බැදීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” යන්තන් අව්රුදු විස්සක් වෙද්දී අම්මට ඕනි උනේ මාව කසාද බන්දලා දෙන්න “
මම එහෙම කතාව පටන්ගන්න තීරණ කලේ මේ හැමදේම හැමෝම දැනගන්න ඕනි නිසා .
එත් … මටම හිතෙනවා මේ කතාවේ සමහර තැන් කපලා අයින් කරන්න . කොතැන කොහොම තැන්ද මේ කතාවේ අයින් කරන්නේ කියලා බලන්න මම නැවතත් මුල ඉදලා අගට කණ්නාඩිය දිහා බලාගන කතාව මතක් කරන්න පටන්ගත්තා .
කසාදයක් ගැන අම්මා කියවන්න පටන්ගත්තේ මට වයස දහ අටේදී .
” අයියෝ …. අම්මා මගේ පාඩුවේ මට ඉන්න දෙනවද ?”
ඒ හැම දවසකම වගේ මම අම්මට කිව්වේ ඒ වචන ටික .
එත් …….. වැඩක් උනේ නෑ ….
පඹයෙක් හරි කමක් නෑ , අම්මා හෙව්වේ නමට පිරිමියෙක් .
උසස් පෙළ ඉවර වෙලා ප්රතිඵල එනකම් මම ටවුමේ ගාමන්ට් එකට ගියා . ඒ දවස්වල අපේ ගෙදර සෑහෙන්න ප්රශ්ණ ගොඩකට යටවෙලා තිබුණේ .
වකුගඩු අමාරුව හැදිලා තාත්තා හිටියේ ඉස්පිරිතාලේ . අම්මට තාත්තා නැතිව තනියම කුඹුර කරන්න යන්න සිද්දවුනා . නංගි , මල්ලී ඉගෙන ගත්තේ හතරේ පංතියේයි හයේ පංතියෙයි . ගමේ ඉස්කෝලෙට ගියත් පොඩි උන් දෙන්නට වියදම් කරන්න සල්ලී ඕනි උනා . ඒ නිසා මම ටවුමේ ගාර්මන්ට් එකට ගියේ .
දවසක් මම උදේ පාන්දර තාත්තාව බලන්න ඉස්පිරිතාලෙට යද්දී තත්තා වකුගඩු වාට්ටුවේ නොම්බර තිස් දෙක ඇදේ හිටියේ නෑ . මට ඉවෙන් වගේ දැනුනා තාත්තා යන්නම යන්න ගිහිං කියලා . කෝකටත් මම මිසී කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වේ තාත්තා පාන්දර අන්තරා උනා කියලා . එදා මට ඉකි ගැහුණා මිස කදුළු බිංදුවක් ගලාගන ගියේ නෑ .
කොහොමත් අපි ඒ දේට සුදානම් වෙලා හිටියේ . ඒ නිසා එක කදුළු බිංදුවක්වත් නැතිව අපි චාමෙට අවසන් කටයුතු කරල වැඩේ අවසන් කරලා දැම්මා .
පුදුමේ කියන්නේ තාත්තා උන්නද මලාද කියලා තාත්තා ගැන ඇහැක් ඇරල බලපු නැති මගේ නැන්දා , තාත්තාගේ නංගි එදා මහා හයියෙන් හූ තියලා වැළපුණු එක . ගමේ මිනිස්සු නම් අහු මුළු වල කුටු කුටු ගෑවේ සහෝදරකම කොයි බැදීමටත් වඩා ශක්තිමත් කියලා .
තාත්තා නැතිවෙලා යන්තන් මාස දෙකක් වෙද්දී රත්නේ මාමා අපේ ගෙදර යන්ට එන්ට පටන ගත්තේ අපේ අම්මගේ තියන සංවරකම නිසාලු . එහා ගෙදර ලීලා නැන්දා මගේ මුණටම එහෙම කියද්දී මට පොළව පලාගන යන්න හිතුණා .
කොහොමත් අපෙ අම්මා කොච්චර දුක් වින්දත් පෙනුමට පිරිපුන්වට හිටියා . අඩු වයසින් තාත්තා කසාද බැදලා ළමයි තුන් දෙනෙක් හැදුවත් අම්මාගේ පෙනුමේ අඩුවක් උනේ නෑ .
කොහොමත් මම ඉස්කෝලේ යන කාලේ ඉදලා රත්නයා ගැන කියලා ළමයි මට විහිළු කලා . ඒ නිසා මට රත්නේව මරන්න තරම් තරහක් තිබුනේ .
දැන් එළිපිටම රත්නේ ගෙදරට යන එන එක ගැනත් මට වැඩි කැමැත්තක් නෑ . මට ගමට මුණ දෙන්න ලැජ්ජයි . ඒ නිසා අම්මාත් එක්කත් මම හිත හොදින් නෙවෙයි ජිවත් උනේ .
මට හිතෙන්නේ ඒ නිසාම තමයි අම්මට මාව කාගේ හරි කරේ එල්ලලා නිදහස් වෙන්න ඕනි උනේ .
