බාලිකාවේ.. නේවාසිකාගාරය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගමේ කණිෂ්ඨ පාසැලේ පහ වසර වෙනකම් ඉගෙන ගත්ත මම හය වසරට ඇතුළත් වුණේ මහා විද්යාලය ටයි. හරියටම කිව්වොත් උනේ ඒ අවුරුද්දේ ඉඳන් බාලාංශ පන්තිය නැත්නම් හෝඩියේ පන්තිය නැති කරලා වසර ක්රමය පටන් ගත්ත නිසා අපි හය වසරට මහා විද්යාලයට ඇතුළු කරපු එකයි. මේ කාලවලදී අතරින් පතර මතක් වෙන කතා ගොඩක් තිබුණත් අද මම ලියන්න යන්නේ හය වසර ශිෂ්යත්ව විභාගය සමත් වෙලා මම ඇතුළු වුණු බාලිකා විද්යාලයේ නේවාසිකාගාරය ගැනයි. ඒකාලේ හැටියට හොඳ ලකුණු ලබා ගත්ත නිසා ප්රසිද්ධ බාලිකා පාසැල් තුනක් ගැන බලාපොරොත්තු තියන් හිටියත් රටේ පැවතුණ දේශපාලනික ගැටුම් සහ භීෂණ තත්වය නිසා බාලිකා පාසලක නැවතී අධ්යාපන කටයුතු කරගෙන යාම සුදුසු යැයි මගේ පියා තීරණය කළා. මම ඉස්සරලාම ඒ පාසලට ගියේ ඇතුළත් වීමේ විභාගය ලියන්න. මම ශිෂ්යත්ව විභාගය හොඳින් සමත් වෙලා තිබුණත් ඒ පාසලේ නීතිය අනුව ඇතුළත් වීමේ විභාගයට පෙනී සිටීම අනිවාර්ය වූ නිසා මමත් ගියා.පාසැල පිහිටා තිබුණේ මුහුද අද්දරමයි. පාසැලේ පිටුපස තාප්පය වෙන් වුණේ වෙරළ තීරය යාබදවමයි. මිෂනාරි සම්භවයක් තිබ්බ මේ විද්යාලයේ ප්රධාන ගේට්ටුව ඉදිරිපිටම තිබුණ ප්රධාන ශාලාවේ තමයි විභාගය පැවැත්වුණේ. ඉතා විශාල සහ උස් බිත්ති වලින් සමන්විත හඬ දෙදරන මේ ප්රධාන ශාලාව ගමේ එකට වඩා හරිම වෙනස්. විභාගය අතරතුරත් මම හෙමින් සැරේ බිත්ති වල මහා තේජසින් රාමු කරල එල්ලලා තිබුණු ඉංග්රීසි නම් තිබ්බ හිටපු විදුහල්පති වරුන්ගේ සහ විදුහල් පතිනියන්ගේ නම් කියෙව්වා.ටික දවසකින් විභාගය හොඳින් සමත් වෙලා කියලා ලියුම ආවට පස්සේ තිබුණේ නේවාසිකාගාරයේ බඩු ලැයිස්තුව සූදානම් කරන එක.
සුදු ගවුම් හයයි, පාට ගවුම් අටයි, නිදන ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, පිඟන්, කෝප්ප නාන බේසම, ඔය ආදී දිග ලැයිස්තුවක් තිබුණා. හැම ඇඳුමකම මුල් නම් දෙකේ මුලකුර මහලා තියෙන්න ඕනේ.කිළිටි ඇඳුම් සඳහා වෙනම රෙදි උරයක්, මාස් පතා අරන් යන්න එන ඩෝබි රෙදි වලට වෙන උරයක් නීති රීති ගොඩයි. ඒ දවස්වල තාත්තට මුදල් වලින් ලොකු කරදරයක් නොතිබුණ නිසා අම්මා මාවයි නංගිවයි ඇඳුම් මහන නැන්දාවයි ටවුමට එක්කන් ගිහින් අවශ්ය රෙදි සේරම අරගෙන ආවා. ගෙදර සාලේ මහන මැෂිම තියාගෙන ඒ නැන්දා අපේ ගෙදරමයි ඇඳුම් සේරම මැහුවේ. “තාත්තාගේ වැඩපොළට ආපු සුදු මහත්තයෙක් අක්කා ශිෂ්යත්ව විභාගය හොඳින් සමත් හින්දා සතුටට දුන්න සල්ලි වලින් තමයි මේ දේවල් ගත්තේ”… කියලා නංගිට කියලා එයාටත් ඇඳුම් දෙක තුනකට රෙදි අරන් දුන්නට මොකද එයා ඒ කතාව එච්චර විශ්වාස කළේ නැහැ. ඒ නිසා මූණ එල්ල ගෙන ටිකක් නොරිස්සුම් බවෙනුයි ඈ හිටියේ.
