අවිහිංසක යුවතී (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔෆිස් එකට කාලෙන් කාලෙට නානාප්රකාර ගෑණු පරාන එනවා. අපි බැලුවේ නැත්තං එයාලගේ හිතට හරි නැති නිසා, ඒගොල්ලන්ගේ හිත රිද්දන්න බැරිකමටම අපිත් ඉතිං බැල්මට් එක දානවා. එතකො⁣ට ඉතිං එයාල අමුතු රෙස්පට් එකක් පෙන්නනවා. ඒත් අපි බලනවා. එතකොට එයාලට සතුටුයි. බැරි වෙලාවත් අපි නොබලා හිටියොත් “මූ මොකද එකපාරටම රෙස්පට් උනේ” කියලා එයාලා ආපහු අපි දිහා බලනවා. අපි ෆෝම් වෙලා ආපහු එයාල දිහා බලනවා. ඕකත් නිකං හරියට “දුක සැප දෙක නිති පෙරලේ, රිය සක ලෙස ලෝ කුහරේ” වගේ දෙපැත්තට පෙරලී පෙරලී එදා ඉඳන්ම එනවා.
එයා වින්ද්යා. ලෝ කුහරේ පෙරලි පෙරලී ඉඳලා මගේ ළඟ ටිකක් නතර උන කෙනෙක්. එයා කොළඹ එන්නේ බදුල්ලේ ඉඳලා. බදුල්ලේ කිව්වට පස්සර ඉඳලා. පස්සරත් අපි නිකමට හිතමු ලුනුගල පැත්තේ ඉඳන් කියලා. ඒ ඇතුලෙත් තව ගම් තියෙනවද දන්නේ නෑ. උසස් පෙළත් සාමාන්ය මට්ටමින් සමත් වෙලා වින්ද්යා අපේ ඔෆිස් එකේ කා.කා.ස කෙනෙක් විදියට රැකියාවට එනවා. උසස් පෙළ සමත් වෙලා නිසාත්, අවුරුදු විස්සක විතර පොඩි වයස නිසාත්, උස නැති උනත් දිග, පළල හොඳ පෙනුමට තිබුන නිසාත් කොල්ලොන්ගේ විතරක් නෙවෙයි, මැදි වයසේ පැනි ලොන්තපෝල්ස්ලගෙත් ආදරය, අනුකම්පාවත් මෙයාට හොඳටම හිමි වුනා.
එයා හැමදාම උදේට 7.30 ට විතර අපේ බ්රාන්ච් එකට ඇවිත් තියෙන වැඩ ටික පිළිවෙලක් කරනවා. මමත් ඒ දවස් වල කොළඹම බෝර්ඩ් වෙලා හිටපු නිසා එයා එන වෙලාවටම වගේ ඔෆිස් එකට එනවා. අසරණයන්ට පිහිටවීම, තව කෙනෙකුගේ දුකේදී සරණක් වීම වගේ මානුෂීය ගුනාංග මට පිහිටලා තියෙනවා කියලා හඳහනෙත් කියලා තියෙන නිසාද කොහෙද ඒ සුන්දර තරුණියට මගෙත් දායානුකම්පාව නිරායාසයෙන් හිමි වුනා. ඉතිං ඔය විදියට උදේ මම විතරක් බ්රාන්ච් එකේ ඉන් වෙලාවක මෙයා ආවා ඇතුලට. මමත් ඉතිං.. ඔව්, ඔව් පැනියා. දැම්මා වචනේ,
“නංගී ඒ ලෙවල් කලාද? “ මම ඇහුවා.
“ඔ.. ඔව්.. “ එයා බයෙන් වගේ කිව්වා.
