බරණැස කාත්තිකටු කිරි තේ බොමු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හිමිදිරි ජාමයේ බරණැස සාරානාත් හි මහාබෝධි විශ්රාම ශාලාව ඉදිරිපිටින් බස් රථයකට නැගගත් අප බරණැස නගර මධ්යයෙන් බැස ගත්තෙමි. දෙසැම්බරයේ ශීතලෙන් අපව වෙල්ලුම් කයි. පරිසරය උදෑසන මීදුමින් වැසී ඇත. ශීතල කෙතරම් උවත් ඊටත් වඩා අපේ අරමුණ අපව උණුසුම් ව තැබීය. හිසේ තලප්පා බැදගත් වාරානසී පුර වැසියෝ උදේ පාන්දරම නගරයට එක් රොක් වී ඇත. අප දැන් කත්මන්දු වෙතට යන්නට බස් රථය සොයා ගත යුතුය. බුකිං ඩොට් කොම් ඒ කාළයේ නැත. අපිට තිබුණේ ඉව පමණි.
කත්මන්දු බලා යන අප දැන් හකුරු හොයාගත යුතුය. අප මිළදී ගත යුතු වූ ලැයිස්තුවෙන් තවමත් හකුරු නම කැපී නැත.
” භයියා ගූධ් මිලේගා “
( සහෝදරයා හකුරු ටිකක් ලැබෙය් ද? )
සමහරු එය නොදන්නා බව කියන්නේ ඉගියෙනි.
” පතා නහී සහාබ් ජී “
( දන්නෙ නැහැ මහතතයෝ )
සමහර දිළින්දෝ කියයි. බරණැස නගරයේ සිට කෙලින්ම කත්මන්දු කරා යන්නට බස් රථයක් සොයාගත හැකි බවට අපට ඉගියක් දුන්නේ රික්ෂා වාලා වරයෙකි. ඒ සලීම් ය. මේ සලීම් ලා අන්ත දිළින්දන් ය. මේ සලීම් ලාත් උත්තර භාරතයේ දරුණු කුළ පීඩනය නිසා හින්දු ආගම අතහැර ඉස්ලාම් වූ පරපුරක දිලින්දෙකි.
” සාබ්ජී මෙරේ සාත් ආඕ..”
( සහාබ් මගෙත් එක්ක යමු )
කියමින් සලීම් ඉස්සර වෙයි.
” නිකම්ම මොකටද මෙයාව යවන්නෙ “
කියූ සම්පත් අපේ බඩු මළු රික්ෂෝවට පැටවීය.
” සලීම් මියා මුජේ ග්ලවුස් ඛරීද් නා හෛ “
( සලීම් මට ග්ලවුස් ගන්න ඕනෑ)
මම සලීම් ට කීමි.
” හා..හා.. සහාබ් සරූර් මිලේගා “
( හරි සහාබ් අනිවාර්යයෙන්ම ලැබෙයි )
” සහාබ්. මුජේ පතා හෛ නදී කිනාරේ ඒක් ග්ලවුස් කා දුකාන් හෛ “
( මම දන්නවා ගග අයිනෙ එක ග්ලවුස් සාප්පුවක් තියනවා )
අපව ට්රැවල් ඒජන්සිය ළගට ඇරලවූ සලීම් අපේ තවත් මිතුරන් දෙදෙනකුද සමග ගංගා නදී තීරය දෙසට ගියේ ග්ලවුස් මිළදී ගන්නටය.
උදේ පාන්දරම මංසන්ධියේ චායිවාලා කෙනෙක් චායි විකුනයි. පුදුමයකට කරුණ නම් මේ චායි වාලා චායි විකුනන්නේ කුඩා මැටි කෝප්ප වලය. ඒවා කාත්ති කටුවකට වඩා පොඩ්ඩක් විශාලය. ඊළග පුදුමය නම් චායි බොන්නවුන් චායි බීමෙන් පසු මේ කෝප්පය විසිකිරීමයි. බිත්තිය අයිනේ කුඩු වී ගිය මැටි කෝප්පය.
තේ බීමෙන් පසු නැවත නැවතත් පාවිච්චි කළ හැකි වීදුරු, එවර්සිල්වර් කෝප්ප තිබියදි මොවුන් මේ මැටි කෝප්ප නාස්ති කරන්නේ ඇයි? අපට ඇතිවූයේ කුකුසකි. කුළ භේදය තදටම ඇති උත්තර භාරතයේ වැසියෝ කෙනෙක් කට තිව් භාජනයකට කට තියන්නට අකමැතිය. මේ සිරිත් කෙතෙක් ඔඩු දුවා ඇත්දැයි කිවහොත් තේ බීමෙන් පස ඔවුන් කෝප්පය කුඩු කර දමයි. පෝරණු වල පුළුස්සන ලද මේ මැටි කෝප්ප පොළවට දිරාපත්වන්නට කෙතරම් වසර ගනනක් ගතවනවා ඇත් ද?
නමුත් ඊටත් වඩා මේ ඉන්දියානුවන්ගේ කුළභේදය බරපතලය.
භ්රාහ්මණ, ක්ෂත්රිය , වෛශ්ය , ශුද්ර මේ ඉන්දියානුවන්ගේ ප්රධානම වර්ණ හතරයි. ඊටත් අමතරව ඔවුන් කුළ දහස් ගනනකට බෙදී ඇත. උත්තර ප්රදේශයේ ජනයා ප්රධාන වශයෙන් වර්ණ හතරට අමතරව ජනකොටස් 12 ට බෙදා දැක්විය හැකිය.
1. ආහිර්
2. උත්තර් ප්රදේශ් හි බ්රහ්මින් වරු
3. ගුජර්
4. උත්තර ප්රදේශ් හි ජට් වරු
5. කම්භෝජ්
6. උත්තර් ප්රදේශ් හි මුස්ලිම් වරු
7. උත්තර් ප්රදේශ් හි අනෙකුත් පසුගාමී කුළ
8. උත්තර් ප්රදේශ් හි රාජ්පුත් වරු
9. රාජ්පුත් ගෝත්
10. උත්තර් ප්රදේශ් හි උපලේඛනගත ගෝත්
11. උත්තර් ප්රදේශ් හි ගෝත්
12. උත්තර් ප්රදේශ් හි උපලේඛනගත කුළ
ඊටත් අමතරව මොවුන් තව කුළ 171 ට බෙදෙයි. ඔවුන් ගැන වෙන වෙනම කියන්නට ගියොත් තව පිටු 171 ක් අවශ්ය ය.
රුපියල් දෙක බැගින් වූ කාත්තිකටු කිරි තේ කෝප්ප බී අවසන් කල අප සෙසු ඉන්දියානුවන්ව අනුගමනය කරමින් මැටි කෝප්ප කුඩු කළෙමු.
මගේ මිතුරන් දෙදෙනාත් සමග ගංගා නම් නදී තීරයට ගිය සලීම් මියාන් ග්ලවුස් ද මිළදීගෙන අප දෙසට රික්ෂාව පදින්නේ සිනාමුසු මුහුනෙනි. අපගෙන් සන්තෝශම් ලෙස ලැබුණු රුපියල් තිහෙන් ගෝවා, බෝංචි ආදී එළවලුත් මිළදී ගෙන සිය නිවස දෙසට රික්ෂෝව වේගයෙන් පදින්නට වූයේ
” මෛයිං අභී ආයා ” කියමිනි.
සලීම් මියාන් ඉන්දියාවේදී අපට හමුවූ තවත් එක් අහිංසකයෙකි.
සංජය දොළමුල්ල
උපුටා ගැනීම: Sanjaya Dolamulla

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!