අයියා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අයියා සිතා සිටින්නේ අයියාට වඩා කෙරුමෙකු තවත් නැතැයි කියාය. අයියාගේ පමණක් නොව ඇතැම්විට මගේ අදහසද එයම විය. නමුත් ඒවා විටින් විට වෙනස්වෙමින් පවතී. ඒ නෑනාගේ මැදිහත්වීම් නිසාය. අයියාගේ කෙරුම් ගැන කල්පනා කරන විට මගේ මතකය යටගිය දවස කුඩා කල වෙත ඇදී යයි….
අයියා තම සගයන් පිරිසත් සමඟ බොහෝ දවස්වල ගෙදරට එන්නේ ඔහු විසින් සියල්ලන්ටම කන්න උයා දෙන ආකාරයෙන්ය. නමුත් ඔහු පොල් බෑයක් හෝ ගා දුන් දවසක් මගේ මතකයේ නැත. නමුත් දැන් ඔහුට නනාප්රකාරයේ කෑම ජාති සැනින් සකස් කළ හැකි බව මට ආරංචි ය. මා මිශ්ර පාසලක ඉගෙනගන්නා අවදියේදී අයියාට හොරෙන් පාසලේ රස්තියාදු ගැසීම ගැන කතා කළ යුතු නැත. අයියාගේ පඬුපුල් ආසනයට සියල්ලක්ම දැනේ. ඔහුගේ මිතුරු කැල පඬුපුල් ආසනයට එහාය. ඔවුන්ව රහස් ඔත්තු සේවා සඳහා බඳවා ගැනීමට රජය ක්රියා කළ යුතුය. දිනක් පහ වසරේ කොල්ලෙක් මටත් මගේ යෙහෙළියටත් උසුලු විසුලු කරමින් ගිය ආකාරය තුන වසරේ මට දිරෙව්වේ නැත. මා ගියේ ඔහුට කන හරහා දෙකක් එල්ල කිරීමටය. මන්දයත් දෙමළ චිත්රපටිවල එක නළුවෙක් සීයයකට පමණ නෙලන ආකාරය මගේ මනසේ තැන්පත් වී තිබුනු නිසා මේ පහ වසරේ කොල්ලාට ටොක්කක් ඇනීම නතින්ග් ය. නමුත් මගේ යෙහෙලිය විසින් මාව නවත්වන ලද්දේ, ‘අපි අයියට කියමු’ කියා මගේ කනට කොඳුරාය. එතැනත් මම අයියාට සෙකන්ඩ් ය. කෙසේ වුවත් එදාට පසු දින සිට අර පහ වසරේ කොල්ලා අපට උසුලු විසුලු කලේ නැත. ඒ වෙනුවට ලංකාවෙන් ණය ගත් චීනෙකු මෙන් හිස පහත් කළ, පමණ ඉක්මවූ සිනහව සැබැවින්ම පමණට වැඩිය.
අයියා හය වසරේ ඉන්න විට අයියාට සිංහල පොතේ පාඩමක කවි කටපාඩම් කරගෙන එන ලෙස ගුරුතුමිය පවරා තිබුනි. එදින අයියා මා ගෙන්වා මුලු පාඩමේම කවි එකක් නෑර මට පාඩම් කෙරෙව්වා අද මෙන් මතකය. අයියාට පාඩම් කරන්නට කියූ කවි බලෙන් මට කටපාඩම් කරවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව මා එකල දැන සිටියේ නැත. කෙසේ හෝ මට කවි සියල්ල කටපාඩම් කර ගැනීමට හැකිවිය. ඉන්පසුව සිදුවූ දෙය හතුරෙකුටවත් වෙන්න එපා යයි මගේ ප්රාර්ථනයයි. ‘දැන් ඔය කවි ඔක්කොම මට පාඩම් කරගන්න උදව් කරපන්’ යයි කී විට අයියාට පොල්ලකින් ගසා හමාර කිරීමට සිතුනද කවිවලට ඊටත් වඩා ආසා කළ මා ඔහුට කවි කට පාඩම් කෙරෙව්වෙමි. අදටත් ඒ කවි සියල්ල මට පාඩම් ය.
අයියා සත්තුන්ට බෙහෙවින් ඇලුම් කරයි. අයියාට හැඬීමට හැකි බව මා දැනගත් දිනය මගේ මතකයට පැමිණේ. ගෙදර සුරතලයට ඇති කළ බල්ලා මියගිය දිනයේ අයියා දොර ලඟ බිම වාඩිවී නොනැවැත්වූ හැඬීම මට අමතක නොවේ. බල්ලා මියගිය හේතුව අදටත් මතක නැති මට, අයියා හඬපු ආකාරය හොඳින් මතකය. මම අයියා අසල සිට ඔහු දෙස ඇසි පිය නොහෙළා බලා සිටියෙමි. අයියා බල්ලන් හැර ඇලුම් කරන අනෙකුත් සත්ත්ව කොට්ඨාසය වන්න්නේ විශේෂයෙන් පූස් පැටවුන්ය. ලෝකයේ කුමන තූත්තුකුඩියකින් සොයා ගත් වටිනා පූස් පැටවෙකු වුවද අයියා විසින් ඌට නමක් ලෙස දමන්නේ ‘සිරිපාල’ ලෙසය. සිරිපාල කෑවද? සිරිපාල නෑවද? ආනේ මෙන්න ශිරිපාල ඇවිත් ලෙස අයියාගේ පූස් ආමන්ත්රණය එකදු සත්ත්ව කොට්ඨාසයකට හෝ අකමැති මට විකාරයක් විය.
