ඈ මේ පුරුද්ද පටන් ගත්තේ හරියටම ඇයට වයස අවුරුදු පහේදී පමණය.
අප දෙදෙනාම කොහේ හෝ ගොස් ගේට්ටුවෙන් ඇතුළට වාහනය දමනවිටම ගෙදර දොර ඇරගෙන එළියට පනින ඇය ප්රීතියෙන් උඩ පනින්නට පටන් ගන්නීය. ඒ වෙලාවට ඇයගේ හිනාව උතුරන, රෝස පැහැති කම්මුල් දෙපැත්තෙන් ගොතන ලද කුඩා කොන්ඩා කරල් දෙක උඩ පහල පනින හැටි බලන් ඉන්නට ආසය. වාහනය නතර කර සැණින් මගේ මහත්තයා ළඟට පිම්මේ දුව එන ඇය දකින විට මගේ හදවත ඈ කෙරෙහි ආදරයෙන් පිරෙන්නේය. මුලින් මුලින් මා එතරම් ගනන් නොගත් ඈ මහත්තයාගේ ළඟට දුවගොස් ඇයගේ චූටි අත්වලින් ඔහුගේ අතේ එල්ලුනද ඔහු ඇයව එතරම් ගනන් නොගෙන ගෙට ඇතුළු වීමට පුරුදුව සිටි බැවින් ඇයගේ බෝල ඇස්වලට බලන් ඉද්දීම කදුලු පිරෙන්නේය. දින කීපයක් උත්සාහ කර වැඩේ අසාර්ථක වූ තැන ඈ මා ළඟට දුව එන්නට තීරණය කලාය. ඇත්තටම වෙහෙස වී ගෙදර එන මට ඒ චූටි මුහුණ දැකීම තරම් තවත් සතුටක් නොමැත. පිම්මේ දුවගෙන විත් දෑත් විදහා මා බදාගන්නා ඇය වඩා ගැනීම මම පුරුද්දක් කර ගත්තෙමි. පුළුන් රොදක් වැනි වූ ඇය මා වඩාගත් සැණින් කොතරම් එපා කීවද මගේ මුහුණ අතොරක් නැතිව සිප ගන්නීය. දවල් දවසේ මගේ තාත්තාත් නැන්දාත් ගෙදර හිටියද ඇයට අපි දැකීම තරම් තවත් සතුටක් නොමැති බව ඇයගේ හැම ඉරියව්වකින්ම පැහැදිලිව පෙනුනේය.
ඇයට මාවත් මගෙ මහත්තයාත් නැතිවම බැරි වුවද ඇය බොහෝවිට නිදාගන්නටත්, ඇයගේ පාට පිරුණු කතන්දර පොත් සහ සුරංගනාවියන් සමනලයින් ඇතුළු චිත්ර පොත් බලන්නටත් යන්නේ මගේ නැන්දාගේ කාමරයටය. අප මෙම නිවසට කුලියට පැමිණි අවස්ථාවේ ගෙදර හිමිකරුට අයිති ගෘහ භාණ්ඩ කිහිපයක් ගෙනයාමට අපහසු බැවින් අපගේ පාවිච්චියට තබා ගිය අතර ඈ ඒ අතුරින් වඩාත්ම කැමති වූයේ සුරන්ගනාවියන්, පාට පාට තරු සහ සමනලයින්ගේ ස්ටිකර් තැනින් තැන අලවා තිබූ ලා රෝස පැහැ පොඩි කබඩ් එකටය. ඇයගේ කතාපොත් සෙල්ලම් බඩු සියල්ල ඈ එහි තැබූවාය. පාට පිරුණු පොත් දිහා බලන් ඉන්නට පුදුමාකාර කැමැත්තක් දැක්වූ ඇය බොහෝ අවස්ථාවල අප කෑම කන මේසයේ කෙලවරකද අපි කාබී ඉවරවෙනතුරු පොතක පිටු පෙරලමින් ඇයටම ආවේණික භාෂාවකින් කට උල් කර කර පොතක් කියවමින් සිටින්නීය.