“කොහොමද රිසාල්ට්”
“සී තුනයි”
“ඉතිං ජී.ඒ.කිව් කරන්න තිබුනනේ”
“කරන්න හිතාන ඉන්නේ”
“කරන්න කරන්න. ඔයා වගේ අයට මීට වඩා තැනකට යන්න පුළුවන්”
අපේ නංගිටවත් ජීවිතේට දේසනා නොකරපු බණක් මම එයාට දේසනා කලා. වාහන වල ඉස්සරහා ඉන්දලා තියෙන ඔලුව හොල්ලන බල්ලෙක් වගේ ඔලුව වටේටම හොල්ලලා එයා ගියා.
“ටාස්ක් වන් කම්ප්ලීට්” මම මටම එහෙම කියා ගත්තා.
ඊට දවස් දෙකකට පස්සේ ආයෙත් උදේ මට එයාව හම්බුනා. හම්බුනා නෙවෙයි. හම්බ කරගන්න ඕන නිසාම උදේම ඇවිත් කන්න යන්නෙත් නැතුව බලාන හිටියා. ඔව්.. ග්ලාස් එක අතරින් මට පේනවා එයා අපේ බ්රාන්ච් එක දිහාවට එනවා. එනකන් මඟ බලාන හිටපු මම දඩබඩස් ගාලා මොකක්දෝ ෆයිල් එකකුත් අරන් බොරුවට කම්පියුටර් එක ළඟින් වාඩි වුනා නිකන් හෙන බිසී වගේ. එයා බ්රාන්ච් එකට ආවම එදා වගේම බොරු ප්රශ්ණ ටිකක් අහලා කතාවට සෙට් කරගත්තා.
අන්තිමේට එයා යන්න ලෑස්ති වෙද්දී මම බෝර්ඩිමේදිම සූදානම් කරගෙන ආපු මගේ ෆෝන් නම්බර් එකයි නමයි ලියපු චූටි කොළ කෑල්ල එයාට දීලා “ඔයාට උවමනාවක් උනොත් ම⁣ට කෝල් එකක් ගන්න” කිව්වා. එයා අහවල් එකකටද මට කෝල් ගන්නේ. මම මොන උදව්වක් කරන්නද. ඒ කොහොම උනත් එහෙම කියලා මම ඒක දික් කරාම බයෙන් මූණත් රතු කරන් “අම්මෝ මට බෑ කිව්වා”. “හරි හරි, කෝල් නොකලත් කමක් නෑ, මේක ගන්නකෝ” කියලා බලෙන්ම වගේ අත දිගෑරෝලා නම්බර් එක දුන්නා. ඒක ගත්ත ගමන් ගෑණි ගියා ජෙට් එක වගේ.
“ටාස්ක් ටූ කම්ප්ලීට්”
ඕක දීලා දවස් ගාණක් බලන් හිටියත් නිකමටවත් ආවේ නම් නෑ කෝල් එකක්. දවසක් මම හවස ඕෆ් වෙලා යන්න යනකොට මෙයාත් ඉන්නවා බස් එක එනකන්. රත්මලානේ බෝඩිමට යන එක තාවකාලිකව අත්හිටවලා මම ක්ෂනික තීරණයක් ගත්තා නංගී පොඩ්ඩත් එක්ක එයා යන තැනකට යන්න. එයා නතර වෙලා හිටියේ පිළියන්දල පැත්තේ එයාගේ නැනදගේ ගෙදර. 120 බස් එකේ නැංගම එයා සීට් එකකින් වාඩි උනාට අපි දෙන්නට ජෝඩු දාලා යන්න සීට් දෙන්න බස් එකේ මිනිස්සු සැදී පැහැදී නැති නිසා වෙන තැන් වල හිස් සීට් දෙක තුනක් තිබ්බත් මමත් ගිහින් එයා ඉඳගත්ත සීට් එකට දෙපැත්තෙන් අල්ගෙන හිට ගත්තා අර තනි සීට් ටික දැක්කේ නෑ වගේ. ඊළඟ හෝල්ට් එකෙන් ඒ සීට් ටිකත් ෆුල්. එයා ඉඳගෙන, මම එතනම හිටගෙන.
