සිරිසුමන යන්න හැරුනෙ සිරියාවතී කෝච්චියට ගොඩවෙලා වාඩිවුනාටත් පස්සෙ.
කොළඹ යන්නේ කොච්චර කාලෙකට පස්සෙද? හීන් බයක් සිරියාවතීගේ හිතට දැනුනා.
ඔක්කෝටම වඩා තරු මහත්තයා!සිරියාවතී හිතුවා. ඔන්න ඔහේ මග ඇරලා ඉන්නවා. සිරියාවතී තමාටම කියා ගත්තා.
“අම්මට කාඩ් එකක්…අම්මට කාඩ් එකක්….”පොඩි එකා විදුලි වේගෙන් දුවගෙන ඇවිත් සුදුපාට ලියුම් කවරයක බහාලූ කාඩ් එක සිරියාවතීගෙ අතේ තිබ්බේ මාසෙකට ඉස්සරලා. අනෙ අප්පේ මාසයක් ගතවුණු ඉක්මණ!
“වෙසක්කෙක පහුවෙලා කොච්චර කල්ද? කාටද මේ හදිසියේ අම්මට කාඩ් එකක් එවන්න හිතුනේ?” මුකුණුවැන්න මිටිය තෝර තෝර හිටි හිච්චි කෙලී කී හැටි සිරියාවතීට මතකයි. පොඩි එකා සිරියාවතී ලියුම කඩනකල් කට ඇරගෙන බලාගෙන හිටියා. සිරියාවතී තෙත අතේ වතුර චීත්තෙ අතුල්ලලා පරිස්සමෙන් ලියුම කැඩුවා.
“මගුල් කාඩ්ඩෙකක්!”
“මගුල් කාඩ්ඩෙකක්?”ලූනු පාත්තියේ තණකොල ගලව ගලව හිටිය සිරිසුමනත් හැරිලා බලපි.
“කාගෙන් ද කාගෙන් ද?” පොඩි එකා නොඉවසිල්ලෙන් උඩ පැන්නා.
“තරු මහත්තයාගෙ වෙඩිමට!”සිරියාවතී මිමිනුවා.
“ඒ වසවර්තියා බඳිනවා?” සිරිසුමන කීව විදිහට සිරියාවතීට හිනා.
“පෝරුවෙන් බැහැලා ඇවිත් බොට ගහන්නත් බැරි නෑ.”
“ඒක හැබැයි……”සිරියාවතීත් හිනා වෙවීම කීවා.
ඒ කාලෙ සිරියාවතී සිරිසුමනට තරු මහත්තයාගෙ කතන් දර කියනවා. එහෙව් එකේ සිරිසුමනට මෙහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.
“කවදද?”
“ලබන මාසෙ….”
“යනවද?”
“නොගිහින්? සෙනසුරාදා හවස කෝච්චියෙන් එන්නලු. ඉස්ටේසමෙන් ගන්නංලු. සඳුදා වෙඩිම. එන්නෙ නැත්තං විතරක් කියන්න කියලා නොම් බරයක් එවලා තියනවා.”
සිරියාවතී වැඩි පරිස්සමට හාල් පෙට්ටියට දැම්ම කාඩ් එක ආපහු එළියට ගත්තෙ ඊයෙ.
නෝනා තරු මහත්තයාට හොරෙන් මට කාඩ් එකක් එවන්න ඇති!කෝච්චියේ යන ගමන් සිරියාවතී කල්පනා කලා.
මටත් එන්න කීවා කියලා දැන ගත්තොත් නම් නෝනාට විසුමක් වෙන එකක් නෑ!
සිරියාවතී මාදුවිල නෝනලගෙ ගෙදර ගියේ ගැටිස්සි සන්දියේ.යාන්තං අවුරුදු දහනමේ පහුවුණා විතරයි!ඒ ගියෙත් අවුරුදු දෙකේ පුංචි බේබි සඳු බලාගන්න.ඒ වුණාට වැඩි හරියක් වුනේ තරු මහත්තයා එක්ක ජල්ලි අල්ලන එක.
ඒ කාලෙ තරු මහත්තයාටත් වැඩිම වුණොත් අවුරුදු අටක් ඇති.
අනෙ අම්මේ එහෙමත් පෝරිසාදයෙක්! ලඟින් ගියොත් ඇහැක් නෑ තාලෙ. පුංචි බේබිට නම් ඉන්න දුන්නෙම නෑ.
පුංචි බේබිගෙ බෝනික්කන්ගෙ ඔලු ගලවනවා.
සෙල්ලම් බඩු කඩනවා.
පයින් ගහනවා.
පුංචි බේබි එයැයිගෙ කාමරේට ගියොත් පොඩියි කියල බලන්නේ නෑ පුංචි බේබිටත් ගහනවා.
බල්ලටයි පූසටයි දෙන වදයක්!උන්ව බේරන්න යනකොට සිරියාවතීටත් පාර වදිනවා.