එහෙමත් දවසක රෑ දෙගොඩහරියේ හෙරක සේ අපගේ කාමරයට පැමිණෙන ඇය මහත්තයාටද නොදැනෙන්නට ඇඳ වටෙන් මා නිදාගෙන සිටින අයිනට සිහින් අඩි තිය තියා පැමිණ “අම්මී අම්මී” කියා මා නැගිටිනතුරු කනට කොඳුරන්නීය. මා ඇස් ඇරිය සැණින් මගේ ළඟින් ගුලිවෙන ඇය ඇයගේ චූටි අත්වලින් පුලුවන් තරම් මා තුරුළු කරගෙන නිදාගන්නීය. එහෙත් බොහෝ දිනවල මා නැගිටින විට සුපුරුදු පරිදි ඇය නැන්දාගේ කාමරයේ නැන්දා අසල ගුලිවී නිදනු දුටුවිට මට හිනා යන්නේය.
මාද රැකියාවක් කරන බැවින් මාගේ රාජකාරි කටයුතු සඳහාද කුඩා මේසයක් සහ කැරකෙන පුටුවක් නැන්දාගේ කාමරයේම කෙලවරක තියා ඇති අතර මාද බොහෝ හවස්වරුවල මගේ රාජකාරි කටයුතු වල යෙදෙන්නේ එතැන හිඳගෙනය. මා එම කාමරයට යන බොහෝ අවස්ථාවල ඈ මගේ රෝද පුටුවේ කැරකෙමින් සිටිනු දැකීම සුලබ දසුනක් වන අතර මා දුටු සැනින් එයින් බැසීමට ඇයට සිහියක් නොමැත. එවන් අවස්ථාවල ඇයගේ පිටට සිහින් තට්ටුවක් දමා හෝ ඇයගේ චූටි කම්මුල් නොරිදෙන්න මිරිකා මම මගේ වැඩ කටයුතු පටන් ගත්පසු බොහෝවිට ඇය ඉන්නට ආසා කරන්නේ මගේ අයිනට වී මගේ බෙල්ලේ එල්ලීගෙනය. මුලින් මුලින් එය මගේ කටයුතුවලට බාධාවක් වුවද මේ වනවිටනම් කිසිම කරදරයක් නොකර මගේ වැඩ නිමවෙනතුරු ඇය මා ළඟින් සිටීම මටද ලොකූ සතුටක්ය.
අද මේ මොහොතේදීද මගේ සුපුරුදු පුටුවේ වාඩිවී මා මෙම සටහන ලියන්නට පටන් ගත් විට ඇයද සුපුරුදු පරිදිම විවිධ හුරතල් කතා කියමින් මා ළඟ දැවටෙමින් සිට එකපාරටම මා ලියන්නේ මොනවාදැයි මගෙන් ඇසුවාය. ඔන්න මන් අද සුදු දූ ගැන ඔක්කොටම කියනවායයි මා කී විට ඇත්තටම ඇයගේ ඇස් සතුටින් දිලිසුනේය. මොහොතක් මා දෙස බලා සිටි ඇය එකවරම යමක් මතක් වූවා මෙන් ඇය ප්රිය කරන කබඩ් එක ළඟට ගොස් එය පාමුල බිම වාඩිවී එහි පහලම ඇති ලාච්චු අතුරින් එකක් ඇර කතන්දර පොතක් එළියට ගත්තාය. එහි අන්තිම පිටු කීපය කලබලයෙන් පෙරලූ ඇය ඒ අතර තිබූ ඇයගේ පින්තූරයක් සහිත ඒ ෆෝ සයිස් කොළයක් එළියට ගත්තාය.
මං හිතුවා හරියටම හරිය.
එය, මරණ දැන්වීමකි…ඈ මියයනවිට හරියටම ඇයට අවුරුදු පහකි!!!!!
උපුටා ගැනීම: Sagarika Dharmabandhu