අවුරුදු 7-8 විතර කාලෙ අපි නෑවෙ පාර අයිනෙ තිබ්බ “පිං” ලිඳකින්. දවසක් හවසක අපි නාන කොට අපේ ගෙවල් පැත්තෙ හිටිය ටීචර් කෙනෙක් එයාගෙ දරුවො හතර දෙනා එක්ක එතනින් ගියා. දුවල තුන් දෙනයි. පුතයි. ලොකු දුව අම්ම එක්ක පයින් ඇවිද්දා. අනිත් තුන් දෙනා ” චොපර්” බයිසිකල් තුනක ගියා.
ඒ තමා ප්රසන්න ගැන මගේ පලවෙනි මතකය.
ප්රසන්න…
ඒ මගේ අතීසාර ගජ මිත්රයො කීපදෙනාගෙන් කෙනෙක්.
අපි දෙන්න පහේ පන්තියෙ දි එකට හිටියෙ.
ප්රසන්න ගෙ අම්ම ගණිත ගුරුවරියක්. අක්කල තුන් දෙනයි. ප්රසන්න බාලය. ගෙදර හැමෝගෙම සුරතලා. ගෙදර අය ආදරේට කිව්වෙ “බබා” කියලා. හය වසරෙදි අපි වෙනත් පාසල් වල ඉගෙන් ගත්ත උනත් ඉඳ හිට හමු වෙලා ක්රිකට් ක්රීඩා, රොබින් හුඩ්, හොරා පොලිස් වගේ සෙල්ලං කලේ හරිම ආසාවෙන්. ප්රසන්නගේ ගේ පිටි පස්සෙ ලොකු ගලක් තියනවා. කාලයක් එතන “ගල් වලක්” දාල තිබ්බා. අපි ඒ ගලේ නගින්න හරි ආසයි. ගලේ ගිහිං අන්නාසි කන්න, බාඳුරා හොයන්න ඕව අපි හරිම ආසාවෙන් කලේ ඒ කාලෙ.
ඕ ලෙවල් වලිං පස්සෙ අපි ගමේ යෞවන සමාජෙ ට බැඳුනා. අපි අතීසාර මිතුරො බවට පත්වෙන්නෙ ඊට පස්සෙ. ක්රිකට්, වොලි බෝල්, ටියුශන් ක්ලාස් යෑම, වල බැසීම, කෙල්ලන්ට ලයින් දැමීම, ආදී එකී මෙකී නොකී දේවල් සියල්ල අපි කලේ එකට. යෞවන සමාජ කෑම්ප් එකකටත් ගිහිං දවස් පහක් නතර වෙලත් හිටියා. ඒ ඩයනා කුමාරි මැරුණ දවස්.
ප්රසන්නගෙ අම්මා ඉතාම කාරුණික තැනැත්තියක්. අපිටත් හරිම ආදරෙයි. අපි එහෙ ගියහම ” චූටි පුතා, මෙන්න ඔයාගෙ යාලුවො ඇවිත්” කියනව අද වගේ මතකයි.
ප්රසන්නගෙ ගේ ගොඩක් ලොකුයි. පරණ වලව්වක් වගේ ටිකක්. ලොකු සාලය වගේම සොල්දරේකුත් තිබ්බා.
ප්රසන්න ට හරි ක්රියේටිව් අදහස් තිබ්බා.
දවසක් එහෙ යනකොට මෑන් ගේ ඇතුලෙ ගුවන් යානයක සැකිල්ලක් හදනවා ලී වලිං. ඔය “බ’නූලී තියරි”, “උඩුකුරු තෙරපුම්” අරව මේව දාල ගණනුත් හදලා ප්ලේන් එක ගුවන් ගතකරන්න ප්ලෑන් එකකුත් ගහගෙන හිටියෙ මෝටර් බයික් එන්ජිමක් තියලා. පස්සෙ ගේ ඇතුලෙ හදපු ප්ලේන් එක එලියට ගන්න “ගේ කඩන්න” වෙන නිසා වැඩේ අතාරින්න උනා.
අපිත් ඒ දවස් වල දත් මැදං හිටියෙ “රයිට් සහෝදරයො” වගේ ගුවන් ගත වෙන්න. පූරුවෙ පිණකට ඒ වැඩේ උනේ නෑ.
