අපේ සිරුර හැමදාමත් තරුණ විදියට තියෙන්නේ නැහැ. ඉතින් ඔබට දැනට හැකියාවන් වයස යන විට ක්‍රමයෙන් දුර්වල වි යනවා. ඒ වගේම තමයි ඔබ දැන් අත් නොවිඳින අපහසුතා සහ පීඩාකාරී ස්වභාවයන් සිරුර වියපත් වීමේදී මතුවිය හැකියි.
අවුරුදු 30 ඉක්මවූ පසු අපේ සිරුර විවිධාකාරයේ වෙනස්කම් රැසකට භාජනය වීමට පටන්ගනියි. ඇත්තටම මේ අයස් සීමාවෙන් පස්සේ අපේ සිරුරේ ඇතිවන වෙනස්කම් මොනවද? අපි හිතුවා මේ කරුණු ගැන ඔබටත් කියන්න.
- මොලය ප්‍රමාණයෙන් කුඩාවේ

වයසත් සමඟ මොලයේ ප්‍රමාණය වර්ධනය නොවේ. ඇත්තෙන්ම සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම්, ඔබ වයසට යන විට මොලයේ ඇතැම් කොටස් හැකිළී යාමට පටන්ගනියි. වයස අවුරුදු 30 ඉක්මවූ පසු පුද්ගලයෙකුගේ මොලයේ දිනකට විනාශ වී යන නියුරෝන ප්‍රමාණය ආසන්න වශයෙන් 50,000 ක් පමණ වන බව පැවසේ. නමුත්, කලබල වීමට අවශ්‍ය නැත. අපේ මොලය පහසුවෙන් අනුගත වීමේ හැකියාව සහිත සැකැස්මකින් නිර්මාණය වූවකි.
වයස අවුරුදු 40 ඉක්මවූ පසු සෑම වසර 10 කටම 5% තරම් වේගයකින් මොලයේ ධාරිතාව අඩුවීයන බව අධ්‍යයන වලින් තහවුරු වී ඇත. මෙම වෙනස්කම් වලින් පුද්ගලයාගේ මතක ශක්තියට බලපෑමක් එල්ලකරයි.විශේෂයෙන්ම අනන්විත මතකය (episodic memory) කෙරෙහි.
- දහදිය පිටවීම අඩුවේ

වයසට යන විට කාන්තාවන් හට දහදිය දැමීමේ වෙනස්කම් හටගනියි. බොහෝ විට මෙම වෙනස්කම් ආර්තවහරණය හේතුවෙන් ඇතිවන ශාරීරික වෙනස්කම් ය. එමෙන්ම දහදිය ග්‍රන්ථි ,විශේෂයෙන්ම කිහිළි යට පිහිටන ග්‍රන්ථි වයසට යන විට හැකිලීමට පටන්ගන්නා බව සොයාගෙන ඇත. එම හේතුවෙන් ඒවායේ සංවේදිතාව අඩුවි දහදිය ශ්‍රාවය වීම අඩුවී යයි.
- සෙම්ප්‍රතිශ්‍යාවන්ට ගොදුරු වීම අඩුවේ

කුඩා කාලයේදී අපට නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු අත්දැකීම් ඔබටත් ඇති. නමුත්, වයසින් මුහුකුරා යන විට විවිධ් අරෝග පීඩා වලට සිරුර ලක්වීමේ ප්‍රතිඵ්ලායක් ලෙස අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරාත්මක හැකියාව ප්‍රසාරණය වීම සහ ශක්තිමත් වීම සිදුවන බිසා එවැනි පීඩාකාරි ස්වභාවයන්ට ගොදුරු වීම අඩුවීයයි.
- රස සංවේදය දුර්වල වී යයි

වයස ගත වන විට දිවට රසයන් දැනෙන ආකාරයේ වෙනස්කම් ඇතිවේ. බොහෝ විට රසය දැනීම අඩුවීම ලක්ෂණයයි. මේ හේතුවෙන් ආහාර වලට ඇති ප්‍රියතාව නැතිනම් රුචිය අඩුවී යයි. වයස අවුරුදු 60 ඉක්මවූ බොහෝ පුද්ගලයින්ගේ දිවේ රස අංකුර නැතිවීයාමට පටන්ගනියි. වයස්ගත පුද්ගලයින් ලුණු සහ සීනි අධික ආහාර පාන පරිභෝජනයට නැඹුරු විම දක්නට ලැබෙන්නේ මේ හේතුව නිසයි. මේ හා සමාන වෙනස්කම් ඔබේ ගඳ සුවඳ දැනීමේ සංවේදනය සම්බන්ධයෙන් ද ඇතිවිය හැකියි.
- මාංශ පේශී ස්කන්ධය අඩු වේ

වයසට යන විට සිරුරේ මාංශ පේශීන් අඩුවී යයි. මේ හේතුව නිසා කායිකව දුර්වල වීමට පටන්ගනියි. වයස අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයෙකුගේ සිරුරේ සෑම වසර 10 කටම 3-8% පමණ වේගයකින් මාංශ පේශී ස්කන්ධය අවම වී යයි. වයස අවුරුදු 60 ඉක්මවන විට මේ තත්වය තවත් උග්‍ර වේ.
- පරිවෘත්තිය ස්ථායි වේ

