උසස් පෙළ පන්ති වල වැඩිහරියක් තිබූනේම ද්විත්ව කාලපරිච්ඡේදය .
මතකයේ හැටියට එදා අවසන් කාලපරිච්ඡේද තිබුනේ ලොජික්ය.logic මට මුලදී Allergic ය.නමුත් පසුව මගේ අතිජාත මිතුරියන් වන ඉංදි ,දිලානි සහ නයනාට පින්සිදුවන්නට එය magic විය.
එදා ලොජික් සර් නොපැමිණි දිනකි.එවන් විටෙක කාලපරිච්ඡේද 2ම පිස්සු නටන කාලපරිච්ඡේද වන්නේ නිරායාසයෙනි .
අප පාසලේ ගේට්ටුවෙන් පිටත කුඩා ලෑලි කඩ දෙකක් තිබුණි.එය පාසැල් සිසුන් වෙනුවෙන්ම පවත්වාගෙන ගිය එකකි.වයස් බේදයක් නැතිව ළමුන්ගේ ඇති කඩචෝරු පෙරේතකම් වෙනුවෙන් එහි වැඩි ඉඩක් වෙන්ව තිබුණා මතකය.වැඩියෙන්ම තිබුනේ අමු දිවුල් ය.දිවුල් මිරිස් කුඩු හා ලුණු සමගකෑම තරම් මිහිරක් තවත් නැත.දැනුදු එහි වෙනසක් නැත.එකල දෙතොල් තැම්බී රෝස පැහැ වන තුරු දිවුල් කෑවපසුවද අපගේ කුසවල්වල තවත් ඉඩ නම් තිබුණි .අදද එම කුසවල් අපරාදේ කියන්නට බැරිය.කඩචෝරු වලටම ඉඩ හැදෙන්නේ අපූරුවටය.නමුත් මේ කියන කාලයේ පාසැල් ගේට්ටුවෙන් ඇතුලට දිවුල් ගෙන ඒම සපුරා තහනම් ය.ඒ තැන තැන කටු දැමීමෙන් වතුර පිරී මදුරු ජනගහනය ඉහල යන බැවිනි.එදා උපත් පාලනය ගැන කිසිවක් නොදැන සිටි අපි මදුරුවන්ගේ උපත් පාලනය සිදු කලේ එලෙසින්ය.
හිස් පීරියඩ් අහු උනොත් ඕපාදූප කියවිමට කවුරුත් ඉගැන්විය යුතු නැත.ඇස්වහක් කටවහක් නැත ඊට සහජ දක්ෂතා සැමටම පාහෙ අඩුපාඩුවක් නැතුව තිබුනි.
අතිරේක පන්ති ඇති දවස් වලට අම්මලා බත් මුල් එවති.එවන සැනින් වාෂ්ප වෙති.බත් මුලේ හැඩය දකින්නෙද අතට ගත් තත්පරයේදි පමණි .ඉන්පසු දකින්නේ ලන්ච් ශීට් එක පමණි.එදාද අතිරේක පන්ති දවසකි.ඒ නිසා මම තවත් මිතුරියක් සමග ගේට්ටුව ලගට ආවේ අම්මා බත් එක එවා ඇත්දැයි බැලීමටය. මා ආවේ පන්තියේම සිටි නාහෙට නාහන දඩබ්බරිය සමගිනි.ඇය අන්වර්ථ නාමයෙන් කුණ්ඩා නම් විය.කුණ්ඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඩබ්බර චරිතයකි. යකෙකුටවත් බයනම් නැත.එවන් එඩිතරගති දුටුගැමුණු රජුටවත් තිබුනාදැයි මම නොදනිමි(හොද වෙලාවට ඇය මගේ මිතුරු ලිස්ට් එකේ නැත.හිටියානම් හෙට මට බත් කන්නට දත් නැත)
මා ඇය හා දෙවරක්ම ගේට්ටුව ලගට පැමිණ බැලුවෙමි.අම්මාත් නැත.බතුත් නැත. නැවත පන්තියට ගියෙද ඉච්චාබංගත්වයෙනි.
