බාමියන් බුදු පිළිම රැකගත් හසාරාවරු (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම ලෝකයේ විශාලම බුදු පිළිම අතරටත් එකතු වෙනවා වගේම ඒ ප්‍රතිමා ඉන්දියාවේ සිටි කුශාන රජවරු විසින් ඉදිකළ බවටයි සලකන්නේ. ඉතින් 2001 වසරේදී ලෝකයක් හඬවමින් තලෙයිබාන් සංවිධානය විසින් මේ පුරාවිද්‍යා භූමියේ තිබූ ප්‍රතිමා වහන්සේලා කිසිදු හැඟීමකින් තොරව විනාශ කර දැමුවා. ඉතින් ඇෆ්ගනිස්ථානයේ මේ උරුමය රැකගන්නට බොහෝ වෙහෙස වුණු කොට්ඨාසයක් බාමියන් මිටියාවතේ වාසය කළා. ඔවුන් හඳුන්වන්නේ හසාර ජාතීන් නමින්. ඉතින් අපි කියන්න යන්නේ මීට වසර ගණනාවකට ඉහත දී විනාශ වුණු බාමියන් ප්‍රතිමා රැකගත් දෙවියන් බදු හසාරාවරුන් ගැන.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට කිලෝමීටර් 130 ක් පමණ ඊසාන දෙසින්  පිහිටි බාමියන් නිම්නයට මායිමව පිහිටි හින්දුකුෂ් කඳුවැටිය හරහා ඈත අතීතයේ දී සේද මාවත වැටී තිබුණු බව සඳහන්. ඉතින් ඒ කලාපයේ එක් වැදගත් සන්ධිස්ථානයක් තමයි බාමියන් මිටියාවත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිදුකළ තෙවන ධර්ම සංගායනාවෙන් පසුව රටවල් බොහෝමයකට බුදු දහම ව්‍යාප්ත වෙනවා. ලංකාවට මිහිඳු හිමියන් වැඩම කළා සේම ඇෆ්ගනිස්ථානයටත් ඒ වකවානුවේදී ම බුදු දහම ප්‍රචලිත කරන්නට භික්ෂූන් වහන්සේලා පැමිණෙන්නට ඇති බව විශ්වාස කරනවා.

ඇෆ්ගනිස්ථානයට ඉස්ලාම් ආගම පැමිණෙන්නට පෙර බුද්ධාගම වගේම සූර්ය දේව වන්දනයත් ඉතාමත් ප්‍රචලිතව පැවතුණා. ඒ හැරුණාම හින්දු ආගමත් වෙනත් ප්‍රාදේශීය ආගම් කිහිපයක් ද පැවතී ඇති බවට පැවසෙනවා. නමුත් 7 සියවසේ දී ඉස්ලාම් ආගමේ ආගමනය සංස්කෘතික වශයෙන් වගේම ආගමික පසුබිමත් බොහෝ වෙනස්වීම්වලට ලක් කරන්නට සමත්වුණා. ඇෆ්ගන් පාලකයන් පවා ඉස්ලාම් භක්තිකයන් බවට පත්වුණා.

කොහොමවුණත් ක්‍රි.ව. 8 පමණ කාලයේ දී භාරතයේ කුෂාණ රාජවංශයේ කණිෂ්ක රජු දවස මුලින්ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණු බවට සලකනු ලැබුවත් ඒ මතයට විරුද්ධ මතවාදත් පවතිනවා. කොහොමවුණත් කණිෂ්ක රජු දවස නිර්මාණය වූ බුදු පිළිම කලාව  ගාන්ධාර කලාව විදියටයි හඳුන්වනු ලබන්නේ. ක්‍රි.ව. 1-5 දක්වා කාලය තුළ භාරතයෙන් එපිට රටවල් කරා ඒ බුදු පිළිම කලාව ව්‍යාප්ත වී ගිය බව ප්‍රකාශිතයි. ඉතින් එහි ප්‍රතිඵලයක් විදියට ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නට ඇති බව සිතිය හැකියි.

