“මල්ලි කොහෙද යන්නේ” සිකුරුටි අයියා මගෙන් ඇහුවා.
“සල්ලි ගන්න”
“හ්ම්”
නුහුරු නුපුරුදු තැනක් නොවුණට තනියම ආපු පළමුවෙනි වතාව.
කලින් ආවට වඩා වටපිටාව වෙනස්.
ගහල තියෙන බෝඩ් එකක් ගානෙ කියෙව්වේ යන්න ඕනි හරි තැන හොයාගන්න.
හතර පස් දෙනෙක් ඉන්න පෝලිමේ මමත් හිටගත්තා. සාක්කුවට අතදාලා ඉටිකොල කවරේ ඇදලා ගන්න සද්දෙට මට ඉස්සරහින් හිටපු ගෑණු කෙනා
මගේ දිහා හැරිලා බැලුවා.
බාටා සෙරෙප්පු කෑලි දෙක, කොට කලිසම, හචා ටීශර්ට් එක, කපපු නැති රැවුල වගේම අවුල් වෙච්ච දිග කොණ්ඩේ දිහා බොහොම උවමනාවෙන් බලපු ඈ තව අඩියක් ඉස්සරහට ගියේ මගෙන් ටිකක් ඈත් වෙන්න.
කවුන්ටරේ හිටපු මිස් ට තිබ්බේ බැරෑරුම් පෙනුමක්.
“එන්න මිස්, මොකක්ද කෙරෙන්න ඕනි” මූණේ පෙනුමට ගැලපෙන්නේ නැති කරුණාබර හඩක් ඒක.
මගේ වාරේ හෙමින් හෙමින් ලංවෙන අතරේ පෝළිමේ ආපු නැති පිරිමි තලතුනා කෙනෙක් මාවත් පහු කරගෙන හිමින් ඉස්සරහට ගියේ ඔක්කොම බලාගෙන ඉන්නකොට.
වයස වුණාට පිළිවෙලකට ඇදපු කඩවසම් කෙනෙක්.
මට ඉස්සරහ හිටපු ගෑණු කෙනාගේ වාරය ආපු නිසා එයා පුටුවේ ඉදගන්න අතරට අර මිස් මාව දැකලා අඩක් වික්ශිප්ත විදියට මගෙ දිහා බලන ගමන් “එන්න සර්” කියලා පෝළිමෙන් පිට ආව පිරිමි කෙනාට කතා කලා.
“අදුනන කෙනෙක් වෙන්න ඇති. මට හදිස්සියක් නෑ” මම මටම කියාගත්තේ කාටවත් ඇහෙන්නේ නැති වෙන්න.
විනාඩි දහයක් විතර යන්න ඇති. මම වීදුරුවෙන් එළියේ සුළගට වැනෙන පොල්ගහ දිහා බල බල හිටියේ වෙන කරන්න දෙයක් නැති හින්දා.
“ඊළග එන්න” කලින් තිබ්බ කරුණාබර හඩ නම් නෙමේ.
මම පුටුව ලගට ගිහින් වාඩි නොවීම “මිස් මට සල්ලිගන්න ඕනි” කියලා පාස්පෝර්ට් එකයි NRFC පාස්බුක් එකයි දුන්නා.
ඒ මිස්ට තිබ්බේ තරමක සැකයක් වෙන්න ඕනි.
තප්පර කිහිපයකට වගේ පස්සේ ඉදගෙන හිටපු පුටුවෙන් බාගෙට නැගිටින ගමන් “සර් ඉදගන්න” ආපහු පරණ කරුණාබර හඩමයි.
“නෑ කමක් නෑ. පුලුවන් වෙලාවක මේක චෙක් කරලා තියන්නකෝ” තවත් කෙනෙක් ලියුම් කවරයක් අර මිස්ට දුන්නා.
දැකලා පුරුදු ඔරලෝසුවක් වගේම හුරුපුරුදු කටහඩක්.
මම හිමීය පස්ස හැරිලා බැලුවෙ කවුද බලන්න.
ඒ අප්පච්චිනේ.
මම ඇස් හීනි කරලා විරිත්තලා හිනාවුණා.
මගේ පිටට තට්ටුවක් දාන ගමන් ” මිස් දන්නවද මේ මගේ ලොකු කොලුවා. පේනවානේ නිදහස උපරිමෙන් විදින හැටි.”
“ආහ් ඒක තමයි මට ඒත් පුරුදු මූණක්, ඒකයි මාත් කල්පනා කලේ. සර් ගෙ ෆේස්කට් එකම තියෙනවා” මිස් කීවේ බොරු.
” වැඩේ කරගෙන එන්නකෝ. තේ එකක් බොමු.” අප්පච්චි කණට කරලා කියලා ගියා.
අප්පච්චිත් එක්ක එම ගමන් කීපදෙනෙක්ම එයාත් එක්ක කතා කලා. හැමෝටම මාව අදුන්වලා දුන්නේ කිසිම චකිතයකින් නෙමේ.
ඒ හැම කෙනාම මගෙ හිසේ සිට පාදාන්තය දක්වාම බැලුවේ පුදුමයෙන්.
මට දැණුනේ පුදුම ලැජ්ජාවක්.
දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ කොතන කොහොම හිටියත් එකයි නේද කියලා මට හිතුණා.
එදායින් පස්සේ කවදාවත් ටවුන් එකට ඒ වගේ හචා විදියට ගියේ නැත්තේ අප්පච්චි අවුරුදු ගානක් රැස් කරපු ඒ ගරුත්වය කඩලා කුඩු කරලා දාන්න හොද නැති හින්දා.
උපුටා ගැනීම: Kasun Niwanthaka