අදටත් ගමට පය ගහන ඕනෑ ම අවස්ථාවක විදුලියක් වගේ ක්ෂණික ව මතකය ට එන, හිත අස්සේ පහුරු ගාන අපූරු චරිත දෙකක් ගැන ලියන්න දවස් ගානක් තිස්සේ පෙරුම් පිරුවත් අද තමයි අවස්ථාව ලැබුණෙ. එක්කෙනෙක් මගේ එක ම අයියා.අනෙකා අපේ ගමේ පොල් කඩපු සරා. අපේ අයියා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. පොඩි කාලෙ ඉදන් ම අයියා පෙන්නුවේ අනුකම්පා විරහිත ගතිමයි.කඩවසම් පෙනුමක් තිබූ අයියා ප්රදේශයේ ජනප්රිය චරිතයක්… එතකොට සරා… ඔහු අපේ අල්ලපු ගෙදර රන් මැණිකා නැන්දගෙ දෙවෙනි කොළුවා.නම සරත් වුනත් දන්න කාලෙ ඉඳන් හැමෝ ම ඔහුට කිව්වෙ සරා කියල. සමන්ගෙ තාත්තා වෙච්චි කළු බණ්ඩ මාම කළෙත් පොල් කඩන රස්සාවමයි.. පොල් ගහකින් ම වැටිල උන්ද මියෑදිල තියෙන්නෙත් සරාට අවුරුදු පහේදි විතර කියල රන්මැණික නැන්ද නිතර කියනව මට තාම මතකයි.. රන් මැණික නැන්දගෙ වැඩිමල් පුතා වෙච්චි නිමල් නම් පුංචි කාලෙ ඉදන් ම ඉගෙනිල්ලට හපන්කම් දැක්කුව කියල නැන්ද කියන්නෙ හරි ආඩම්බරෙන්.. .. අද ඔහු ගුරුවරයෙක්. කළු බණ්ඩ මාම නැතිවුනායින් පස්සෙන් පහු ළමයි දෙන්නව ජීවත් කරන්න ඕන හින්දා දවසේ කුළී වැඩ කරන්න නැන්දට සිද්ධ වුණා.කුඩා කාලෙ ඉදන් ම මන්ද මානසික ගති පෙන්නුව සරා ව මක් කරලවත් ඉස්කෝලෙ ඇර ගන්න නම් නැන්දට බැරිවුණා. කාලයක් ගම හරහා ම කරක් ගැහුව සරා අවුරුදු දහය දොළහ වෙනකොට තාත්තගෙ රස්සාව ම කරන්න පටන් ගත්ත.
සරා මගේ හිතට කාවදින චරිතයක් බවට පත් වෙනකොට ඔහුට අවුරුදු දහ අටක් විතර ඇති. කපුටු කූඩයක් වගේ තිබ්බ කොණ්ඩෙත්,මුක්කන් නහයත්, අරියාදුවට පොල් පැළ හිටෙව්වහේ අතරින් පතර තිබුණ කිරි සුදු පාට පොල් දතුත් ඔහුට ගෙනාවෙ තරමක විසුළු පෙනුමක්.. කාල වර්ණ සමේ පැහැයත්, තද රතු පාට විශාල තොල් සඟලත් දකින ඕනෑ ම කෙනෙකුට සිහි ගන්වන්නෙ කාපිරි මිනිහෙක්. පොල් කැඩිල්ලට අමතරව ගෙවල් වල දරපැලීම වගේ දේවල් කරපු සරාට සල්ලි ගැන තිබ්බ අවබෝදෙ නම් අන්තිමයි. රුපියල් දහයේ කොළයක් දුන්න ම මුක්කන් නාහෙ පිඹ පිඹ එහාට මෙහාට ගිහින් “මෙච්චර වැඩ කරලත් එකද?” කියල අහන සරාට ඒ වෙනුවට රුපියලේ කාසි දහයක් දුන්න ම යන හිනාව නම් බලන්න ලස්සනයි.ඉතින් ගමේ හැමෝම සරාගෙන් වැඩක් ගන්නව නම් ඒ මාරු කාසි ළඟ තියාන තමයි.ඔය ඔක්කෝට ම අමතර ව අහළ ගම් හතක මළ ගෙයක් වුනොත් සරා එතන ඇති. හත්දොහේ දානෙ කටයුතු වලටත් සහභාගී
වෙනකම් සරා නෙවෙයි ඒ ගෙදරින් හෙළවෙන්නෙ. ගොක් අතු කැපීම, දර පැලීම,
බුලත් පුවක් තට්ටුව බලාකියා ගැනීම,මාරි, තේ ඇල්ලීම ම වගේ මෙකී නොකී සෑම වැඩක් ම සරා කරන්නේ. බොහොම සන්තෝසෙන්.ඊට අමතරව හාමුදුරුවෝ බණ දේසනා කරන ඕනෑ ම තැනක දොහොත් මුදුන් දීල වැඳගෙන, එකත් පසෙක වාඩි වෙන්නත් සරා අමතක කරන්නෙ නැහැ. කොයි පන්සලේ හාමුදුරුවො බණට වැඩියත් උන්නාසේල කවුරුත් සරාට මනාපයි.