අහල පහල ළමයි එක්කත් රණ්ඩු.සිරියාවතී තමා හැමදාම මැද්දට පැනලා රණ්ඩු බේරන්නේ.
“මේ ළමය ඉස්සර මෙහෙම නෑ…මොනවා වුනාද මන් දා.” වෙලාවකට නෝනා කියනවා.
එක දවසක් කතුරෙන් දොර රෙදි කපනකොට එපා කීවා කියලා සිරියාවතීට කතුරෙන් දාලා ගැහුවා. නුලෙන් ඇහැ බේරුනේ.මැහුම් හතරක්!
සිරියාවතීව දොස්තර ලඟට එක්ක ගිය සිරිල් මගදිම නෝනාටයි මහත්තයාටයි කේලම කියලා. එදානම් තරු මහත්තයාට ඇතිවෙන්න වැදුනා.සිරියාවතීම තමා මැද්දට පැනලා තරු මහත්තයාව බේරගත්තේ.මැද්දට පැන්නයින් සිරියාවතීටත් පාර කීපයක්ම වැදුනා. ඒ මදිවට තරු මහත්තයාට යකා නැග්ගෙත් සිරියාවතී එක්ක.
“ආයම්මා හන් දා තමා ඔක්කොම. උඹ පලයං ගෙදර….”එදා තරු මහත්තයා අඬ අඬා ගිරිය යටින් කෑ ගැහුව හැටි සිරියාවතීට තාම මතකයි.
කොච්චර වුනත් තරු මහත්තයාගෙ හම තැනින් තැන පුපුරු ගහලා තියන හැටි දැක්කම සිරියාවතීගෙ පපුව හෝස් ගාලා ගියා.තරු මහත්තයා නිදා ගන්නකල් බලන් ඉඳලා සිරියාවතී හම පුපුරපු තැන්වල පොල්තෙල් ඇතිල්ලුවා.කොහොම හරි එදා ඒ කතුරු පාර වැදුනු කැලැල තාමත් සිරියාවතීගෙ ඇහැට උඩින් තියනවා.
“උඹ ගෙදර නැවතියං!” තුවාල කැලැලත් එක්ක ගමේ ගිය වෙලාවෙ අම්මා කීවා.එහෙම කරලා පුලුවන් ද?ඒ ලැබුනු පඩිය ගමේ ගෙවල් වල වැඩට උදව්වෙලා හම් බ කරන්න හිතන්නවත් බෑ. සිරියාවතීගේ පවුලම ගොඩ ගියේ ඒ පඩියෙන්.අනික නෝනායි මහත්තයායි කොච්චර කරුණාවන්තද?
තරු මහත්තයාගේ නාහෙට නාහන ගති එන්න එන්නම වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.නෝනායි මහත්තයායි ඔක්කෝම වැඩ දාලා තරු මහත්තයාව දොස්තරලා ලඟටත් අරන් ගියා.ඒත් වැඩක් වුනේ නෑ.
කොච්චර කලත් තරු මහත්තයා ගැන මොකක්දෝ ලෙන් ගතු කමක් සිරියාවතීගේ හිතේ තිබුණා.තරු මහත්තයාගෙන් ගුටි කකා හරි ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න උදව් වුනා. තරු මහත්තයා සමහරදාට කෑම එපා කියලා කෑම පිඟාන විසි කරනවා.
“ඔහේ බඩගින්නේ හිටපුදෙන්!” නෝනා පවා කීවා. ඒත් සිරියාවතී කවදාවත් තරු මහත්තයාව බඩගින්නේ තිබ්බේ නෑ.තරු මහත්තයා කන්න කැමති මොනවාහරි කෑමක් හදා දීලා තරු මහත්තයාගේ බඩ පිරෙව්වා.
මොන හේතුවටද මන් දා තරු මහත්තයාට සිරියාවතී පේන්න බෑ.
“මම ලොකු වුනාම තෝව මේ ගෙදරින් අස් කරනවා….”තරු මහත්තයා තිස්සේම ගෝරනාඩු කලා.
තරු මහත්තයා ඉලන්දාරි වයසට එනකොට තත්වය තවත් බරපතල වුනා.
ඉස්කෝලෙන් කට්ටි පැනලා චිත්රපටි බලන්න ගියා. වත්ත පහලට ගිහින් හොරෙන් සිගරට් බොනවා සිරියාවතීට කීප සැරයක් අහුවුණා.
“කීවොත් තෝව මරණවා.”තරු මහත්තයා තර්ජනය කලා.
සිරියාවතී ඒ ගැන කේළම් නොකීවෙ බයට නෙමේ.තරු මහත්තයා ඉස්කෝලෙ ගිය වෙලාවෙ සිරියාවතී කාමරේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරලා හොයා ගත්ත සිගරට් පැකට් දෙක සද්ද නැතුව විසි කරලා දැම්මා.
ඒත් දවසක් නෝනලා ගෙදර නැති වෙලාවෙ යාලුවොත් එක්ක එකතුවෙලා අරක්කු බීව කතාව නම් මහත්තයාට කියන්නේ නෑ කියලා දහ අතේ පොරොන් දු කරවගෙන නෝනාට කියුවා. කවුද හිතුවේ නෝනා පොරොන් දුව කඩාවි කියලා!