ගමේ අපේ සෙට් එකේ අට දෙනෙක් හිටියා ප්රසන්නත් ඇතුලුව.
අපි එක දවසක් ඩිසයිඩ් කලා ගමේ ” කසිප්පු” වලට විරුද්ධව පෝස්ටර් ගහන්න. පෝස්ටර් ඇන්දෙ “කුකුල් සායම්” වලින්. හවස හතට විතර හන්දියෙ ඉඳන් පාර දිගට පෝස්ටර් අලවගෙන ආවා. බයිසිකල් වලින් දෙන්නෙක් දෙපැත්තට ගිහිං පාර චෙක් කරනව කවුරු හරි එනවද බලන්න. අනිත් අය පෝස්ටර් අලවල මොකුත් නොදන්න තාලෙට පාරෙ ඇවිදන් එනවා. “කසිප්පු” මුදලාලිගෙ ගෙට හැරෙන තැනත් එක පෝස්ටරයක් ඇලෙව්වා.
පහුවදා උදේ “කසිප්පු” මුදලාලි ප්රසන්නගෙ තාත්ත හම්බවෙන්න ඇවිත් පෝස්ටරයක් දීල ගිහිං තිබ්බ මෙන්නෙ පුතා ගෙ වැඩ කියල. ඒක සිදුවීම එතනිං එහාට දුර දිග ගියේ නෑ.
පෝස්ටරේ ඇඳල තිබ්බෙ ” කසිප්පු රජවරු පන්නා දමමු”කියලා.
ඒ වෙද්දි ප්රසන්නගෙ ලොකු අක්කල දෙන්න කැම්පස්. පොඩි අක්කත් ඒ ලෙවල්. එයා තමා ඇණයක් වෙලා හිටියෙ අපේ සියලු “ජල්තර” වැඩ වලට.
දවසක් මම හවස ප්රසන්න ලෑ ගෙදර සෙල්ලං කරන්න යද්දි මූ මාව විකුණල මටත් කියන්නෙ නැතුව කොහේද ගිහිං මට මොනව හරි ගන්න යනව කියල.
මාව දැකපු ගමං පොඩි අක්ක අහපි ” ඇයි මල්ලි ඔයත් එක්ක අපේ මල්ලි ආවෙ නැද්ද. ඔයත් එක්ක මොනවද ගන්න තියනව කියල නෙ ගියෙ” කියලා.
මම බොරු ගොඩක් කියල ප්රසන්නව ශේප් කරල ආපහු හන්දියට ඇවිත් මූ එනකං බලං හිටිය සිද්දිය කියන්න.
නැත්නං එදා සුං.
පස්සෙ ප්රසන්නත් මගේ බොරු ටිකම තව ටිකක් “එක්ටෙන්ඩ්” කරල වැඩේ ගොඩ දාගෙන තිබ්බා.
හරි අතුරු කතා ගොඩකට වලිං පස්සෙ දැං ප්රධාන කතාවට.
ඒ ලෙවල් වලිං පස්සෙ ප්රසන්නට “හයි ස්ටඩීස්” වලට ඔස්ට්රේලියා යන්න ඕනෙ උනා.ඒ වෙද්දි එයාගෙ ලොකු අක්කත් මැරි කරල ඔසී වලට මයිග්රේට් කරල තිබ්බෙ.
මදි උන සල්ලි ටිකක් සම්පූර්ණ කරගන්න ප්රසන්නල ට තිබ්බ රබර් ඉඩමක ගස් ටික ගලවල ඒ පැත්තෙ තිබ්බ “ප්ලයි වුඩ්” කම්පැනියකට විකුණන්න ප්ලෑන් කලා
.
රබර් ගස් ගලවන්නෙ බැකෝ එකක් දාල. පැයක් දෙකක් යද්දි අක්කරක රබර් උනත් ගලවල දාන එක සිම්පල්.
ඔන්න එදා දර්ශනය වෙන්නෙ මෙහෙම.
.
අදාල දවසෙ ප්රසන්න උදේම රබර් වත්තට ගිහිං බැකෝ එක එනකං බලං ඉන්නවා. යාලුවො කීප දෙනෙකුත් වැඩේට සපෝට් කරන්න එන්න හිටියත් පරක්කු වෙනවා. යාලුවො එන්න කලිං බැකෝ එක ඇවිත් වැඩේ පටං ගන්නවා. .
