ඉස්කෝලෙදි මම ගුරුවරුන්ට මොන තරම් විශ්වාසවන්ත දරුවෙක්ද කියලා පහදලා දෙන්න මේක බොහොම හොඳ කතාවක්.
මම උසස් පෙළ කලේ වානිජ අංශයෙන්. ඒක ගෑනු පිරිමි දෙගොල්ලම හිටපු මිශ්ර පාසලක්. ඉස්කෝලේ ඒ ලෙවල් පන්තිය කියන්නේ ඉතිං ඉස්කෝලේ ගියපු එකෙක්ගේ නම් සුපිරිම කාලේ. කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ අපි හැමෝම බුදු ෆිට් එකේ හිටියා.
අපිට බිස්නස් ස්ටඩීස් සබ්ජෙට් එක උගන්නපු සාමා මිස් මේ සිද්දිය වෙන දවස් වල අපෙත් එක්ක පොඩ්ඩක් ඇරියස්. එයා කියපු විදියට නැතුව අපි, අපිට ඕන විදියට ඉස්කෝලේ “කොමස් ඩේ” එක කලා කියලා. දවස් දෙකක් පන්තියට උගන්නන්න ආවෙත් නෑ.
තුන් වෙනි දවසේ මිස් පන්තියට එනකොට “ආයුබෝවන්” කියන්න එකෙක්, දෙන්නෙක් නැගිට්ටා, අනිත් උන්ට නැගිටින්න වැඩිය උවමනාවකුත් නෑ. වැඩේ වැරදියි.
මම නම් පස්ස පැත්ත හරි චුට්ටක් ඉස්සුවද කොහෙද
මේකට මිස්ට මල පැන්නා. මිස්ගේ භාසාව කොහොමත් උඹ, බං, බොලං, වරෙං, පලයං තමයි. “උඹලට උගන්නන්න ආය මං මේ පන්තියට එන්නේ නෑ” කියලා මල පැනලා යන්න ගියා. මොනවා උනත් අපේ උං කරපු වැඩේ වැරදි තමයි.ඒ මදිවට මිස් යනකොට අපේ උන් ටික සතුටට ගැහුවේ නැතෑ මහ හඬින් අප්පුඩියක්. හරියට නිකන් ඉස්සර “නාමල් උඩුගම සිංදු කියන්න ස්ටේජ් එකට නැංගා වගේ”.
කොල්ලෝ විතරක් නං කමක් නෑ. අර නෑම්බියෝ ටික ඊට එහා. උනුත් මහ හයියෙන් අප්පුඩි ගහපි. මම ඔය දවස් වල පොඩි “හුට්ටප්පරේක” පැටලෙන්න අංචියක් අදින ගමං හිටියේ. ඒකේ මනෝ පාරක හිටපු හිංදා ඔය අප්පුඩි ගහන වැඩේ මට නොදැනුවත්වම මගේ අතිං සිද්ධ උනේ නෑ.
කොහොම හරි පහුවදා උදේ වෙනකොට ආරංචිය ගිහිං අපේ පන්තිභාර සර් ළඟට. එතුමා පහුවදා උදේම පපුවත් ඉස්සරහට දාගෙන දළ ඇතා වගේ ආවේ නැතෑ පන්තියට.
“මොක්කුද ඊයේ සාමා මිස් පන්තියෙන් යනවා කිව්වම අප්පුඩි ගැහුවේ”.
ඔහේලට කියන්න ඒ දවස්වල ඉඳන්ම මට තිබුනා මලාට හොඳ වෙන්නේ නැති “පුපේ අමාරුවක්”. කිව්වට විශ්වාස කරන්ඩ ආයුබෝවන්ට පන්තිභාර සර් වාක්ය ඛන්ඩය කියලා ඉවර වෙන්ඩත් කලිං මම පුටුවෙන් නැගිටලා ඉවරයි. ඒ තරම් කන්ඩායම් හැඟීම.
කොහොමත් එදා මම ඇරෙන්ඩ පන්තියේ අනිත් උන් ඔක්කොම අප්පුඩි ගහපු නිසා උනුත් නැගිටියි කියලා මේ අසරණයා විශ්වාස කලා.