ඒ වෙද්දී ගාර්මන්ට් එකේම වැඩ කරන සුපවයිසර් මහත්තයෙක් මගේ දිහා බල බලා ඉගි බිගි කරමින් හිටියේ . ඒ මහත්තයාගේ නම සුමේධ . මගේ හිතේ හිටපු සිහින කුමාරයා තරම් නැතත් ඒ මහත්තයත් පෙනුමට හිටියා .
” මට උත්තරයක් දෙන්න බෑ මහත්තයා , අම්මලාගෙන් අහන්න “
දවසක් මම ඒ මහත්තයාට කිව්වා .
ඊට දවස් දෙකකට පස්සේ ඉරිදා දවසක උදේ දහයට විතර සුමේධ අපේ ගෙදර ආවේ මහා තඩි කෙක් ගෙඩියකුත් අරගන .
ඒ වෙලාවේ රත්නේ මාමත් ගෙදර හිටියා . ලැජ්ජා හිතුනත් මොනවා කරන්නද , මම මටම කියා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා .
අපේ අම්මට ඕනි උනේ මගෙන් නිදහස් වෙන්න නිසා අම්මත් සුමේධට කැමති උනේ උඩ පැනලා .
” මම හිතන්නේ මට බබෙක් ලැබෙන ඉන්නවා “
ගෙදරින් අවසරේ ලැබිලා මාස හතරකට පහකට පස්සේ මගේ මාස් ශුද්ධිය පහු වෙද්දී මට සුමේධට කියන්න පුළුවන් උනේ එච්චරයි .
ඒ වෙද්දීත් අපි කසාද බැඳලා හිටියේ නෑ . එත් … අපි හැම සෙනසුරාදාම හවස් වරුව ගෙව්වේ රුපියල් තුන්සිය පනහේ පොඩි කාමර කෑල්ලක . සුමේධ වගේම මමත් ඒ රහට වහ වැටිලා හිටියේ .
මේක සුමේධගේ වරදක් විතරක් නෙවෙයි , මගෙත් වරදක්‌ . සුමේධට විතරක් චෝදනා කරන්න බැහැ . හැමදේම උනේ අපි දෙන්නාගෙම කැමැත්තෙන් .ඉතිං ඒ ගැන රටේ මිනිස්සුන්ට ආරංචි වෙන්න කලින් අපිට කරන්න තිබුන එකම දේ කසාද බදින එක .
මම මුලින්ම හිතුවේ සුමේධ මාව අනාතකරලා පැනලා යයි කියලා . මම ඒ වගේ කතන්දර මහා ගොඩක් අහලා තියෙනවා . එත් සුබෝධ ඒ කතාන්දර වල ඉන්න ගැහැණු අනාත කරලා පැනලා යන චරිතයක් නොවුනේ මගේ පෙර පිනකට වෙන්ට ඇති .
මගේ පව්ලේ කිහිප දෙනා , සුමේධගේ අම්මා සහ මිතුරෝ තුන් දෙනෙක් පමණක් සහබාගි වෙලා රෙජිස්ටාර් කන්තෝරුවේදී අපි කසාද බැන්දා . කෙලින්ම ගියේ සුමේධගේ ගෙදරට . ඉස්සරනම් ලස්සන මධුසමයක් ගැන මගේ හිතේ තිබුනත් දැන් ඒ දේවල් කරන්න බැහැ .
ඒ දවසේ තමයි අම්මා මාව බදාගන වැඩියෙන්ම අඩපු දවස . මටත් දුකක් තිබුණ . ඒ මගේ ඇස් දෙක වගේ බලාගත්ත මගේ නංගි මල්ලී තනිකරලා වෙනම ජිවත් වෙන එක . අම්මගෙයි රත්නේ මාමගෙයි නාඩගම් නොපෙනී ඉන්න පුළුවන් වෙන එක ගැන නම් මට තිබුනේ සතුටක් .
කොහොමත් අම්මා පුංචි උන් ගැන බලන්නේ නෑ . අම්මා ඉන්නේ රත්නේ මාමා එක්ක නිසා . උන් කෑවත් එකයි නැතත් එකයි . ඇන්දත් එකයි නැතත් එකයි . ඉස්කෝලේ ගිහිං ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි . අම්මට ඕනි උනේ රත්නයා එක්ක ජිවත් වෙන්න විතරයි .
කසාද බැන්ද දවසේ ඉදලා මම ගාර්මන්ට් යෑම නැවැත්තුවා . ඩිංග ඩිංග මගේ බඩේ ඉන්න පැටියා ලොකු වෙද්දී සුමේධගේ අම්මා මාව ඇහැක් වගේ බලා ගත්තා .
මාස ගණනකට කලින් ගෙවපු ජීවිතෙයි දැන් මම ගෙවන ජීවිතෙයි අහසයි පොලවයි වගේ වෙනසක් තිබුණා . එත් … මට තිබුණ එකම දුක නංගි මල්ලී ඒ ගෙදර ඉන්න එක .
මගේ දරුවා ලැබෙනකම් මම පුළු පුළුවන් විදිහට මල්ලිගෙයි නංගිගෙයි වියදම් ගැන බැලුවත් දරුවා ලැබුනට පස්සේ මට ඒක මග ඇරිලා ගියා .
