අපේ ගෙදර මොනවහරි දේකට අකමැතිනම් ඔය අනික් අයියලා වගේ දඩෝරියං ගාල කියන්නෙ නැතුව කියන අමුතු ටෙක්නික් එකක් තියෙනවා. දවසක් කනගමන් මවින්ද කියනවා ” මම හිතන්නෙ අපි ගන්නෙ ප්රොසෙස්ඩ් චිකන් හින්ද වෙන්න ඇති මේක රස නෑ වගේ හිතෙන්නෙ නේද බබා” කියලා. මටත් දුක නෑ රස නැත්තෙ මගෙ නෙවෙයි චිකන් එකේ වරදින්නෙ කියලා.
මාත් පබිලිස් සිල්වගෙ අල්ලපු ගෙදර අක්කගෙ අඳුරන දුව වගේ කිව්වා “ඔව් ඇත්තමයි ගේන්නකො තනි කුකුලෙක්, ඔයා කපල දෙන්න මම උයන්නම්” කියලා. මොකද මට කපන්න බැරි නිසා එයා කපල තියෙන ඒවමයි ගේන්නෙ.
එයා ඒ වෙලාවෙ ශාරුක්ගෙ ෆෑන් කෙනෙක්ගෙ යාලුවෙක් වගේ ඩිම්පල් එක පේන්න ලොකුවට හිනාවෙලා කිව්වා ” ඔයා දන්නවද බබා අපේ අම්මටවත් හැරෙන්න බෑ අක්කගෙ කෑම එක්ක, මම හිතන්නෙ අක්ක චිකන් රහට උයනවා. මතකද අපි ලංකාවට ගිය වෙලේ උයලා තිබ්බා. හැබැයි ඉතින් ඔයාටත් ඒ තුනපහ තිබ්බොත් ඒ රස ගන්න පුලුවන් වෙයි” කියලා.
මාත් ඉතින් සාන්ත වගේ හිනාවෙලා කිව්වා “ඒක නම් ඇත්ත එයාගෙ කෑම මාර රසයි” කියලා.
“එහෙනම් ඉතින් අක්කට කතා කරන වෙලාවක උයන හැටි අහගන්නකො. මම හිතන්නෙම තුනපහ ප්රශ්නෙත් ඇති කියලා, කමක් නෑ අහගන්නකො මම උයල දෙන්නම් මේ සතියෙ” කියලා ලස්සනට බැලන්ස් කරා. අන්න ඒව තමයි බැලන්ස් කිරිලි. එයාට කෑම රහ නෑ කියල දැනුන කියලවත් අක්කගෙ කෑම රසයි කියන එකවත් මට ගානක් නෑ.
මම ඉතින් අක්කට කෝල් කරපු වෙලාවක රෙසිපි එක අහගත්තා. සතියේ දවස් පහම වැඩ කරන කෙනාට කියලා සෙනසුරාද උයාගන්න එක හොඳ නෑනෙ කියලා මම අක්කගෙ රෙසිපි එකට ඉව්වා. රෙසිපි එක මාරු උනාට නිල්මිණී මාරු උනේ නෑ. ඉතින් චිකන් එක එමමයි. රස එලෙසමයි. ඒත් එයා කබරගොයා තලගුලි කනව වගේ කෑව. අක්ක දවසක් චිකන් ඉව්වද අහද්දි මම කිව්වා ඒක රස නෑ තුනපහ හොඳ නෑ කියලා. අනේ ඉතින් අක්ක ඊලඟ සතියෙම තුනපහ එව්වා පෝස්ට් කරලා. ඊට පස්සෙ ගෙදරට චිකන් ගේන එක කාලෙකට නැවත්තුවා මොකද මාව මාරු කරන්න බෑනෙ රසට කන්න කියලා.
ඔහොම ඉන්න අතරේ දවසක් යාලු සුදු ලලනාවකට ඕනෙ උනා නත්තලට මවින්දට තෑග්ගක් දෙන්න. මට ඒක කියන්නෙ නැතුව එයා ඇහුවා මවින්ද කැමති පර්ෆියුම් එක මොකක්ද කියලා. මමත් ඉතින් එයා කැමති ඒවා කිව්වා. මම දන්නෙ නෑනෙ මොකටද කියලා. මම නත්තලට අරන් දුන්න තෑග්ගෙ පර්ෆියුම් එකක් තිබ්බා, ඒ වගේම යාලුවා ගෙනාවෙත් පර්ෆියුම් එකක් හොඳටම ගාන වැඩි.
මෙයත් යාලුවගෙ පර්ෆියුම් එක අතේ තියාගෙන මගෙ එක අරගෙන පොඩ්ඩක් ගහලත් බලලා “මම හරි ආසයි මේකට නෝමල් සුවඳක්නෙ තියෙන්නෙ. හරි ප්රොෆෙශනල් මේක. ඔෆීස් යද්දි වටින්නෙ මේක. අනික කෙල්ලො පස්සෙන් එයි කියල අවදානමකුත් නෑනෙ නේ” කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවෙත් මට යාලුවා හොඳ එකක් දුන්න මගෙ එක වටින්නෙ නෑනෙ කියල හිතුනෙ නෑ. ඒත් යාලුවා දීපු එකත් ඉවර උනා ඔෆීස් යද්දිම පාවිච්චි කරලා එහෙමයි එයා බැලන්ස් කරන්නෙ.
උපුටා ගැනීම: නිල්මිණී සමන්තිලක