අපේ අයියාත් නංගීත් පාඩම් කරන්නේ දෙවිදියකටය. අයියා රෑ නිදි මරාගෙන රෑ එක දෙක වනතුරු පාඩම් කොට නැවත පාන්දර 4ට නැගිට පාඩම් කරන්නේය. අපේ නංගී පුලුවන් තරම් වේලාසන නිදාගෙන පුලුවාන් තරම් පරක්කු වී නැගිටින්නේය. වැරදීලාවත් අයියාව නැගිට්ටවන්නට අපිට බැරි උනෝතින් අයියා නහයෙන් අඬ අඬ වරු ගානක් මැසිවිලි කියන අතර, නංගීව වේලාසන නැගිට්ටුවොත් වෙන්නේ වේලාසන නැගිට්ටුවේ මොකදැයි අසමින් වරු ගානක් මැසිවිලි නැගීමය.
අයියා එක දිගට පාඩම් කරන අතර නංගීව එක පැය බාගයක් එකතැන තබා ගැනීම අමාරුය. අයියාගේ ගැඹුරු මතකකය පාඩමට ඉතා හිතකර අතර, නංගීගේ විසිරුනු මනසේ රඳන්නේ අතිශය සුන්දර දේ පමණය. ඔය බර විෂයන් නම් නංගීගේ ඔලුවේ රඳන්නේම නැතිය . නමුත් නංගීගේ ගැඹුරු මතකයේ ඉතා කුඩා කාලයේ වූ සිද්ධීන් ඒ ආකාරයෙන්ම තැන්පත් වී තියෙන්නේ අපව පුදුමයට පත් කරමින් ය.
පාඩම් කරමින් ඉන්නා විට නංගී බොහෝවිට කරන්න්නේ බාහිර වැඩය.
වරක් බලනවිට ඇය කර ඇත්තේ බිත්තියේ එල්ලා ඇති කැලැන්ඩරයේ කොළ කපා නිර්මාණයක් කර මේසේ උඩ තබා ගෙන ඉඳීමය . කොළ ගැලවී මාස මාරුවී තිබූ කැලන්ඩරය බලන්න ලස්සනය. ඒ ආකාරයට අවුරුද්ද වේලාසනින්ම ඉවර කිරීමට වුවද අපේ නංගීට පුලුවන.
පාඩමට ඉඳ ගන්නේ අපේ නංගී වුවද මැදක් යනවිට ඉන්නේ වෙනත් නංගී කෙනෙක් ය. ආයා කටු, හර්නල් කටු, හැට්ට කටු නමින් හඳුන්වන කටුවල ලොකු කටු 2ක් කනේ එල්ලගෙන කණ්නාඩිය ඉස්සරහට වී ඒ කටු හෙල්ලෙන ආකරයට කන හොල්ල හොල්ලා පාඩම් වැඩ කිරීම අපේ නංගීගේ විනෝදාංශයක් ය.
සාමාන්යයෙන් ඕනෑම ඇඳුමක් ගෙන ෆැබ්රික් පේන්ට් ගා වර්ණවත් කිරීමද පාඩම අතරතුර කරන්නේය. කිසිම සැලසුමකින් තොරව ඕනෑම නිර්මාණය ක් කීරීමට ඈට පුළුවන. හොඳ ඇඳුම් පාට ගා වේලෙන්නට දමා තිබෙන විට මට දෙලෝ රත් වන්නේය .පාඩමට වඩා නංගීගේ ඔලුවේ වැඩ කරන්නේ ෆැෂන් ඩිසයින් ය.
අයියාගේ නම් සියලුම නිරමාණ නිමවෙන්නේ අපේ අතින් ය.නිර්මාණ ගැන නම් අයියා මෙලෝ දෙයක් දන්නේ නැතිය.
අනික නංගීට එයා කැමති යාලුවා ලඟම ඉඳ ගන්නට ඕනෑය. නංගීගේ ඉස්කෝලේ හැම අවුරුද්දකම ළමයින්ව පංති වලට දාන්නේ කලවම් කරය. ඒ නිසා අවුරුද්දෙන් අවුරුද්ද අලුත් යාලුවෝ ලැබෙන්නේය. අපේ නංගී දෙකේ පංතියේදී පලවෙනි දවසේ පංතියට යනවිට ලමයින් තමන්ට නියමිත තැන වාඩිවී සිටියේය. නංගීට ඕනෑ වූයේ කලින් දන්නා යලුවෙක් ලඟ ඉඳ ගැනීමටය .ටීචර් දෙතුන් පාරක් ඉඩ ඇති තැනක ඉඳ ගැනීමට කියූවද අපේ නංගී හිටි පිළිමයක් සේ බෑග් එකත් එල්ලාගෙනම ඉඳින්නේය. වෙලාවද යන්නේය. ලැජ්ජාවට මගේ ඉහින් කනින් දාඩියද බේරෙන්නේය. ආපු මුල්ම දවසේම ටීචර් ව අපහසුතාවයට පත් කරන්නත් බැරිය. අන්තිමට ටීචර්ට සිද්ධ වූයේ ළමයෙකුව නැගිට්ටවා නංගීට ඕනෑ තැනම දෙන්නය. මට සිදූ වූයේ ‘සොරි ටීචර් ‘යනුවෙන් පවසා එතනින් මාරු වීමටය.
අනික අපේ නංගීට දෙයක් කියා පිරිමසන්නට බැරිය. පංතියේ ටීචර් කියාදුන් ක්රමේටම මිස වෙන වෙන ක්රම ඇයට දිරවන්නේ නැතිය .ගණන් පාඩමට අදාල නොයෙක් ක්රම කොතෙක් කියා දුන්නද ඒවා සත පහකට වත් මායිම් නොකර ටීචර් ගේ ක්රමයටම කරන්නට උත්සහා කරන්නේය.බැරිම තැන ‘අපිත් ඔය ගනන් හදල තියෙනවා, අනික අපිත් ස්කෝලෙ ගිහින් තියෙනව ළමයෝ ‘ යැයි කියූවිට නංගී කියන්නේ, ‘ඉතින් ස්කෝලෙ ගිහින් තියෙනවනම් මේ ගණන් මේ විදිහට හදන්න දන්නේ නැත්තේ මොකදැ ‘යි කියාය.
කොහොම උනත් අයියා ඕලෙවල් වලින් ඒ නවයක් ගැනීමට බලාපොරොත්තු වන අතර , මලල ක්රීඩාවෙන් මීටර 60, 12න් පහල වයස් කාණ්ඩයේ ලංකාවේ පලමු වෙනියා වූ නංගී බලා සිටින්නේ , ඕලෙවල් වලට පෙර ශිෂ්යයත්වයක් ගෙන රටින් පැනීමටය.
ජීවා !!!
උපුටා ගැනීම: Heshani Perera