පර්යේෂකයින් විසින් පෙන්වාදෙන්නේ වයසත් සමඟ සිරුරේ පරිවෘත්තිය ස්ථායි වීම සිදුවන බවයි. මෙය වඩාත් ප්‍රබලව සිදුවන්නේ වයස අවුරුදු 50-60 කාල සීමාවේදී බව ඔවුන් පෙන්වාදේ. වයස අවුරුදු 80 ඉක්මවූ පසු මෙම ක්‍රියාවලිය මන්දගාමී වී ස්ථායි වීමේ ක්‍රියාවලිය අවසන් වී යයි. එනම් සිරුරේ බර සම්බන්ධව මින් විශාල වෙනස්කමක් ඇති නොවන බවයි. සිරුරෙන් දහනය වන කැලරි ප්‍රමාණය අඩු වේ. එමෙන්ම වයස්ගත වන විට අප ලබාගන්නා ආහාර ප්‍රමාණය තරුණ අයට සාපේක්ශව ද ඉතා අවම වේ.
- ස්ථාවර පෞරුෂත්වයක් ගොඩනැගේ- ඔබේ සැබෑ ස්වරූපයට පත්වේ

වයස ආවුරුදු 20 දී ඔබ අතිශය සංවේදී-හැඟීම් බර අයෙකු ලෙස ගත කල අයෙක් නම්, නැතිනම් ලෝකයට ඔබේ හැකියාවන් ඔප්පු කිරීමට වෙහෙස මහන්සි වූ අයෙක් නම් , වයස අවුරුදු 30 වන විට ඔබ වඩාත් ස්ථාවර මනස්ක් සහ පෞරුෂයක් ඇති අයෙකු වීමේ හැකියාව වැඩිබවයි. මෙසේ පෞරුෂත්වයන් ස්ථායී වීම සිදුවන්නේ වයස අවුරුදු 30-50 ත් අතර වයස් සීමාවේදී බවයි පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
- නියපොතු වර්ධනය වීමේ වේගය අඩුවේ

පර්යේෂකයින් පවසන ආකාරයට තරුණ කාලයේදී අපේ නියපොතු වේගයෙන් වර්ධනය වන අතර වයස්ගත වන විට එම වේගය අඩුවේ. මේ පිලිබඳව මුලින්ම අදහස් දක්වා තිබුණේ වෛද්‍ය විලියම් බීන් විසිනි. ඔහු තමන්ගේ වම් මහපට ඇඟිල්ලේ නියපොත්ත දිනකට මි.මී.0.123 වේගයෙන් වර්ධනය වන බව හඳුනාගෙන තිබුණි. කෙසේවෙතත්, ඔහු වයස අවුරුදු 67 ඉක්මවූ පසු මෙම වේගය දිනකට මි.මි. 0.095 ක් දක්වා අඩුවී ගොස් ඇති ආකාරය ඔහුට නිරීක්ෂණය කල හැකි විය. මෙම වෙනස්කමට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ මන්දගාමී රුධිර සංසරණ ක්‍රියාවලිය බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
- දත් වල සංවේදීතාව අඩුවේ

ඩෙන්ටින් හෙවත් දත් වල බාහිර එනමලය සහ එහි මධ්‍යම ස්නායුව අතර මැද පිහිටි අභ්‍යන්තර ඝන පටක වයසින් වර්ධනය වීමත් සමඟ ශක්තිමත් වීම සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස දන්ත සංවේදීතාවය අඩු වී යයි.
- තෘප්තිමත් බවක් දැනේ.

කුඩා කාලයේ ජීවිතය ඉතා සැහැල්ලු එකක් බවයි අපට සිතෙන්නේ. නමුත්, තරුණ වියට පැමිණි පසු විවිධ බාධක -කම්කටොළු -අර්බුධ -ගැටලු හමුවේ එම හැඟීම බොහෝ දුරට නැතිවී යයි. සාමාන්‍යයෙන් වයස්ගත වන විට කායික මෙන්ම මනෝ ස්වභාවය පරිහාණියට ලක්වීමට පටන්ගන්නා බව විශ්වාසයයි. කෙසේවෙතත්, පර්යේෂකයින් පවසන්නේ වයස්ගත වීමේදී පුද්ගලයින්ට වඩා වැඩි ප්‍රීතිමත් බවක් තෘප්තිමත් ගතියක් දැනෙන බවයි. එමෙන්ම මානසික පීඩනයන් අවම වන, ජීවිතයේ ධනාත්මක දේවල් අත්දකින කාල පරිච්ඡේදයක් ලෙස බොහෝ දෙනාට වයස්ගත විමේදී දැනෙන්නට පටන්ගන්නා බව ඔවුන් පෙන්වාදෙනවා.
උපුටා ගැනීම: Hela Rahas