“අයියෙ අපෙ අම්මා මොන වගේ ද??” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අයියෙ අපෙ අම්මා මොන වගේ ද??”
ඉස්සර මම සමහර දවස් වලට අයියගෙන් අහනවා.
“අම්මා ඔයා වගේ දෝනි..ඔයා වගේමයි..”
අයියා හැමදාම මට දුන්නෙ ඒ උත්තරේ විතරයි.ඊට පස්සෙ අයියා කල්පනාවකට වැටෙනවා.ටික ටික ලොකු වෙනකොට මම ඒ ප්රශ්නෙ අයියගෙන් අහන එක නතර කලා.
කවදාවත්ම මම මගේ අම්මව දැකලා නෑ.මාව ලැබෙන්න අම්මට ගොඩක් අමාරු උනාලු.මම ඉපදුණු දවසෙම අම්මා අපි හැමෝම දාලා යන්න ගියාලු.ඒ නිසා මම කවදාවත් අම්මව දැකලා නෑ.
මට ඉන්නේ අයියයි තාත්තයි විතරයි.මම ලැබුන දවසෙම අම්මා නැති උන නිසා හැමෝම හිතුවෙ ඒක මගේ කරුමෙට,අවාසනාවට උන දෙයක් කියලා.ඒ නිසා නෑදෑයො කවදාවත් මාව පිළිගන්න කැමති උනේ නෑ.
“නම විතරයි වාසනා.කරුමෙට ඉපදුණු ලමයි.අර ගෑනිත් මරාගත්තා.”
දවසක් අලුත් අවුරුද්දකට නැන්දාලගෙ ගෙදර ගියහම නැන්දා මාව දැකලා එහෙම කිව්වා. අයියා මාව වඩාගෙන අඬ අඬ ගෙදර දුවගෙන ආවා.එදායින් පස්සෙ කවදාවත් අයියා මාව නෑදෑයො ඉන්න තැනකට එක්කන් ගියෙ නෑ..
අයියා මට වඩා අවුරුදු හතක් වැඩිමල්.තාත්තට අපි ගැන බලන්න සිහියක් තිබුණෙ නෑ.මට මතක ඇති කාලෙක ඉදන් තාත්තා නොබී හිටපු වෙලාවක්,නොබී හිටපු දවසක් මට මතක නෑ.
“දේවිකා.. ඇයි මට කෙල්ලෙක් දීලා ගියේ.. ඇයි .. ඇයි..”
ඒ තාත්තා හැමදාම කියවන වචන ටික.ඕක කියව කියව තාත්තා එහෙම්මම නින්දට වැටෙනවා.
අයියා තමයි මගෙ හැමදේම උනෙ.මගෙ අම්මා,මගෙ තාත්තා මේ හැමදේම..මාව නෑව්වෙ,කැව්වෙ,පෙව්වෙ,මේ හැමදේම කලේ මගෙ අයියා.මම උස් මහත් උනේ මගෙ අයියගෙ අත් දෙකෙන්.මුලදි අයියත් මාත් එක්ක ඉස්කෝලෙ ගියා.පස්සෙ අයියා ඉස්කෝලෙ යන එක නැවැත්තුවා.අම්මා නැති ගෙදර මගේ අයියා අම්මා උනා.
මට අවුරුදු දොළහෙදි මම ලොකු ළමයෙක් උනා.මම අයියගෙ කනට කරලා ඒ ගැන කිව්වම මං දැක්කා අයියගෙ මූණ වෙනදාටත් වඩා ලොකු අසරණ කමකින් වැහිලා යනවා.අයියා එදා දවසෙම මගේ ඇඳ ළග බිම වාඩි වෙලා හිටියා.මාත් එක්ක හරියට කතා කලේවත් නෑ.මං දිහා බැලුවෙත් නෑ.පහුවෙනිදා උදේ පාන්දරම අයියා මාව අවදි කලා.ගෙට පිටිපස්සේ තිබුණ ලිඳෙන් වතුර ඇඳලා මාව නෑව්වා.