“හරි තව කවුද..” සර් අහනවා.
ප්රනාන්දුවත් නැගිට්ටා..
එල එල; අනිත් උනුත් නැගැටියි.
“තව..?”
ඊට වඩා එකෙක් නැගිට්ටේ නෑ යකෝ. නොගහපු මායි, ගහපු උන්ගෙන් ප්රනාන්දුවයි විතරයි.
“ගිහින් වැඳලා සමාව අරං පන්තියට එක්කං එනවා”.
“ඇයි බුදු සර් මේ ඩෙස් එකක කකුලක් ගලවලා මගේ ඔලුව මැද්දට තුං පාරක් ගැහුවේ නැත්තේ”
“ඇයි මේ කෙල්ලොංගේ ඩෙස්, පුටු අස්සෙං උඩ බලන්නේ නැතුව හත් අට පාරක් මට එහාට මෙහාට යන්ඩ කිව්වේ නැත්තේ”
මම එහෙම කිව්වේ නෑ. හිතිං හිතා ගත්තා. ඒක නම්බුයි නොකරපු වැරැද්දකට වැඳලා සමාව ගන්නවට වඩා.
ඔය කිව්වට ඒ තරම්ම ලොකු ලැජ්ජාවක් කියලා එකකුත් ඒ දවස් වල තිබ්බේ නැති නිසා “පිළිවෙතින් පෙළගැහිලා” මායි ප්රනාන්දුවයි යනවා සමාව ගන්න. එතනත් මම ඉස්සරහිං. අරූ පස්සෙං.
“ගුරු විවේකාගාරේ” ඇතුලේ සාමා මිස් ඉන්නවා, තවත් මිස්ලා දෙන්නෙකුත් එක්ක. මම “එක්ස්කියුස්මී මිස්, මේ අයි කමිං” කියලා ආන්සර් එක ලැබෙන්නත් කලිංම ඇතුලට ගියා.
“අයි” කියන්නේ සිංහලෙන් “මම” උනාට ඕක ඉංග්රීසි භාෂාවෙදී ගණන් ගන්නේ බහු වචනයක් විදිහට හින්දද කොහෙද ප්රනාන්දුවා ආය අලුතෙන් අවසර ගත්තේ නැතුව මගේ අවසරෙන්ම ඌත් ආවා.
“අනිත් මිස්ලා දෙන්නාගේ කටින් හිනාව පනින්න ඔන්න මෙන්න තියෙද්දී විලිලැජ්ජාව පැත්තකින් තියලා “මිස් අපි තමයි ඊයේ අප්පුඩි ගැහුවේ, අපිට සමාවෙන්න” කියලා දන ඔබලා, වැළමිට බිම ගාවලා, ඔලුව පොලවේ ගහලා වැඳලා නැගිට්ටා.
ඊට පස්සේ මිස් මගේ මූණ දිහා බලලා කියනවා “උඹ මෙහෙම වැඩක් කරපු එක මට පුදුමයක් නෑ, තෝ කොහොමත් එහෙම එකා. මෙන්න මූත් එහෙම වැඩක් කරා කිව්වමයි මට පුදුමේ” කියලා.
ප්රනාන්දුවා ඉතාම සංවර, අහිංසක කෝල හිනාවක් දැම්මා. ”නෙදකිං අපතයා..” මම එහෙම හිතිං හිතා ගත්තා. මට මහා අසරණකමක් දැනුනා. “ඇයි මිස් ඔයා එහෙම..” මම හිතුවා.
ඉතිං සහෝදරවරුනි, ඒ තමයි ගුරුවරු අපි කෙරෙහි තබා තිබූ විශ්වාසය”. ඕක සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා මම හදාගත්ත දෙයක්.
පන්තියේ එක එකාට වෙන වෙනම ස්තූති කරන්න බැරි නිසා ඕෆ් පීරියඩ් එකක ගුරු මේසේ ළඟට ගිහින් පොදුවේ හැම එකාවම ආමන්ත්රණය කරලා මම පැනලා තිබුන මල නිදහස් කර ගත්තා.
උපුටා ගැනීම: Sherlock Holms