අපේ තාත්තට මල්ලිලා දෙදෙනෙකි, තාත්තාගෙ පොඩි මල්ලි, අපේ චූටි බාප්පාය. මෙය දැනට වසර ගණනාවකට පෙර සිදුවූවකි.ඒ වන විට ඔහු විවාහ වී නොමැත.
මමත්, අක්කාත්, මල්ලීත් චූටි බාප්පාට නිවාඩුවක් සෙට් වනතුරු බලාසිටින්නේ, ඔහුට නිවාඩුවක් සෙට් වූ විට අපට රස බොජුන් සෙට් වෙන නිසාය. ඒ දින වල ඔහු අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවෙහි නිරත විය. ඉරිදා දින නිවාඩු බැවින් ඉඳහිට සෙනසුරාදා රාත්රී ආහාර වේල ඔහුගේ අතින් පිලියෙල කිරීමට හේතුව අප තිදෙනාට වඩා, ඔහු වෙනුවෙන් මහන්සි වී සතිය පුරා කෑම සපයන අපේ අම්මාට කෘතගුණ සැලකීමක් විය හැකිය.
නොකීවාට අම්මාද බාප්පා උයන දේවල් කෑමට බලාසිටින්නේ දත කට මැදගෙනය. මේ කාලයේ මෙන් රයිස් කොත්තු කඩ බහුල නොවූ ඒ කාලයේ බාප්පාගේ රයිස් එක අපට මහමෙරකි. බාප්පා උයන දවසට දවස් තුනකට වත් කලින් අවශ්ය බඩු බාහිරාදිය ගෙන ඒම ඔහුගේ සිරිතයි. එවරත් ඔහු අප නිවසේ පස් දෙනයි, ඔහුයි, පුංචි අත්තා (ආච්චි), ලොකු බාප්පලා ඇතුලු දහදොළොස් දෙනෙකුට සෑහෙන පරිදි හාල්, කැරට්, ලීක්ස්, මුද්දරස්පලම් (වියළි මිදි) ආදිය ගෙනවිත් තිබිණි.
බැලූ බැල්මටම ගෙනවිත් තිබූ මුද්දරස්පලම් ප්රමාණය රයිස් සැදීමට ගන්නා ප්රමාණයට වඩා උවමනාටත් වැඩි බව කුඩා මාගේ සිතට වැටහී තිබිණි. කුස්සියට යන එන වාරයක් පාසා “තව තියෙනවනෙ” යැයි සිතමින්ම ටික ටික කෑම දින කිහිපය තුළම සිදුවීය.
කාර්ය බහුල දින අහවර වී බාප්පාගේ නිවාඩු දිනය උදාවිය. එදින වේලාසනම එළවළු කපා සියල්ල සූදානම් කරගෙන සිටි බාප්පා, බත ඉදෙන විට එයට දැමීමට ගෙනා මුද්දරස්පලම් පැකට් එක අතට ගත් විට මුහුණ හකුලාගත් අයුරු අදටත් සිහියට නැඟේ. අහෝ.., මුද්දරස්පලම් පැකට් එකෙන් බාගයක් වත් නැත. පැකට් එකට ගසා තිබූ ස්ටේප්ලර් කටුද තවමත් එසේමය. කෑ කෙනෙක් පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවන් නොමැති නිසා මට අවුලක් නැත. නමුත් නියත වශයෙන්ම මා එපමණ කෑවේ නැත.
ඉතිරි වී තිබූ මුද්දරස්පලම් දමා සෑදූ රයිස් එක එකිනෙකාගේ පිඟන් වලට බෙදුවේද බාප්පාමය. ඒ මොහොතේ ඔහුගේ සාපය අප කාටත් ඇසෙන පරිදිම සිදු කලේය. “හොරෙන් කාපු එකාට නම්, එක මුද්දරස්පලමයක් හම්බෙන්ඩ එපා…”
ඉතා භීතියට පත් වී බත් පිඟානේ කැණීම් කටයුතු සිදුකරමින් සිටි අපේ මලයා, “ඒ.. මට එකක් තිබ්බා..” යැයි කෑ ගැසුවෙ තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමටය. නමුත් ඔහුගේ ඒ හැසිරීමෙන්ම, හොරෙන් කෑවේ ඔහු බවට සියලු දෙනාහට පැහැදිලි විය. ඒ අතරතුර බාප්පාගේ කෝපය නිවී ගිය බැවින් මාද මගේ වරද පිලිගනිමින් පාපොච්චාරණයක් සිදු කලෙමි. එක අත්තෙ පොල් මෙන්, අපේම සහෝදරිය වූ සුදු අක්කා, තමාද මුද්දරස්පලම් කෑ බවත්, එහෙත් කෑවේ ටිකක් බවත් ප්රකාශයක් සිදුකරන ලදී.
පොල් හැඳුන ගස, අපේ අම්මා, එදා හොරෙන් මුද්දරස්පලම් කෑ බවට අනාවරණය වුවේ මෑතකදීය. ඒ මාගේ හරස් ප්රශ්න හමුවේය.
උපුටා ගැනීම: Tharindu Senanayake