කොහොමවුණත් මේ ගාන්ධාර කලාවේ ග්‍රීක ආභාසයක් ඇති  අතර බුදු පිළිමවල සිවුර  ග්‍රීක ඇපලෝ දෙවියන්ගේ ටෝර්ගා නමින් හැඳින්වුණ ඇදුම ආකාරයෙන් නිර්මාණය වුණා.දෙවුර වැසුණු සිවුර එහි මූලික ලක්ෂණයක් වූ අතර ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවලත් ඒ ලක්ෂණය ඒ ආකාරයෙන්ම දකින්නට ලැබුණා. ඒ නිසාම බොහෝ  අය විශ්වාස කරන්නේ මේ බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය භාරතයේ කුශාන රජවරුන් නිර්මාණය කළ බවටයි.

තවත් ජනප්‍රවාදයකට අනුව මේ ආභාසය මහ ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ ආපු එකක් ලෙසටත් සඳහන් වෙනවා. ඇලෙක්සැන්ඩර් රජු සමඟ පැමිණි ග්‍රීක කණ්ඩායමක් ඉන්දියාවට උතුරින්ම ඒ කියන්නේ ඇෆ්ගනිස්ථානයේ මේ බාමියන් නිම්නය ආශ්‍රිතව නතර වූ බවත් ඒ කාලය ඇලෙක්සැන්ඩර් අධිරජු ඉන්දියාව පාලනය කළ නිසාත් ග්‍රීක ආභාසය ඒ බෞද්ධ ප්‍රතිමාවලට එන්නට ඇති බවත් ජනප්‍රවාදවල සඳහන්.

ඉතින් කාබුල් නගරයේ සිට සැතපුම් අසූවක් පමණ වයඹ පැත්තට වන්නට හසාරජට් කියන ප්‍රදේශයේ බාමියන් නිම්නයේ එවැනි බුද්ධ ප්‍රතිමාවන් දෙකක් දකින්නට ලැබුණු අතර එහි විශාලම ප්‍රතිමාව අඩි 180 ක් පමණ උසකින් යුක්ත වුණා. අතීත චීන භික්ෂූන් වහන්සේලාගේ සංචාරක වාර්තාවල පවා මේ බාමියන් ප්‍රතිමා ගැන සඳහන් වන අතර මේ ප්‍රතිමා දෙක කාල වකවානු දෙකක දී නිර්මාණය වුණු බව තමයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. කොහොමවුණත් මේ ප්‍රතිමා  නිර්මාණය කර තියෙන්නේ මතුපිට පිදුරු සහ මැටි යොදාගෙන . ලෝකයේ උසින් වැඩිම ප්‍රතිමාවත් මේ අතර ඇති නිසා සාමාන්‍ය ප්‍රතිමාවන්ට වඩා ඒ බාමියන් බුද්ධ ප්‍රතිමා විශේෂ වෙනවා.

ඉතින් මේ බාමියන් බුද්ධ ප්‍රතිමාවන් 2001 මාර්තු මාසයේ විනාශ වෙන්නේ තලෙයිබාන් නායක මුල්ලා ඕමාර් නමැත්තාගේ නායකත්වය යටතේ. පිළිම වන්දනාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීමත් වෙනත් ආගම්වලට අයත් සිද්ධස්ථාන විනාශ කිරීමත් ඒ සංවිධානයේ අරමුණ වුණා. ජාත්‍යන්තර සංවිධාන වගේම තලේබාන් හිතවාදී මුස්ලිම් රටවල් වන  පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සෞදි අරාබිය පවා මේ විනාශයට විරුද්ධ වුණත් ඒ කිසි විරෝධයකින් ප්‍රතිඵලයක්  වුණේ නැහැ. මුලින් ගුවන්යානා නාශක ප්‍රහාර එල්ල කළත් විනාශ නොවූ ඒ ප්‍රතිමාවන් විනාශ කරන්නට ඔවුන් ටොන් ගණනක ඩයිනමයිට් යොදා ගත්තා. ඒ වගේම මේ සාපරාදී ක්‍රියාවට මේ ප්‍රදේශයේ ජනතාවත් බලහත්කරයෙන් යොදවාගෙන තිබුණා . ඉතින් කැරලිකරුවන්ගේ ඒ පියවර සාර්ථක කරමින් දස දහස් දෙනාගේ වන්දනාවට පාත්‍රවුණු සුවිසල් ප්‍රතිමාවන් විනාශ වුණා.

