බණ්ඩාර ඇතුළු පිරිස ඉතින් දැන් හොඳට උයන්න දන්නවා. උයන්න එළවලු ගන්නෙ ඒ කිට්ටුවම තියන කැලෑ පොලෙන්. හැබැයි මස් මාලු ගන්නෙ පිට කොටුවෙන්. කට්ටියත් එක්ක හවස වැඩ ඉවර වෙලා තමයි පිටකොටුවට යන්නෙ.
ඔන්න ඉතින් එක දවසක් කට්ටිය වැඩ ඉවරවෙලා කතා උණා රෑට මොනවද උයන්නෙ කියලා. “මචං අද අපි කරවල කමු” කියලා එක යාළුවෙක් යෝජනා කලා. ඒ එක්කම බණ්ඩාර “හැබැයි මචං බල කරවල නම් එපා. මට ඇලජි වෙනවා” කියලා බෙහොම බැරෑරුම් ස්වරූපෙන් කිව්වා.
“හරි හරි උඹට බල කරවලනේ හොඳ නැත්තෙ තව කරවල ජාති ඕන තරම් තියනවා”
“අපි එනෙම් තලපත් ගමු” යාළුවෝ බණ්ඩාරගෙ හිත සනසවනවා.
දැන් ඉතිං කතාවෙන් කතාව කට්ටිය කරවල කඩේ ගාව. දැන් එතනදි යාළුවෙක් පෙරමුණ ගත්තා. කරවල කඩේ තිබුණු බල කරවල දිහාට ඇඟිල්ල දික් කරල මුදලාලිට ඇහැක් එහෙම ගහලා
“මුදලාලි මේ තලපත් කරවල කීයද ?” ඇහුවා.
බල කරවල දිහාට ඇඟිල්ල දික් කරන් තලපත් කීයද අහන ගොන් නාම්බෙක් කියලා හිතපු මුදලාලි “මහත්තයෝ ඔය තලපත් නෙ…” කියන කොටම ඉස්සරහම හිටපු යාළුවා තමන්ගෙ කටට ඇඟිල්ල තියලා කෑ ගහන්න එපා කියන සංඥාව මුදලාලිට දුන්නා.
මුදලාලිට වැඩේ මීටර් සද්ද නැතුව බල කරවල 250ක් කිරල දුන්නා.
මේ වෙලාවෙ බණ්ඩාර වේලපු ඉස්සො දිහා බලන් හිටපු නිසා මේ කතා බහ ගැන වැඩිය ගානක් නැහැ.
දැන් කට්ටිය චමරියට ඇවිත් උයනවා. බණ්ඩාරත් මේ තලපත් කියල හිතාගෙන කරවල හදන්න හෙන භක්තියෙන් උදව් කරනවා. කොහොම හරි උයල ඉවර වෙලා කට්ටියම කෑවා. බණ්ඩාරත් ඇති වෙන්න කරවල කෑවා. ඉතින් තලපත්නෙ බල නෙවෙයිනෙ.
දැන් හැබැයි අර යාළුවෝ ටිකට වැඩේ අප්සෙට්. ‘මේකා රෑට අසනීප වෙයිද ?පලු දායිද ? මැරෙයිද? ‘ වගේ ප්රශ්න කට්ටියට තිබුණා.
දැන් බණ්ඩාර නිදි අනිත් උන් ඇහැරලා සැරින් සැරේ බණ්ඩාර නිදා ගෙන ඉන්න ඇඳ ගාවට ගිහින් බලනවා. පලු දාලද . රතු වෙලාද. හුස්ම ගන්නවද කියලා. වෙන්නෙ මොනවද කියලා වගේ වගක් නැතුව බණ්ඩාර නිදි.
පහුවෙනිදට එළි වෙනකොට නිදිමත කොච්චරද කියනවනම් වැඩට යන්නත් බෑ වගේ ඇඳේම ඉන්නවා කට්ටියම . එ අතරේ අර බල මාලු ඇලජි වෙනවා කියලා වැලපුණු බණ්ඩාර බොහෝම සාමකාමීව නැගිටලා සාමාන්ය පරිදි වැඩ. එක්කො බණ්ඩාරයට ඕන කුණක් දිරවනවා. නැත්නම් මුන් එකෙක්වත් බල කරවල අඳුනන් නැහැ. මොකද හිතන්නෙ ?
උපුටා ගැනීම: Nirantha Vissundara