පසුව කට්ටියම කතාවී මුදල් දමා හොරෙන් දිවුල් ගේන්නට උපායක් සැකසීය.මුරකරු වූ කේමරත්න අංකල් ශේප් කරගත හැක.නමුත් ඇතුලට ගෙන ඒම ගැටළුව කි.දිවුල් ගෙන ඒමට තරම් නිර්භීත අය නැත.අහු උනොත් ඉවරය.බැජ්ද නැතිවන වැඩක් ය.
සැනෙකින් මේ භාරදූර කාර්ය් සදහා කුණ්ඩා නිතරගයෙන්ම ඉදිරිපත් විය.කෙනෙකු ඉදිරිපත් වීම ගැන කට්ටිය සතුටු වද්දී මාද එක හිතින්ම සතුටු විය.කරුමයක මහත… ඒත් ඒ සතුට තත්පර අරික්කාලවක් මට විදින්නට නොහැකිවුයේ ඇය සහායිකාව ලෙස තෝරා ගත්තේ අසරණ මාය. යන්නටත් බැරිය.නොගිහිනුත් බැරිය.සෙකන්ඩ් වෙන්නටත් බැරිය.පුරුශ ධෛර්යය හිතින් මවාගෙන මමද ඇය පසුපස ගියෙමි.මේ මම ගේට්ටුව වෙත යන තුන්වන වරය..
එකල අපගේ විදුහලපති තුමියට වඩා අපි නියෝජ්ය විදුහල්පතිනිට බයය.අවාසනාවකට මට ඇයගේ නම අමතකය.අප ආදරයට ඇයව හැදින්වූයේ ඉන්ක්රෙඩිබල් හල්ක් කියානම් හොදට මතකය.(කිසිසේත්ම අපහාසයට නොවේ)
ගේට්ටුවෙ මුර අංකල්ට මුදල් දී ඇනවුම දුන්නේ කුණ්ඩාය.මම පසෙකින් සිටියෙමි.කුණ්ඩා හීනි කොන්ඩ කරල් දෙකත් කරක කරකා කිසිදු බියක් නැතුව පොඩි ගේට්ටුව ලගටම වී සිටියාය.
ඇත්තම කතාව මම ටිකක් විතර බයය.ඒත් එය පෙන්වන්නට අකමැතිය.කෝකටත් කියා මා සිටියේ ඇයට මීටර් කීපයකට පිටුපසිනි.ඒ හදිස්සියක් උනොත් පණ එපා කියා දුවන්නටය.මම බිය වූවාට ඇයටනම් එහි වගක් නොවීය.ඒතරමටම ඇය ඕනෑම මරාලයකට එඩිතරය.
කෙසේහෝ මුර අංකල් සිලි බෑග් දෙකක්ම පිරෙන්නට දිවුල් ගෙනාවේය. එතරම් ගොඩක් හම්බ වේයයි සිතුවේද නැත.සතුටනම් අපමණය.අපි දෙදෙනා හනිකට පන්තිය දෙසට යන්නට හැරුනෙමු.අප සිටියේ දෙවන මහලේ පන්ති කාමරයකය.නගින්නට හැකිවුයේ පඩි දෙක තුනකි.නංගි කෙනෙක් දිවවිත් කීවේ
“අක්කේ වයිස් ප්රින්සිපල් මැඩම් එන්න කියුවා”
දෙලොව රත් විය.හදවත ගැහුනෙ “ලබ්-ඩබ් “ලෙස නොව “දිවුල්ද – මැඩම්ද .. දිවුල්ද – මැඩම්ද ” ලෙසය.නමුත් ඒ මාගේ හදවත පමණි.සක්කරයාටවත් බය නැති කුණ්ඩා මගේ අතට දිවුල් මල්ලදී
“මං ගිහින් බලල එන්නම් ඕක අරං දුවපං” කීවාය.
මමත් ලහි ලහියේ පංතිය දෙසට ගියෙමි.අවසාන පඩියට පඩි කිහිපයක් තිබියදී කුණ්ඩා හතිදමමින් මගේ පසුපසය.මා සිතුවේ වැඩේ ශේප් ඇති කියාය .නමුත් ඇගේ මුවින් පිටවූයේ
“කොටෝ අපි දෙන්නටම දිවුල් බෑග් දෙක අරන් එන්න කියුවා”(ඇය මට කතා කලේ ඒ නමිනි.ඒ මා එතරම්ම උස බැවිනි.)