” පුළුවන්නම් මේ කෙල්ල බලාගනින් “
එක දවසක් අම්මා නංගිවත් ඇදගන ගෙදර ඇවිත් මට කිව්වේ නංගීත් අම්මාට මහා පුදුම කරදරයක් ගණනට .
එදා මගේ ජිවිතේ තීරණයක් ගන්න බැරිව මම අසරණවුනේ පටාචාරා වගේ . මේ ගෙදර හම්බ කරන්නෙත් සුමේධ විතරයි . එහෙව් එකේ නංගිත් මේ ගෙදරට ගෙනත් දාපුවහම කොහොමද ඒ වැඩ ඔක්කොම කරන්නේ ?
එත් අම්මා නංගිව බලෙන්ම වගේ අපේ ගෙදර දාලා යන්න ගියා . මොනවා උනත් ඒ මගේ නංගි . නංගි බයෙන් ගුලිවෙලා ඉද්දී මට පුළුවන් උපරිමේ නංගිව තුරුළු කරගන අඩපු එක විතරයි කලේ . මේ හැමදේම සුමේධගේ අම්මා බලාගන ඉදලා අවසානේද කිව්වේ ….
” අපි කොහොම හරි ජිවත් වෙමු …. දැන් නාඩා ඉන්න “
මම හිතන්නේ සුමේධට තියෙන්නෙත් අම්මගේ ගතිගුණ . මගේ අම්මයි සුමේධගේ අම්මයි අතර ලොකු වෙනස්කම් තිබුණා . මම පුංචිකාලේ ඉදලා හිතුවේ අම්මලා ඔක්කොම එකයි කියලා එත් එහෙම නෑ කියලා දැන් මම දන්නවා . මගේ දරුවට හොද අම්මෙක් වෙන්න මට ඕනි . හරියටම සුමේධගේ රත්තරං අම්මා වගේ .
” මම ආයෙත් ගාමන්ට් යන්නද ?”
එදා රෑ සුමේධගෙන් මම එහෙම ඇහුවේ පව්ලේ බර තනියම ගෙනියන්න බැරි නිසා . එත් සුමේධ ඒකට කැමති උනේ නැහැ . ගාර්මන්ට් එකේ කෙල්ලෝ කොල්ලෝ විදින දුක ගැන සුමේධ දන්නා නිසා එයා එපා කියනවා .
ටික දවසක් යද්දී සුමේධගේ අම්මා මට අපුරු යෝජනාවක් කලා .
” පුතේ …… අපි කෑම ටිකක් හදලා කඩවල් වලට දාමුද ?”
මටත් ඕනි උනේ සුමේධ තනියම අදින බර වලින් ටිකක් මටත් ගන්න . ඉතිං මම මොකට ඒ යෝජනාවට අකමැති වෙනවද ?
මුලිං මුලිං අම්මයි මමයි එකතුවෙලා කඩවල් කිහිපයක් , ඉස්කෝල කිහිපයක් හොයාගන සුළු සුළු කෑම ටිකක් දැම්මත් මාස කිහිපයකින් අපිට පුළුවන් උනා කොම්පැනි කිහිපයක කැන්ටින් වලට කෑම දාන්න . එතැනදී තමයි අම්මගේ රහස් වට්ටෝරුව එලියට ආවේ .
අම්මා ලග තිබුණා රසම රස බුරියානි වට්ටෝරුවක් . අම්මානම් කිව්වේ ඒක කොහෙන්දෝ ඉගෙන ගත්ත එකක් කියලා . එත් ඒ වට්ටෝරුව අති විශිෂ්ඨයි .
ඉද හිට කොම්පැනි දෙක තුනක දවල් ආහාරය විදිහට පාර්සල් කිහිපයක් දැම්මත් , ටිකෙන් ටික ඒ පාර්සලයට තියෙන ඉල්ලුම වැඩි උනා .
දවසින් දවස ඉල්ලීම් වැඩි වෙද්දී යහමින් අතේ මුදල් ගැවසෙද්දී අපි අපේම කියලා පුංචි හෝටලයක් පටන් ගත්තේ ඊට පස්සේ . දැන් එය රටේ නම ගියපු හෝටල් ජාලයක් වෙලා තියනවා .
” මට තේරෙන්නේ නෑ මේ කතාවේ මොන කොටස්ද තව පැය කිහිපයකින් පවත්වන සම්මුඛ සාකච්චාවකින් පත්තරේට නොකියා අයින් කරන්න ඕනි කියලා “
නැවතත් මම කන්නාඩියෙන් මගේ මුහුණ දිහා බලාගන කල්පනා කරා .
මේ කතාවේ මොන කොටස මම පත්තරේට කියන්න අයින් කලත් මම කියන එකම එකම එක කාරණාවක් තියනවා .
මට සහ මගේ පව්ලට මේ සියළු දේවල් ලැබුනේ එකමුතු කම නිසා වගේම . නිකංම අත හැරලා දාන්න බැරි සහෝදර බැදීම නිසා කියලා .
උපුටා ගැනීම: Hasika Wijethunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!