නෝනාගේ කේලම අහලා මහත්තයා ආවේස වුනා.එදානම් සිරියාවතීටයි නෝනාටයි දෙන්නාටම මැද්දට පනින්න වුනා.එදායින් පස්සෙ තරු මහත්තයාට සිරියාවතී නයාට අඳු කොල වගේ වුනා.
කොහොම කොහොම හරි සිරියාවතී මාදුවිල නෝනලගෙ ගෙදර අවුරුදු එකොලහක්ම වැඩකලා. සිරියාවතී රස්සාවෙන් අස්වුනේ සිරිසුමන එක්ක දීග යන්න. කාලයක් තිස්සෙ සම් බන් දෙ තිබුණට සිරියාවතීට සිරිසුමනෙ අක්කලා නංගිලා දීග යනකල් බලා ඉන්න වුනා.
ඔක්කොම ඉවර වෙනකොට තිහත් පැනලා. ඒකනං සිරියාවතීට ගානක් නෑ. අපරාදෙ කියන්න බෑ නෝනායි මහත්තයායි සිරියාවතීගෙ මගුලට ලෝබ නැතුව වියදම් කලා.එයින් පස්සෙත් අනුරාධපුර යන ගමන් කියලා කීප සැරයක්ම නෝනායි මහත්තයායි සඳු බේබියි සිරියාවතීලගෙ ගෙදරට ගොඩ වුනා.
ඒත් අවුරුදු අටකින් විතර කිසිම තොරතුරක් නැතුව ගියා. සිරියාවතී ලියුම් කීපයක්ම දැම්මත් උත්තරයක් ආවෙත් නෑ. හොයා බලන්න සිරියාවතීට වෙලාවක් ලැබුනෙත් නෑ.
කෝච්චිය කොටුවටත් ඇවිල්ලා. සිරිල් ඇවිල්ලත් ඇති! සිරියාවතීට හිතුණා.
ඒ කාලෙත් සිරියාවතී ගමේ ඉඳලා එනකොට නෝනා සිරිල්ව ඉස්ටේසමට එවනවා.
කෝ මේ සිරිල්? සිරියාවතී වට පිට බැලුවා.
“ආයම්මේ!” පුරුදු කට හඬක් වෙනස් විදිහකට. සිරියාවතී ගැස්සිලා බැලුවා. තරු මහත්තයා හිනා වෙවී බලාගෙන ඉන්නවා.ටිකක් ඇඟ පත ආරලා පාට වැටිලා. ඒත් ඒ විදිහමයි.
“ක්ක්…කෝ….ස්සිරි….ල්?”සිරියාවතීට ගොත ගැහුණා.
“සිරිල් වැඩකට ගිහින්. මේකද ආයම්මාගේ බෑග්ගෙක?” තරු මහත්තයා සිරියාවතීගෙ බෑග් එකත් අරන් ඉස්සර වුණා. සිරියාවතී පස්සෙන් ඇදුනා. ඇදුනා නෙමේ පාවුණා.
කාර් එකේදිත් සිරියාවතී බය වෙලා වගේ. මේ තමන් මග අරින්න බලන් ආ තරු මහත්තයාද?
“ආයම්මාට මහන්සිද?”තරු මහත්තයා ඇහුවා.
“නෑ! කොහොමද නෝනට?”සිරියාවතී අමාරුවෙන් වචන ගලපා ගත්තා.
“අම්මා නැතිවුනා ආයම්මේ. දැන් අවුරුදු තුනක්.”
මොකක්! නෝනා නැතිවෙලා!
“එංගලන්තේදි….අපි අවුරුදු හතක් හිටියේ එහෙ. ගිය අවුරුද්දේ තමා ආපහු ලංකාවට ආවේ.”තරු මහත්තයා කියාගෙන කියාගෙන යනවා.
“එ…එතකොට කා…කාඩ්ඩෙක එවුවේ?”සිරියාවතී ගොත ගැහුවා.
“මම!”තරු මහත්තයා හිනාවුනා.
“ආයම්මා දන්නවද දරුවො මොන වැරදි කලත් ඒවා අමතක කරලා දරුවන්ව යහමගට ගන්න දඟලන්නෙ අම්මලාලු. එහෙම හිතනකොට ආයම්මා මගේ දෙවෙනි අම්මා!”සිරියාවතීට තරු මහත්තයාගේ කටහඬ ඇහුනේ වෙන ලෝකෙකින් වගේ.
පපුව හිරවෙනවා වගේ සිරියාවතීට දැනුණා. ඇස් වලින් දෝරෙ ගලන කඳුලු කැට වලට ඔහේ ගලන්න ඉඩ දීලා සිරියාවතී වාහනේ කණ්ණාඩියෙන් තරු මහත්තයා දිහා බැලුවා.
උපුටා ගැනීම: Sripali Kotuwella