අහෝ කරුමයක මහත.මහිස මත ගොඩනගමින් තිබූ දිවුල් කෑම නම් වූ මාලිගය එකෙනෙහිම දෙපතුල මතම කඩා වැටුනි.කුමක් කරන්නද ඇය පසුපස මාත් කොරවක්කකු මෙන් ඇදුනා මතකය.
නියෝජ්ය විදුහල්පතිනියගේ මේසය ලග නැවති බලා සිටියෙමු.ඇය නඩුවක් අසයි.ඊලග නඩුවේ විත්තුකරුවන් අප දෙදෙනාය.අපරාදෙ කියන්නට බැරිය එදත් මට ක්ෂනිකව යමක් ගොතා ගැනීමේ හැකියාව අපූරුවට තිබුනි.ඒ හැකියාවට පින්සිදුවන්නට සැනෙකින් බොරුවක් ගොතාගතිමි.
කුණ්ඩාට කට අරින්නට දෙන්නට බැරිය.ඇරියොත් ඉවරය.ගමම කා අවසන් කරන්නීය.මම හෙමින් ලංවී
” මම කතා කරන්නම්.ඔයා ශේප් එකේ ඉන්න.” යි කීමි.
අපගේ වාරය ඇරඹිණි.දිවුල් මලු දෙකම මගේ අතේය.ඇගේ රෞද්ර බැල්ම කෙලින්ම මා වෙතටම පමණි .කුණ්ඩා දෙස බලන්නේම නැත.මැඩමුත් ඇයට බයදෝ කියා ඒ අවු අස්සේ මට සිතුණි.
“මොනවද දැන් තියෙන විෂය”
“ලොජික් මැඩම් .සර් අද නිවාඩු”
“සර් නිවාඩුනම් ඇවිද ඇවිද ඉදලා හරියනවද?ඔය ළමයා දැන් තුන් පාරක් ගේට්ටුව ලග කැරකෙනව මම බලාගෙන.”
“මැඩම් අම්මා බත් එක එවලද බලන්න ආවේ.තාමත් නෑ.බඩගිනී.”
දරුවකුගේ කුසගින්න අබියස කවර තරාතිරමක ගැහැණියකගේ වුවද හදවත දියාරුවන බව මම ඒ වයසේදීද දැන වුන්නෙමි.මගේ තුරුම්පුව සාර්ථක ය.ඇගේ මුහුණේ රළු පෙනුම සැනෙකින් වෙනස් විනි.
“ඇයි ඉන්ටවල් එකට කෑවෙ නැද්ද?”
බොරුවක් වුවද දැන් ඇත්ත වගේ කිව යුතුය.මම මගේ මුහුණේ ඉරියව් වෙනස් කර ගනිමින් ප්රතිභාපූර්ණ රංගනයකට සැරසීමී.කුණ්ඩා දෙස බැලිමි.මේ ප්රශ්න කිරීම් , දෝශාරෝපණයන් ගැන ඇයට නම් වගේ වගක් නැති ගානය.
විදුහල්පතිනියට නොව ඇය මහසෝනාටවත් බය නැත.ඒ ඇගේ හැටිය.කරන්නට දෙයක් නැත. සහාය රංගනයක් නම් ඇගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මටම වැටහුණි.
මෙලොව මම තරම් අහිංසක අසරණ අයෙක් නැති ගානට මගේ මුහුණේ හැගිම් වෙනස් කරගනිමින් මෙසේ මිමිනුවෙමි.
“පරක්කු වෙච්ච නිසා උදේ කෑම කන්න බැරිවුනා .ඒනිසා ඉන්ටවල් එකට කලින් කෑම එක ඉවර උනා.දැන් බඩගිනි “
මගේ රංගනය සාර්ථක බව මගේහිතට දැනුණා පමණි.එකෙනෙහි
“බඩගින්නට දිවුල් බෑග් දෙකක් ??? “
හත්වලාමය .කට උත්තරත් නැත.බෑග්ම දෙකක් බව මතක්වූයේද දැන් ය.කුමක් හෝ කිවයුතුය.
“කඩේ වෙන මුකුත්ම නෑ .දිවුල් විතරයි තිබිල තියෙන්නෙ.”
ඇගේ බැල්ම එසේමය.කිසිම වෙනසක් පෙනෙන්නට නොවීය.
