ඉස්සර බාලිකා පාසල්වල ළමයි අපට වැඩිය කතා කරන්නෙ නෑ. ඒකට දැන්! බාලකයන්ගේ පාසල් උත්සව වල නටන්න එන්නෙත් බාලිකාවෝ. බාලිකාවන්ගේ පාසල් උත්සව වලට සංගීතය සපයන්නෙත් බාලකයෝ. ඒවා අස්සෙ හොඳ නරක සම්බන්ධකම් හදාගන්න ඉඩකඩ ඕන තරම් තියෙනවා.
කට්ටිය යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙත් එකට. ඒක නරක නෑ. ඒ වයසෙදි හැමවිදිහෙම යාළුවො ආශ්රය කරන්න ඕන. මිනිස්සු/ගෑණු ගැන ඉගෙනගන්න ඕන. ඒත් දැන් ඉන්න කොල්ලන්ට තරම් අපට කෙල්ලො බලන්න ලේසි ක්රම තිබුනෙ නෑ. දුකින් ලියන වග නම්,
ගෑණු ළමයි අපිව ගණන් ගත්තෙත් නෑ. ගෑණු ගියෙ ලිටරලිම උඩින්. ගොඩාක් ආඩම්බර ලලනාවියන්ගෙන් “නළලෙද?” කියලා නසරානි කොල්ලො අහන්න ගත්තෙත් ඒ කාලේ මට මතක විදිහට. මං හිතන්නෙ ගැහැණු සියයට 52ටම ඉන්නෙ පිරිමි සියට 48යි කියලා ඒ දවස්වල ගෑණු ළමයි දැනං හිටියෙ නෑ. ඒ නිසා බාලිකා ඉස්කෝලයක් ළඟින්වත් යන්න අවසර නෑ. අපි දිහා බැලුවෙම වපර ඇහින්. අපි කියලත් ඒ තරම් සාධාරණ කොටාලා නොවුණු නිසා අපි ඒ වපර ඇස් කෙලින් කරන්න ගියෙත් නෑ. හොර වයසනේ.
කොළඹ තදාසන්නේ බාලිකා පාසල්වල “ෆෙයා” කියලා ජාතියක් තිබුනා. ඒක හරියට පොළක් වගේ එකක්. එකේක දේවල් මේස උඩ තියාගෙන එකේක විදිහේ ගෑණු පිරිමි කට්ටිය ආඩම්බරෙන් බලන් ඉන්නවා. බලන්න එන අය ඊටත් වඩා ආඩම්බරෙන් ඒවා දිහා බල බල යනවා. ගණුදෙනුවක් වෙන්නෙ නම් හරිම අඩුවෙන්. විසාකා විද්යාලයේ ෆෙයා එක තිබුනෙ අප්රේල් මාසේ. මියුසියස් විද්යාලයේ එක ඊටපස්සේ. ඔය කැලැන්ඩරේම අපට කට පාඩම්. ඇයි දන්නවද? හොරෙන්ම පැන්නොත් හැර, බාලිකා පාසලක් ඇතුළට නීත්යානුකූලව පැනගන්න ලැබෙන එක අවස්ථාවක් තමයි “ඇනුවල් ෆෙයා එක”.
රුපියල් තිහේ ටිකට් අරගෙන ඕවට රිංගනවා. රිංගලා කෙල්ලන්ට ට්රයි කරනවද? මොන? ගැන්සියම කොහෙටහරි වෙලා වාඩියක් දාගෙන බලන් ඉන්නවා. හරියට මානසික රෝගියෝ වගේ. දැන් එහෙම හිටියනම් අනිවාර්යෙන් මානසික රෝගියෝ කියලා අල්ලගෙන යනවා. ඔහොම ඉඳගෙන ඉඳලා පස්ස රිදීගෙන එනකොට DJ ළඟට ගිහින් පොඩ්ඩක් නටලා එනවා. ආ DJලා කිව්වහම මතක් වුනේ… ඒ දවස්වල ඒගොල්ලෝ පාටි ක්ෂේත්රය ආක්රමණය කරලා තිබුනේ.
විල් ස්මිත්, ෆිෆ්ටි සෙන්ට්, එමිනෙම්, අෂර්, ජේ සී, ලින්කින් පාක් පීක් එකටම ජනප්රිය කාලේ. ලංකාවෙන් ගත්තහම ඉරාජ්, භාතිය සන්තුෂ් (ඒ දවස්වල “BnS” කිව්වහම උඩ බිම බලනවා), රනිඳු, අශාන්ති, ක්රිෂාන්, ඩොගීනේෂන්, සික්ස්ත් ලේන්, ටීෂා, ෂිරාස්ලගේ සින්දු තමයි වැඩිපුර ඇහෙන්නේ. ඒවාට දාන නැටුම් එහෙමත් ඔක්කොම නිව්යෝක් වල ස්ට්රීට්ස් වලින් උස්සපු කෑලි බෑලි.