ලැජ්ජා බයට හැදුන ගෑණු ළමයෙකු වශයෙන් එයාට තේරෙනවා මේ පුරුෂයා එන්න හදන්නේ මොකාටද කියලා. සැරෙන් සැරේ ඇස් කොනෙන් මගේ දිහා බලනවා. ආය අහක බලා ගන්නවා. ඒ බලන සැරයක් ගානේ මමත් අර මිස්ටර් බීන් ඇඟිල් වලින් මේසෙට තට්ටු කරන ගමන් දාන ආඩම්බර හිනාව වගේ එකක් ඇඟිලි වලින් සීට් පොල්ලට තට්ටු කරන ගමන් දානවා. කොහුවල හරියෙන් එයාට අනිත් පැත්තෙන් වාඩි වෙලා හිටපු පොර බැස්ස ගමන් වෙන මිනිහෙක් එතන වාඩි වෙන්න හැදුවා. උගේ කකුලත් පාගගෙනම මම ජම්ප් එකක් දාලා වගේ සීට් එකේ වාඩි උනා. බය වෙලා වගේ හිටපු කෙල්ලටත් හිනා යන්න ආව ඒකට.
“ඇයි අරකට කෝල් කලේ නැත්තේ”
“උවමනා උනොත් ගන්නනේ කිව්වේ. ම⁣ට ඉතිං උවමනාවක් ආවේ නෑ”
“හරි හරි, අද ගන්නකෝ එහෙනම්”
“ඇයි ඉතිං මම ගන්නේ”
“ගත්තම කියන්නං. උවමනාවකට. ගන්නකෝ”
“හ්ම්”
ටාස්ක් ත්රී කම්ප්ලීට්.
එදා රෑ එයා කතා කලා. හරි අහිංසක කටහඬ. පෙනුම වගේමයි. ලගන්නා සුළුයි, මුදුයි, සුමටයි. කන්කලුයි, මූණ සුදුයි. එදා ඉඳන් ඔෆිස් එකේ උදේට කතා කරන එන නවත්තලා අපි හවසට ෆෝන් එකෙන් කතා කලා. ඉක්මන් කොටයි වගේම ප්රමාදය පසුතැවීමට හේතු වේ කියලත් කියලා තියෙන නිසා දෙවෙනි එක ගැන වැඩි විස්වාසයක් තියලා මම වැඩි කල් යවන්නෙම නැතුව එයාට ආදරෙයි කියලා කිව්වා. එයාගේ අඩුපාඩුවකට තිබ්බේ දුප්පත්කම විතරක් නිසා මටත් ඒ අඩුපාඩුවම තියෙන නිසා හොඳට උගන්නලා හොඳ ගමණක් ගෙනියන්නං කියලා පොඩි අහිංසක බලාපොරොත්තුවකුත් එක්ක තමයි මං ඔයාට ලව් කියලා කිව්වේ.
එයා ඉල්ලුවා දවස් දෙකක්. කල්පනා කරලා බලන්න. නම්බර් එක දුන්න දවසෙම කල්පනා කරා නම් මූ එන්නේ මේක⁣⁣ට තමයි කියලා අද උත්තරේ ගන්න තිබුනනේ කියලා මට හිතුනත්, කෙල්ලෝ ඔහොම කියන්නේ බොරුවට කියලා දන්න නිසා මමත් හා කියලා හිටියා. කොහොම හරි දෙවෙනි දවසේ රෑ අටට විතර කිකිළියෙක් කෙකර ගානවා වගේ කෙකර ගාලා, කෙකර ගාලා “මම ඔයාට කැමතියි” කියලා එයා ලැජ්ජාව පෙන්නන්න වගේ එකපාරම ෆෝන් එක තිබ්බා. මහා ලොකු සතුටකුත් නෑ. මම දන්නවා තටමලා තටමලා කොයි වෙලේ හරි ඔය බිත්තරේ දානවා කියලා. එයා හිතන්න ඇති එහෙම කියලා කට් කලාම මම අහසේ පා වෙන්න ඇති කියලා අරිෂ්ටේ ගැහුවා වගේ. පව්.. පොඩි කෙල්ල.