නමුත් ඊට පෙර බොහෝ පුද්ගලයන් මේ ප්‍රතිමා විනාශ කරන්නට කටයුතු කළ බව සඳහන්.මුලින්ම මූගල් අධිරාජයෙක් වූ ගෙන්ගීස් ඛාන් මේ ප්‍රතිමාවලට ප්‍රහාර එල්ල කළා .පසුව 1618 ඇෆ්ගනිස්ථානය පාලනය කළ ඉස්ලාම් මූලධර්මවාදියාත් මේ ප්‍රතිමා විනාශ කරන්නට උත්සාහ කළා . ගිනිතබා මේ ප්‍රතිමා විනාශ කරන්නට  උත්සාහ කළේ නඩා අෆ්කා නම් ඉස්ලාම් පාලකයා. ඒ වගේම 1830 රහමන් යාන් ද මේ ප්‍රතිමා විනාශ කරන්නට උත්සාහ දැරූ අයෙක්.

ඉතින් මේ බුද්ධ ප්‍රතිමා විනාශ කරන්නට පෙර බොහෝ කලක් ආරක්ෂා කරපු  කොටසක් තමයි හසාර්වරු  කියන්නේ. මොවුන් ඒ බාමියන් නිම්නයේ බොහෝ කාලයකට පෙර සිට ජීවත්වුණු මේ හසාර්වරු නමින් හැඳින්වුණේ ඉස්ලාමීය ජන කොටසක්. හසාරා යන වචනය පැමිණෙන්නේ පර්සියානු වචනයෙන් හසාර් හෝ දහසක් යන්නෙන් බවයි පැවසෙන්නේ.මොංගෝලියානු යුධ භටයන් 100 ක ඒකකවල මෙහෙයුම් කටයුතු කළ නිසා මේ නම මොගෝලියානු අධිරාජ්‍යයයේ රණශූරයන්ගෙන් හසාර යන්න පැවතෙන බව සලකනු ලබනවා.

හසාර කියන්නේ මිශ්‍ර පර්සියානු මොන්ගෝලියානු සහ තුර්කි මුතුන් මිත්තන්ගේ ඇෆ්ගනිස්ථාන වාර්ගික සුළුතර කණ්ඩායමක්. ඒ වගේම පර්සියානු සහ තුර්කි ජනයා සමඟ මිශ්‍ර වුණු සාමාජිකයන් වන ජින්ග්ෂාන් ඛාන්ගේ හමුදාවෙන් ඔවුන් පැවතෙන බව විශ්වාස කරනවා. මොවුන් ෂියා මුස්ලිම්වරුන් වන අතර අතීතයේ සිටම ඇෆ්ගනිස්ථානයේ වැඩි ප්‍රමාණයක් වාසය කළේ සුන්නි මුස්ලිම්වරු. මේ දෙපිරිස අතර ආගමික වශයෙන් යම් යම් පරස්පර විරෝධීතාවන් ඇති වූ අතර දරුණු විදියට ඔවුන් අතර ගැටුම නිර්මාණය වෙන්නේ 90 දශකයෙන් පසුව.

කොහොමවුණත් මුළු ජනගහනයෙන් 10 % ක් අදටත් ෂියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වෙනවා .1996 තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව  මේ හසාර ජනතාවට තාඩන පීඩන දැඩිව එල්ල වුණා. ඉතින් මේ හසාරාවරු වසර ගණනාවක් තිස්සේ මේ බාමියන් මිටියාවතේ පැවති බෞද්ධ උරුමය රැකබලා ගනු ලැබුවා. මේවා නැරැඹීමට ඈත අතීතයේ සිට මෙහි පැමිණි සංචාරකයන්ට මඟ පෙන්වන්නන් වුණෙත් මේ හසාරාවරුන්.ගවේෂකයන් සහ පුරාවිද්‍යාඥයන්ට පවා මඟ පෙන්වන්වනු ලැබුවේ ඔවුන් විසින්.