“නින්ද නොයන හැන්දෑවේ” එහෙම ඇහෙනකොට කෙල්ලො “ඌ……” ගාගෙන ඒ පැත්තට දුවනවා. ඉතින් අපිත් දුවනවා. එක්කෝ “නේත්තරා” සින්දුවේ “යෝල් රිමෙම්බර් ද නේම්?” කියල රන්ධීර් අහනකොට “යේ…” ගාගෙන දුවනවා. එක්කෝ සංගීත් විජේසූරියගෙ “රන් රන් රන්” සින්දුවට දුවලා ගිහින් විසාකා විද්යාලයේ තාර බිම උඩ මූණ අතුල්ල අතුල්ල වැඩ පෙන්නනවා. ඒක තමයි ඉතින් අපට තිබුණු එකම විනෝදේ.
ඒ දවස්වල කෙල්ලො ඇඳුම් ඇන්දේ ටිකක් වෙනස් විදිහට. එතකොට 70 දශකයේ කොට ගවුම් යුගය ඉවර වෙලා. ආසාවට කොට ගවුමක් හොයාගන්න නෑ. බැලු බැලු අත ජීන්ස්, දිග ටී ෂර්ට්, සල්වාර්, දිග සායවල්, ත්රී ක්වාටර්ස්, දිග ගවුම්… කොණ්ඩ එහෙම ස්ට්රේට් වෙන්න, පාට වෙන්න පටන්ගත්තු කාලේ. ඒ නිසා ගෙවල් වල උළු ගලවලා ආවා වගේ අයගේ ස්ට්රේට් තඹ පාට කොණ්ඩත් කැපිලා පෙනුනා. “උළු බාලද?” ඇහුවහම රවලා අහක බලන කෙල්ලො ඕනතරම්.
කෙල්ලො විතරක්ද? කොල්ලොත් ඉස්සරහින් චූටි කෙස් රොදක් තඹ කරලා, කරාබුවක් එහෙම දාලා හිටියා. “උඹ ගේ ද?” කියලා අහන එකෙක් ඒ දවස්වල හිටියේ හරි කලාතුරකින්. බාච්චුව වගේ කලිසමයි, එල්ලෙන ෂර්ට් එකයි ඇන්දහම “අයිම් ද කිංග්!” වගේ ගතියක් දැනුනා. දැන් වගේ ඇඟ හදපු කොල්ලො නම් හිටියෙ නෑ ඉතින්. ඔක්කොම වගේ ගජමෑන්ලා සමඟ සමයංලා.
කොණ්ඩවල ගාන්න වැක්ස් කියලා එකක් තිබුනෙ නෑ. වතුරයි ජෙලුයි නාලා නළලෙන් වැක්කෙරෙද්දී ගොඩක් ආඩම්බරෙන් ස්වැග් වෝක් එකේ චක් නොතාරිස්ගෙ බැල්ම දාගෙන කෙල්ලෝ දිහා බලන් ඉන්නවා. බ්රිටිෂ් පන්ක් ස්ටයිල්ස් ඒ දවස්වල හරි ජනප්රියයි. වැරදිලා හරි එහෙම කොණ්ඩෙකට අත තිබ්බොත් කොණ්ඩේ ඇනිලා “හූයි” ගෑවෙන ගානට ස්පයික්ස් කෙලින් තිබුනා.
කොල්ලන්ගේ අත්වල ලොකු ස්වෙට් බෑන්ඩ්ස් තිබුනා. රිදී පාට එල්ලෙන ඔරලෝසු තිබුනා. සුදු සපත්තු ජනප්රිය වෙලා තිබුනා. ෆෝන් එකක් තිබුණේ කිහිපදෙනාටයි. ඒ නිසා කවුරුත් ඒක ඔබ ඔබ ඉන්නවට වඩා උනන්දු වුනේ ඇත්තටම ඔබ මොබ දුවන්න. ඇස් කරකවන්න. වැරදිලා හරි අහක යන කුලවමියක් දිහා බලලා මාට්ටු වුනොත් එතනින් පටන්ගන්නෙ අවුරුදු ගානක් දුවන වලියක්. දැන් වගේ සාමකාමීව කණ්ඩායම් හැඟීමෙන් එකක් රන් කරන ක්රමේ ඒ කාලේ කොල්ලො දැනං හිටියෙ නෑ.