ටාස්ක් ෆෝ කම්ප්ලීට්.
කොහොම හරි මාසෙකින් විතර දැන් මෙයා නිවාඩු යන්න ලැස්තියි. මම නිකමට ඇහුවා “මම ගිහින් ඇරලන්න එන්නද” කියලා. එයත් “හා” කිව්වා. පන්ඩිතකමට ඇහුවට කොළඹ ඉදන් පස්සර ගිහින් මම වැඩට එන්නේ කොහොමද. දැන් කරන්න දෙයක් නෑ. කට ඉස්සර කරගත්තනේ. නාහිං අඬලා ඔෆිස් එකෙන් දාගත්තා දවසක නිවාඩුවක්. උදේ දහයයි තිහ කොළඹ කොටුව – පස්සර සෙමි ලක්ෂරි බස් එකට අපි නැංගා කොටුවෙන්. පිටිපස්සෙම දකුණු පැත්තේ කෙලවරේ සීට් එක අපිව පිළිගන්න බලාගෙන හිටියා. අපි ගිහින් එතන වාඩි උනා. දැන් යනවා මම ජීවිතේට නොගිය 99 පාරෙන් හපුතලේ, බදුල්ල හරහා පස්සර.
මම ටිකක් දුර යද්දී එයාගේ කරට අතක් දා ගත්තා. එයා මොකුත් කියයි කියලා හිතුවට එහෙම අවුලක් උනේ නෑ. ඒ අතරින් පතර එයා⁣ට තාතගෙන් සෑහෙන්න කෝල් එනවා. එයත් ඉතිං චුරු චුරු ගගා කියනවා එක එක එව්වා. බස් එක බදුල්ලට එනකොට හවස හය පහුවෙලා. වටේටම කළුවරයි. බස් එක ගරාජ් එකකට දැම්මා හෙඩ් ලයිට් වල රෙපෙයාර් එකකට. කවුරුත් නැති ඒ අදුරේ අපි හාදු වැස්සක අතරමං උනා. ඔව්.. කෘතීම ශ්වසනයත් දුන්නා මම කීප වතාවක්ම. එයාගෙනුත් කිසි විරුද්ධත්වයක් නෑ. එතන තව ඕන තරම් කෙලි කරන්න තිබුනා. ඒත් ඉතිං ගමෙන් කොළඹ ආපු කෙල්ල, මගේ පෙම්වතිය උනත් පළවෙනි දවසේම පවුරු සියල්ල කඩා බිඳ දාගෙන යන්න හොඳ නෑ කියලා හිතුන නිසා අකීකරුව වෙරලේ පෙරලෙන රල වගේ හිටපු හිත මම ඔහෙ හිටු කියලා නතර කරගත්තා. ලේසියෙන් කිව්වට මොකද ඔය හිත පාලනය කරන්න ලේසි උනේ නෑ. බට් කොහොම හරි කලා.
එයාව පස්සරින් බස්සව්වාම තාත්තා ටැක්සියක් අරන් ඇවිත් තිබුනා එයාව අරන් යන්න. මම ඈතට වෙලා ඒ දිහා බලන් ඉඳලා එයා ගියාට පස්සේ ටවුන් එකේ හෝටලේකින් ෆුල් කොත්තුවක් එක්ක ගැහෙන හීතලේ කූල් කොක් එකකුත් බීලා බදුල්ලට ඇවිත් එතනින් රෑ අටට විතර තිබුන කොළඹ බස් එකක නැඟලා එන්න පිටත් උනා. කොහොම හරි කොටුවට ඇවිත් ඩිලිවරි ලොරි වල පිටිපස්සෙත් එල්ලිලා ඇවිත් පාන්දර හතරට විතර බෝඩිමට ආවා. පැය දෙකක් ඇඳේ නිදාගෙන නැගිටලා ඔෆිස් එකට ගිහින් ඉතුරු ටික පුටුවේ නිදාගත්තා.