කොහොමද කියල හරියට නිනව්වක් නැතත් අපේ අයියට නම් සරා ව පේන්න බෑ.. නයාට අදුකොළ වගේ….සරා ළඟින් ගියත් ඇති.ගමේ කොයි දේටත් කරගහල වැඩ කරන සරාට අපේ අයිය කියන්නේ නම් ඕකා ඔය වැඩ කරන්නෙ ගෑනුන්ට පේන්න කියලයි. ඒක බොරුවක්මත් නෙවෙයි කියල මට හිතුනේ අපේ ගෙදර මොන වැඩේ කරන්න සරා ආවත් අපේ අම්මත් ඌට පේන දුරින් මාව ඉන්දවන හින්ද.
අපේ අයියා සරාව දකින ගානෙ “මෝඩයා”කිව්වත් සරා කරන්නෙ ඔළුව පාත් කරල හිනාවෙන එක.කොහොම වුනත් සරාගෙන් චාටුවෙන් වැඩ ගන්න අපේ අම්ම තරම් දස්සයෙක් අහළ ගම් හතක්වත් ඉන්න නැතුව ඇති. “අනේ ඉතින් කොල්ලෙක් වුණා ම ගහකටවත් නඟින්ඩ බෑ නම් ඉතින් වැඩක් යැ ” කිව්ව සැනින් සරා වහළේ උනත් ගොම ගාන්න ලෑස්ති බව අම්මා දන්නව. ඒ වගේ වෙලාවට අපේ අයියගේ ඉහේ ඉදන් දෙපතුල වෙනකම් බලල නෝන්ඩි හිනාවක් දාන්නත් සරා අමතක කරන් නෑ. ඒ වගේ දවසක රවන ගොරවන අයිය ගැන දුක හිතිල අයියව සනසවන බලාපොරොත්තුවෙන්
නෑ නෑ… සුදු මහත්තයා කොල්ලෙක් කියන්නෙ මේ ම මේ ම සුදු බටේ එක හුස්මට ඇදල නාහෙන් කටින් දුම් පිඹින මාත්තූරුන්ටනේ…
කියල සරා කිව්වෙ අපේ අයියගේ ඇස් නළලෙ ම ඉන්දවල. ඊට පස්සේ අම්ම අයියට සබ්බුව දුන්නෙ බේරන්න ආව සරාටත් දෙකක් දීල.කොමින් කොහොමින් හරි අපේ අයියගෙ කසාදෙන් පස්සෙවත් මේ තරහ නැති වෙයි කියල අපි හිතුවට ඒකෙත් උනේ අනික් පැත්ත..
අපේ අයිය නෑනව ගෙනැල්ල මාස තුන යනකොට ඒකී වමනෙ දාන්න ගත්ත…ඉංජිනේරුවෙක් වෙච්ච අපේ අයිය අනේ ඉතින් වමනේ දාන එකීට කන්න ආස ඇතිනෙ කියල පැණි බූන්දි, මස්කට්, පුහුල් දෝසි ගෙනැල්ල තිබ්බේ කිලෝ ගණන්…ඒව කූඹි වහ වහ එහෙම ම තියෙද්දි ඒකිගේ කටේ තිබ්බෙ ම වීර, පලු, කෝන්, උගුරැස්ස, ඇබරැල්ල වගේ ජාති…සරාගෙ වැඩේ කොහෙන් හරි ගඩාගෙඩි පොකුරක් කඩාගෙන ඇවිත් මාවත් මඟහරිමින් නෑන අතේ ම තියන එක.පොකුර පිටින් ම ගෙනැල්ල දෙන්නේ හරියට දානයක් දෙනව වගේ.. ඒක දැකපු අම්ම කිව්වෙ ගමේ කොයි ගෑනිට දරුවෙක් හම්බෙන්න ආවත් සරා ඔය දානෙ නම් ඔය විදිහට ම දෙනවා මයි කියල. ඒකත් අපේ අයිය නම් ගත්තෙ අනික් පැත්තටමයි. “ඒ පාර මේ මෝඩය ගෑනිවත් අල්ල ගත්තනෙ” කිය කිය පිප්පුව අයිය දිහා නෑන බලන් උන්නෙ අමුතු සතෙක් දිහා බලන් උන්න ගානට..
