත් පසු නොබැස ඔවුන් මරා දමන්නෙමි. කුවණ්නා නික්ම ගියේ එය නොහැකිව නොවේ.
සැමියන්ගේ ද්රෝහීකම් දරාගත නොහැකිව සියල්ල අතැර එළියට බහින්නාවූ ගැහැනුන් විසින් කරන්නට යෙදෙන මෙම වරද මා නම් කිසිදා නොකරමි. ඔව් තම දරුවන්ට අයත් තමාට අයත් සියල්ල හැරදා නික්ම යා යුත්තේ ඇයි?
විජය යනු ගොඩ යාමක් අපේක්ෂාවෙන් ගැහැනියකට හේත්තු වූ වූ පළමු පිරිමියා හෝ අවසන් පිරිමියා නොවන අතරම කුවණ්නා යනු පිරිමියකුට ගොඩ යෑම උදෙසා පරිහරණය වීමට තරම් අවාසනාවන්ත වූ පළමු සහ අවසන් ගැහැනියද නොවන්නේමය .
විජය පැවැත්වූයේ ලාට රට සිරිත් විරිත් වලට අනුකූල රාජ්ය අභිෂේකයකි. එයින් හෙළයේ රාජ වංශය නිමාවිය. ඉඳින් ඔහුට දාව රාජ්ය පාළනය උදෙසා පුත් කුමරුවෙකු බිහි කිරීමේ වගකීම මා මතට පැටවිණි. රජෙකු හා යහන්ගත වන්නට පැමිණි මට ද්රෝහියෙකු හා යහන්ගත වීමට සිදුව ඇති බව දැනීම බලවත් අප්රසන්න හැඟීමක් දැනවීය. කුවණ්නා මා වූවා නම් යැයි සිතීම මට වළක්වා ගත නොහැකි විය. ඇතැම් විටක මට මා කුවණ්නාම බව හැඟෙන තරමින් ඇයට සිදුවු අසාධාරණය මට දැනෙන්නට වූයෙන් ඇයට යම් සාධරණයක් ඉටු කිරීමට මට අවශ්ය විය.
වරින් වර කුවණ්නාගේ සේවිකාවගෙන් ඇයගේ ගුණ යහපත්කම් අසන මට ඇයගේ ද්රෝහියා මගේ සැමියා වීම මගේ මහා පාපයක් බව හැඟෙන්නට විය. ඈ වෙනුවෙන් පළිගැනීමට කිසිවෙකු සිටිය යුතු බව හැඟුණේ මටය. ඉඳින් මම එය කළෙමි. මට හැකි උපරිමයෙන්..ඔවු මම එනම් ඔහුගේ මෙහෙසිය වූ මම,මගෙන්ම හෝ වෙනත් ගැහැනියකගෙන් හෝ ඔහුට දාව දරුවෙකුට උපදින්නට ඉඩ නොදුන්නෙමි. කෙසේ කළාදැයි නාසන්න. ඕනෑම දරුවෙකු වදන්නේද නැතිදැයි මුලු තීරණයම ගත හැක්කේ මවකටය. දැන් ඔබ උපත ලබා ඇත්නම් ඒ ඔබේ මව ඔබව එළවා නොදැමූ නිසා බව මතක තබා ගන්න. අනෙක් අතට ගර්භණී නොවීමට උපක්රම ලෝකයට පැමිණියේ අද හෝ ඊයේ නොවේ. නැවත කියමි. විජයට දරුවන් අහිමි වූයේ මගේ කාරණාවෙන් මිස කුවණ්නා කළ සාපයකින් නොවේ. කළා නම් සාපයක් එය කළේ මාය. ඔව් මම එය කළෙමි.
එක් ගැහැනියකට ද්රෝහී වී ඇයගේ සේසතම උදුරා ගන්නා පිරිමින්ට නියම දඬුවම් දිය හැක්කේ ඔහුට ඈඳෙන දෙවන ගැහැනියට බව මම ඔප්පු කර ඇත්තෙමි.
තමන්ගේ ජාතියේ අවසන් රැජිණිය නිකම්ම නිකම් කුවේණිය යැයි හඳුන්වන නුඹලා අර ඇය “මගෙන් ඕනෑ වූයේ මෙයනම් අනේ තියාගනින් මට වැදගත් හා වඩා වටිනා වූයේ ප්රේමය මිස රාජ්ය නොවේ” යැයි කියමින් අතැර ගිය සිංහාසනයෙහි හිඳගෙන හෙළය අවසන් කළ ද්රෝහියාට රජු යැයි කියයි. මා නැවත නැවතත් කියනුයේ නුඹලා හෙළයින් නම් නුඹලාගෙ පළමු හිඟන්නා විජය බවත් නුඹලාගේ අවසන් රැජිණ ඒ කුවණ්නා බවත් විජයට දරුවන් අහිමි වූයේ කුවණ්නාගේ සාපයෙන් නොව මගේ කාරණාවෙන්ම බවත් ය.
කොහෙන් හෝ එන සල්ලාලයෙකුට ගොඩ යෑමේ උපකාරකය ලෙස පරිහරණය වූ සහ පරිහරණය වන පළමු හෝ අවසන් ගැහැනිය කුවණ්නා නොවන බවහ් එවන් ද්රෝහී කමකදී ඇතිවන හිත් වේදනාව අරභයා එළි බැස යාමට පෙර ද්රෝහියාට දඬුවමක් දී යා යුතු බවත් ගැහැණුන් මතක තබා ගත යුතුය.නිසැකවම හැරයා යුතුය.
නමුදු සමාව උචිත වැරදි වලට දීමට මිස ද්රෝහීකම් වලට දීමට නොවන බවද මතක තබා ගත යුතුය.
.සහසක් කුවණ්නලා උදෙසා කුවණ්නලාගේ ද්රෝහීන්ට මා වැනි දෙවැනි බිරින්ඳෑවරුන්ද පැමිණිය යුතුය. එවිට වර්තමානය ඉතිහාසයක් වන විට ස්ත්රීන්ගේ ප්රේමය නඟින පඩි ලෙස භාවිතා කරමින් ඉහළ නැඟෙන පිරිමින්ගේ ද්රෝහීකම් වල යම් අඩුවක් හෝ දැකීමට අපගේ ඉදිරි පරම්පරාවලට හැකිවනු ඇත.
ඉඳින් නුඹලාගේ අර පළමු රජු මගේ දැක්මේ ආකාරයට නුඹලාගේ පළමු හිඟන්නාය. ඔහ් එය නුඹලා රිදවනු ඇතිද..
උපුටා ගැනීම: සුජාතා මැණිකේ ඉහළගෙදර