අයියාගේ ප්රේමණීය ජවනිකා පිළිබඳව කතා නොකළ හොත් එය සෑහෙන්න අඩුවකි. මා යන්තම් පහ වසරේ ඉන්නා කාලයේ මගේ ශිෂ්යත්ව පන්තිය පැවැත්වුණේ අයියාට ඉංග්රීසි පන්තිය පැවැත්වුණු අල්ලපු පන්තියේය. මං ඒ දිනවලට වෛර කරමි. අයියා මගේ ක්රියාපිළිවෙල එකක් නෑර මතක තබා ගෙන ගෙදරදී පැවසීම කනස්සල්ලකි. අයියාගේ පන්තියේ අක්කලා මට බෙහෙවින් ආදරේය. දිනක් අයියා පන්ති පැමිණියේ නැත. මගෙන් හේතුව විමසුවද අයියා නිදහස් කිරීමට වඩා එදින මගේ නිදහසට මම ඇලුම් කලෙමි. එදින පන්තිය අවසන් වී මා ගෙදර යන්නට පාර දෙසට ගමන් කරමින් සිටියදී අයියාගේ පන්තියේ අක්කා කෙනෙකු මගේ ලඟටවිත් ‘ අයිය අද ආවෙ නෑ නේද බබා, මේක අයියගෙ අතටම ගෙනිහින් දෙන්න’ කියා තුන්ඩු කැබැල්ලක් වැන්නක් මගේ අතේ තැබුවාය. මා කළ යුත්තේ කුමක්දැයි මට තේරුනේ නැත. ඒත් මට විශාල වගකීමක් පැවරුනු බවක් මට දැනුනි. ජීවිතේ පලමු වතාවට අයියා පිලිබඳව වගකීමක් ගන්නට මට සිදුවිය. මම ඉතා ඉක්මනින් ගෙදර ගොස් අයියා සොයන විට, ඔහු ගෙදර අයත් සමඟ මිදුලේ බර කයියක් ය. අර අක්කා දුන් තුන්ඩුව අයියාගේ අතටම දීමට මීටත් වඩා හොඳ වේලාවක් නැත. මන්දයත් අයියා පමණක් සිටින විට මෙය දුන්නත් ඔහු මා මෙය ඔහුගේ අතටම දුන් බව පිලිගන්නේ නැත. දැන් ගෙදර අයත් සිටින නිසා සාක්ෂි කරුවන්ද සිටීම සිතට සහනයකි. මා දෝතින්ම අයියාගේ අතට කවුරුත් බලා සිටියදී තුන්ඩුව දී, ‘අයියට මේක අක්ක කෙනෙක් දෙන්න කිව්වා’ කියද්දී අයියා තුන්ඩුවට පෙර පිලිවෙලින් ගෙදර අයගේ මූණු බැලුවේය. අයියාගේ තුන්ඩුව ගැනීමට අයියාට පෙර වෙනත් අය ඉදිරිපත් විය. අයියා මගේ මුහුණ බලා මෙතෙක් කාලයක් මා නොදුටු සිනහවකින් මට සංග්රහ කළේය. එදායින් පසුව අයියාගේ වගකීම ගෙදරින් මට භාර දුනි. අයියාට ලැබෙන තුන්ඩු ඇතුලු සියල්ලක්ම ගෙදර ගෙන ඒම මට භාර විය. නමුත් ඉන් පසුව තුන්ඩු කෑල්ලක් තබා වැලි කැටයක්වත් මට කිසිවෙකු හෝ අයියාට ගෙන ගොස් දෙන්නැයි දුන්නේ නැත.
මා උසස් පෙළ කරන කාල සීමාවේදී අයියා මා සමඟ කතා කලේ අඩුවෙනි. නමුත් මට අන්තිම ප්රශ්න පත්රය ලියන දවස දක්වා අයියාගෙන් ලද උදව් අපමණය.
අයියා මගෙන් දෙතුන් වරක් මස්සිනා කොහිදැයි අසා ඇත. ඊටත් වඩා අසා ඇත්තේ මස්සිනා බීමට හුරු අයෙක්ද කියාය. මට අයියාට උත්තර දීමට වඩා වෙන වැඩ ඇත. කෙසේ වෙතත් අයියා මට පැවසුවේ, ‘බොන්නෙ නැති මස්සිනෙක් නම් මම මගෙ කන කපනවා’ කියාය. අයියාගේ කන කැපීම මගේ කුඩා කල සිටම අභිප්රාය වුවද ඔහුගේ කන ආරක්ෂා කිරීම මගේ යුතුකමය.’
අයියා මා සමඟ බයික් එකේ ගමන් කරන්නේ කලාතුරකිනි. අයියා මා සමඟ බයික් එකේ ගිය අවසාන දිනයේ මට ඔහුගේ මුදල් පසුම්බිය දුන්නේය. ‘ඕක බලනොකො ඇතුලෙ ෆොටෝ එකක් ඇති’ යි ඔහු කිව්වේ බයික් එකේ ගමන් කරමින් සිටියදීය. මම එම ෆොටෝ කැබැල්ල සොයාගත්තෙමි. නමුත් ඒ අයියාගේ නොව ගැහැණු ලමයෙකුගේය. මම අයියාට කිසිවක් නොකීවෙමි. ‘බලනෝ මං ඔහෙ වගේම ගෑනු ලමයෙක් හොයාගත්තා’ යි අයියා කිව්වේ මගේ මූණවත් නොබලාය. සැබැවින්ම ඒ ගෑනු ලමයා මගේ පෙනුමට ටිකක් සමානය. ඒත් අයියා එසේ පැවසුවේ ඇයිදැයි මට අදටත් නොතේරේ. මට අයියා ගැන පළමුවරට අනුකම්පාවක් මුසු සතුටක් ඇතිවිය.
උපුටා ගැනීම: Sakshima M Acharige

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!