ඒ විතරක් නොවෙයි මේ වටිනා උරුමය රැක ගැනීමත් ඒ ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීමත් ඔවුන් මහත් භක්තියෙන් සිදු කළා. මේ බාමියන් බුද්ධ ප්‍රතිමා හා බැඳුනු වෙනමම සංස්කෘතියක් මේ ජනතාවට තිබුණා. සැබැවින්ම ඔවුන් බෞද්ධයන් වුණේ නැහැ. නමුත් වසර සිය ගණනක් තිස්සේ තමන්ගේ නොවන ආගමික ශාස්තෘවරයෙකුගේ ප්‍රතිමාවන් මහත් බැතියෙන් ආරක්ෂා කළා. ඔවුන් මේ මිටියාවතේ වටින උරුමය රැක ගන්නට කටයුතු කළත් ඔවුන්ටත් බාමියන් බුද්ධ ප්‍රතිමාවලටත් නරක කාලයක් උදාවුණේ තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමත් සමඟ.

ඉන්පසුව මේ හසාරා ජනතාවටත් මුහුණ දෙන්නට සිදුවුණේ සුළුපටු ව්‍යසනයකට නම් නොවෙයි. තලේබාන්වරු අතින් බොහෝ හසාර ජනතාව මරණයට පත්වුණා. ඇතැම් අය කැරලි කණ්ඩායම් නිර්මාණය කරගෙන කඳුකර ප්‍රදේශවලට පලා ගියා. හසාර දරුවන් ඉගෙන් ගත් පාසල්වලට පවා ඔවුන් පහර දුන්නා. බොහෝ කාන්තාවන් දරුණු වධ හිංසාවලට ලක්වුණා.  ඉතින් ඒ තලේබාන්වරුන්ගේ හිරිහැර හා අමානුෂික වධ හිංසා හමුවේ 1998 වෙද්දී හසාරා ජනතාව එතෙක් ආදරයෙන් රැකබලා ගත් බාමියන් මිටියාවත අත්හැර පලා ගියා. ඉතින් ඉන්පසුව මේ මිටියාවත තලේබාන්වරුන්ගේ යටත්  ප්‍රදේශයක් බවට පත්වුණා.

ඉතින් මේ තලේබාන් අන්තවාදීන් හසාරාවරුන් රැකගත් බෞද්ධ උරුමය විනාශ කර දැමුවා. අද සංචාරකයන්ට දකින්නට ඉතිරිව ඇත්තේ ගුහා තුළ ඇති සිතුවම් පමණයි. කෙසේ හෝ 2004 වසරේ බලයට පැමිණි රජය විසින් මේ ස්ථානය සංරක්ෂණය කළ අතර එදා තලේබාන්වරුන්ගේ  තාඩන පීඩන නිසාවෙන් බාමියන් මිටියාවත අත්හැර ගිය හසාර්වරු නැවත මේ ප්‍රදේශයේ පදිංචියට පැමිණියා. ඉතින් මේ වෙද්දී හසාර් ජනතාව මිලියන් 3 ක් පමණ එහි වාසය කරනු ලබනවා.

බොහෝ කාලයකට පසුව නැවතත් ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව අවසන්. ඒ නිසාවෙන් බොහෝ ඇෆ්ගන් වැසියන් සිය ජන්ම භූමිය අත්හැර පලායමින් සිටිනවා. ඉතින් මීට වසර ගණනාවකට පෙර බාමියන් මිටියාවතට කළ විනාශය නැවත වරක් ඔවුන් විසින් කළහොත් දැනට ඉතිරිව පවතින පුරාවිද්‍යා නටබුන් වගේම සිතුවම් පවා ඒ භූමියෙන් සදහටම විනාශ වී යාවි.

 

උපුටා ගැනීම:  Voice Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!