මුන්දැගෙ නම ඒස් ය. අපේ ගෙදර ගෘහ මූලිකයාට හිමි සියලුම බලතල මුන්දෑ පැමිණ මාස හයක් යන්ටත් පෙර හිමිකරගත්තේ අප්පච්චිට බලෙන්ම විශ්රාම ලබාදෙමිනි. මෙයැයි ගෙන ආවෙ මගේ ආරස්සාවට කියාය. මෙයා හරියට කරන්නේත් ඒක විතරමය. පිට මිනිස්සු එච්චර අල්ලන්නේ නැත. හැබැයි මුන්දැට ක්රීම් ක්රැකර් 4ක් 5ක් දී බෝලෙ අල්ලන සෙල්ලම කරන්න ආවොත්නම් මිතුරු ඇරයුම සලකා බලයි.
මොනා උනත් මට පණ ඇරලාය. අයියා මට ටොක්කක් ඇන්නත් උන්දැටත් සද්දෙ දායි. එවිට අයියන්ඩි ජාතිය අමතන්නේ “ගෙරි බල්ලා තෝ අරං ආවෙත් මං දැන් මටම සද්දෙ දානවද කෙලෙහි ගුණයක් නැති ගොං වට්ටක්කෙ” කියාය. වට්ටක්කෙ යන්න ඇසුණ විට මළපනී. අයියා ඕක කියන්නේද අවුස්සන්නටය. කුමක්දෝ හේතුවකට මෙයාට වට්ටක්කා පේන්න බැරිය. හිච්ච කාලේ බෝලයක් කියා වට්ටක්කා ගෙඩියක් පෙරල පෙරල සෙල්ලං කර අම්මට අහුවී පළු යන්න අහගත්
නිසා වෙන්නට ඇත. ඊට පස්සෙ ඉතින් බේරෙන්නට බැරි තැන අයියා අම්මට කියනවා යැයි කෑ ගසයි. (ඇත්තම කිව්වොත් අම්මා දිස්ත්රික්කයේ තියා පළාතේවත් නැත. අපි ඉන්නේ නුගේගොඩය. අම්මාට මෙහෙ ඉස්කෝලෙකට මාරුවක් හදාගන්න බැරි වූ නිසා ඇය නුවර මහගෙදර ය. ඒ රසකතා පසුවට) අම්මාට පණ ඇරලා සේම පණ බයය. අම්මායැයි සද්දෙන් කිව්වත් සියලු වැඩ නවතා මෙයාගෙ පොට් එකට දුවයි. කොහොමහරි මෙයාට මාස 6ක් විතර කාලේ අපි නිවාඩුවට නුවර ගියෙමු. අම්මාට කොලෙස්ට්රෝල් නිසා ඇය හැමදාම වැව රවුමේ ජොගින් යයි. මුන්දැටත් වෙනසකට කියා දවසක් අම්මා මෙයාවත් එක්කරගෙනම ගියේ අම්මගෙ පෙර පිනකට මෙනි. කොහොමත් හවස් වෙද්දි වැව රවුමේ සැලකිය යුතු පිරිසක් ගැවසෙයි. අම්මා හෙමින් දුවන් එද්දි අපේ බව් බබා ටික දුරක් දුවගොස් අම්මා එනකන් බුර බුර සිටියේලු. කොහොමත් කොල්ලා අම්මට කන්ට්රෝල් නිසා අම්මත් පටිය අතඇරලලු හිටියෙ. ඔහොම වංගුව ගද්දි බව්වා අම්මට පේන මානේ නැති වෙලේක අවුරුදු විස්සක විතර කොල්ලෙක් අම්මගෙ ඇගට පැන මාලෙ කඩාගන්න හැදුවාලු. අම්මත් හැකි වෙර යොදල පොරබැද්ද නිසා මාලෙ කඩාගන්න බැරි වෙලා. අම්මගෙ සද්දෙට මිනිස්සුත් එද්දි අර කොල්ලා පැනල දුවලා. කොහෙන්දෝ ඉදන් අපේ ඒස් කොල්ලත් දුවන් ඇවිත් අර කොල්ලා පස්සෙ දුවලා. කොහොමහරි විනාඩි 5කට විතර පස්සෙ අර කොල්ලත් අල්ලන් තුන් හතර දෙනෙක් එනවලු. අපේ බව් කොල්ල උගෙ කකුලෙ එල්ලිලාලු. අර කොල්ලව බේරගන්න පැන්න මිනිස්සුන්වත් මෙයා හපලා. දත් පාර ඇතුලටම ගිහින් නිසා අරකොල්ලව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා. වයස ඇහුවම 17යිලු. පව් කියල පොලීසියට කිව්වෙත් නෑලු. ඔන්න ඔහොමයි ඉතින් අපේ කොල්ලගෙ වැඩ.
