1981 වසරෙ මම හිටියේ ඕස්ට්රේලියාවේ ,නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට ගොස් .බංග්ලාදේශ් නාවික හමුදාවෙන් ආපු නාවික නිලධාරීන් දෙන්නෙකුත් හිටියා .අමීන් කියලා එක්කෙනයි හබීබ් කියල එක්කෙනයි .පාඨමාලාව මැද දී මැද දී සති දෙකක නිවාඩුවක් ලැබුණා .
අමීන්ගේ අයියා කෙනෙක් ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයක ඉගෙන ගන්නවා .එයා පවුල පිටින් එහෙ නැවතිලා හිටියේ .අපි හිටපු නාවික කදවුර සති දෙකකට වහනවා .මට යන්න තැනක් නැති නිසා අමින් මටත් ආරාධනය කළා එයාලත් එක්ක කුවින්ස්ලන්තයට යන්ඩ .ඉතිං අපි කෝච්චියෙන් ගියා …
ඒ රටේ කෝච්චි යන්නේ සෙනග නැතුව .අපි තුන්දෙනාට එහෙම පිටින්ම කෝච්චි පෙට්ටියක් ම ලැබුණා .ඉඳ හිට එක්කෙනෙක් දෙන්නෙක් නගිනවා බහිනවා ..
අපි පටන් ගත්තෙ මෙ ල්බර්න් වලින් නේ මේක ගොඩක් දුර ගමනක් .සමහර ප්රදේශ තියෙනවා හැතක්ම ගානක් යනකන් ගෙයක් දොරක් නැති පිට්ටනි .ඉඳහිට නවත්වන දුම්රිය ස්ථාන පාළුවට ගිහින් .ඈතින් ඈත පේන ගොවිපලවල් තමා තියෙන්නේ .හද්දා පිටිසර පළාත් .ඒ මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වුනත් වෙනස්.සමහර දුම්රිය ස්ථාන වලට දාලා තියෙන්නෙ aboriginal නම් ගම් ..
* * *
අමීන්ගේ අයියා හිටියේ විශ්ව විද්යාලෙන් දීලා තිබුණු ,කුඩා නිවාස යක.අයියයි නෝනයි පොඩි පුතයි ,අපි තුන් දෙනයි ගියා ම ගෙදර පිරිලා .ඔවුන් මාව හරි සතුටින් පිළිගත්තා .ආගන්තුක සත්කාර නම් ඉතා ඉහළ යි.අමීන් නෝනා කොයි වෙලාවෙත් ගෙදරට සාරි ඇඳලා තමයි ඉන්නේ .ඒ ගොල්ලෝ කථාවට වැටුණාම එක දිගට බංගලි භාෂාවෙන් කතාව.ඉඳහිට මාව මතක් උනාම ඉංග්රීසි භාෂාවට හැරෙනවා .බංගලි භාෂාවේ සිංහල ට සමාන වචන බොහොමයක් තිබෙනවා .ඉතිං හොඳින් කන් දීගෙන හිටියම තරමක් දුරට තේරෙනවා .අන්තිමට මම කියනවා ඔයාලා කතා කළේ මේ මාතෘකාව ගැන නේද කියලා .එයාලා පුදුම වෙනවා ………
මේ බලන්න “අමි භාත් කයි” ඒ කියන්නේ මම බත් කනවා .”ධරූන් ශීත් ” ගොඩාක් සීතලයි .ගොඩක් සමානයි නේද?
අමුත්තෙක් හැටියට මට විශේෂ සැලකිලි .පළමුවෙන්ම කෑම බෙදන්නේ මට .බංගලාදේශ පවුල් තව වට පිටේ ඉන්නවා .අමීන් ජෝඩුව මාවත් අරන් ඒ ගෙවල් ඔක්කොටම යනවා .ඊ යන හැමතැනකදිම විශේෂ කෑම ජාති පිළිගන්වනවා .පැණි රස කෑම සහ බීම .එක හවසක ට ගෙවල් හතර පහකට යනවා .බඩ පිරෙනකන් කන්ඩ දෙනවා .
අමීන් යුවල ඔවුන්ගේ නෑදෑ මිත්රයන්ට මාව හඳුන්වලා දෙන්නේ ආඩම්බරයෙන් .මේ කිසිම කෙනෙක් ඇල්කොහොල් බිම වත් සිගරැට් වත් පාවිච්චි කරන්නේ නැහැ .තද මුස්ලිම් ආගමික භක්තිකයෝ .
අපේ රටේ නං අමුත්තෙකුට සැර බීම සංග්රහ කරනවා .එහේ එහෙම නෑ .මම ගිය හැම ගෙදරක ම හිටියේ විශ්ව විද්යාල ශිෂ්යයෝ පවුල් පිටින් .මේ හැම කෙනෙක් ම ආගන්තුක සත්කාරයට ඉතාමත් කැමති මිනිස්සු .
එක ගෙදරක සිංහල පවුලකුත් හිටියා .ඒ අය මාව දැකලා මට දවල් කෑමකට ආරාධනා කලා.තමුන්ගේ රටේ කෙනෙක්ව දැක්කමයි ඉතිං සතුටුයි නේ.
පින්තූරයේ ඉන්නේ ඒ පවුල .අර හෙවනැල්ල ඒ ෆොටෝ එක ගත්තු මගේ යාළුවා හබීබ්ගෙ.
උපුටා ගැනීම: Antony Perera