විනාඩි දහයකට විතර පස්සෙ එක යාලුවෙක් බයිසිකලෙන් කෑගහගෙන එනවා.
” ඕක නවත්තපං, ඕක නවත්තපං”.
විනාසයි.
බැලින්නං ගලවන්න පටං අරං තියෙන්නෙ එහා ඉඩමෙ ගස් වලිං. ඒ වෙද්දිත් ගස් විස්සක් විතර ගලවල.
හපොයි.
ඊට පස්සෙ එහා වත්තෙ අයිත්කාර කපල් එක එතනට ඇවිත් එක ජංජාලයයි. ඒ අක්ක හරි හැඩ උනත් කට හරිම සැරයි. අපේ එකාට කට උත්තර නෑ.
පස්සෙ ඒ දෙන්න ගිහිං ප්රසන්න ගෙ ගෙදර ට. අම්ම හම්බ වෙලා ෆුල් කේස් එකක් දාල.
ප්රසන්න ගෙ අම්ම:
“අනේ අපේ බබාට වැරදීමක් වෙන්න ඇති, සමාවෙන්න.”
එහා වත්ත අයිති කට සැර අක්ක:
හොඳ බබා, බබා නෙමෙයි, බබා හුකුං”
කතාව ඉවරයි.
පසු සටහන.
ප්රසන්න ගෙ වියදමින් අර රබර් ගස් ටිකත් ප්ලයි වුඩ් කොම්පැනියට ගිහින් දෙන්නම් කියල ඒ ප්රශ්නෙ සමතයකට පත් උනා.
ප්රසන්න ඔස්ට්රේලියා ගිහිං උසස් අධ්යාපනය සම්පූර්ණ කලා. දැං ඔහුගේ පදිංචිය කැනඩාවේ. පරිගණක ඉංජිනේරුවෙක් වගේම එක් දරු පියෙක්. සති දෙකකට වතාවක් විතර කොල් එකක් හුවමාරු කරගන්න අපේ යාලු කම එහෙම්මමයි.
විවාහයෙන් පසු ඕස්ට්රේලියාවෙ පදිංචි වූ ලොකු අක්කා පශු වෛද්යවරියක්. දෙවනි අක්කා මොරටුවෙ විශ්වවිද්යාලයේ උසස් අධ්යාපනය ලැබුවා. දැන් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඇය විවාහයෙන් පසු කෑගල්ලේ පදිංචියි. අපිට නිතරම උදලු දාපු පොඩි අක්කා දැන් නීති වේදිනියක්. විවාහයෙන් පසු හොරණ ප්රදේශයේ පදිංචියි. ප්රසන්නගෙ තාත්තා අපි ඒ ලෙවල් කරපු කාලෙම නැති උනා. ප්රසන්නගෙ ආදරණීය අම්ම විශ්රාම සුවයෙන් ඉඳලා පසුගිය කොරෝනා ලොක් ඩවුන් කාලෙ දි නැති උනා.
අපේ පෝස්ටර් කල්ලිය අද වෙද්දි තම තමංගෙ මාවත් වල සාර්ථකත්වය ලබා ගෙන තියනවා. පාසල් ගුරුතුමෙක්, යුධ හමුදා කපිතාන් වරයෙක්, කළමණාකරුවන්, බැංකු නිලධාරීන් ඒ අතර ඉන්නවා.
ඒ කාලෙ ජීවයෙන් පිරිල තිබ්බ ප්රසන්නගෙ ගෙදර දැන් කවුරුවත් ම පදිංචි නෑ.
හැම සති අන්තයේ ම මම ඒ නිවස ඉදිරියෙන් ටවුම ට යනවා. ඒ නිවස පසු කරද්දි කියාගන්න බැරි මොකක්දෝ හැඟීමකින් හදවත බර වෙනවා. අපි හැමදාම ආදරේ කරන අපිට ආපහු යන්න බැරි ඒ ලස්සන කාලෙ ආපහු සිනමා පටයක් වගේ ඇස් දෙක ඉස්සරහ මැවෙනවා. ඩ්රයිව් කරද්දි පාර බලං යන්න ඕනෙ නිසා බර උන හදවතින් මම ආපහු ඉස්සරහ බලා ගන්නවා.
උපුටා ගැනීම: Harshan Indika Sirimanna