කොහොම උනත් ටිකක් කල් කතා කරගෙන යනකොට මෙයා කියන කතා හරි අමුතු වෙන්න ගත්තා. ගෙදර අය ඉන්න තැන කතා කරන්න බෑ කියනවා, කොළඹ ගෙදර ඉද්දී එක පාරටම කෝල් එක කට් කරලා නැන්දා කාමරේට ආව කියනවා, ඔය වගේ දාහකුත් එකක් කතන්දර. සිද්ධ වෙනදේවල් එක්ක මම මෙයාව දකින දිශාන්තිය වෙනස් කරන්න ගත්තා. අපි අතර බහින් බස් ඇති උනා. බහින් බස් කිව්වට එයා බැන්නේ නෑ. මම බැන්නම එයා තරහා උනා. ආය යාළු උනා, ආය තරහ උනා. කොහොම හරි මම සැරටම බැනපු දවසක එයා හොඳටම තරහා උනා. මමත් උඹ ඕන මගුලක් කරගනින් කියලා හිටියා.
සතියකට විතර පස්සේ මේකේ දෙකෙන් එකක් ඉවර කරගන්න හිතාන එයා නිවාඩු හිටපු දවසක මම ගත්තා කෝල් එකක්. නෝ අන්ස්වර්.. ආයේ අයේ ගත්තා. ඒත්.. ම්හ්..
මම ආයෙත් ගත්තා. ඒ පාර ආන්ස්වර් කලෙ පිරිමියෙක්.
“හෙලෝ” ඒ පිරිමි හඬ එහෙම කිව්වා.
“ආ හෙලෝ වින්ද්යා ඉන්නවද” මම ඇහුවා.
“ඔයා කවුද”
ආ.. මම හෝම්ස්”
“කවුද හෝම්ස් කියන්නේ, මම චාමර, වින්ද්යාගේ බෝයි ෆ්රෙරෙන්ඩ්”
“මමත් එයාගේ බෝයි ⁣ෆ්රෙරෙන්ඩ්”
එහා පැත්තෙන් මට ඇහෙනවා ගෑණු කට හඬකින් “ඕක තියන්න, කිව්වම අහලා තියන්න” කියනවා. එතකොට අර පිරිමියා “හිටපිය තොට මම අද..” කියනවා.
“මචං මේක උඹේ නම්බර් එක නේද, මම ටිකකින් ගන්නම් කෝල් එකක්”
පොර එහෙම කියලා ෆෝන් එක තිබ්බා. වෙච්චි දේ ආය අමුතුවෙන් තේරුම් කරන්න ඕන උනේ නෑ. මෑන් පැයකින් විතර මට ආපහු කෝල් එකක් අරන් සම්පූර්ණ කතාව කිව්වා.
“මචං අපි දෙන්නම එක ගමේ. මම දැන් වැඩ කරන්නේ රාජගිරියේ. මමත් මෙහෙ ඉන්න නිසා තමයි එයත් ජොබ් එකක් සෙට් කරන් කොළඹ ආවේ. මේක මගේ ඉස්කෝල් කාලේ ඉඳන් ලව් එක. දැන් අවුරුදු හතරක් විතර වෙනවා. දෙගොල්ලගේම ගෙවල් වලිනුත් දන්නවා. බලපං මේකි කරපු වැඩේ. මට තේරුනා ගිය දවස් ටිකේ මාව මඟ අරිනකොට මොකක් හරි දෙයක් තියෙනවා කියලා. මම කවදාවත් නැතුව අද කනේ පාරකුත් දුන්නා”
“ඒකනේ බං. දැක්කම හිතන්නත් බෑ මෙහෙම එකක් කියලා. උඹ දැන් මොකද මේකට කරන්න හිතාන ඉන්නේ” මම ඇහුවා.