“දෝනී..ඔයා දැං පොඩි ළමයෙක් නෙවෙයි.ඔයා පරිස්සම් වෙන්න ඕනෙ.අයියට ඉන්නෙ ඔයා විතරයි.”
අයියා මගෙ ඔලුවට අතක් තියාගෙන කියවගෙන ගියා.මම ඔලුව උස්සලා අයියා දිහා බැලුවා.අයියගෙ ඇස් වල කඳුළු පිරිලා තිබුණා.ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙද්දිම මම අයියව තද කරලා බදා ගත්තා…
තාත්තා එදා මං දිහා හුඟක් වෙලා බලාගෙන හිටියා.ඊට පස්සෙ ලොකු හුස්මක් පිට කරන ගමන් මගෙ ඔලුව අතගාලා ගෙදරින් එලියට බැහැලා යන්න ගියා..
මාව ඉස්කෝලෙට දාලා අයියා තාත්තා එක්ක ගඩොල් කපන්න ගියා.සමහර දවස් වලට අයියා ගමේ කුඹුරු වැඩ වලට උදව්වටත් ගියා.අදටත් මම දැකලා තියෙන උත්සාහවන්තම මනුස්සයා තමයි මගෙ අයියා.කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් හැමදාම මම පාඩම් කරලා ඉවර වෙනකන්ම අයියා පුටුවක් උඩට වෙලා ඇහැරගෙන හිටියා.
” අයියෙ නිදාගන්නකො..මම තව ටිකකින් නිදාගන්නම්..”
“මට නිදිමතක් නෑ දෝනි..”
ඇස් වලින් නිදිමත බේරෙද්දි අයියා එහෙම කියනවා.අයියා හැමදාම කලේ එයාගෙ අමාරුකම් හංගගෙන මගෙ තනි රැකපු එක..
මම කැම්පස් තේරුනා.අයියා හැම සතිඅන්තෙකම මාව බලන්න බෝඩිමට ආවා.මම දන්නවා අයියට මාව බලන්නෙ නැතුව ඉන්න බෑ කියලා.මටත් එහෙමයි…..
ඊට අවුරුද්දකට පස්සේ තාත්තා නැතිඋනා.මල ගෙදර ආව හැමෝම යන්න ගියාට පස්සේ අයියා ඇවිල්ලා මගේ ලඟින් වාඩි උනා.
“දෝනි තාත්තා එක්ක තරහින්ද??”
මම අයියගෙ මූණ දිහා බැලුවා.අයියා මං දිහා නොබලම ආයෙ කතා කලා.
“තාත්තා එක්ක තරහ වෙන්න එපා දෝනි..තාත්තා ඔයාට ආදරෙයි.ඒක පෙන්නන්න තාත්තට තේරුනෙ නෑ.තාත්තා ඔයා ගැන බය උනා.තාත්තා හැමදාම හිටියෙ දුකෙන්.”
මම අයියගෙ උකුලෙන් ඔලුව තියාගත්තා.
“දේවිකා.. ඇයි මට කෙල්ලෙක් දීලා ගියේ..”
තාත්තගෙ කටහඬ මගේ ඔලුව ඇතුලෙන් දෝංකාර දෙන්න ගත්තා.මම එදා හුඟක් වෙලා ඇඬුවා.අවුරුදු ගානක් හිතේ හිර වෙලා තිබුන හැම දුකක්ම තුනී වෙනකම්ම ඇති වෙනකං ඇඬුවා.
නාලක මගේ කැම්පස් එකේ යාලුවෙක්.නාලකට මං ගැන යාලුකමට එහායින් අදහසක් තියෙනවා කියලා නාලක කීප සැරයක්ම අගවලා තිබුනා.ඒත් නාලකගෙ පවුල් පසුබිමයි මගෙ අයියවයි මතක් කරගෙන මම ඒ කිසිම දෙයක් නොතේරෙන ගානට නාලකගෙන් ඈත්වෙලා හිටියා.