ඔය සිද්ධියෙන් පස්සෙ මුන්දැගෙ ආහාර රටාව වෙනස් විය. වෙනදට කරදරේකින් තොරව වේල් හයම අපි දෙන දෙයක් කා පාඩුවේ ලෝ ඩයට් එකක් අනුගමනය කල මුන්දැට වේල් හයෙන් තුනක් පෙඩිග්රී ලැබුණි. ඉතුරු තුනට මස් මාළු දෙකෙන් එකක් එක්ක එතුමාට විශේෂයෙන් සැකසූ බත් ලැබුණි. ප්රධාන වේල්තුනෙන් දෙකකට අතුරුපස වශයෙන් යෝගට් ලැබුණි. ටී ටයිම් එකට කුක්කු එක්ක කෝන් ෆ්ලෙක්ස් ලැබුණි. ඊට අමතරව ක්රීම් ක්රැකර් ලැබුණි. ඕකෙන් කෙල උනේ මට සහ අත්තම්මටය. අත්තම්මා නිර්මාංශ ය. මං බිත්තරයි හාල්මැස්සොයි පමණක් කන නිර්මාංශවාදියෙකි. ( පීසා එකක හෝ බර්ගර් එකක වගේ තිබ්බොත් චිකන් උනත් අව්ලක් නැත.) ඉතින් මාංශ ආහාර වැඩියෙන් හැදෙන විට අපි කන කෑම අම්මා ප්රතික්ෂේප කලේ මට දහයක් හදන්න බෑ කියාය. අත්තම්මා උයන්න දන්නා බැවින් කෙසේ හෝ දිවි ගැට ගසා ගත්තෙමි.
හැබැයි ඔය සීන් එක මාස දෙකකට වඩා නොපැවතුණි. අපේ කොල්ලට පෙඩිග්රී අරහං වීම නිසා සහ උන්දැට කන්න දීමට අම්මගෙ දෑවැද්ද මදි වූ නිසා ඒක ඉබේම සාමාන්ය තත්වයට පත්විය.
ඔය පහළ ඇත්තේ කොල්ලා බීච් ගිහින් ගත් පොටෝවකි. කොල්ලගෙ ටෙඩි බෙයාට පසුව වැඩිපුරම ආදරේ වතුරටය. කොල්ලගෙ පොට් එක ගාව ටැප් එකක් ඇති බැවින් අපේ වතුර බිල අප්පච්චිගෙ පඩියට දෙවෙනි නැත. කොල්ල පොඩි කාලෙ මේ ටැප් එක තරම් විස්මිත දෙයක් මුන්දැට මෙලෝ තලයේ තිබ්බේ නැත. බල යුග්මයක් ලබාදී ඒක කරකවා ජලය ලබාගත හැකිබව කොල්ලා ඉතා ඉක්මනින් වටහා ගත්තේය. පස්නෙකට තිබ්බේ දොඩම් ගෙඩි දෙකක් තරංවත් උස නැති කමය. ඒකත් ඉක්මන්ටම විසදුනු බැවින් වරුවක් ඕකට හොම්බ අල්ලං ඉන්නට පොරට දැන් බාධාවක් නැත.
කොල්ලා ගැන කියන්ටනම් තව ෆන් ෆැක්ට්ස් එමටය. ඉඩක් ලැබුණම තව දේවල් කියන්නම්කො.
උපුටා ගැනීම: Thishakya Kodithuwakku