දවල් කෑම කන්න තිබුණේ පාසැල් විවේක කාලයේදී නිසා කාලය අඩු හින්දා හැඳි ගෑරුප්පු ඕනේ කියලා තිබුණා. තාත්තා මට ගෙදරදි ඒවායින් කන්න ඉගැන්නුවා.” මෙන්න ගොඩ සුද්දියෙක් කොස්, කරවල හොදි හැඳි ගෑරුප්පුවෙන් කනෝ” කියලා අයියලා මට සමච්චල් කළා. අම්මයි තාත්තයි කසාද බඳින දා තෑගි වශයෙන් හම්බ වුණ රත්තරන් පාට ඉරක් වැටුණු තද කොළ පාට කට්ටලයෙන් පිඟානකුත්, හැඳි ගෑරුප්පුත් අම්මා මට දුන්නේ හරිම ආදරයෙන්. අළුත් අත්දැකීමක් ලබන්න මමත් හිටියේ හරිම සතුටකින්. ඊට එහා දුර දේවල් මට හිතුනේ නෑ. ඉතින් ඔන්න මාව පාසැලට භාර දීලා එතැනින් නේවාසිකාගාරයට බාරදීලා ලියකියවිලි ගොඩයි. අම්මයි ආච්චි තමයි එදා ආවේ. එදාවත් මම නේවාසිකව හිටපු අවුරුදු වල කවදාවත් තාත්තා මාව බලන්න නේවාසිකාගාරයට ආවේ නෑ. ඒ මාව එතන ආයෙම තියලා එන්න තාත්තාට දුක නිසා කියලයි මට දැන් හිතෙන්නේ.” ඔයා අම්මත් එක්ක යන්නකෝ”… එයා කිව්වේ එච්චරයි.
මගේ ඇඳ පිළිවෙල කරලා දීලා සබන්, බිස්කට්, කිරිපිටි, සීනි අඩුම කුඩුම සේරම ගෙනත් දීලා ඔලුව අතගාල “පරිස්සමින් හොඳින් මේට්රන්ලට කීකරුව ඉන්න”… කියලා ලාවට දිලිසෙන කඳුලක් ඇස් වල දවටගෙන හවස තුනට විතර අම්මලා ගියා.මගේ අම්මා මහා දුකත් සතුටත් හැමදාම දරා ගත්තේ ඒ විදියටයි. ඒ නිසා ඒ වෙලාවේ මටත් ලොකු දුකක් දැනුනේ නෑ. පස්සේ පොත් පත් ටික පිළිවෙලකට අස් කරලා අලුත් ගවුමක් ඇඳගෙන මම මිදුලට ආවා. ඒ වෙලාවේ හවස තේ විවේකය. මම ඇතුලත් වුණේ සතියක් විතර පහු වෙලා නිසා අනිත් ළමයි සතියක් විතර පරණයි. මට ගෙදර මතක් වෙන්න ගත්තා. අලුත් ඉස්කොලේට එන ආසාව මිසක් මේ වගේ වේදනාවක් ගැන මම හිතුවේ නැහැ. මොකක්දෝ ලොකු දුකක්, තනිකමක් මට දැනුණ නිසා මම ප්රධාන ගේට්ටුවෙන් එළියේ පේන පාර දිහා බලාගෙන හිටියා. “අයියෝ ඇයි නංගී මෙතන තනියම? මුල් දවස් වල අපටත් ඔහොම තමා. පස්සේ ඕවා සේරම හරි යනවා “උරහිසේ අතක් තියලා හිනාවෙලා අක්කලා කට්ටියක් මාව ක්රීඩා පිට්ටනිය දිහාට එක්කන් ගිහින් මගේ සම වයසේ කණ්ඩායමකට මාව බාර දුන්නා. සති දෙකක් තුනක් යනකම් හැමදාම උදේට මගේ කොට්ටේ තෙමිලා තිබුණත් මම ඒ දුක කාටවත් ඇඟෙව්වේ නෑ. පස්සේ කාලෙක රසවත් මතක ජීවිතයට එකතු කරපු නේවාසිකාගාරය හැරලා එද්දි අපි එකිනෙකා බදාගෙන විලාප දිදී අඬන තරමට ඒ ජීවිතයට මමත් හුරු වුණා.
පසුගිය අවුරුද්දේ අධ්යාපන වැඩසටහනකට චූටි දුව වෙන රටකට සති දෙකකට ගිය වෙලාවේ මට ගේ ඇතුලේ පුදුම පාළුවක් දැනුණේ. කිසි දෙයක් කර ගන්න බැරි විදියට හිත කඩා වැටුණා වගේ. අම්මාට දුරකථනයෙන් කතා කරද්දී මම මේ ගැන කිව්වා. “චූටි දුව නැතුව ගෙදරම පාළුයි අම්මේ.. ඒ කාලේ මං නේවාසිකාගාරයට ගිය වෙලාවේ අම්මලටත් එහෙම දැනුණද? ගෙදර තව දරුවෝ හතර දෙනෙක් හිටපු නිසා එච්චර අඩුවක් දැනෙන්න නැතිව ඇති නේද?” මම අම්මා ගෙන් ඇහුවා.” අනේ නෑ පුතේ.. තව හතර දෙනෙක්ම හිටියත් ඔයා ගෙදර නැති අඩුව අපට හරියට දැනුණා. ඒකට පුරුදු වෙන්න තාත්තා ටයි මටයි මාස ගාණක් ගියා.”ඊට පස්සේ ඔයා රට ගියාමත් එහෙමයි. ඔයාගේ යහපතටනේ කියලා අපි හිත හදා ගත්තා” අම්මා සෙනෙහසින් කිව්වා. දෙමාපියන් විඳින අත්දැකීම් විඳින්න අපිත් දෙමාපියන් වුණ දවසට මට හිතුනා. අදට නවතිමි.
උපුටා ගැනීම: Chameedra Shiranthi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!