“බඩගින්නට වෙනමොනවා හරි ඔය බෑග් එකේ තිබ්බනම් සමාවක් දෙන්න තිබ්බා.ඒත් ගෙනත් තියෙන්නෙ ගේට්ටුවෙන් ඇතුලට ගේන්න තහනම් කරපු දෙයක්නේ”
මම කට පියාගතිමි.වාසනාවකට කුණ්ඩාගේ කටද වැසී ඇත.පොඩි දඩුවමක් දෙයි.ඔන්න ඔහේ කමක් නෑ.දැන් අන්තිම පීරියඩ් එකනේ.බෙල් එක වදින්නත් වැඩි වෙලාවක් නැතුව ඇතිකියා මම තනියම මගේ හිත හදාගත්තෙමි.
“දෙන්නත් එක්කම දිවුල් බෑග් දෙකත් අරන් ඔෆිස් එක ඉස්සරහ දණගහනවා.”
හිතට මරම සැනසීමක් දැනුනි.
දණගැසීම මටනම් සිම්පල් ය.ඒ 7 වසරේ සිට වොලිබෝල් පැක්ටිස් වලදී මම බට්ටී (කාංචනා )සමග පිට්ටනියේ බොරළු ගොඩේ ඇතිතරම් දණගසා හොද පලපුරුද්දක් ඇත.ඒ නිසා මට එය අසීරු නැත.කුණ්ඩාත් මමත් දණ ගසා සිටියේ දිවුල් බෑගයන් දෙකද ඉදිරිපිට තබාගෙනය.
“ඔහොම බෑ අත්දෙකට දිවුල් ගෙඩිය ගානේ අරගෙන දණගහගෙන ඉන්න”
ලැජ්ජාවේ බැරිය.පල්ලියේ යතිකා කරන ආකාරයට උරහිස තෙක් අත්ල ඔසවා දිවුල් ගෙඩි අතේ තබාගෙන දණ ගසා සිටියෙමු.හීන් දාඩියත් මට මහාපරිමණයෙන් දානවා දැනුනි.නංගිලා එක්කෙනා දෙන්නා ඔබමොබ ඇවිදියි.කට කොනකින් සිනසෙනුද දුටිමි.හතර විලි ලැජ්ජාවේ බැරි අපි අක්කලා නිසාය.
“සල්ලි එකතු කලේ හැමෝටම දිවුල් කන්නයි. ඒත් පනිශ්මන්ට් කන්නෙත් අපි දෙන්න විතරයි.”
කුණ්ඩා බෙරිහන් දෙයි.මැඩම්ට ඇහුණානම් ඔක්කොම කම්මුතුය.නමුත් වාසනාවකට එය ඇසුනේ මට පමණි .
අපේ පන්තිය තිබුණේ ඔෆිස් එක කෙලින්මය.සියල්ලෝ මේ අකරතැබ්බය බලසිට ඇත.එහෙත් අප දෙදෙනා තවමත් දණගසාගෙනය.ගත වූයේ මොහොතකි.මුළු පන්තියම පේලියට විත් අපි දෙදෙනා පිටුපසින් දණ ගැසීය.දැන් අපි දෙදෙනාට හරි ජොලිය.කවුරු කටකොනින් සිනාසුනත් දැන් කමක් නැත.වරද බෙදී ගොස් ඇත.මැඩම්ටද කරගන්නට දෙයක් නැත.ඒත් සල්ලි එකතු කලේ මුළු පන්තියෙන්මයි කියා ඇය දැන්නේ නැත.දැනගත්තානම් මගේ රංගනයේ සායම එතනම සේදී අහවරය.මා එතරම් අවසනාවන්ත නොකර ඝන්ටාරය නාද විය.
“හැමෝගෙම එකමුතුකම අගය කරනවා.නමුත් ආයේ ගේට්ටුවෙන් ඇතුලට දිවුල් ගෙනත් කටු අහු උනොත්
දඩුවම මීට වඩා වැඩි කරනවා”
එකමුතුකම කෙතරම් වටිනවාද යන්න මම එදා අත්දැකීමෙන් උගතිමි.
ඇගේ ඝෝරනාඩුව අතරින් අනෙක් පන්තිවල ළමයින් “යෝ වද තම්පව…”කියවා මට යන්තමට ඇසුණි.
උපුටා ගැනීම: Kanchana Perera Kapuge