“ඒකනේ බං. බලමුකෝ තව ටික දවසක් ගිහින්”
කියපු විදියෙන්ම මට තේරුණා මෙච්චර දෙයක් වෙලත් මූ මේක නවත්තන්නේ නම් නෑ කියලා. උඹලා කොහේ හරි එකට ගියාද කියලත් පොර මගෙන් අහනවා. නිවාඩු යනකොට පස්සරට ගිහින් ඇලුවා කියලා මම කිව්වා. ⁣එදා කෙල්ල මූව කට් කරලා තමයි මගෙත් එක්ක පස්සර ගිහින් තිබුනේ.මට ඒ වෙලාවේ කල්පනා උනා අර බස් එකේදී තාත්තා කියලා නම්බර් එක සේව් කරන් කුටු කුටු ගගා මෙයා කතා කරලා තියෙන්නේ මූ එක්ක කියලා. මූ පොතක් ලියන්න වගේ කරපු කියපුවා ඔක්කොම අහන්න ගත්තා. මිනිහට තීරණයක් ගන්න ලේසි වෙන්න මම සිද්ධ උන සියළු දේම පැහැදිලිව කිව්වා. මොනවා උනත් පොර මගෙත් එක්ක ඇරගන්න ආවේ නෑ. මම ගියෙත් නෑ. කොාහාමත් අපි දෙන්නට ඇරගන්න දේකුත් නෑ. ගෑණියෙක් තනි ගේමක් ගහලා අපි දෙන්නටම ඇරියනේ. හහ් හා..
මම පොරට අන්තිමට කිව්වා “මචං උඹ ඕන එකක් කරගනින්, මට මේකෙන් වැඩක් නෑ. හැබැයි මම තව එකම එක කෝල් එකක් මේකිට ගන්නවා” කියලා. “හරි බං, අවුලක් නෑ” කියලා කිසිම වග විභාගෙකින් තොරවම මෑන් කිව්වා.
මම හවස් වෙලා ගත්තා මමයි එයයි කතා කරපු, ⁣කපල් සිම් එකේ මම එයාට දීලා තිබුන නම්බර් එකට. ඔව්, තවම වැඩ. එක පාරයි, දෙපාරයි, තුන් පාරයි, හතර පාරයි.. ආන්ස්වර් කරන්නෙම නෑ. එයා එක දවසක් හදිසියේ මට නැන්දගේ නම්බර් එකෙන් කෝල් එකක් අරන් තිබුනා. ඒ නම්බර් එකත් මගේ ළඟ තිබුනා. මම මැසේජ් එකක් දැම්මා ⁣ෆෝන් එක ආන්ස්වර් නොකලොත් නැන්දගේ නම්බර් එකට ගන්නවා කියලා. ඊළඟ කෝල් එකට රින්ග් වෙන්නත් කලින්ම ආන්ස්වර් කලා.
ගුවන් විදුලි සේවයේ ප්රවෘත්ති කියනවා වගේ බොහොම පැහැදිලිව අසභ්ය වචනයෙන් තොරව, නමුත් ලැජ්ජාව තියෙන කාන්තාවකට නම් ෆෝන් එකෙන් ඔලුවට ගහගෙන මැරෙන්න හිතෙන විදියේ, බොහොම වැදගත්, ජාතක කතා පොතේ නැති ජාතකයක් මම කියලා දුන්නා. ඔක්කොම කියලා ඉවර වෙලා “දැන් ඕක තියපං” කියලා එයා තියන්නත් කලින්ම මම ෆෝන් එක තිබ්බා. පහුවදා මොබිටෙල් එකට ගිහිං බිල ගෙවලා කපල් සිම් දෙක කැන්සල් කරගත්තා. දිවි ගමනේ හමු වූ තවත් එක් යුවතියක් සමඟ ඇතිකරගත් හාද කමක් එසේ අවසන් උනා. ටාස්ක් වන්, ටූ, ත්රී,ෆෝ ඔක්කොම සක්සස් උනාට අන්තිමට,
“මිෂන් ෆේල්”.
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!