ඉතින් ඒ වගේ මෝඩ වලිවල පැටලෙන එක එතන ඉන්න කොල්ලන්ට ගෙදර වගේ වෙනවා. මේක ඊට ළඟ මතකයක්. එක අවුරුද්දක මියුසියස් විද්යාලයේ ෆෙයා එකට යන්න කලින් අපි ඒ ගේට්ටුව ළඟ රැස්වෙලා කයිය ගගහා ඉන්නවා. එතන හිටපු නාඹර කොලු ගැටව් ගාන 100කට වැඩියි. ඔතන පාර අයිනේ ඉන්නවා ජීන්ස් ඇඳපු, අත් කොට බ්ලවුස් ඇඳපු, කොණ්ඩ තඹ කරගත්තු ප්ලස් සයිස් ගෑණු ළමයි දෙන්නෙක්. ඒ දවස්වල ඉතින් කොල්ලො හරිම ගතානුගතිකයි. ප්ලස් සයිස් හරි කර්වි හරි කියලා එකක් තිබුනේ නෑ, කිලෝ 65න් 70න් උඩ නම් ඉතින් බතලි, ජොලී, තබ්බතේරුව තමයි. අත් කොටට ඇන්දනම්, ඇඟ පෙනුනා නම් ඉතින් බඩුව තමයි. ඒක නිසා තමයි උන්ට ගතානුගතිකයි කියන්නේ. සිඟිති පාතාලේ කියන්නේ.
දැන් මේ රැස්වෙලා ඉන්න මහා කොලු ජනකායගේ වාචික හිරිහැරයට මේ ගෑණු ළමයි දෙන්නා පත්වුනා. “ගාන කීයද?” වගේ සුපුරුදු බාලාංශ වාචික හිරිහැර එල්ලවෙද්දී මේ ළමයි දෙන්නා කොල්ලන්ට රවමින් ජංගම දුරකථන අතට ගත්තා. කෝල් එකකුත් අරගෙන ඉංගිරිසියෙන් මොනවදෝ දොඩවලා ඒකත් හෑන්ඩ් බෑග් එකට ඔබාගත්තා. ටික වෙලාවක් ගියා.
ඉස්සර තිබුණු ජනප්රියම රේසින් කාරෙකක් තමයි සුබාරු එක. සද්දෙ දාගෙන ඕකක් එනකොට ඉතින් බෙලි ජිරාෆ් වෙනවා. මෙන්න එකක් එනවා. කොල්ලො ටික උනන්දුවෙන් කාරෙක දිහා බැලුවා. කාරෙක කෙලින්ම ඇවිත් ළමයි දෙන්නා ළඟ නතර වුනා. ගෑණු ළමයි දෙන්නා ජනේලෙට එබිලා මොනවදෝ කිව්වා.
කාරෙක ඇතුළේ හිටියේ තරුණයො දෙන්නෙක්. එක්කෙනෙක් කාරෙකෙන් එළියට අත දාලා, අර වාචික හිරිහැර කරපු සෙට් එකේ කොල්ලෙකුට කතා කළා. “හරි කමක් නෑ උඹ පලයංකො. සද්දෙ දැම්මොත් ගහමු” වගේ සටන් වදන් ඒ සෙට් එකේ කොල්ලන්ගෙ කටවල් වලින් ඇහුනා.
අර කොල්ලා කාරෙක ළඟට ගියා. අතපය වන වන ස්වැග් එකේ ගිහින් ජනේලෙට අත් දෙකත් තියලා හරිබරි ගැහුනා. දැන් අර චණ්ඩි සෙට් එක ඈත ඉඳන් එකේක සද්ද දානවා. විසිල් ගහනවා. ගෑණු ළමයි දෙන්නට තව තව කතා කියනවා. කාරෙක ළඟට ගියපු කොලුවා එක පාරටම ගැස්සිලා අතකුත් උඩට උස්සගෙන ඉක්මණින් අර කෑගහන කොල්ලො ටික ළඟට ආවා. මමත් හිටියේ ළඟපාත.
“ඒ අඩෝ කෑගහන්න එපා. තුවක්කුවක් බං. මාව මරයි බං. පිස්ටල් එකක් බං. මට ළඟට අරන් පෙන්නුවා බං. අනේ කෑගහන්න එපා බං.”
මූ කියාගෙන කියාගෙන ගියේ වෙව්ලන ගමන්. කාරෙක රෝදත් සද්ද කරගෙන හරවගෙන යද්දී රැස්ව සිටි ඒ මහා ජනකාය මීක් නොමැතිව උඩ යට දෙපස බල බලා හිටියා ඉතින්. ඒකනෙ කියන්නේ. කෙල්ලො දිහා වුනත් බලන්න විදිහක් තියෙනවනේ මල්ලි…
උපුටා ගැනීම: අසංක හදිරම්පෑල.