“වාසනා.. මම හැමදේම දන්නවා..මට ඒවා ප්රශ්නයක් නෙවෙයි.මම ඔයාට ආදරෙයි..”
නාලක මගේ ලගින් වාඩි වෙන ගමන් කිව්වා.මට නාලකට කියන්න කිසිමදෙයක් තිබුණෙ නෑ.මම මොකුත් නොකියා අහස දිහා බලාගෙන හිටියා.
“හරි මම ඔයාගෙ අයියට කතා කරන්නම්”
එහෙම කියලා නාලක නැගිටලා යන්න ගියා.මම නාලක යන දිහා බලාගෙන හිටියා.ඇත්තටම නාලක ගැන කැමැත්තක් තිබුණත් අයියා මාව මෙතනට ගේන්න වින්ද දුක ,මාව පුංචි කාලේ ඉඳන් බලාගන්න විඳපු දුක ඉස්සරහ මට නාලක ගැන තිබුන කැමැත්ත දියවෙලා ගියා.
මම නිවාඩුවට ගෙදර ගිහින් හිටපු දවසක සුදු පාට කාර් එකක් ඇවිත් මිදුලෙ නතර කලා.
“දෙයියනේ නාලක..”
මම ඉදලත් අතේ තියාගෙන ටික වෙලාවක් ඇත්තටම ඒ නාලකමද කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියා.
“දෝනි වාහනයක් ආවා නේද..?”
අයියා ගේ ඇතුලෙ ඉඳන් එලියට ආවා.
“අයියෙ මම වාසනාගෙ කැම්පස් එකේ යාලුවෙක්”
නාලක මට කලින් කතා කලා.
“අහ්.එන්න මල්ලි ගෙට”
අයියගෙ පිටිපස්සෙන් නාලක ගේ ඇතුලට ගියා.
“දෝනි..ඕක පස්සෙ අතු ගාන්න බැරියැ.දැන් තේ එකක් හදන්න”
අයියා ගේ ඇතුලෙ ඉඳන් කතා කලා.
“අයියෙ මට අයියා එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනෙ.”
නාලක හිස් තේ කෝප්පෙ මේසෙ උඩ තියන ගමන් නැගිට්ටා.
අයියයි නාලකයි මිදුලට වෙලා ගොඩක් වෙලා කතා කර කර හිටියා.
“දෝනී..”
අයියගෙ කටහඬට ගේ ඇතුලෙ හිටපු මම මිදුලට බැස්සා.
“වාසනා මම ගිහින් එන්නම්.”
නාලක මං දිහා බලලා කිව්වා.මම ඔලුව දෙපැත්තට වනලා “හා” කිව්වා.
අයියා නාලක ගිහින් හුඟ වෙලාවක් යනකං මාත් එක්ක කතා කලේ නෑ.මටත් අයියා එක්ක කතා කරන්න මොකක්ද ලොකු බයක් දැනුනා.
“දෝනී.. හැමදාම ඔයාට අයියා එක්කම ඉන්න බෑ.”
මගේ අතේ තිබුන තේ කෝප්පෙ ගන්න ගමන් අයියා කතා කලා.
“අයියා ඇයි එහෙම කියන්නේ??”
මම අයියා ලගින් වාඩි වෙන ගමන් ඇහුවා.
“දෝනි දන්නවනෙ අර දවල් ආපු යාලුවා ආවෙ මොකටද කියලා”
මම අයියා දිහා බලාගෙන හිටියා.
“මම ඒකට කැමතියි.ඒ ලමයා අම්මලා තාත්තලා එක්ක කතා කරගන්නම් කිව්වා.”