සරා කීයක් හම්බ කරත්, නොකළත් හැමදාම හැන්දෑවට පුරුද්දක් විදිහට කරපු තව දේකුත් තිබුණා. ඒ තමයි බල්ලන්ට පාන් දැමීම. මුලදි පාන් ගෙඩියක් විතර කඩල දදා හිටියට පස්සෙන් පහු බලු සේනාව සැලකියයුතු ප්රමාණෙකින් ඉහළ ගිය හින්දා රාත්තල් තුනක්වත් නැතුව සරාට බැරි වුණා. ඔය ගෙවල්වල මුලදි මුලදි අනේ බෝලෙ වගේ….ඇල්ටේෂන් කිය කිය හදන බූල් බල්ලො හොරිකඩ රෝගෙ හැදුනට පස්සෙ එළවන්න නිකන් අඳුරන්නෑ වගේ.ඔය ජිමීල, ටොමීල, පපීල ඔක්කෝගෙම ඉරණම ඒකයි.අන්න ඒවගේ උන් අන්තිමට නතර වුණේ සරා ළඟ. උන්ට ඕන කරන බේත්හේත් එහෙම රටේ උගතා වෙච්ච අපේ අයියාගෙන් අහගන්න සරා එන්නෙ අර කුක්කන්ටත් වඩා බයාදුව… මෝඩයෝ අරක ගාපන් මේක ගාපන් කිය කිය අපේ එකා සරාව වටේ යැව්වත් සරාට විශ්වාසයත් අපේ අයියවමයි. ඒව දකිද්දී ඉහමොළ රත් වෙන මන් එතනින් මඟාරින්නෙ බලන් ඉන්න බැරිකමට.
කාලය ඔහොම ගෙවුනා… දවසක් උදේ පාන්දර මරළතෝනියක් ඇහුනෙ සරාගෙ ගෙවල් පැත්තෙන්. රන් මැණිකා නැන්ද ඇඳේ වැටිල උන්න කාවද බදාගෙන කෑ ගහනවා…නැන්දව ඇදල ඒ මේ අත කරල බලද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි සරා…රෑ බොහොම සතුටින් නිදාගත්තු සරා එළිවෙද්දි මෙළොව හැරගිහින් තිබ්බ……මරණ පරීක්ෂණෙන් තීන්දු වෙලා තිබ්බෙ නහරයක් පුපුරල කියල…එතෙන්ට දුවගෙන ආව අපේ අයියට එවලෙත් කියවුණේ “පව්..මෝඩයා” කියල. එවලෙ නම් අපේ අම්ම අයිය දිහා බැලුවෙ අයියව පණ පිටින් පුච්චන්න පුළුවන් බැල්මකින්….. ගමේ වැඩිම පිරිසක් සහභාගී වුණ අවමඟුලත් සරාගෙමයි. ඒ තරම් සෙනඟක් ඇවිත් උන්නා.මළ ගෙදරත් හැමෝම දුක් වුණේ “අනේ පව් මෝඩයා” කියල. මරණෙත්, දාන මාන කටයුතුත් නිමා වෙලා අට වෙනි දවසේ ඉදන් හැන්දෑවට වෙද්දි සරා කන්න දීපු බලු සනුහරේ කෑ ගහන්න පටන් ගත්තේ කවුරුත් නොහිතපු විදිහට. ඒකනුත් වැඩිපුර කේන්ති ගියේ අපේ අයියටමයි……”අර මෝඩයා පුරුදු කරල ගිය මඟුල හින්දා කනක් ඇහෙන්න නෑනේ අපිට” කියමින් සාලෙන් කුස්සියටත් කුස්සියෙන් සාලයටත් ආව ගිය අපේ අයියගේ කියවිල්ල අපි කවුරුත් කණකට ගත්තේ ම නෑ…කොහොමහරි පැය බාගෙට විතර පස්සේ බලු අඳෝනාව නතර වුණා… ඒ විපරියාසේ මොකද බැලින්නම් අපේ අයියා පහේ ෂොපින් එකක් එල්ලගෙන බල්ලන්ට පාන් කඩ කඩ දානවා………
..
උපුටා ගැනීම: Sunethra Rajan