එකෝමත් එක රටක තිබුණු එක්තරා යුධ හමුදා කඳවුරක් බාරගන්න අලුත් සෙන්පතියෙක් පත්වෙලා එනවා. පළවෙනි දවසේ ඔහුගේ කාර්යාලයේදී වැඩ රාජකාරි ඔක්කොම බාරගෙන කඳවුර පරික්ෂා කරන්න කියලා හිතාගෙන තවත් ඒ කඳවුරේම නිළදාරියෙක් එක්ක මෙයා කඳවුර වටේ පොඩි විසිට් එකක් යනවා.
මෙහෙම ඇවිදගෙන යනකොට කඳවුරේ එක පාරක් අයිනට වෙන්න තියෙන බංකුවක් අසල සොල්දාදුවන් දෙන්නෙක් මුරට දාලා ඉන්නවා මෙයා දකිනවා.
ලොක්කා මේ සොල්දාදුවන් දෙන්නා ළගට යනවා. මොකද මෙතන කරන්නේ කියලා මෙයාලගෙන් අහනවා.
“සර් අපි දෙන්නා අද මේ බංකුව මුර කරන ඩියුටි එකට දාලයි ඉන්නේ…” සොල්දාදුවෙක් කියනවා…
“මොකටද මේ බංකුවක් මුර කරන්න දෙන්නෙක් දාලා තියෙන්නේ..?” ලොක්කා අර නිළධාරියාගෙන් අහනවා…
“දන්නේ නම් නෑ සර්… කළින් හිටපු ලොකු මහත්තයත් මෙතන මේ විදියටම පැය 24ම මේ බංකුවට ආරක්ෂාව දුන්නා… ඉතිං ඒ සර් ගියාට පස්සෙත් අපි මේක දිගටම කරගෙන යනවා… මේක මේ කඳවුරේ තියෙන හමුදා සම්ප්රදායක් වෙන්න ඇති සර්…”
අලුතෙන් ආපු ලොක්කට මේක ලොකු ප්රශ්ණයක් උනා… ඔහු මේ කඳවුර බාරව හිටිය කළින් ලොක්කව දුරකථනයෙන් සම්බන්ඳ කරගෙන මේ ගැන ඔහුගෙන් ඇහුවා…
” මමත් හරියට දන්නේ නෑ ඔෆිසර්… මම ඕකට එනකොටත් ඔය වැඩේ ඔය විදියටම කෙරුණා… ඉතිං මමත් වැඩිය හොයන්න ගියේ නෑ… දිගටම කරගෙන යන්න කියලා ඕඩර් එක දුන්නා එච්චරයි…”
අලුතෙන් ආපු ලොක්කා ඒ උත්තරෙනුත් සෑහීමකට පත්වුනේ නෑ… ඊට පස්සේ ඔහු ඊටත් කළින් කඳවුර බාරව හිටපු ලොක්කෝ දෙතුන් දෙනෙකුටම කතා කළා. කිසිම වෙනසක් නෑ ඒ ඒ කාළවලත් මේ වැඩේ ඒ විදියටම කරගෙන ගිහිල්ලා තිබුණා.
කොහොම උනත් අළුත් ලොක්කා මේ කඳවුරේ මේ තියෙන සම්ප්රදාය මොකක්ද කියලා හොයන එක නැවැත්තුවේ නෑ. අවුරුදූ ගානකට කළින් මේ කඳවුර බාරව හිටිය සෑහෙන දෙනෙකුගෙත් උත්තරය එකම නිසා මෙයා හොයාගෙන හොයාගෙන ගිහින් දැනට ජීවතුන් අතර ඉන්න, මේ හමුදා කඳවුර බාරව හිටපු වයස අවුරුදු 100ක් විතර වෙන අන්තිම විශ්රාමික හමුදා නිළධාරියාව හම්බවෙනවා…
“සමාවෙන්න සර් කරදර කළාට… ඔබට මතකද මේ රටේ දකුණු පළාතට වෙන්න තියෙන ප්රධාන හමුදා කදවුර..?”
“ඔව්… මට මතකයි… මම කාළය ඔය කඳවුර බාරව හිටියා…” විශ්රාමික නිළදාරියා කියනවා…
“අන්න හරි සර්… දැන් ඒ කඳවුර බාරව අළුතෙන්ම පත්වෙලා ආපු නිළධාරියා මමයි… මට ඒ කඳවුරට පමණක් විශේෂ වූ තවමත් කරගෙන යන කඳවුරු සම්ප්රදායක් ගැන පොඩි ප්රශ්ණයක් තියෙනවා…”
” මොකක් ගැනද දැන් ඔය ළමයා මගෙන් අහන්නේ..?”
“සර්… මම ආපු දවසෙම දැක්කා කඳවුරේ පාර අයිනේ තියෙන බංකුවක් සොල්දාදුවන් දෙන්නෙක් පැය 24ම මුර කරනවා… මේ ගැන, මේ කඳවුරු සම්ප්රදාය ගැන සර් මොනවාහරි දන්නවද..? මට මේ ගැන පොඩ්ඩක් පැහැදිළි කරලා දෙන්න පුළුවන්ද..?”
“මොනවා… ඒ බංකුවේ ගාපු තීන්ත තාම වේලිලා නැද්ද..?”
– ධම්මික සමරතුංග –
උපුටා ගැනීම : Sathsara Jayanga