“අයියා බඳිනකම් මම බඳින්නෙ නෑ.”
අයියා මගෙ මූණ දිහා බැලුවා.ඊට පස්සෙ බිම බලාගත්තා.
“අයියේ කියන්නකො..අයියා කැමති කෙනෙක් ඉන්නවද?”
අයියා ලොකු හුස්මක් ගත්තා.
“මට අද වෙනකං මේ ඇස් වලට පෙනුණෙ ඔයාව විතරයි දෝනී.. ඔයාගෙන් එහාට කිසිම දෙයක් ගැන මම මේ වෙනකං හිතලා නෑ..මගේ දෝනිව පරිස්සම් කරන එක ඇර වෙන දෙයක් කරගන්න මම අදටත් දන්නෙ නෑ දෝනී..”
මම අයියව බදාගත්තා.මං නිසා අයියා තනි උනා කියලා හැඟීමක් මට දැනුනා.
ඊට අවුරුදු දෙකකට පස්සෙ මායි නාලකයි විවාහ උනා.නාලක මට පුදුම විදිහට ආදරේ කලා.ඒත් මගෙ අයියා…
“වාසනා.. ලෑස්ති වෙන්න ගමනක් යන්න.”
අපි බැන්ද දවසට පහුවෙනිදා උදේම නාලක මං ලගට ඇවිත් කිව්වා.
“කොහෙද අනේ උදේ පාන්දරම??”
මම නාලකගෙන් ඇහුවෙ පුදුම වෙලා.
“ලෑස්ති වෙන්නකො”
නාලක මගෙ පිටට තට්ටුවක් දාලා කාමරෙන් එලියට ගියා.
මම කීප සැරයක්ම ඇහුවත් නාලක කොහෙද යන්නෙ කියලා මට කිව්වෙ නෑ.පැයකට විතර පස්සෙ මට තේරුණා නාලක මාව එක්කන් යන්නෙ අපේ ගෙදරට කියලා.මම නාලකගෙ අතකින් තද කරලා අල්ල ගත්තා.කාර් එක මිදුලෙ නවත්තපු ගමන් මම අයියව හොයාගෙන ගෙට දුවගෙන ගියා.අයියා කාමරේ ඇඳ උඩට වෙලා මොනවද හොය හොයා හිටියා.මම දුවගෙන ගිහින් අයියා ලඟින් වාඩි වෙලා අයියගෙ අත් දෙකෙන් අල්ලගත්තා.
“දෝනී..”
අයියා පුදුම වෙලා.
“අයියා නැතුව දෝනි මූණ එල්ලගෙන ඉන්න නිසා මං එක්කන් ආවා.”
නාලක හිනා වෙවී කිව්වා.
“අයියා මොනවද මේ හොයන්නෙ??”
මම අයියගෙ අතේ තිබුන කවරෙ ගන්න ගමන් ඇහුවා..මම කවරෙ දිග ඇරලා බැලුවා. පුංචි පුංචි ඇඳුම් කෑලි,කිරි බෝතලයක්,කහ පාට වෙච්ච සූප්පු වලින් පොඩි කවරෙ පිරිලා තිබුණා.මගේ ඇස් වලින් කඳුළු නතර කරගන්න බැරි තරම් කඩාගෙන වැටුණා.
ඇත්ත…මගේ අයියට අදටත් එයාගෙ දෝනිගෙන් එහා දෙයක් නෑ..මම අයියගෙ අත් දෙක උඩින් මූණ තියාගෙන හුඟ වෙලාවක් ඇඬුවා.
“අයියා ලෑස්ති වෙන්න අපේ ගෙදර යමු.මෙහෙ තනියම ඉන්න ඕනි නෑ.”
නාලක අතකින් ඇස් දෙක පිහදාන ගමන් එහෙම කියාගෙන කාමරෙන් එලියට ගියා.
උපුටා ගැනීම:   S H A N I K A L U H E N A

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!