මගේ ප්‍රථම රැකියාව කළේ එකල ලංකාවටම අවශ්‍ය යූරියා පොහොර නිෂ්පාදනය කළ රාජ්‍ය පොහොර නිපදවීමේ සංස්ථාවේය. මා සමග මගේ තවත් බැචෙකු ද ඊට බඳවා ගන්නා ලදී.
සේවයට බැඳුණු වහාම අපට කම්හලේ යන්ත්රාගාර තුනේම පුහුණුවක් ලැබීමට නියමිත විය.
මේ කථාවේ ප්‍රධාන චරිතය යූරියා යන්ත්‍රාගාරයේ අප පුහුණුව ලබන දිනවල දී එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ වැඩමුර ඉංජිනේරුවරයෙකි. ඔහු මට රැකියාවේදී විශාල වශයෙන් ආධාරකාරී වූ බව ද, ඉතා මිත්‍රශීලී අයෙකු බව ද මෙහිදී සඳහන් කරන්නේ කාඩ් ගැසුවත් කළගුණ අමතක නොකළ හැකි නිසාය. නමුත් කාඩ් ගැසීමේ දී මිතුරන් අමතක කරන්නට තරම් අප අකෘතඥ විය යුතු ද?
එවකට යන්ත්රාගාර කළමනාකරු ලෙස කටයුතු කළේ බාලේන්ද්‍රන් නම් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකි. මොරටු සරසවියේ උපාධිධාරියෙකු වූ ඔහු යූරියා යන්ත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශිෂ්ඨ දැනුමකින් යුතු අයෙකු විය.
ස්වයංක්‍රීය ප්‍රොසෙස් ෆ්ලෝ ප්ලාන්ට් එකක් නොහොත් රසායනික ප්‍රතික්‍රියා දාමයක් හා ගලා යන ප්රවාහයන් සහිතව අඛණ්ඩව ක්‍රියා කරන ස්වයංක්‍රීය යන්ත්රාගාරයක් ක්‍රියාත්මක කිරීමේ දී ඉංජිනේරුවෙකුට යන්ත්‍රාගාරයේ විවිධ කොටස් වල ක්‍රියාකාරීත්වය හා අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ විශිෂ්ඨ වැටහීමක් තිබිය යුතුය. පාලක පුවරුවේ එන අනතුරු හැඟවීමකට ප්‍රතිචාර දැක්වීමට ඔහුට ලැබෙන ප්‍රතික්‍රියා දැක්විය යුතු කාලය ඇතැම් විට තත්පර ගණනකි.
දිනක් උදේ යන්ත්‍රාගාරයට පැමිණි බාලේන්ද්‍රන් සුපුරුදු ලෙස කලින් වැඩ මුරයේ ඇති වූ ප්‍රශ්න පිළිබඳව විමසීය. ඒ වන විට වැඩ මුරය භාරව සිටි අපේ මිතුරා කලින් රාත්‍රියේ ඇති වූ කිසියම් සුළු ගැටළුවක් හා ඊට තමා මුහුණ දුන් ආකාරය පැහැදිලි කළේය.
” දැට්ස් අ ස්ටුපිඩ් තිං ටු ඩූ”, කියූ බාලා පිට වී ගියේය.
ඊළඟ වැඩ මුරය භාර ගැනීමට ඉංජිනේරුවන් පැමිණි විට අභිමානයෙන් මුහුණ පිපී තිබූ අපේ මිත්‍රයා “අඩෝ, බාලා මං කරපු වැඩේට හෙන ප්‍රශංසාවක් කළා”.. යයි කීය.
“ඇයි, මොකද කිව්වේ ?”
ඔහු බාලා කියූ දේ යළිත් කියා සිටියේය.
“යකෝ, ඔය ප්‍රශංසාවක් ද? උඹට බැනලා නෙ තියෙන්නේ !”
“ප්ලෑන් ඩෝ යන්න. තොපි ඉරිසියාවට..” මිතුරා කියා සිටියේය.
එකෙකු නිශ්ශබ්ද ව ඩික්ෂනරිය ඔහුගේ අතේ තැබීය. (ඒ දිනවල යන්ත්රාගාරය තුල ඩික්ෂනරියක් තිබුණු බව කීම අප කාගේත් ඉංග්‍රීසි ප්රවීනත්වය පිලිබඳ දර්ශකයක් විය හැකිය.)
අපේ සගයා ඩික්ෂනරිය පෙරලා බැලීය.
“අම්මට සිරි ! මූ බැනලා නේන්නං !”
උපුටා ගැනීම: Parakrama Kuruppu