ලෝකේ ඉන්න මිනිස්සු අවදියෙන් ඉන්න වෙලාව බැලුවම බකමූනොද කුකුළ්ලුද කියලා වෙන් කරතැහැකි කියලා වතාවක් ලිව්වා මතක ය.
පොඩිත්තං කාලෙනං ඉතින් මංතුමී උපන්ගෙයිම බකමූණියක්ලුය.රෑ තිස්සෙ එක එක අරුමෝසම් කතා පොත්වල ඇහැත් හිතත් අලවාගෙන ඉඳලා හීන අස්සෙත් ඔය කියාපු අරුමෝසම් කතාවලම එක එක හැඩතලවල දැවටි දැවටි ඉන්න පොඩිත්තියෙකුට මහ පාන්දර ඇහැරනා එකතරම් එපා කරවනා වැඩක් තවත් නැතිම ය.
ඒත් ලෝකේ හුඟක් කරුණු කාරනා සිද්ධ වෙන්නේ කුකුළු හාමිලාගේ කාලසටහනට මිස බකමූණන්ගේ කාලසටහනට අනුගත වෙලා හෙම නෙවේ ය.ඉතින් දහසක් බුදුන් බුදු වෙනවාය කියන උදැහැනැක්කේ හැමදාමත් පොඩිති මංතුමීත් පියාණන්දෑ ත් පොරේ ය.එහෙන් නැගිටින්න නැගිටින්න යයි උස් හඬින් මොර දෙන පියාණන්දෑ ය.මෙහෙන් තව විනාඩි දෙකතුනක් හරි ඇහැ පියාගන්නා දැඩි අදිටනෙන් පොරෝනය අස්සේම ගුලි වෙන මංතුමී ය.එතැන් හිට මාර පරාජයට කරට කර අභියෝග කළ හැකි දූපිය හටන් ය.අඩි පොළවේ හැප්පිලි ය.බෑ මයි ආපස්සට ඇදිලි ය.තරවටු ය.හීතල උදේ මැද රස්නෙ කඳුළු කැට ය, උණු වෙන ලොකු හිත් ය. යාප්පු වීම් ය.පොඩිති මංතුමීව ලකලැහැස්ති කරගෙන පියාණන්දෑ පාසල් ගෙනගියේ ඒ සන්දියේ එහෙම ය.
ලොකු වෙද්දී කියාත් බකමූණු සන්නියේ මහා වෙනසක් වෙන්නේ නෑලු ය.ඒලෙවල් කාලේ මහ පාන්දර පන්ති කරන්නට ශ්රීනාත් සර් හිත හදාගන්නා හැටි මංතුමීට හිතාගන්නම අමාරු ය. පියාණන්දෑ නං නැගිටගන්නේ මාතර පන්ති කරන්න සර් කොළඹින් පිටත් වෙන්න නැගිටින වෙලාවටත් කලින්ද කොහේදෝ ය.සුපුරුදු දෙපැත්තට ඇදිල්ලේ කෙරුවාව අහවර නිදි ගැට කඩමින් පියාණන්දෑගේ පුටුපුටුවේ පිටිපස්සේ සීතලේ වෙවුලවෙවුලා ඇවිදින් පහමාරේ පන්තියේ නිදි කිරන්නේ මම ය.පන්තිය අහවර වී බලද්දී කකුල් දෙකේ පාට දෙකක බාටා ය.
කැම්පස් ගියාය කියාත් බකමූණීට මා අතාරින්නට හිතක් පහළ වෙන්නෙම නෑ ය.අනිත් උන්දැලා ඔක්කොම ඇහැරෙන තුරුත් මං ඇඳ බදාගෙනම ය.මාත් රූමිත් අනිත් උන්දැලාට කලියෙන් ඇහැරුනේ එකම එක දවසක විතර ය.ඒ අන්තිම විභාගයේ අන්තිම දවසත් ඉවර වුනාට පස්සෙන් පහුවදා ය.එදාත් මට කලින් ඇහැරියේ රූමී ය.
කැම්පස් ජීවිතේ අහවර වී එළබෙන්නේ නින්දක් කෑමක් තියා හුස්මක් ගන්නටවත් ඉසිඹුවක් නැති සීමාවාසිකේ ය.බකමූණිට පල නොකියා පලා බෙදෙන්නේ ඔය කාලේ ය.දවසකට නිදි නැතුවමත් දවසක පුටු උඩ ඇඳන් උඩ පැයේ දෙකේ කුකුළ් නිදිවලිනුත් රැය ගෙවෙද්දී මංතුමී එක්කලා බකමූණි අඩව් නොඇල්ලුවාම නොවේය.ඒත් බකමූණු ප්රේමය එක්කලා සීමාවාසිකේ ජීවිතේ ගෙනියන්න කොහෙත්ම උගහට ය.ඉතින් බකමූණී චුරුචුරුගාමින් ඉතාමත් කලාතුරකින් ලැබෙන නිවාඩු දවසක විතරක්ම තටු ගසමින් දුකෙන් හිටියේ ඒ කාලේ ය.
සීමාවාසිකේ අහවර වුන තැන ඔය දුක් අහවර වේ යැයි හිතා උන්නේ බකමූණි විතරක්ම නොවේ ය.ඒත් ඒ හීනයක් විතරම ය.කරවනැල්ලට ලැබුන පළවෙනි පත්වීමත් එක්කලා ආයෙමත් දවස ගානේ මහ පාන්දර හීතලේ පියාණන්දෑත් මංතුමීත් මහරගම බස් නැවතුමේය.
කරකාර බැඳිල්ලෙන් පස්සෙන් පහු බට්ටිත්තියෙක් එක්කහු වෙන ජීවිතේ බකමූණියට සිද්ධ වෙන්නේ අවතැන් වූ ජීවිතයක් ගත කරන්නට ම ය.ඉතින් බකමූණියෙක් වී ඉපිද කුකුල් ගති ඉගෙනගන්නට වුන අසරණ මගේ කතාව එහෙම ය.
බට්ටි කැටේ දැන් ඉස්කෝලේ යන වයසේ ය.සියලු බකමූණු ජානයන් අම්මාගෙන් දායද කොටගෙන ඇත්තී ය.රෑ දෙගොඩහරි ජාමයේ නිදි කිරා වැටෙන අම්මාත් අප්පොච්චිත් වටා ගී ගයමින් නටන්නී ය.සෙල්ලමට එන්නැයි ආදරෙන් අඬ ගසන්නී ය.
ඉතින් උදේ නැගිටින්නට බටිත්තීට ඇති අමාරුව අම්මාට හොඳටම තේරෙනවා ය.ඒත් එහෙමය කියා ඉස්කෝලේ නොයවන්නට පුළුවන් කමක් අම්මාට නැති ය.අම්මාගේ අප්පොච්චිගේ රස්සා එක්ක ගලපා හිත් නොදුන්නත් බටිත්තීව උදේ ඇහැරවන්නට වෙනවා ය.
ඉතින් සුපුරුදු කුරු කුරු ය.යාප්පු ය.තරවටු ය.ඉඳහිට කම්මුලක කඳුළු ය.අම්මාටද හිතට අමාරු ය.
කටින් නොකිව්වාට අවුරුදු ගාණකට කලියෙන් පියාණන්දෑටත් ඒ මිම්මෙන්ම හිත් අමාරු දැනෙන්නට ඇති ය.
උදේ ඇහැ අරින්නට වෙන බකමූණු කුලේ ඇත්තන් ඔක්කොමල්ලා පවු ය.
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera